Sunday, May 12, 2013

පාන් පාටිය



දුම්රියේ දිනපතා ගමන් ගන්නා  කාර්‍යාල මගියෙකු බවට පත්වී මාසයක් පමන ගතව ඇතත්, මා තවමත් "නිදහස් දුම්රිය මගියෙකි". "නිදහස් දුම්රිය මගියෙක්" කියූ සැනින් ඔබට හැගෙන්නේ මා ශ්‍රි..නි..යට සම්භන්ධ අයෙකු කියාය. එහෙත් එය වැරදිය. "නිදහස්" යන්නෙන් හැදින්වෙන බොහෝ සමිති සමාගම් ශ්‍රි..නි..යේ බලල් අත් උවත්, "නිදහස් දුම්රිය මගියෙක්" යනුවෙන් මා කීවේ වෙනත් කතාවකි. එනම් දහසකුත් එකක් දුම්රිය "කල්ලි" වල නිත්‍ය සාමාජිකත්වය මෙතෙක් හිමි නොවූ යන අරුතිනි.

කාර්‍යාල දුම්රිවල යන්නෝ මෙම "කල්ලි" ගැන හොදින් දනිති. දුම්රිය කල්ලියක සාමාජිකයන් ගණන පහත්, දහයත් අතරය. ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයෙන්ම හෝ  ස්ත්‍රී හෝ පුරුෂ හෝ වශයෙන් සාමාජිකයෝ වෙති. නිදහස් දුම්රිය මගියෙකුට දුම්රියේ රිසි මැදිරියක ගමන් කල හැකි උවත්, කල්ලි සාමාජිකයන්ට එසේ කලනොහැක. කල්ලි සාමාජිකයෝ හැමදාම යන්නේ එකම දුම්රිය මැදිරියකය. ඒවා ඔවුන්ගේ භුක්තියට සවිවී ඇත. වෙනත් හිස් ආසන පවතිනතාක් ඔවුන්ගේ පාරම්පරික ආසන වලට කිසිවෙකුත් ලංනොවෙති.

චීනපූසාගේ කල්ලියද මෙවැනිම දුම්රිය කල්ලියකි. මැදිවියේ  කාර්‍යාල සේවකයකු වන චීනපූසා, චීනෙකුගේ මෙන් රෝස පැහැති තඩිස්සි වූ වෘත්තාකාර මුහුණකිනුත්, බළලෙකුගේ මෙන් දෙපසට වැවුනුරැවුලකිනුත් යුක්ත, කටහැකර එකෙකි. කල්ලියේ කිසිවෙක් ඔහුට වචනයෙන් හෝ අභියෝග කරන්නේ නැත. ඒ, ඔහුගේ හැකර කට විවර වූ විටඅකනිටා බඹලොව” කෙසේ වෙතත් දුම්රියේ දෙකෙලවර දක්වාම ඔහුගේ හඩ නිම්නාද වන බව දන්නා නිසාය. කල්ලියේ නිල නොලත් නායකයා වන්නට ඔහුගේ මේ කටහැකරකම මහෝපකාරීවූවාට කිසිම සැකයක් නැත.

චීනපූසාගේ කල්ලියේ සාමාජිකයන් ගණන දහයකි. ඉන් තුනක්ම මැදිවිය ලංකල තරුණියෝය. ඔවුන් අතරින් උසම තරුණිය "දෑකැත්තී". දෑකැත්තී, උස වගේම කෙට්ටුය. කෙට්ටුබව නිසාත් උස වැඩි කම නිසාත් සාරිය ඇන්දවිට ඇය පෙනෙන්නේ දුන්නක් මෙන් වක්වී . ඇයට දෑකැත්තී කීවේ නිසාය. චීනපූසාට මෙන්ම දෑකැත්තීටද ඇත්තේ ස්වයංක්‍රී හනු යුවලකි. අවශ්‍ය වේලාවට ඉබේම ක්‍රියාත්මක වන ඒවායින් වචන වෑහෙන්නේ කඩාඩුව කැඩුනු ලියැද්දකින් වතුර ගලන්නාක් මෙනි.

