Monday, July 29, 2013

නිවහන බලා....

වල් වැදුනු පොල් කට්ටිය අස්සෙන් බූටෑව පීරගෙන, අපි තුන්දෙනා මූද පැත්තට ඇදෙන කොට හවස හයට, හය හමාරට විතර ඇති. ඉස්සරහින්ම ගියේ "ලකියා". ඉස්කෝලෙ ගමනට සමුදීලා සෑහෙන කාලයක් උනත්, ලකියාගෙයි මගෙයි අතිජාත මිත්‍රත්වය තාමත් එහෙම්මයි. මම යෝජනාව ගෙනාපු ගමන් බැහැයි නොකියා මේ ගමන සෙට් කරන්නත් ඒ මිත්‍රත්වය ගොඩක් දුරට බලපාන්න ඇති. 

ලකියා, ලකියට පිටිපස්සෙන් කැමරාව එල්ල ගත්ත මම. ඊටත් පිටිපස්සෙන් සාංඝික දානයකට කරඩුව වඩම්මනවා වගේ බොහෝම පරිස්සමෙන් ප්ලාස්ටික් බාල්දියක් එල්ල ගත්ත හර්ෂණ.

පොල් කට්ටියට සමාන්තරව අනික් පැත්තෙන් තිබුනෙ, ගාලු පාරෙ ඉදන් මූදට වැටිච්ච තාර පාර. පොල් කට්ටිය පහුකරලා තාර පාරට වැ‍ටුන ගමන් ලකියා කතාව පටන් ගත්තා.

"පොලීසියට අහු උනොත් නම් පු‍තෝ ඉවරයි...."

"ඇයි බන්... අපිට මුන් දුන්නෙ ප්‍රනාන්දු අන්කල්නෙ. පොරගෙන් ගත්තා කිව්වම ඉවරනෙ..."  

"යකෝ... උන්ට ලයිසන් තියෙනවා. ඒත් මුන්ව එහෙ මෙහෙ අරගෙන යන්න ලයිසන් නෑ. අහුඋනොතින් එකෙකුට පන්දාහයි. බලපන් එතකොට ඔක්කොම කීයක්ද කියලා..." ලකියගෙ කතාවට, ඈත අවරගිරෙන් මතුවීගෙන එන ඉරබ‍ටු තරුව, කීප ගුණයක් වැඩි වෙලා මට පෙනුනා. බාල්දියේ ඔක්කොම දහයයි. එකට පන්දාහ ගානෙ, දහයට පනස් දාහයි. අපි තුන්දෙනාගෙන් මම ඇර අනිත් උන් දෙන්නා තාමත් මව් පියන්ගෙන් පෝෂණය වෙන උන්. ඒක නිසා දඩයක් වැදුනොත් මුලු බරම එන්නේ මගේ කරට. 

"එහෙනම් ඉක්මනට යමන්... මුන් ටික අතෑරලා එන්න..." 

තාර පාර දිගේ මූදට කිට්‍ටු වෙද්දි, මම හැමදාම ආදරය කරන කරිජ්ජ හුලග පෙර මගට ඇවිත් අපිව පිලිගත්තා. මේ දවස්වල වාරකන් නිසා මූද ටිකක් සැරයි. වෙනදට බිංතඹුර වලින් වැහිච්ච වැල්ල, ගොඩ ඉමට එනකම්ම ‍රැල්ලට හේදිලා ගිහින්. කකුලෙ තිබුන බාටා ක‍ටු දෙක රෑන පදුරක් අස්සෙ ගහපු මම, ඩෙනිම දනිහ ගාවට එනකම් නවාගෙන වැල්ලට බැස්සා. ඊට පස්සෙ තමා "නිදහස් කිරීමේ මහා මෙහෙයුම" පටන් ගත්තෙ.



හර්ෂණ උස්සගෙන ආපු බේසමේ හිටියෙ දින තුනක් වයස කැස්බෑ පැටවු......

දගලන දැගලිල්ලට බේසම නොපෙරලුනා විතරයි

ලකියගෙ ඇදුරුම් කම නිසාම, ප්‍රනාන්දු අන්කල් බැහැයි නොකියා කැස්බෑ පැටවු ටික අපිට දුන්නෙ නහයෙන් අඩ අඩා. වාරකන් කාලෙ නිසා මේ කාලෙට කැස්බො බිත්තර දාන්න ගොඩට එනවා හොරයිලු. ඒක නිසා කැස්බෑ පැටවු බොහොම හිගලු.

පොටෝ ගහ ගහ ඉන්න, මාව අතාරිනවකො මිනිහෝ....

ක‍ටුවක් තිබුනට කැස්බෑවට, ඉබ්බට වගේ ක‍ටුව ඇතුලට රිංගන්න බෑ. අනික ඉබ්බගෙ වගේ හෙමින් ගමනකුත් උන්ට නෑ. අත පය හතර උනත් ගොඩක් ලොකුයි. බේසමෙන් එලියට අරන් වැල්ලේ තිබ්බ ගමන් උන් මූද පැත්තට දුවන්න ගත්තා. ටෙස්ටින් පාරකටත් එක්ක මම, එක පැටියෙක්ව ගොඩ පැත්තට හරවලා වැල්ලෙ තියලා බැලුවා, ඌ ගොඩට යයිද කියල. මොන,,, එක තැනම U ට'ර්න් එකක් ගහපු ඌ, වෙඩිල්ල වගේ දුවන්න ගත්තෙ සුපුරුදු මූද පැත්තටමයි.



පේළියෙන් පේළිය කියන්න ඕන නෑ නෙ... පල්ලෙහා තියෙන පින්තූර කීපය, කතාවෙ ඉතුරු ටික මටත් වඩා ලස්සනට කියල දෙයි....





