Thursday, January 10, 2013

රාෆ්ටිං




ලංකාව ඝර්මකලාපීය රටක් නිසාද මංදා අපේ ගොඩක් උන් ඉන්නෙ මී හරක් ගිණියමට වඩා ගිණියමෙන්. ගගක්, මූදක් ලග පාතක නැත්තම්  දෙපාරක් හිතන්නෙ නැතුව මඩ වලක උනත් පැනල පීනන්න හදන්නෙ ඒක නිසා වෙන්න ඕන. ඇත්තම කිව්වොත් මමත් ඉන්නෙ ඔය කියන ජලලෝලී කුලකයෙම තමයි. ඇගිලි තුඩු වල හම ‍රැලි වැටිලා, දත් ඇදි එකට වදින ගානට හීතල එනකන්, නල ජලය නොවන ඕනෑම ජල මූලාශ්‍රයක් එක්ක සෙල්ලන් කරන්න මමත් උපන්ගෙයිම කැමතියි.

එක පාරක් දෙපාරක් වෙච්ච චාටර් සිද්දි නිසා ඔය "වතුර අමාරුව" කාලෙකට යටපත් වෙලා තිබුනත්, ඉර එළියට කිරිදීසියා මල් පෝට්‍ටු පිපෙන්න ගන්නවා වගේ සුදුසු වතුර වලක් දැක්කම නැවත විකසිත වෙන්නෙ මටත් හොරාම. ඉස්කෝලෙ යන කාලෙ යාලුවො එක්ක ට්‍රිප් එකක් ගිහින්, මී හරක් ලගින ඇලක තනමත්තක් ජලයේ ගිලිලා දිය කෙලීමේ ප්‍රතිඵලයක් විදිහට ට්‍රිප් එක පුරාම ඇග කකහා හිටපු එක තමයි ඔය චාටර් සිද්දි අතරින් උඩින්ම තියෙන්නෙ. අද කියන්න යන්නෙත් බොහොම මෑතක වෙච්ච ඔයවගේ සිද්දියක්. දැනුත් ඇල්වතුර වීදුරුවක් බොනකොට වෙනදට වඩා උගුර කට හීතල වෙලා යන්නෙ සිද්දියේ පසු කම්පණ තාමත් තියෙන නිසාද කොහේ.

අපේ සයිට් එක තියෙන්නෙ නුවර වැව ඉස්මත්තෙ. මේ දවස්වල අනුරාධපුරේට වහින මහ වරුසාවට අනික් වැව් වගේම නුවර වැවත් පිරිලා ඉතිරිලා, වන් දාන්නත් අරගෙන. වෙනදට ගිනිමැලයක් ගහගෙන, මධ්‍යම රාත්‍රිය පහුවෙනකන් බජව් දාපු වැව් පිටිය අද එකම වතුර ගොඩක්.

ගමේ කට්ටිය වැවට බහින එක පාරක් තියෙන්නෙ අපේ සයිට් එක මායිමේ. ඒක නිසා ගමේ මාලු අල්ලන්න යන සෙට් එකේ ඔරු ටික නවත්තන්නේ සයිට් එකේ ඉදන් අත පොවන මානෙ.  ඔරු කිව්වට මහ තොගයකුත් එතන ඇත්තෙ නෑ. "බේසම" කියල මිනිස්සු කියන ගොල්ලෑවක් නැති ෆයිබර් ග්ලාස් බෝට්‍ටු තුනක් විතරයි, ගොල්ලෑව තියෙන සාම්ප්‍රදායික ඔරු දෙකකුයි තමා ඔතන නිතරම තියෙන්නෙ.

මිනිස්සු මාලු අල්ලන්න යන්නෙ හවස් ජාමෙ. ඒක නිසා දවල් දවසෙ ඔය ඔරු ගැන කවුරුවත් හොයන්න එන්නෙ නෑ. කාත් කවුරුත් නැතුව වැව් ඉස්මත්තෙ පදුරුවල ගැට ගහලා, වේලි වේලි තියෙන ඔරු ටික දකින දකින වාරයක් ගානෙ මගේ ඇග නලියන්න ගත්තා. ඒත් හිමිකරුගෙ නිසි අවසරයක් නැතුව බෝට්‍ටු වලට අත තියල අහු උනොතින් හොද පෝරියල් එකක් සෙට් වෙන නිසා, කොච්චර ඕන උනත් ඒ ඔරුවකට අත තියන්න තරම් ගටක් මට තිබුනෙ නෑ.  ඔරුවක නැගලා නුවර වැවේ රවුමක් යන්න තියෙන ආසාව හොදටම වැඩිවෙලා, ඔරුවක අයිතිකාරයෙක් ඉන්නවද කියල සයිට් එක ඇතුලෙ හොයල බලද්දි තමා "මහතුන්"ව සෙට් උනේ.

