Saturday, May 25, 2013

ආලවක දමනය



අප ස්වාමී වූ තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි සමවත් සුවයෙන් වැඩ සිටින සමයෙක, අලුයම් භාගයෙහි, තුන්ලෝකවාසී සකල සත්වයා කෙරේ පතල වූ මහා කරුණා ගුණයෙන් යුක්තව, "අද කවරෙකුට නම් පිහිට වම්දැ"යි කරුණා නෙත විහිදුවාලූ සේක. එකල්හි අනාගාමී ඵලයට තරම් පින් ඇති "අලව්" නම් පින්වත් ලදරු කුමාරයෙක්, අලව් නුවර බියෙන් අලවා වූ "ආලවක" නම් දරුණු යක්ශයෙකුගේ ගොදුරු බවට පත් වන්නා වූ සැටි බුදු නෙතින් දකින සේක. ආලවක යක්ශ තෙමේද, පෙර භවයක කරනා ලද අකුශල කර්මයක් හේතුකොට මනුශ්‍ය මාංශයට ලැදියේ නමුත්, සෝවාන් ඵලයට තරම් ගුණ ඇත්තෙකි. කරුණු එසේ හෙයින් අමා මෑණී මහා කාරුණිකයාණෝ "දෙදෙනාටම පිහිට වම්හ"යැයි සිතා, තමන්  වහන්සේගේ ගද කිළියෙන් නික්මව, තනිවම පා ගමනින් අලව් නුවර ආලවක යක්ශ භවන වෙත නික්මුණ සේක.

බුදුහු යක්ශ භවනට වඩිනා කල්හි, බුදුහු එන පුවත් නොදත් ආලවකයා, තමන්ගේ අන් කාර්යයක් අරභයා වාසභවනයෙන් බැහැරට වන්නේ, ආලවකයාගේ පරිවාර ස්ත්‍රීනූත්, දහවල් අනුභවයට ගෙන ලදරු අලව් කුමරුත්, ඔවුන් බාරව හිදිනා ද්‍රභයාත් පමණක් භවනෙහි ශේෂ වන්නේය. හාත්පසම සවණක් ඝණ බුද්ධ රශ්මියෙන් එකාලෝක කරමින්, සංසුන් තාලයට පියවර නගමින්, මුවින් වදනකුදු නොබිදිමින්, බිමට හැරවුනු ඇස් ඇතිව, නිසල විල් තෙරෙක ඇදී යන හංස රාජයෙකු සේ ඉදිරියට වඩිනා බුදුහු ඇස ගැටුන ද්‍රභයා වහ වහා යක්ශ භවනෙන් නික්මව, බුදුහු වඩිනා පෙර මග ගමන් කොට උන් වහන්සේව සම්මුබ වන්නේය.

"ස්වාමීනී.. ආපසු වඩිනු මැනවි. මෙය නම් ආලවක නම් යක්ශයාගේ පුරයයි. ආලවකයා වනාහී මහා චන්ඩ යක්ශයෙකි. මනුශ්‍ය මාංශ භක්ෂණයෙකි රුසියෙකි. මිනිසුන් පණ පිටින් අල්වා, දෑතින් දෙපසට ඇද දෙපලු කොට, උන් මරහඩ තලද්දීම මුබයෙහි හොවා ගැන්මට තරම් රෞද්‍ර ගති ඇත්තෙකි. එනිසා ස්වාමීනී ආපසු වඩිනු මැනවියැ"යි  ද්‍රභයා බුදු සිරිපතුල මත්තෙහි වැද වැටෙමින් හඩ නගන්නට වින.

බුදුහු "මා මෙහි වැඩියේ ආලවක යක්ශ තෙමේත්, ලදරු අලව් කුමාරතෙමේත් උපන් මහා කරුණාවෙන් විනා, ආලවක කෙරේ බැදුනා වූ වෛරී සිතුවිල්ලෙන් නොවේ. එහෙයින් ද්‍රභය ඉවතයා"යි සංසුන් හඩින් පවසා, බිමට නැමුනු දෑස් මදකුදු ඉවත් කොට නොගෙන ඉදිරියටම වඩිනා සේක.