හෝම්.. ස්වීට් හෝම්....



ප.ලි : කැස්බෑවො බිත්තර දාන්න එන්නෙ ලෝකෙ සීමිත වෙරළ තීරයන් කීපයකට. ලංකාවෙ දකුණු වෙරළ තීරයත් (ඉදුරුව සිට කොස්ගොඩ දක්වා) ඒ වගේ වාසනාවන්ත වෙරළ තීරයක්. ඉතින් බෙන්තර ගග පැනලා දකුණේ සිරි නරබන්න එනවා නම් මේ අපූරු සම්පත බලලා, අත් විදලා යන්නත් අමතක කරන්න එපා. මේ වගේ ෆාම් එකකදි ඕන වෙලාවක විවිධ වර්ගයේ කැස්බෑවො බලන්න පුලුවන්. හැබැයි මේ වගේ කැස්බෑවෝ මූදට දාන්න නම් හැම කාලෙදිම බෑ. ජනවාරි. පෙබරවාරි වගේ මාස වලදි තමා ඒ වගේ අත් දැකීමක් ගන්න පුලුවන් වෙන්නෙ. 

Monday, July 22, 2013

හස්තය



මේ සිද්දිය, මීට අවුරුදු පහකට විතර උඩදි සිද්ද වෙච්ච එකක්. සතිඅන්ත "මවුබිම" පත්තරේ එක්ක නොමිලේ හම්බවෙන ටැබ්ලොයිඩ අතිරේකයේ තිබුනු සම්මුඛ සාකච්චාවක් කියවද්දි තමා, මේ සිද්දිය ගැන වැලලිච්ච මතකය දූවිලි ගසලා දාල උඩට ආවෙ. සම්මුඛ සාකච්චාවට මාතෘකාව වෙලා තිබුනෙ, නිරෝෂා විරාජිනී මහත්මිය ඉදිරියෙදි පවත්වන්න යන "නිරෝෂා ලයිව් ඉන් කොන්සට්" කියන ඇගේම ඒක පුද්ගල ගී ප්‍රසංගය. දැන් කියන්න යන කතාවෙ ප්‍රධාන වස්තු බීජයත් ඇයම තමයි.

මට මතක හැටියට ඒ, අපි කැම්පස් ගිහින් දෙවැනි අවුරුද්ද. මායි "‍රැටියයි" කැම්පස් කැන්ටිමේ රුපියල් දෙකේ ප්ලේන්ටියක් රසවිදින ගමන්, මොකද්දෝ බරපතල සාකච්චාවක නිරත වෙලා හිටියෙ. එකපාරටම බෝල්ට් ඇණ දාල පොලවට හයි කරලා තිබුන ෆයිබර්-ග්ලාස් පු‍ටුවෙන් බිමට පැනපු ‍රැටියා, වර්ථමාන උසස් අධ්‍යාපන ඇමතිතුමා වගේ මහ හයියෙන් තප්පුලන්න පටන් ගත්තා.

"අඩෝ අර බලපන්... අන්න අරුං අර ෂෝ එක මේ පාරත් කරනවා..." ‍රැටියගෙ දකුණු අතේ දබ‍රැගිල්ල දිවෙච්ච පැත්තට මගේ ඇස් දෙක හැරවුනේ නිකම්ම. දිරච්ච වැට ඉනි වගේ තැනින් තැන හිටගෙන ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යාවෝ තුන් හතර දෙනෙක් පහුකරගෙන ගිහින් මගේ ඇස් දෙක නතර උනේ, කැන්ටිමේ බිත්තිය අයිනෙ හේත්තු කරලා තිබුන දැන්වීම් පුවරුව ලග. "හච් කපල් පැකේජ් විශේෂ දීමනාව. සිම් දෙකම 200යි - අමතන්න.. නිරෝෂ් 078........", "විශ්ව විද්‍යාලය ආසන්නයේම, ගැහැණු ලමුන් සදහා බෝඩිම් කාමරයක්" , " ... දින ගොඩ කැන්ටිමේදී මාගේ උපැස් යුවල නැතිවිය. හමුවූ කෙනෙක් දන්වන්න" වගේ විවිධාකාර පෝස්ටර් කීපයක් අතරෙන්, ‍රැටියා මට පෙන්නන්න දගලපු පෝස්ටරේ මම අදුර ගත්තා.
"සරසවි ගී සිසිල. ... දා සුමනදාස මැද මිදුලේදී. සංවිධානය වා.වි.ශි.සං."

"සරසවි ගී සිසිල" කියන්නෙ, ප්‍රමාණ සමීක්ෂකයෝ එහෙමත් නැත්තම් හුරුපුරුදු ව්‍යවහාරික නමින් කිව්වොත් QSල, වාර්ශිකව සංවිධානය කරන ක්ලැසිකල් මියුසිකල් ෂෝ එකට. "ගී සිසිල" තමයි මම දන්න තරමින් අපේ කැම්පස් එකේ වාර්ශිකව අඛංඩව පවත්වගෙන ආපු එකම සංගීත ප්‍රසංගය. කලාවට සම්භන්ද කිසිම පීඨයක් නොතිබුන නිසා, ඔය වගේ කලා කටයුතු අපේ කැම්පස්  එකේ සෙට් වෙන්නෙ බොහෝම කලාතුරකින්. ඒක නිසා "ගී සිසිලට" කැම්පස් එකේ තිබුන තැන බොහොම ඉහලයි. අනික "ගී සිසිල" සංවිධානය උනෙත් එහෙම ආවට ගියාවට නෙවේ. දිවයිනේ ඉන්න සුපිරි ගායක ගායිකාවන්ට විතරයි "ගී සිසිල"ට ගොඩ වෙන්න ආරාධනා ලැබුනෙ. කථනය, සංගීතය සැපයීම වගේ අවශේෂ දේවල්  උනත් සිද්ධ උනේ වෘත්තීය විශිෂ්ඨයන් අතින්.