මහතුන් සයිට් එකේ වැඩට ආවෙ මේ මෑතක. උදේ සයිට් එකට එන්න කලින් වැවට ගිහින් මාලු දැල් දාල වැඩට එන මහතුන්, හවස වැඩ ඉවර වෙලා වැවේ රවුමක් ගහල ගොඩ එන්නෙ සෑහෙන තරම් මාලුත් ඔරුවට පටවගෙන. මහතුන් පූර්ණ කාලීන ධීවරයෙක් නූනට පොරගෙ මස්සිනා එහෙම නෑ. මස්සිනා නුවර වැවේ ඍජු යැපෙන්නෙක්. කොටින්ම මහතුන් උජාරුවෙන් වැවේ රවුන් ගහන ඔරුවත්  මස්සිනාගෙ. මම ඔරුවක් හොයනවා කියල ආරංචි උනාම මහතුන් මාව හම්බෙන්න ආවා.

"ආ.... ඔරුවක් තියෙනවා අපෙ මස්සිනාගෙ. හැබැයි මිනිහා හවස වැවේ යනවා. දවල් දවසෙ ගන්න. ගොල්ලෑව තියෙන කහපාට එක. ම්..ම්.. හබල ඇත්තෙ අයිනෙ තියෙන වැටකෙයියා ගාල අස්සෙ..." මහතුවව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනත් මම එහෙම කරේ නෑ.

මහතුවගෙ මස්සිනා ඒ කිව්වෙ "කලුවෙ", මහතුන් වගේ සාමකාමී චරිතයක් නෙවේ. එක පාරක් සයිට් එකේ වැඩ කරන්න ආපු කොල්ලො දෙන්නෙක්ව කපනවාමයි කියල කඩුවකුත් අමෝරාගෙන සයිට් එක ඇතුලටම එළවාගෙන ආවෙ, පොරට එන්න තිබුන ණයක් වෙලාවට බේරුවෙ නැති නිසා. ඒක නිසා කලුවෙගෙ ඔරුවට අත තියන්න මුලින්ම මම කැමති උනේත් නෑ. ඒත් මොකක් හරි මරාලයක් පාත් උනොත් මහතුන් ඉන්න නිසා වැවේ ‍ටුවර් එක ස්ථීර උනා.

මාත් කෝකටත් කියල වැවේ යන වැඩේට තව සුපවයිසර්ල දෙන්නෙකුත් සෙට් කරගත්තා.

"ඔන්න පු‍තෝ.. මට පීනන්න පුලුවන් උනාට, තව එකෙක්ව නම් ගොඩ දාන්න බෑ.." අම්මගෙ බඩෙන් එළියට එනකොටම හා හා පුරා කියල හුස්ම ගත්තෙ කරිජ්ජ හුලග උනාට යන්තන් අත-පය ගහගන්නවා ඇරෙන්න ගිලෙන්න යන එකෙන් ගොඩ දාන්න තරම් ටැලන්ට් එකක් නැති නිසා මම කලින්ම අනිත් උන් දෙන්නට කිව්වා. උන් දෙන්නගෙ තත්වෙත් ඊට දෙවැනි නෑ. ජේ.ආර්. මහත්තය කිව්වා වගේ "තමන්ගෙ ආරක්ශාව තමන් සපයා ගත යුතුයි" කියල හිතාගෙන අපි තුන්දෙනා කලුවෙගෙ යාත්‍රාව හොයාගෙන නුවර වැව්  ඉස්මත්තට ගියා.

එදා මොහොම ප්‍රසන්න දවාලක්. කලින් දවස්වල නා කපන වැස්ස උනාට එදා දවසටම වැහැල තිබුනෙ නෑ. ඒ දවස් ටිකේම වැවට වතුර ගලාගෙන ආපු නිසාද මංදා වැවේ වතුර ටිකක් බොර පාටට හැරිලා තිබුනේ.