චීනපූසාත්, දෑකැත්තීත් හැරුනු විට අවශේශ සාමාජිකයෝ සහායක චරිත වෙති. ඔවූහු අඩු වැඩි වශයෙක් ඉද හිට ආතල් දෙති. මුලු කල්ලියම ගොඩ නැගී ඇත්තේ චීනපූසාත්, දෑකැත්තීත් වටාය. හරියට සංගාත් මහේලත් වටා ටීම් එකේ අනෙක් පිතිකරුවන් ගොඩ නැගෙන්නාක් මෙනි.

සාමාන්යන් මම දුම්රියට ගොඩවන්නේ චීන පූසාගේ කල්ලිය සිටින මැදිරිය මගහරිමිනි. පැයක් එකහමාරක් පාඩුවේ නිදා ගැනීමට ඇති කැමැත්ත නිසාය. යාබද මැදිරියක හෝ චීනපූසා සිටී නම් මාගේ සුපුරුදු සැප නින්දට කණකොකා හඩයි. උස් හඩින් ඇසෙන චීනපූසාගේ මොරදීමත්, ලෑන්ඩ් මාස්ටරයක් පණ ගැන්වෙන්නාක් මෙන් ඇසෙන දෑකැත්තීගෙ සිනහවත්, නිදාගෙන සිටින කුම්භකර්ණ උව අවදිකිරීමට සමත්ය. චීනපූසලා ගමන් ගන්නේ එකම මැදිරියක නිසා ඔහුන් මග හැරීම එතරම අපහසු නැත. කලයුත්තේ කල්පනාකාරීව මැදිරිය මග හැරීම පමණි.

මෙම දෛවෝපගත දිනයේ මා දුම්රියට ගොඩ වූයේද චීනපූසා ගමන් ගන්නා මැදිරියට, මැදිරි දෙකක් පමණ ඈතින් වූ මැදිරියකටය. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි හිස්ව තිබූ ආසනයක් සොයා එහි හරි බරි ගැසී වාඩි වූවා පමණි. මට මාගේ දෑස් අදහාගත නොහැකිය. චීනපූසා මට ඉදිරියේ වූ ආසනයේ ඉදගෙන සිටීමෙය විය නොහැක්කකි. දිනපතාම චීනපූසා ගමන් ගන්නේ ඉදිරියේ සිට පස්වන මැදිරියේය. මා අද ගොඩවූයේ ඉදිරියේ සිට තුන්වන මැදිරියටය. ඉතිරි මැදිරි දෙකට කුමක් වූවාද??? ඩේවිඩ් කෝෆර්ෆීල්ඩ් මෙන් ලංකා දුම්රිය සේවය ඉදහිට දිනයක කාටත් හොරා දුම්රිය මැදිරි අතුරුදහන් කරවයි. අද සිදුව ඇත්තේ එවැනි විජ්ජාවක්ද??? මම වහා කවුලුවෙන් එබී, දුම්රියේ පෙට්ටි ගාන ගනන් කළෙමි. එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි... හයයි.... නැත. පෙට්ටිගාන නිවැරදිය.

"හලෝ දෑකැත්තී... ගුඩ් මෝනින්... ගුඩ් මෝනින්... මේ... අද මට පෙට්ටිය මාරු උනා. තුන්වෙනි එකට නගින්න හොදේ..." චීනපූසාගේ දුරකථන ඇමතුමෙන් මා තුල වූ සියලූම සැක සංකා පහව ගියේය. පෙට්ටි ගාන නිවැරදිය. මාද නිවැරදිය. වැරදී ඇත්තේ පූසාටය. එහෙත් කෙල වෙන්නේ මටය.

මම දුම්රිය මැදිරිය සිසාරා බැලුවෙමි. වෙනත් කිසිදු හිස් ආසනයක් නැත. ඇත්තේ චීනපූසාට යාබද එක පමණි. කල හැක්කක් නොමැත. මම සිටි තැනම සිටින්නට තීරණය කලෙමි. චීන පූසාගේ කල්ලිය සෙට් වෙන්නේ තව නැවතුම් කීපයකට පසුවය. විශේෂයෙන්ම දෑකැත්තී නගින්නේ නැවතුම් දෙකකට පසුවය. එතකම් නිදාගැනීමට කාලය ඇත. මම කකුල් දෙක දිගහැර ඉදිරියට දමා, හිස, ආසනයේ විට්ටමට හේත්තුවන පරිදි දිගෑදුනෙමි. නැවුම් මද සුළගක් විවෘතව ඇති කවුලුවෙන් ගලා එයි. මම දෑස පියා ගතිමි.