"මචං ටිකට් එකක් ගන්න ඕන.." ‍රැටියා මගේ කනට කෙදිරුවා.

"යකෝ... තව කොච්චර කල් තියේද?? අනික තව ටික දවසකින් කැන්ටිමේ ඉන්න හම්බ වෙන්නෙ නෑ, ටිකට් එකක් නොගෙන..." ඔය වගේ "ෂෝ" එකක් තියෙන කාලෙට කැන්ටිමට යනවා කියන්නෙ, රෙදි ගන්න මුස්ලිම් කඩයකට යනවා වගේ වැඩක්. 

"කෙහම්මල... වෙන ඒවා වගේ නෙවේ බන් මේක. බලපන් මේ පාර එන ආටිස්ල ටික විතරක්, වික්ටර් රත්නායක.. අමරසිරි පීරිස්.. ටී.එම්... කසුන් කල්හාර.. දැනටමත් ටිකට් ඉවර වෙලාද දන්නෑ..." 

"අපෝ ඔය සෙට් එකේ සිංදු ඕන තරම් මගේ ලැපේ ඇති. "පෙන්" එකක් අරන් වරෙන් මම දෙන්නම්..." මගේ කතාවට ‍රැටියට නහුතෙට නැග්ගා.

"අනේ පලයන් බන් යන්න... උඹට ඕනෙ නම් මම දෙන්නම්. මම උඹ වගේ "මල්" සිංදුයි, "ඝන්ඨාර" සිංදුයි අහන එකෙක් නෙවේ..." ‍රැටියා කිව්ව කතාව ගොඩක් දුරට ඇත්ත. පොර ලාංකීය සුභාවිත ගීතයට පණ ඇරල ආදරය කරපු පොරක්. ටකරං වලට තඩිබෑමේ සංගීත කලාවෙන් ඔබ්බට ගිහින්, අධ්‍යාත්මයට අමතන සංගීත කලාවක් ගැන විශ්වාස කරපු පොරක්.

කොහොම හරි පොර පහුවෙනිදම කොහෙන්දෝ මංදා ටිකට් දෙකක් උස්සගෙන ආවා. වෙස් තට්‍ටුව බදින්න ඉන්න නැට්‍ටුවා සති ගානක් මස් මාලු නොකා පේ වෙනවා වගේ,  ‍රැටියත් ප්‍රසංගෙට සති කීපයක් තියලා ටිකට් එහෙම අරගෙන, වින්දනීය හැන්දෑවට සෙට් වෙනවා.

සති ගානක් ගිහින් ‍රැටියා පෙරුම් පුර පුර උන්නු දවස ආවා. වෙනදට එකක් නෑර ලෙක්චර්ස් යන ‍රැටියා, එදා හවස තිබුන ලෙක්චර් එකටත් නොගිහින්, නාල කරලා ෂෝ එක බලන්න සෙට් වෙලා. හවස් වෙද්දි මායි ‍රැටියයි, පොර අරගෙන ඇවිත් තිබුන ටිකට් දෙකත් අරගෙන ෂෝ එක බලන්න කැම්පස් එකට ගියා. පැය බාගයක් විතර පෝලිමේ කට්ට කාල, ටිකට් චෙක් කරන්න හිටපු සංවිධායක මංඩලේ හුරුබුහුටි නංගි කෙනෙකුට පැණි හිනාවකුත් දාගෙන ප්‍රසංග බිමට රිංග ගත්ත අපි දෙන්නා, ස්ටේග් එක හොදට පේන තැනකින් තහඩු පු‍ටු දෙකක් අල්ල ගත්තා.

සාම්ප්‍රධායික පිත්තල පහන දැල්වීම, අමුත්තන් පිලිගැනීම, ස්තූති කතා, ගුණ කතාවලට පස්සෙ, වේදිකාව පැත්තෙන් හෙමීට ගලාගෙන ආපු වයලීන් හඩක් එක්ක ප්‍රසංගය පටන් ගත්තා. මුල්ම ගායකයා අමරසිරි පීරිස් මහත්තයා. අපරාදෙ කියන්න බෑ, වෙන මියුසිකල් ෂෝ වල තියෙන හූ හඩ, විසිල් පාරවල් මේකෙදි කොහෙන් ගියාද නෑ. කට්ටියම මීයට පිම්බා වගේ. ස්ටේජ් එකෙන් එන සද්දෙ නැත්තම්, ඉදික‍ටුවක් බිම වැ‍ටුනත් ඇහෙන ගානයි.

අමරසිරි පීරිස්ට පස්සෙ වික්ටර් රත්නායක. ඊට පස්සෙ ටී.එම්. ජයරත්න. ඔය විදිහට ප්‍රසංගය කිසිම ආන්තරාවක් නැතිව ජයටම නැගලා යනවා. මට එහා පැත්තෙ හිටපු ‍රැටියගෙනුත් කිසිම හා හූවක් නෑ. සංගීත රසයෙන් මත් වෙලා, උන්නු පු‍ටුවෙම නින්ද ගිහිල්ලාවත්ද කියල මුලින් සැක හිතුනත්, නින්ද ගියානම් පලාතටම ඇහෙන්න, මහ සද්දෙන් කොට ඉරන්න පටන් ගන්න බව දන්න නිසා මගේ හිතේ උපන්න සැකය එහෙම්ම පහවෙලා ගියා. අල්ලපු පු‍ටුවෙ ඉන්න ‍රැටිය හෙන සිරාවට සිංදු අහනවා. ගංජා ගහපු ගැටයෙක් වගේ ‍රැටියගෙ ඇස් දෙක බාගෙට පියවෙලා. හිටපු ගමන් අත මූන ඉස්සරහට ගෙනැල්ලා, අමරදේව මාස්ටර් වගේ එහෙටයි මෙහෙටයි කරකවනවා. ‍රැටියගෙ මේ විකාරෙ බලං ඉන්න බැරි තැන මම පොරට වැලමිටෙන් හීනියට ඇන්නා.