පදුරක් අස්සෙ තිබිල කලුවෙගෙ ඔරුව හොයාගන්නකොට කලින්දා වැහැපු වැහි වතුරෙන් ඔරු කද පිරිලා, ඔරුව බාගෙට ගිලිලා තිබුනෙ. අපි මුලින්ම කරේ ඔරුව ගොඩට ඇදගෙන එන එක. ඊට පස්සෙ ඔරුවෙම තිබුන කෑන් එකකින් වතුර අස්කරන්න ගත්තා. ඇත්තටම ඒක පණ යන වැඩක්. ඉක්මනට හිස්කරගන්න හිතාගෙන ඔරුව කණපිට ගහන්න හිතුනත්, එහෙම කරලා ඔරුවට මොකක් හරි උනොත් කියන බය ඔලුවට ආපු නිසා එහෙම කරන්න ගියේ නෑ. පැයක් විතර කට්ටක් කාල යන්තම් ඔරුව හිස් කරගෙන අපි තුන්දෙනා ඔරුවට ගොඩ උනා.

"අපි ඉතින් උපන්දා ඉදන් ඔරු පාරු එක්ක හැප්පිච්ච අයනෙ. අනික වැව්වල වගේයැ මහ මූදෙ.." මං දෙන නැව්-ටෝක් වලට අනිත් උන් දෙන්න හිතුවෙ මං හෙන කප්පිත්තෙක් කියලා. ඒත් උපන්නයින් පස්සෙ හබලක් ඇල්ලුවෙම එදා.

හබල එහෙට මෙහෙට ගැහුවට මට ඕන පැත්තට ඔරුව යන්න ගත්තෙ නෑ.  නූල කැඩිච්ච සරුංගෝලෙ වගේ ඒක එහාට මෙහාට පැද්දි පැද්දි ඒකට ඕන පැත්තට යන්න ගත්තා. අනික් උන් දෙන්නත් සෑහෙන්න මහන්සි ගත්තත්, ඔරුව අපිට ඕන පැත්තට පාකරගන්න බැරි උනා. අන්තිමේ ඔරුව නතර උනේ ඉවුරට ටිකක් එපිටින් තිබුන කුඹුක් ගහක වැදිලා.

කුඹුක් ගහේ වදිනවා එක්කම ඔරුව පැද්දෙන්න ගත්තා. ඔරුව උඩ බැලන්ස් වෙන්න අපි තුන්දෙනා දන්න සෙල්ලන් ඔක්කොම දැම්මත් වැඩේ හරි ගියේ නෑ.

"ගොල්ලෑව පැත්තට බර වෙන්න.. ගොල්ලෑව පැත්තට බර වෙන්න.. එතකොට පෙරලෙන්නෙ නෑ.. " සාමාන්‍යන් ඔරුවක් පෙරලෙන්නෙ ගොල්ලෑව නැති පැත්තෙන් නිසා මම අනිත් උන් දෙන්නට කෑ ගහලා කිව්වා.

"ජරාස්..." ගාල ගොල්ලෑව කැඩෙන සද්දෙයි, "ජබුං.." ගාල අපි තුන්දෙනා වතුරට වැටෙන සද්දෙයි මට ඇහුනෙ එකම වෙලාවෙ. වතුරට වැ‍ටුන ගමන් පීනන්න හැදුවත් ඉන ගාවට වතුර නිසා පීනන එක අත ඇරල දැම්මා. සයිට් එකෙන් එද්දිම පර්ස්,ෆෝන් තියල ආපු නිසා බොර වතුර ටිකක් පෙවුන එකයි, ෆුල් සූට් පිට නෑවිච්ච එකයි ඇරෙන්න අපිට වෙන පාඩුවක් උනේ නෑ. ඒත් සිද්දියෙන් දැඩි හානි වෙලා තිබුනෙ කලුවෙගෙ ඔරුවට.

ඔරුව පෙරලිච්ච පාර ගොල්ලෑව කැඩිලා ගිහිල්ලා. ඒ මදිවට මම වතුරට වැටෙද්දි අතේ තිබුන හබල විසිවෙලා ගිහින්. හතර අතේ බැලුවත් ඒක හම්බ උනේ නෑ. අන්තිමේදි කැඩිච්ච ඔරුවත් කර තියන් අපි තුන්දෙනා ගොඩ ආවා.

"මොකද? මොකද? මේ....??" ඉහින් කටින් වතුර බේරි බේරි ඉන්න අපි දැක්කම වෙච්ච දේ හිතා ගන්න පුලුවන් නිසා, මහතුන් ඇත්තටම අපෙන් ඇහුවෙ ඔරුවට වෙච්ච දේ වෙන්න ඕන.