"හා.. යි... ගුඩ් මෝ..නින්..." දුම්රියේ තිරිංග පාරටත් වඩා මම ගැස්සී ඇහැරුනේ දෑකැත්තීගේ උදෑසන සුභ පැතුමටය. ලා නිල් පැහැති සාරියක් දවටාගෙන සිටි , හෑන්ඩ් බෑගයට අමතරව තවත් මොකද්දෝ ලොකු මල්ලක්දරැගෙන චීනපූසා අසල අසුනේ එනම් මට සම්මුඛ අසුනේ වාඩි වූවාය. නින්දෙන් ඇහැරුනත් මම දෑස් වසාගෙන නිදි මෙන් සිටිමි.

"කෝ.. කෝ.. පාන් ගෙනාවද??" චීනපූසාගේ හඩය.

"ගෙනාවා... මොකද අද පෙට්ටිය මාරු උනේ?? "

"හැමදාම එකම පෙට්ටිය උනාම එපා වෙනවනේ. හොක්.. හොක්.. හොක්...." චීනපූසා දෙපැත්ත කැපෙන කතාවක් කීවේය.

"කෝ... සදවතී.. සීනිසම්බල් ගෙනාවද?? " චීනපූසා සදවතීගෙන් ඇසුවේය. සදවතී, චීනපූසාගේ කල්ලියේ නිහඩ චරිතයකි. මුහුණෙහි තැනින් තැන කුරුළෑ ලප තිබුනත්, ඇගේ මුහුණ සදක් මෙන් පියකරුය.

ඉන්පසුව ඇසුනේ සිලි සිලි බෑග් පොඩිවන හඩකුත්, ප්ලාස්ටික් පෙට්ටි ඇරෙන වැහෙන හඩකුත්ය. මේ මුලු කාලය පුරාම මා සිටියේ දෑස් ආයාසයෙන් වසාගෙනය. එහෙත් මාගේ දෙකන් හොදින් විවෘතය. නාස පුඩු විවෘත වන්න ගත්තේ, දෑකැත්තී බෑගයෙන් එලියට ගත් පාන් ගෙඩිවල සුවදත් සමගය. අමු පාන් පිටිවල නොමැති සුවදක් පිලිස්සූ නැවුම් පාන් වල ඇත. එය නහයට ඉතා පියකරු සුවදකි. මුඛයට කේටය ඉබේම වාස්සවන සුවදකි.

මා අනුමාන කරන හැටියට චීනපූසා ප්‍රමුඛ කල්ලියපාන් පාටියක්” දමයි. දෑකැත්තී, සදවතී ඇතුලු කාන්තා නඩය නැවුම් පාන් පෙති අතරට සීනි සම්බල් මැදිකොට කල්ලියේ සාමාජිකයන් අතර බෙදා දෙති. දෑස වසා ගත් මම හොරාට එක ඇසක් බාගෙට ඇර බැලුවෙමි. දුම්රිය මැදිරියේ අනුයාත ආසන දෙක පුරාවටම සිටින්නේ චීනපූසාගේ කල්ලියයි. බාහිර අයෙකුට ඉන්නේ මා පමණි. පූසාගේ කල්ලිය උස් හඩින් සිනා සෙමින් සීනි සම්බල් පාන් ගිල දමයි. චීනපූසා පාන් පෙති දෙකක් කටේ ඔබාගෙන, තවත් දෙකක් දෑතින්ම ගෙන සිටී. පාන් කටේ පිරී ඇති නිසාදෝ වෙනදා මෙන් චීන පූසාහඩ නගන්නේ නැත.