"කරදර කරන්න එපා බන්... මේ සිංදු අහන්න ඕන බොක්කෙන්ම. දැහැනට සම වැදිලා... උඹත් එහෙම ට්‍රයි කරපන්. මාර ෆීලින් එකක් එන්නෙ..." වෙනදට වඩා පොරගෙ කටහඩ ලයාන්විත වෙලාද කියලත් මට හිතුනා. 

ඔය අතරෙදි තමයි ප්‍රසංගයේ එකම ගායිකාව වෙච්ච නිරෝෂා විරාජිනී මහත්මිය වේදිකාවට ගොඩ උනේ. අත් නැති හැට්ටයක් ඇදලා දිස්නෙ ගහන සාරියක් ඊට උඩින් පොරවාගෙන, කොන්ඩෙ කඩා දාගෙන හිටි එතුමියව දැක්කම බාගෙට නිදාගෙන හිටපු කීපදෙනෙක්, නින්ද බල්ලට දාල, හරි බරි ගැහිල පු‍ටුවල වාඩි වෙනවා මම දැක්කා.

"ඒ මචං.." මුලින්ම මම හිතුවෙ ඒක මගේ හිතේ මැවිච්ච සද්දයක් කියලා. ඒත් එහෙම නෑ. සද්දෙ ආවෙ අල්ලපු පු‍ටුවෙ හිටපු ‍රැටියගෙන්. 

"ඒ මචං.." ‍රැටියා ආයෙත් මගේ කනට කෙදිරුවා. මේකට රෙ*න බරක් වත් හැදිලද මේක අස්සෙ. මට එහෙම හිතුනා. කොහොමත් මම කලින් කතා කරපු වෙලෙත් මුගෙ මූණෙ එහෙම ලුක් එකකුත් තිබුනා වගෙ මට යන්තම් මතකයි.

"මොකෝ බන්?? "

"අඩෝ බලපන්කො අරයයිගෙ ගාතෙ...." අත් නැති හැට්ටයෙන් නිරාවරණය වෙච්ච, විරාජිණී මහත්මියගෙ අත පෙන්නන ගමන් ‍රැටියා මගේ කනට කෙදිරුවා.

මෙච්චර වෙලා ‍රැටියා කිව්ව විදිහට "දැහැනක්" බැදගෙන, ඒකට සමවැදිලා උන්නු මම, ඒකත් කඩාගෙන තහඩු පු‍ටුවට ඇදගෙන වැ‍ටුනා.


ප.ලි: උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


Sunday, July 14, 2013

ඔය දිගේ.......



ඒ, මාස ගානක් පුරාවට රජරට පොළව ගිණියම් කරවපු වාර්ශික නියගය නිමා කරමින් ඊසාන දිග මෝසම පටන් ගත්ත මුල් දවස් කීපය. සුපුරුදු පරිද්දෙන්ම එවරත් මෝසමෙන් සරු ඵල භුක්ති විදිමින් හිටියෙ දිවයිනේ නැගෙනහිර සහ ඊසාන දිග වෙරළබඩ කලාපය. පොළොන්නරුව, අනුරාධපුරය වගේම ඒ වෙනකොට මම වැඩ කර කර හිටපු කන්තලේ කිට්‍ටුවටත් මහ වැසි වැටෙන්න ගන්නෙ තවත් දින කීපයක් පස්සට පහු වෙලා. කොහොම උනත් ඊසාන දිග මෝසමේ අතුරු ඵල ටිකෙන් ටික අපි හිටපු පැති වලටත් දැනෙන්න ගත්තා. දිය කදුලක් නැතිව පතුලටම පෑදුනු ඔයවල් දිගේ උඩහට වහින වැහිවතුර, බින්දුව බින්දුව ගලන්න උනා. ඒ ලපටි වතුර පාරවල් එක්ක, මෙච්චර කාලයක් නොනැසී පණ ගැටගහ ගත්තු කොළපාට පල් වතුර පිරුන හුදකලා ගල් වලවල් එකිනෙකා යාවෙන්න ගත්තා. එක ‍රැයෙන්, දෙකෙන් ලපටි දිය පාරවල් පෘෂ්ටිමත් ඔයවල් බවට පෙරලෙන්න පටන් ගත්තා.

අපේ වැඩබිම උනේ "කිතුල් උතුව" පාලම. හබරණ ඉදන් කන්තලේ යද්දි "හත‍රැස්කො‍ටුව" පහුකරලා ටික දුරකදි තමා, කන්තලේ වැවට වතුර සම්මාදම් කරවන ඔයක් හරහා ඉදිවෙච්ච "කිතුල් උතුව" පාලම හම්බ වෙන්නෙ. හබරණ-කන්තලේ පාර නවීකරණයත් එක්කම, මේ පාලම නවීකරණයත් පටන්ගෙන තිබුනා. නියං සමය මැද වැඩ පටන් ගත්ත නිසා, වැඩ බිම ඉදිවෙලා තිබුනෙ ඔයේ මායිමේ. අනික් අතට පාලමේ වැඩ වලට ඕන පලංචි එහෙම බැදලා තිබුනෙත් වේලිච්ච ඔය මැද. ඒකනිසා කලින් කිව්ව විදිහට හිටි අඩියෙම ඔයේ වතුර වැඩි වෙන්න ගත්තහම, පාලමේ වැඩ අතරමග නතර කරන්න සිද්ද උනා. 