තම බස් නොඅසා ඉදිරියටම වඩිනා බුදුහු දුටු ද්‍රභය වෙවුලුම් ලන්නට වින. තමා නොමැති විටෙක අන් පුරුෂයෙකුට තම භවනට ඇතුලුවන්නට අවසර දුන් බව දත හොත් ආලවකයාගෙන් තමාට අනර්ථයක් මිස අර්ථයක් නොවන බව හේ මැනවින් දත්තේය. එහෙයින් තම දිවි කෙරේ උපන් මහත්වූ ස්නේහය මැඩගත නොහැකි වූ ද්‍රභයා, වහා ආලවක සොයා නික්මුනේය.

ද්‍රභයාගේ බස් ඇසූ ආලවකයා එක් වන්ම නිහඩ වින. මුව විවර වින. දෑතෙහි වූ යමක් අතෑරින. මද විරාමයකට පමණි. අනතුරුව ගින්නෙහි ලූ ලුනු කැට මෙන්, රත්වූ පාත්‍රයෙක ලූ අබ ඇට මෙන්, ආලවකයාගේ මුහුණෙහි අකුණු පුපුරන්නට වින. පැසුණු ගොරකා මද වන් දෙනෙත් පුලුල්ව විශාල වින. අගුරු පැහැ ගත් දත් දෙඇන්ද "කට කට" ගා එකිනෙක ගැටින. නාසයෙන් කල පිඹීම මහ පොළව කැළඹීයන තරම් වින. ද්‍රභයා වහ වහා ඉවතට පැන්නේය.

"හේ ආලවකගේ තරම් නොදනියි. අද මුඩු මහනට යස පාඩමක් උගන්වමි"යැයි මහා හඩින් උඩගු බස් කියා තමාගේ භවනය වෙත ඉගුලුනේය.

ආලවකයා පෙරලා පැමිණෙන කල්හි, බුදුහු ආලවකයාගේ සිංහාසනයෙහි වැඩ හිදිමින්, ආලවකයාගේ පරිවාර ස්ත්‍රින්ද, ලදරු අලව් කුමරුද පසෙකෙන් තබාගෙන මධුර මනෝහර හඩෙකින් ධම්ම වැසි වස්සවන්නට වූ සේක. කිසිදු බියක සේයාවකුදු නොමැතිව තම භාර්යාවන් පිරිවරා, තම ආසනයේහි වැඩ හිදිනා බුදුහු දුටු ආලවකගේ චිත්තය මදක් පැකිලුනේය. "මේ නම් එසේ මෙසේ පුරුෂයකු නොවේ. එහෙයින් බැහැරින් සිට උපක්‍ර යොදා හේ නැසිය යුතුය"යි සිතූ ආලවකයා තමාගේ මහානුභාවසම්පන්න බලපරාක්‍රමය පුපුරුවා හරිමින්නව වැසි” ඇතිකරන්නට වින.

“නව වැසි” වනාහී මිහිපිට කිසිදු සත්වයකුට ඉවසා වදෑරිය හැකි තරම් ඒවා නොවේ. ආලවකයා පලමුව මහා සුළගක් මැවීය. මහ පොළව ඇතුලාන්තයෙන් හටගත් , යුගාන්ත වාතය මෙන් පොළෝතලය වෙවුලවමින් ඇදී ගියේය. කල්ප කාලාන්තරයක් වැඩ වැසූ මහා වෘක්ෂයෝ හබරල දඩු මෙන් ඉදිරී පොළොවට පතිත වින. ඇත් අස් ආදීන්ගේ සවිමත් ගාල් පොලවල් මකුළු හුයෙක් මෙන් ඇමිණී, ගැලෙවී ගියේය. ලෝ තලයෙහි අවසානය ලගා වී ඇත්තාක් මෙන් මහා හඩෙක් නගමින් හැමූ මහා මාරුතය, අප මහා කාරුණිකයාන් අභිමුවට වන් කල කෙමෙන් වියෙකී, හීනවී, ශුන්‍ය වින. මහා කාරුණිකයානන්වහන්සේගේ සිවුරෙහි කොනක් හෝ සොලවන්නට ආලවකයා මැවූ මාරුතය සමත් නොවින. දුටු දෙවියොත්බ්‍රහ්මයොත් අහසෙහි පැන නැගෙමින් මහත් වූ හඩින් සාධුකාර නගන්නට වන.