මට තවත් ඉවසාගෙන සිටිය නොහැක. පාන් වල සුවද නාස්පුඩු වලින් ඇතුලුව "ශ්ලේෂමල පටල" කිති කවයි. කුමක් ඉවසාගෙන සිටියත් කිතිය ඉවසිය නොහැක. නැවුම් පාන් එතරම් සුවදවත්ය. මම නැවතත් හොරාට එක් ඇසක් විවර කලෙමි. දෑකැත්තී මා ඉදිරිපිට ඉදගෙන පාන් කයි. දෑතින්ම පාන් පෙත්ත අල්ලා, දත් වලින් සිරකොට, හිස දෙපසට ගස්සා, පාන් කෑල්ලක් කඩා ගත්තාය. ඇය පාන් කෑල්ල ගිලිනවාත් සමගම මට කෙල ගිලින. සමගම ඇගේ දෑස, මගේ විවරවූ තනි ඇස සමග සමපාත විය.

මම වහා ඇස වසා ගතිමි. මම කෙල ගිලිනවා ඇය දැක්කේ නැතිවා විය යුතුය. දුටුවානම් වස නෝන්ඩියය. ඇය දැක්කා දැයි සැක හැර දැන ගැනීමට මම නැවත එක ඇසක් බාගෙට විවර කලෙමි. මෙවර පාන් පිරුනු මුඛ අයා එක එල්ලේ මදෙස බලා හිදී. මට කට උත්තර නැතිවිය. වැඩේ මාට්ටුය. කොතෙකුත් උත්සාහ කරත් මගේ උගුරු දණ්ඩ මට පාලනය නොවින. එය සෙමින් ඉහල ගොස් නැවත පහල ගියේය. අනිඡ්ඡානුගවම නැවත වරක් කෙල ගිලින. නැවත ඇස නොඅරින අටියෙන් මම තදින් දෑස පියා ගතිමි.

සමගම මගේ දනහිසට සියුම් තට්ටුවක් දැනින. මම ඈස් ඇරියෙමි. දෑකැත්තීය. ඇය අතේ උණු උණු සීනි සම්බල් පාන් පෙති දෙකකි.

"... මෙන්න…" ඇය සිනහ වෙමින් මා වෙත පාන් පෙති දෙක දික්කලාය. රතුවූ කම්මුලෙන් යුතුවූ මම, අහින්සක සිනාවක් පාමින් ඇගෙන් පාන් පෙති දෙක ලබා ගතිමි.



.ලි: උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


68 comments:

  1. හපොයි උඹටත් වෙලා තියන දෙයක්... මාත් ඔය කෙළගිලෙන එක කොන්ට්‍රෝල් කරගන්න හදලා තියනවා.. ඒත් බෑ බන් නිකන්ම ගිලෙනවා..

    මටනම් ඔය දුම් රිය කල්ලි පේන්න බෑ.. මහ බලු සංස්කෘතියක් ඕක.. වැරදිලාවත් වෙන කවුරු හරි උන්ගෙ සීට් එකක ඉඳ ගත්තොත් බලන්න ඕනා.. අර මිනිහා නැගිටලා යනකම්ම එක එක ඒවා කියනවා..

    මේ පෝස්ට් අප්ඩේට් වෙන්නැති සීන් එක ගැන මුකුත් කෙරුවෙ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. කෙල ගිලෙන එක අනිඡ්ඡානුගලුනෙ. අපිට පාලනය කරන්න බෑ...
      .
      කල්ලි සංස්කෘතිවල හොද දේවලුත් නැත්තෙම නෑ. තට්‍ටු මාරු ක්‍රමයට වාඩි වෙවී යන එක ගොඩක් වටින දෙයක්. ඒ අතරෙ සෙන්නා කිව්ව වගේ චාටර් උනුත් ඉන්නවා.

      මම අද චන්දනට මැසේජ් එකක් දැම්මා....

      Delete
    2. අනේ මචෝ මේ දවස් වල වැඩිය ෆේස් බුක් පැත්තේ ගියේ නෑ. සෙන්න ගේ පෝස්ට් එක නොවෙන්න මේකත් මග හැරෙනවා මට. උඹගේ පෝස්ට් තුන හතරක් ම අප්ඩේට් වෙලා නෑනේ.