ලොක්කට කොච්චර පාඩු උනත්, පාලමේ වැඩ නතර වෙච්ච එකෙන් උපරිම ලාභය හම්බ උනේ අපිට. උදේට සයිට් එකෙන් ඕන් වෙලා පාලම ගාවට එන අපි, පාලම අයිනෙ අටවගෙන තිබුනු ලෑලි මඩුව ඇතුලට වෙලා හවස් වෙනකම්ම පාලමේ තනි ‍රැක්කා. මුල්දවසෙ ඔය විදිහට පාලම අයිනට වෙලා බකන්නිලාගෙන ඉන්න වැඩේ බොහොම සාර්ථකව කරගෙන ගියත්, දෙවැනි දවස වෙනකොට ඒ වැඩේ තිත්ත උනා.

"මල්ලි යමුද කැලේ පැත්තෙ පොඩි රවුමක් ගහල එන්න..." යෝජනාව ගෙනාවෙ පාලමේ වැඩ බාරව හිටපු T/O, අනුර අයියා. පාලමට එපිටින් ඔය දිගට තිබුන මහ මූකලානට අනුර අයියා මීට කලිනුත් පාරක් දෙපාරක් ගිහිල්ලා තිබුනා. බොහොම උග්‍ර පරිසර ලෝලියෙක් විදිහට තමයි, අනුර අයියව අපි හැමෝම අදුරගෙන හිටියෙ. කොළඹ ගෙන්දගම් පොළවෙ හැදිච්ච එකෙක් උනාට, ගහ කොල ගැන, සත්තු සර්පයෝ ගැන, බෙහෙත් ජාති ගැන වගේම යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ගැන පොරගෙ දැනුම අදහන්න බැරි තරමටම ඉහලයි.

ඒකමතිකව සම්මත වෙච්ච අනුර අයියගෙ යෝජනාව අනුව, ගමනට මායි අනුර අයියටයි අමතරව, උප කොන්ත්‍රාත්කරු මඩුගල්ලෙයි පොරගෙ ගෝලයෙකුත් එකතු උනා. මඩුගල්ලෙත් උඩරට පාරම්පරික වෙද පරපුරක පුරුකක්. අනුර අයියට වගේම පොරටත් ගහකොල, සතා සර්පයා ගැන තිබුනෙ හසල දැනුමක්.

පාලම යටින් ඔයට සමාන්තරව ඉවුර දිගේ ගමන් කරපු අපි මීටර සීයක් විතර ගියාම ඔය හරහා අනික් ඉවුරට එගොඩ උනා. වෙලාව දවල් දොලහට විතර කිට්‍ටු උනත්, ඉවුර දිගේ පැතිරිච්ච යෝධ කුඹුක් ගස් යායට පිං සිද්ද වෙන්න ඉවුර දිගටම තිබුනෙ, මහන්සිය මරණ අපූරු සිසිලසක්. නියං කාලෙ ගල් වලවල් අස්සෙ රිංගගෙන පණ බේරගත්තු මාලු පැටවු, අලුතෙන් පණ ගහල එන ඔයේ ඒ මේ අත කරක් ගැහුවා. නියං සමේ නිට්ටාවටම දුරු නූනත්, ඊසාන දිග මෝසමේ පෙරමග සළකුණු විද්‍යාමානවෙමින් තිබුන නිසා, වේලිච්ච ගහ කොල වල පවා අමුතු සජීවී බවක් පේන්න තිබුනා.

ඔයේ ඉවුර දිගේ සෑහෙන දුරක් ගියාට පස්සෙ, ඔයෙන් ඈතට ඇදිච්ච හීන් අඩි පාරක් හම්බ උනා. ඒ අඩි පාර, වෙල් යායක් වටේ ගිහින් කෙලවර උනේ අපි යන මූකලානෙන්. වපසරියක් ගැන හරියටම ඉගියක් ගන්න බැරි තරම් ඈතට විහිදුනු වෙල්යාය, බොහොම මෑතක අස්වනු කපාපු එකක්. රූස්ස ගහ කොල නැති වෙල්යාය වටේ, ගිනි මද්දහනෙ යන එක නම් හොදට මහන්සි වෙන වැඩක්. ඒත් වෙල්යාය පහු කර ගමන් ඇතුලු වෙච්ච මූකලාන අපේ ඒ මහන්සිය බොහොම ඉක්මනට නිව්වා.

අනුර අයියගෙ නොනවතින විස්තර කථනය ආරම්භ උනේ මූකලානට පය තියපු ගමන්. අර ගහේ නම මේක, මේ ගහේ දළු ගන්නෙ මේ ලෙඩේට, ගුරුකම් වල මල් පැලට ඕන ගහක් මේක, වගේ හැම ගහකම, මලකම, වැලකම ගුණ කථනයක් අනුර අයියා ස්වේච්චාවෙන්ම කරන්න ගත්තා. අනුර අයියා කියපු හැම දෙයක්ම වගේ මඩුගල්ලෙත් අනුමත කරපු විදිහෙන් මට තේරුනේ අනුර අයියගෙ අසීමිත පාරිසරික දැනුමෙ තරම.     

"මම මල්ලී... පොඩි කාලෙ ඉදලම ගහ කොල වලට ආදරේ කරපු මිනිහෙක්. අපි කොච්චර සල්ලි හම්බ කරත් ඒවයෙන් ගන්න බැරි සතුටක් මේ ගහ කොල වලින් තියෙනවා.." ඇත්තටම අනුර අයියගෙ ජීවන දර්ශණය හරිම සරල, පරිසර හිතකාමී එකක්. 