"අනේ බං. අරකෙ ගොල්ලෑව කැඩුනනෙ.. හබලකුත් නැති උනා.."

"ආ.... ඒක කමක් නෑ. කොහොමත් ගොල්ලෑව දිරල තිබුනෙ. මම හදලා දාන්නම්.." අම්මපා ඇත්තටම මහතුවා දෙයියෙක්.

"මේ.. එහෙනම් තව දෙන්නෙකුත් එක්ක ගිහින් ඔරුවෙ වැඩේ කරන්න. මම OT පැය දෙකක් දාන්නම්.." මම එහෙම කිව්වම, මහතුවට මාව ඉඹින්න හිතෙන්න ඇති.

මහතුනුයි, තව දෙන්නෙකුයි ඒ වෙලේම වැව පැත්තට ගිය නිසා, කැඩිච්ච ඔරුව ගැන ඊට පස්සෙ මම හොයල බලන්න ගියේ නෑ.

**               **               **               **               **               **               **               **               **

"අන්න කලුවෙ, මිනිහගෙ ඔරුව කඩපු උන්ව හොයාගෙන සයිට් එකට ආව " පහුවෙන්දා උදේ සයිට් එකට ඇතුල් වෙනකොට, සිකියුරිටි අංකල් මට කිව්වම මගේ ඇග හීතල වෙලා ගියා.

"ඇයි මහතුන් ඔරුව හදල නැද්ද??"

"නැතුව ඇති. නැත්තන් කලුවෙ මේ උදේ පාන්දර රටටම ඇහෙන්න කුණුහර්ප කිය කිය යයියැ???  මං හිතන්නෙ ගොල්ලෑව නෑ කියල දැකලා තියෙන්නෙ, උදේ දැල දාන්න යන්න බලද්දි " ටික වෙලාවක් සිකියුරිටි අංකල්ගෙ මූණ බලාගෙන හිටපු මම ෆෝන් එක අරගෙන මහතුන්ගෙ නම්බර් එක ‍තෝරන්න ගත්තා.

"හෙලෝ... මහතුන්ද?? කෝ බන් ඊයෙ ඔරුව හැදුවෙ නැද්ද??? "

"අහ්හ්.... ඊයෙ හදන්න ගියේ.... ටිකක් රෑ වෙච්ච නිසා වැඩේ අල්ලලා දැම්මනෙ.. ආ….හ්.." එහා පැත්තෙන් මහතුන් උත්තර දුන්නෙ ඈනුමකුත් අරින ගමන්.

"යකෝ... අන්න කලුවෙ අපිව හොයාගෙන සයිට් එකට ඇවිල්ලලු. අනික මම උඹත් එක්ක තව දෙන්නෙකුත් යැව්වනෙ  OTත් දීල.. මොනවද එතකො.. "  මම කතා කරල ඉවර වෙන්න කලින් අපි දෙන්නගෙ දුරකථන සංවාදෙ හිටිගමන්ම විසංදි උනා.

"ඔබ අමතන ජංගම දුරකථනය ක්‍රියා විරහිතකර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත. කරුණාකර පසුව අමතන්න....." මහතුවගෙ නම්බරේ ආයෙත් ඩයල් කරාම , කතා කරේ බොහොම ලයාන්විත කටහඩක් තියෙන ගෑණු ළමයෙක්.

"ආ... හෙලෝ... ලක්ෂ්මන්. ඔය කෲ කැබ් එකත් අරගෙන ටක් ගාල එනවකෝ.. පොඩි හදිස්සියකට ටවුන් එකට යන්න ඕන..." මහතුන්ට තවත් කෝල් කරන එකේ තේරුමක් නැති නිසා කලුවෙගෙ ආවරණ කලාපෙන් පුලුවන් ඉක්මනට බැහැර වෙන්න කියල හිතාගෙන, මම කෲ කැබ් එකේ ඩ්‍රයිවර්ට කෝල් එකක් ගත්තා.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.