ඉක්බිත්තෙන් ආලවකයා දිය වර්ෂාවක්, පහණ වර්ෂාවක්, ආයුධ වර්ෂාවක්, අගුරු වර්ෂාවක්, අලු වර්ෂාවක්, වැලි වර්ෂාවක්, කලල් වර්ෂාවක් හා මහා අදුරක් ආදී කොට ඇති නව වර්ෂාවම වස්සවන්නට වින. මහා ගංගාවෝ මහත් හඩ නගමින් ගලා විත් මහා සමුද්‍රයට වැදී නිසල වන්නාක් මෙන් එකී නව වර්ෂාවෝද බුදුහු හමුවෙහි වියෙකී, හීනවී, ශුන්‍ය වින.

තමා මැවූ මහා ප්‍රාතිහාර්යය උදෑසන සූර්යයා සම්මුඛ වූ පිණි දිය මෙන් වියෙකී යනු දුටු ආලවකයා, තමාගේ සිවු රග යක් සේනාව තමා අභිමුවට ගෙන්වූයේය. මෙකී යක් සේනාව දුටු දුටුවන් නෙත් බියෙන් අන්ධ කරවයි. කන් බියෙන් බිහිරි කරවයි. ඇග ලොමු ඩැහැ නංවයි. මහත් වූ ඝොෂාවක් නගමින් සිවුරග යක් සේනාවෝ බුදූහු අභිමුවෙහි මහත් වූ පෙරලි කරන්නට වන්හ. එදා අප මහා බෝසතාණෝ වෙසක් පුන් පොහෝදා ඇසතු බෝ රුක් මූලයෙහිදී මාරයාගේ මාර සේනාවෝ අභීතව සුන් කල හෙයින්, ආලවකයාගේ සිව් රග යක් සේනාවෝ බුදුහුට තරම් නොවූ සේක. කරුනු එසේ හෙයින් ආලවකයාගේ යක් සේනාවෝද මහත් වූ විලි උපදවා පලා යන්නට වින.

සියලු විධික්‍ර නිශේධනය වූ කල්හි, ආලවකයා තමා සතුවූවේලායුධය” නම් මහත් වූ විපත් ගෙන දෙන්නට සමත් වූ භයංකර ආයුධයෙන් බුදුහු නසම්යැයි සිතා, වේලායුධය අප මහා කාරුණිකයානන් වහන්සේ අභිමුවට විසි කලේය. මහා මේඝයක විදුලි ඇදෙන්නාක් මෙන් මුවහත් තල දිස්නය දෙමින්ද, මහ පොළොව ඇතුලාන්තයේ වූ ලෝදිය මතුපිටට ගලන්නාක් මෙන් දුම් දමමින්ද මහත්වූ වේගයෙන් වේලායුධය ඇදී එන්නේ, බුදුහු ඉදිරියෙහි පට සේලයෙන් ගෙත්තම් කල පා පිස්නයක් මෙන් බුදු සිරි පතුල් අබියස ඇද වැටින.

එකල්හි ආලවකයා සිතන්නේ, "මේ මහණ නම් දැමුනා වූ ඉදුරන් ඇත්තෙකි. කිසිදු තැතිගැන්මක් ඇති කල නොහැක්කේය. කිසිවකින් කම්පා නොවන සෙයැකි. එහෙයින් පලමු කොට, මොහු වෙහෙසවා පසුව පරදවන්නෙමි"යි අදිටන් කොට, "එම්බල මුඩු මහණ, නිවෙස්හිමි පුරුෂයා නොමැති කල්හි, එකී නිවැසට වැදී ඔහුගේ බිරියන් හා දොඩමලු වීම තොපගේ ශීලයට තරම් වන්නේද?? එහෙයින් වහා භවනෙන් විට වෙව"යි ගුගුලේය.

බුදුහුද "යහපති ආලවකය"යි මදුර හඩින් පවසා භවනෙන් ඉවතට වැඩි සේක.