මූකලානෙ තව ටිකක් දුරට යනකොට පරණ ගල් පඩි කීපයක් එක්ක, අපිලිවෙලට විසිරෙච්ච ගල් කණු කීපයක් හම්බ උනා. අනුර අයියා කියන විදිහට රජ කාලෙ මේ මූකලාන හරහා අනුරාධපුරයට යන්න ගල් පඩි අල්ලපු පාරක් තිබිලා තියෙනවා. ඒත් කාලයාගෙ ඇවෑමෙන් ඒක විනාස වෙලා ගිහිල්ලා.

"අපේ රටේ පුරාවිද්‍යා කියලා එකක් තිබුනට කිසිවැඩක් නෑ මල්ලි. මේ වගේ ජාතික සම්පත් මතුකරලා උඩට ගන්න උන්ට ඕන කමක් නෑ.."

අපි මූකලානෙන් එළියට ආවෙ පැය තුන හතරක් ඒක ඇතුලෙ හොදටම කරක් ගහලා ඉර බහින්න ඔන්න මෙන්න කියල තියෙද්දි. ඒ එන ගමනෙදි අලුත වැටිච්ච මුව අං තට්‍ටුවකුයි, මීහරක් අණකුයි, තව බෙහෙත් පැළ කීපයකුයි එකතු කරගන්න අපිට පුලුවන් උනා. මුව අං තට්‍ටුවටත් වඩා ආදරෙන් මී හරක් අණ, මඩුගල්ලෙ තුරුල් කරන් හිටියෙ, පොරට බෙහෙත් දාන්න කොපුවක් ඒකෙන් හදාගන්න පුලුවන් නිසා.
                                       
ට්‍රේනින් එක ඉවර වෙලා කන්තලෙන් ආපහු එන්න කලිනුත් තව පාරක මම, අනුර අයියත් එක්ක මූකලානෙ රවුමක් ගැහුවා. ඇත්තටම ඒවා බොහොම අපූරු ජීවන අත්දැකීම්. හැබැයි හොදම අත්දැකීම හම්බ උනේ ඊට ටික කාලෙකට පස්සෙ. 

කන්තලෙන් ආවට පස්සෙ කැම්පස් එකේ එකදිගට සෙට් වෙච්ච වැඩ නිසා කන්තලේදි හම්බ වෙච්ච මිනිස්සුන්ට කෝල් එකක් වත් දීගන්න මට බැරි උනා. ඔහොම ඉන්න අතරෙදි තමා මාත් එක්ක එකටම හිටපු රංජි අයියා කෝල් කරේ

"හේලෝ.. තිළිණ මලයා නේද?? "

"අම්මට සිරි.. රංජි අයියා.... ඉතින් කොහොමද??"

"කොහොමද තමයි. කෝ යකෝ.. ‍තෝ යනකොට පොර ටෝක් දීලා ගියේ, ගිහින් කතා කරන්නම් කියලා. කෝ කතා කරාද?" රංජි අයියා දුරකථන සංවාදය පටන් ගත්තෙම සාධාරණ චෝදනාවකට මාව වැරදි කාරයා කරගෙනම. සමාව ගැනීම, බැනුම් ඇසීම් නැවත සමාව ගැනීම් වලින් වට කීපයක් ගිහාට පස්සෙ රංජි අයියා සුපුරුදු සුහදසීලී කතාබහට මුල පිරුවා.

"කොහොමද කට්ටියගෙ සැප දුක.. අනුර අයියලා එහෙමත් හොදින් ඉන්නවද??" මගේ පැරණි ගමන් නායකයා ගැන, කතාව මැදදි  මම ඇහුවා.

"අඩෝ උඹට ආරංචි නැද්ද?? අනුරයා නිධන් වගයක් හාරන්න මූකලාන පැත්තෙ රිංගගෙන ඉන්දෙද්දි ගමේ උන්ට මාට්‍ටු වෙලා. ගමේ උන් වට කරගෙන නෙලලා. අපේ ලොක්කා නිසා තමයි යන්තම් පොලීසියට බාර නොදී ශේප් කර ගත්තෙ. හැබැයි පොරට ජොබ් එක නම් නැති උනා...." රංජි අයියගෙ කතාවෙන් මම මොහොතක් ගොලු උනා.

"... උඹත් ඒ දවස් වල ඕකා එක්ක කැලේ රිංගුවා නේද?? උඹත් හිටියනම් ශුවර් එකටම පෝරියල් එකට සෙට් වෙනවා..." මුත්‍රාශයෙ හතර මායිමකවත් තිබුනෙ නැති මහා මුත්‍රා බරක්, එකපාරටම මට දැනුනා.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


පසු සටහන :           මගේ බ්ලොග් එකට හැදිච්ච ලෙඩක් නිසා කාලයක් බ්ලොග් පෝස්ට් අප්ඩේට් උනේ නෑ.
"චන්දන", "ඩූඩ්", "සෙන්නා", "අටම්" ඇතුලු ගොඩක් දෙනා ඒකට පිලියම් කිව්වා. ඒත් ඒ එක බෙහෙතක් වත් මේකට ඇහුවෙ නෑ. අන්තිමේදි නිහඩ සහන් ලෙඩේ අල්ල ගෙන බේතක් උන්නා. දැන්නම් ලෙඩේ ගොඩ වගේ. මේ පෝස්ට් එක අද ඕගොල්ලො ලගට කරදරයක් නැතුව එන්නෙ සහන්ට ස්තූතිවන්ත වෙන්න. බ්ලොග් එකකට ලෙඩක් හැදුනම ඒකෙ අමාරුව දන්නෙ ඒ විදිහටම දූක් විදපු තවත් බ්ලොග් කාරයෙක්. මම හිතන්නෙ "ඩූඩ්"ට ඒ ගැන හොද අත්දැකීමක් තියෙනවා.