Tuesday, January 1, 2013

වැවක වරුණ



ලිපිය ඇරඹුමේදීම කිව යුක්තක් ඇත. එනම් මෙම ලිපිය ලංකාවේ වාරි තාක්ෂණය පිළිබදව ලියැවෙන තාක්ෂණික ලිපියක් නොවන බවය. පුරාණ වාරි තාක්ෂණය, ඒ හා බැදුනු සංස්කෘතිය පිලිබදව, මෙවන් කෙටි ලිපියකින් කරුණු දැක්වීමක් කිසිසේත් කලනොහැකිය. එවැන්නක් සදහා එයටම වෙන්වූ බ්ලොගයක් පවත්තාගත යුතුය යන්න මාගේ අදහසය. මෙකී ලිපියෙහි අරමුණ රජරට (අනුරාධපුරය) කේන්ද්‍ර කරගත් මහ වැව් කිහිපයක් වසරේ ඉතාම සීමිත කාලපරාසයක් තුල පමනක් සිදුකරන්නාවූ, අතිශය චමත්කාරජනක සිදුවීම් පෙලක් ඔබ හමුවේ තැබීමය. එනම් "වැව වාන් දැමීම"ය.

ලංකාවේ ඉදිකල පලමු වැව ලෙස සැලකෙන්නේ, පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 377-307) ඉදිකල "අභය වැව" නොහොත් "බසවක්කුලම"යි. එතැන් සිට සිංහල රාජාවලියේ රජවරු බහුතරයක් වැව්, අමුණු, ඇළ, වේලි තනමින් ඒවා පිළිසකර කරමින් ලාංකීය වාරි කර්මාන්තය වඩා ඉහල තලයකට ඔසවා තැබීමට කටයුතු කලහ. මහසෙන් (ක්‍රි.ව. 274-301), වසභ(ක්‍රි.ව.67-111) , ධාතුසේන (ක්‍රි.ව. 455-473), මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186)  වැන්නවුන්, එකී රජවරුන් අතර ඉදිරියෙන්ම වේ.

වැවක් ඉදිකිරීමේ මූලික අරමුණු දෙකකි. එනම් ජල හිගයට සහ ජල අතිරික්තයට මුහුණ දීමය. වසරේ වැඩි කාලයක් තද නියගයෙන් පීඩා විදින රජරටට,සැලකියයුතු තරම වර්ෂාපතනයක් හිමිවන්නේ ඊසාන දිග මෝසමත් සමගය. ඊසාන දිග මෝසමෙන් ලැබෙන ජල පරිමාව ඇතැම් විට රජරට මහ වැව්වල උපරිම ධාරිතාව ඉක්මවා යයි. "වැව වාන්" දැමීම සිදුවන්නේ එවිටය.

වැවකට ජලය ලැබෙන්නේ ගංගාවකින්, ඇළ මාර්ගයකින් හෝ අහස් දියෙන්. එනිසා වැවට ජලය ඇතුලු වීම බොහෝවිට පාලනයෙන් තොරවේ. එහෙත් වැවක ජලය පිට කිරීම එසේ නොවේ. ඒ සදහා විධිමත් ක්‍රමවේදයක් පවතී. වැවක ජලය පිට කිරීමට භාවිතාවන යාන්ත්‍රිණ කීපයකි.

1). සොරොව්ව - සොරොව්වේන් ජලය නිදහස් කෙරෙන්නේ පරිභෝජන කටයුතු සදහාත් නඩත්තු කටයුතු සදහාත්ය.
2). පිටවාන / වාන් දොර‍ටු - වැවෙහි උපරිම ධාරිතාව ඉක්මවා වැවට ජලය ඇතුලු වන අවස්තාවක වැව් බැම්ම ආරක්ශාකර ගැනීම සදහා වැවේන් ජලය මුදා හැරීමට භාවිතාවේ.

වැවකට පිටවානක් පමණක් හෝ වාන් දොර‍ටු පමණක් හෝ එම යුගලම හෝ පැවතිය හැක. නිදසුනක් ලෙස තිසා වැවෙහි ඇත්තේ පිටවානක් පමණි.එහෙත් නාච්චදූව වැවට වාන් දොර‍ටුත්, පිටවානකුත් ඇත. පිටවාන සකසා ඇත්තේ වැව් බැම්මට මදක් පහතිනි. එනිසා අතිරික්ත ජලය ස්වාභාවිකවම වැවෙන් ඉවතට ගලායයි. එය බාහිර පාලනයෙන් තොර අතර වැවෙහි ජල මට්ටමේ වැඩිවීම අනුව ස්වාභාවිකවම සිදුවන ක්‍රියාවලියකි. නමුත් වාන් දොර‍ටු අවශ්‍ය අවස්තාවන්හිදී අවශ්‍ය ප්‍රමාණයට විවෘත කල හැකි නිසා විශාල වැව් වල පිටවානට අමතරව වාන් දොර‍ටු කිහිපයක්ද පවතී.