මහා කාරුණිකයානන්ගේ අපූරු සුචච බවින් හදේ වූ කෝපාග්නිය මදක් සමනය වූ ආලවකයා "මේ නම් අපූරු මහණෙකි. පෙර සිතූ පරිද්දෙන්ම වෙහෙසවා නසමි"යි සිතා, "මහණ නැවත මෙහි එව"යි  ගුගුලේය.

බුදුහුද සුපුරුදු පරිද්දෙන්ම "යහපති ආලවකය"යි පවසා නැවතත් භවන තුලට වැඩි සේක. මෙපරිද්දෙන් තුන් විටක් බුදුහු භවනෙන් ඉවතටත්, නැවත් භවන තුලටත් වැඩි සේක. තුන් විටක් ආලවකයාගේ බසට බුදුහු නැමී යාමෙන්, ආලවකයා තුල උපන් කෝපය පහව ගියේය. බුදුහුද මේ බැව් දිව් ඇසින් දකින සේක.

සිව්වන විටද ආලවකයා, "මහණ භවනෙන් පිට වෙව"යි ගුගුලේය. එකල්හි බුදුහු "ආලවකය මම නොසෙල්වෙමි. තොපට රිසි දෙයක් කරව"යි ලෝ සතන් සුවෙන් සනහාලන මහා කාරුණික හඩින් පැවසූ සේක. ආලවකයාගේ සිතෙහිද උපන් කෝපය පහව ඇති හෙයින්, බුදුහුගේ බසට නැමී, වෙනයම් උපක්‍රමයකින් බුදුහු පරදවමියි සිතා, "එසේ නම් මහණ මම තොපට විසර්ජනය සදහා පැන සතරක් ගෙන හැර පාමි. ඒවා විසර්ජනයට අපොහොසත් වන්නේ නම් මාහේ භවනෙන් පලා යා යුතුයැ"යි බුදුහු හා ගිවිසෙන්නේය.

බුදුහුද "යහපති ආලවකය"යි, ආලවකයා හා ගිවිසෙන්නේය.

මෙකී පැන සතෙර හා ඒවායේ විසර්ජන ආලාවකයාගේ මවු පියන්ගෙන් දායාද වූ ඒවාය. ආලවකයාගේ මවු පියන් කසුප් බුදුරදුන්ට උවැටන් කොට මෙකී පැන සතෙර හා විසදුන් උගත්හ. ඒකී පැන සතෙර නම්, "කවර ධනයක් නම් උසස්ද?? " , "කවර හැසිරීමක් නම් උසස්ද?? " , " වඩා මිහිරි රසය කුමක්ද?? " , "කෙසේ ජීවත් වීම නම් ශේෂ්ඨද?? " යනුයි. බුදුහුද මෙකී පැන සතර මෙලෙසින් විසර්ජනය කල සේක. "ශ්‍රද්ධාව නම් වඩා උසස් ධනයයි." ,"ධර්මයේ හැසිරීම වඩා උසස්ය" , "මිහිරිම රසය ත්‍යයයි" , "පඥඥාවෙන් ජීවත් වීම වඩාත් ශේෂ්ඨය".

මහා කරුණිකයානන් වහන්සේ ආලවකයාගේ පැන සතෙර විසර්ජනය කිරීමත් සමගම ආලවකයාගේ මෝහාන්දකාරය, වලා ගැබෙකින් මිදී යන සුපුන් සදක් මෙන් පහව ගොස් පූර්ව ජාතියෙහි වඩනා ලද පුණ්‍ය ශක්තිය ජීවමාන වන්නට වින. කරුණු ආකාරයෙන් වටහා ගත් ආලවකතෙමේද තමා අතින් වන්නට ගිය මහත් විපත දැක විලිවැද, මහා කාරුණිකයානන් වහන්සේ අභිමුවෙහි වැද වැටී, උන් වහන්සේ සරණ ගියේය.



මෙම ජාල සටහන, සිරි සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේගේ පුරුස ධම්ම සාරථී ගුණය” උපහාරයක්ම වේවා!!!!



.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.