බ්ලොග් එක අවුල් කාලෙ ඒකෙ පෝස්ට් වලට පබ්ලිසිටිය දුන්න "අටමා","සෙන්නා","චන්දන" ඇතුලු බ්ලොග් කරුවන්ට වගේම, වෙච්ච දේ දැකලා, පැතුමකින් හරි උදව් කරපු සියලූම සහෘදයන්ට නැවත් නැවතත් ස්තූති වන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

Sunday, July 7, 2013

සුනඛයා නොහොත් සපාකන්නා



ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත කොරියන් කම්පැණියක් තමයි, දැන් මම ඉන්න ප්‍රොජෙක්ට් එකේ කොන්ත්‍රාත්කරු විදිහට වැඩ කරන්නෙ. ලංකාවෙ බොහොම ජනප්‍රි කොරියානු මෝටර් රථ සංනාම දෙකෙන් එකක් වෙච්ච මේ කම්පැණිය, දැන් මම ඉන්න ප්‍රොජෙක්ට් එක වගේම ලංකවෙ මහා පරිමාණයේ ඉදිකිරීම් කිහිපයකටම දායක උනු, අපි කාටත් හුරු පුරුදු එකක්.

මීට කලින් සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉන්න දේශීය  "දැවැන්තයො" එක්ක, "මහා පරිමාණව්‍යාපෘතිවල වැඩ කරල තිබුනත්, "දැවැන්ත", "මහා පරිමාණ" කියන වචන වල නියම පරිසමාප්ත අර්ථය අදුරගත්තෙමේ කොරියන් කම්පැණිය නිසා. "කොරියො" සතු යන්ත්‍ර/සූත්‍ර බලය, අත්දැකීම් සපිරි මානව සම්පත, හිතාගන්නත් බැරි තරම් ඉහලයි.

ව්‍යාපෘතිය කොච්චර දැවැන්ත උනත්, කම්කරුවන්, යන්ත්‍ර ක්රියාකරුවන්, වැඩ සුපවයිසර්වරුන් ඇරෙන්න ඉහල කලමණාකාරීත්වය සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නෙ "කොරියොන්"ගෙන්. සමහරවිට මේ වගේ දැවැන්ත වැඩක් කරද්දි හම්බවෙන අත්දැකීම වෙනත් ජාතියක් එක්ක බෙදාගෙන, අනවශ්‍ය තරගකාරීත්වයක් නිර්මාණය වීම වලක්වන්න වගේ තීරණයක් අරගෙන තිබුනද දන්නෙත් නෑ. මොනවා උනත් ප්‍රොජෙක්ට් එකේ ලොකු පුටු හැම එකකම හිටියෙ, ආනයනික "කොරියන්" ජනතාව.

සයිට් එකට ගියපු මුල්ම දවස් වල, බාගෙට ඇස් පියාගෙන, කම්බිලි පණුවො වගේ සුදට සුදේ ඉන්න "කොරියො" එකෙක්ගෙන් තව එකෙක් වෙන් කරලා අදුරගන්න මට හෙන ගේමක් දෙන්න උනා. උන් හැම එකාගෙම ඇස් පුන්චියි, කොන්ඩෙ උලයි, දැලිරැවුල් නැති මූණ තම්බපු අලගෙඩියක් වගේඒත් පස්සෙ පස්සෙ උන් හැම එකාටම ආවේණික පොඩි පොඩි වෙනස්කම් මම අදුර ගත්තා.

නම් අතින් ගත්තත් උන් හැම එකාටම තියෙන්නෙ එක ලගින් යන නම්. මුලු සයිට් එකටම "පාක්" (park) තුන් දෙනෙක්ට වැඩියෙන් ඉන්නවා. මං හිතන්නෙ "පාක්" කියන්නෙ කොරියාවෙ වාසගමක් වෙන්න ඇති. අපේ සයිට් එකේ උන් ලේසියට ඔය "පාක්" තුන් දෙනා වෙනම බෞතීස්ම  කරලා තියෙනවා. , "මහ පාක්", "වැලි පාක්","ගස් පාක්" විදිහට. "මහ පාක්" කියන්නෙ කොරියොන්ගෙ ලොක්කට. මූදෙන් වැලි හාරලා ගොඩ දාන එක බාරව හිටපු පාක්, "වැලි පාක්". සයිට් එකේ ලෑන්ඩ්ස්කේපින් බලන්න හිටපු කොරියා තමයි, "ගස් පාක්".

"ගස් පාක්", "වැලි පාක්" අතරෙ හිටපු සුවිශේෂී චරිතයක් තමයි, "වොහොංග්". හැබැයි කොරියො ඇර වෙන කිසිම එකෙක් "වොහොංග්" කිව්වට පොරව අදුරන්නෙ නෑ. ඒත් "බල්ලා" කිව්වොතින් නම් සයිට් එකේ හැම වැලි කැටයක් ගානෙම පොරව දන්නවා.

කොරියන් කාරයෙක්ට "බල්ලා" කියල නමක් වැටුනා කිව්වම, මේක කියවන ඕගොල්ලන්ට වගේම ලියන මටත් මුලින්ම ආවේ අපූරු අදහස තමයි. මොකද අපිට බල්ලා බල්ලෙක් විදිහට පෙනුනට, කොරියොන්ට බල්ලව පේන්නෙ කුකුළෙක්, ඌරෙක්, හරකෙක් වගේම තවත් එක ඇවිදින රස බොජුනක් විදිහට නිසා. ඒත් "වොහොංග්", "බල්ලා" උනේ හේතුව නිසා නෙවේ. මිනිහෙක් උනත්, පොරගෙ ගති ලක්ෂන මිනිස්කම ඉහ වහා ගිහින් සුනඛයෙක්ගෙ සීමාවට ලගා වෙච්ච නිසා. කොටින්ම "වොහොංග්" කියන්නෙ දෙපයින් ඇවිදින "බල්ලෙක්" නිසා.