වැවකින් වාන් දැමෙන ජලකද බොහෝ විට මුදා හැරෙන්නේ තවත් වැවකට ජලය සැපයෙන ඇළ මාර්ගයකට හෝ ගංගාවකටය. එනිසා එක් වැවක් වාන් දමන විට තවත් වැව් කිහිපයක් වාන් දැමීම සහ ගංගා පිටාර ගැලීම සිදුවේ.

වැවක් වාන් දැමීම සැබවින්ම චමත්කාරජනක දසුනකි. රජරට වැව් අතරින් සුන්දරම වාන් දැමීමට හිමිකම් කියන්නේ රාජාංගනය ජලාශයයි. රාජාංගන ජලාශයෙහි වාන් දොර‍ටු සාපේක්ෂව උසින් පිහිටීම මීට හේතු වී ඇත. එහි අරීය වාන් දොර‍ටු 30ක් පවතින අතර තවත් දොර‍ටු 14ක් පිටවාන ලෙස ක්‍රයාත්මක වේ.


වාන්දාන රාජාංගනය (වැව් බැම්ම මත සිට)
වාන්දාන රාජාංගනය (වැව් බැම්මේ පහල සිට)
වාන්දාන රාජාංගනය (වැව් බැම්මට ඉහලින්)


රාජාංගනය වාන් දාන හැටි ;

නාච්චදූව වැව, II වන මුගලන් (ක්‍රි.ව. 551-561) රජතුමා විසින් කරවූ එකකි. දූපත් නවයකින් යුක්ත වූ නිසා මෙය "නාච්චා-දූව" ලෙසට හැදින්වෙන බවට අදහසකි. පිටවානට අමතරව යාන්ත්‍රික වාන්දොර‍ටු 6ක් මෙහෙ පවතී. දකුණු සොරොව්ව පිහිටා ඇත්තේ පිටවානට ඉතා ආසන්නයෙනි.

නාච්චාදූවේ පිටවාන
පිටවාන සහ වාන් දොර‍ටු
නාච්චාදූවේ වාන් දොර‍ටු හය

වාන්දොර‍ටු වලින් වාන්දාන ජලකද
නාච්චදූවේ සොරොව්ව

නාච්චාදූව වාන්දාන හැටි;
වීඩියෝඑක : සොරොව්ව, පිටවාන සහ වාන්දොර‍ටු
වීඩියෝදෙක : යාන්ත්‍රික වන්දොර‍ටු වලින් වාන්දැමීම

නුවරවැව හෙවත් අතීත "නකරවව්", පණ්ඩුකාභය (ක්‍රි.පූ. 377-307) රජුගේ නිර්මාණයකි. නූතන අනුරාධපුර නගරය මැදි කරගත් නුවර වැවෙහි යාන්ත්‍රික වාන් දොර‍ටු මෙන්ම පිටවානක්ද පවතී.

රුවන්වැලිසෑය සහ ජේත්වනසෑය පසුබිමෙහි දිස්වෙන නුවර වැව

නුවර වැවේ පිටවාන
නුවර වැවේ පිටවාන

නුවරවැව වාන් දාන හැටි ;


පූජා නගරය හෙවත් අතීත අනුරාධපුර නගරය මැදිකොට ඉදිවූ තිසාවැව දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 304-267) රජතුමාගේ නිර්මාණයකි. රජරට සෙසු වැව් වලට සාපේක්ශව කුඩා වැවකි. ඇත්තේ කුඩා පිටවානක් පමනි.

තිසාවැව
තිසාවැවේ පිටවාන

ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 455-473) කරවූ කලාවැව, කලා ඔය කෙන්ද්‍ර කරගත් දැවැන්තම වාරි ව්‍යාපෘතිය වේ. කලාවැවෙන් බැහැර කෙරෙන ජල කද රාජාංගන ජලාශයටත්, නාච්චාදූව ජලාශයටත් මුදා හැරෙන අතර ජයගග හෙවත් යෝධ ඇළ ඔස්සේ තිසා වැවටද යොමු කෙරේ. කලා වැවෙහිද පිටවානට අමතරව යාන්ත්‍රික දොර‍ටු දෙකක් පවතී.  
පිටවාන සහ යාන්තික වාන් දොර‍ටු



පිටවාන
පිටවාන


ලැබුවාවූ 2013 නව වසර සතුට, සෞභාග්‍ය වාන්දමන සුභම සුභ නව වසරක් වේවායි පතමි.

වැවක වරුණ