"වොහොංග්" ගැන මුලින්ම මට කිව්වෙ සයිට් එකට ආපු මුල්ම දවසෙ, මගේ ඉමීඩියට් බොසා, "ගණේ" අයියා.

"මේකෙ ඉන්නවා බල්ලා" කියලා එකෙක්. උඹ එහෙම ඌත් එක්ක ඩීල් කරන්න යන්න එපා. මම ඌව ටැකල් කරන්නම්. උඹලා ඌත් එක්ක ඩීල් කරන්න ගියොත් මරාගෙන තමයි නවතින්නෙ.." "බල්ලා" ගැන හාරවුස්සන්න  ඕන සිතක් පහල උනේ ගණේ ලොක්කා උපද්දවපු කුතුහලෙන්.

"බල්ලා" ගැන සයිට් එකේ උන් කියපුවයි, පොර ගැන ඇහුවහම කට්ටියගෙ මූණුවල මැවිච්ච හැඩතල වලිනුයි මට බල්ලා ගැන හොද අවබෝධයක් ආවා. කොරියන් කම්පැණිය පැත්තෙන් "ඉදිකිරීම් කළමණාකරු" (construction manager) කියන තනතුර තමයි බල්ලට හම්බ වෙලා තිබුනෙ. ලංකාවෙ කම්කරුවොයි, වැඩ සුපවයිසර්වරුයි කළමණාකරනය කරන එක තමයි පොරගෙ මූලික කාර්යය. කාර්යය කරන්න යද්දි, දකින දකින එකාගෙ ඇගට බුරාගෙන පැනීමේ ස්වාභාවය නිසා තමයි, පොරට "බල්ලා" කියලා නමක් වැටෙන්න මුල්වෙලා තියෙන්නෙ. එක අතකට ලංකාවෙ අයියලගෙන් වැඩක් කරවාගන්න එක, බල්ලෙක්ගෙ නකුටෙ ඇද අරින තරම් අමාරු නිසා පොර, "බල්ලෙක්" විදිහට අනුවර්තනය වෙච්ච එක මහ ලොකු පුදුමෙකුත් නෙවේ

බුරාගෙන පනින එකට අමතරව "බල්ලා" ගැන පැතිරිච්ච තවත් බලු පුරාවෘත්ත කීපයක් තිබුනා. , කකුලෙ තියෙන මේස් එක ගලවලා තමන්ගෙ රියදුරාට නහයට තදකරන් සිටීමට බල කිරීම, සපත්තුව ඈතට විසිකොට නැවතරැගෙන එන ලෙස අණ කිරීම වගේ අන්තිම පහත් තිරිසන් දේවල්. අනික බල්ලට තද උනාම බනින්නෙ කාටද, කවුරු ඉස්සරහද කියන එක අදාල නෑ. පොරට හිතුනද, පොර බිරුවා.

කොරියාවෙදි හැදිච්ච නැති බල්ලව, ලංකාවෙදි හදන්න අපේ අයියල එක පාරක් හෙන ගේමක් දීලා තිබුනා. බල්ලව නැවත මිනිහෙක් කිරීමේ පුනුරුත්තාපන මෙහෙයුම දියත් උනේ සයිට් එකේ හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ. තමයි කාමරේකට දාලා ලංකාවෙ ක්‍රමයට "පොල් අඩි" සංග්‍රහයක් ලබාදීම. කොහොමත් අපි ආගන්තුක සත්කාරයට ජාතියක්නෙ. සංග්‍රහය අවසානයෙදි බල්ලගෙ දකුණු අත දෙකට කැඩුනත්, පොරගෙ බලු ගති මග ඇරුනෙ නම් නෑ.


"අපි දැන් "බල්ලට", බල්ලා කියන්නෙ නෑ..." දවසක් සයිට් එකේදි සුපවයිසර් කෙනෙක් කිව්වා.

"ඇයි ?? "  'බල්ලට, බල්ලා නොකිය පූසා කියන්නද' කියලා අහන එක අමාරුවෙන් හිතේ තදකරගෙනම මම ඇහුවා.

" ඒකා දැන් දන්නවා අපි බල්ලා කියන්නෙ ඌට කියලා. වැඩේ කියන්නෙ "බල්ලා" කියන වචනෙ තේරුමත් දන්නවනෙ.."

"හ්ම්ම්ම්.. එහෙමද කවුරුහරි කියල දෙන්න ඇති. දැන් ඉතින් "බල්ලා" කියලා ඉවරයි.."

"හැක්.. අපේ උන් අන්න ඌට අලුත් නමකුත් දාල. සුනඛයා”. දැන් කට්ටියම "බල්ලට" කියන්නෙ "සුනඛයා" කියලා.." ශ්‍රී ලාංකික අපි කවදාවත් ලේසියෙන් පරාජය බාර ගන්න ජාතියක් නෙවේ කියල වෙලේ මට හිතුනා.

"ඒත් ඔය නමත් කවදා හරි මාට්ටු වෙයිනෙ..."

"එදාට ඉතින් "සපාකන්නා" කියලා තමයි දාන්න වෙන්නෙ.. " සුපවයිසර්ගෙ සමාන පද පිලිබද දැනුමෙන් මම පුදුම උනා. පොර නම් අනිවා පහේ ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච එකෙක් වෙන්න ඕන.

මොනවා උනත් ලංකාවෙන් යනකම් "වොහොං", පොරගෙ සුරතල් නාමය නම් මාට්ටුවෙන එකක් නෑ.



.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.