      ඉඳ හිට එකක් වගේ සින්ඩි වලට යන්නේ නැත්නම් කීප සැරයක් පෝස්ට් එක අප්ඩේට් කරලා බලහන්. එතකොට හරි යනවා. දිගටම අවුල එනවා නම් මේ පෝස්ට් එකේ ඇති විස්තරයක් ඔය ගැන.. ඒක හෙමින් බලහං කො..

      බ්ලොග් පෝස්ට් සින්ඩි වල අප්ඩේට් නොවීම

      Delete
    3. @චන්දන : චන්දනගෙ පෝස්ට් එක මම කලිනුත් කියෙව්වා. ඒත් හරියටම ප්‍රශ්නෙ අහුවුනේ නෑ. කීප සැරයක් අප්ඩේට් කරන වැඩේ කරල බලන්න ඕන. තැන්කූ මචෝ....

      Delete
    4. @සෙන්නා : තකහනියක්ම පෝස්ට් එකකුත් දාලා, පබ්ලිසිටියක් දීපු එකට ගොඩක් ස්තූතී මචෝ.....

      Delete
  2. හපොයි බං උඹටත් වෙන වැඩ :(
    කොයි හැටි වෙතත් කන්න ලැබුන නම් ඒකත් ලොකු දෙයක්නෙ :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඊටත් පෙති දෙකක්. තනිකරම පාන්!!!!!

      Delete
  3. කෝච්චිවල යන මේ කල්ලි දහ ජරාම ජාතියක්. මුන් කෝච්චි පෙට්ටිය ඇතුලේ නොහැමනී හැමනෙනවා. බැඳපු එවුන් තමයි වැඩිපුරම වනචර. ඔඩොක්කුවේ ඉන්දවාගෙන බත් කවනවා, ඔලුව පීරනවා, බ්‍රසියර් එකේ පටිය හරිගස්සනවා. (ජන්ගියත් හදනවද මන්දා) බැරිවෙලාවත් වෙනත් මගියෙක් ඉඳගත්තොත් මරාගෙන කන්න යනවා. මේ වැඩේ උනේ ටික කාලෙකට ඉස්සර මම දිනපතා මහව කෝච්චියේ එද්දී. කුරුණැගලින්ද කොහෙද නැග්ගා ආමි කාරයෝ වගයක්. මේ පෙට්ටියේ හිටිය ගෑණු උන්ට ජාතිය දැම්මා සීට් අයිති උන්ට කියලා. ආමි එකේ කොල්ලෝ කිව්වා එහෙම ආසන වෙන්කරන්න බැහැ කියලා. ගෑනුන්ගේ සපෝට් එකට පිරිමිත් ආවා. ආමි එකේ කොල්ලෝ කලිසම් ගලවලා ජොකා පිටින් ඉඳගත්තා. අර දහ ජරා කල්ලිය පෙට්ටිය අත හැරලා ගියා.

    ReplyDelete
    Replies
    1. අඩේ මාර සීන් එකක්නෙ.. ඔය වගේ සිවිල් සමාජෙන් හදන්න බැරි උන්ව හැදෙන්නෙ ආමි එකේ, නේවි එකේ උන්ගෙන් තමයි. :D

      Delete
  4. ඇත්තටම ඕනෙම රැකියාවක ඔයවගේ කණ්ඩායම් හැදෙනවා. හමුදාවේත් එහෙම කණ්ඩායම් තියනවා. යුද්දෙට ගියත් බොහෝවිට ඒ කණ්ඩායම හැකිතරම් ආසන්නව ඉන්ඩ බලනවා. කාර්යාල දුම්රියවල මෙවැනි කණ්ඩායම් හදාගැනීම ඉතා ඈත අතීතයේ සිට සිදුවන දෙයක් බව මම අසා තිබෙනවා.



    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හමුදාවෙත් එහෙම කණ්ඩායම් ඉන්නවද විචාරක මහාතා. එතකොට විනයට බලපෑමක් වෙන්නෙ නැද්ද ? කෝච්චි වලනම් මහ ජඩ විදිහට හැසිරෙන එවුන් ඉන්නවා..

      මේක කියවන්නකො..

      Delete
    2. ස්තුතියි සෙන්නා මග හැරුන අධි සංවේදී ලිපියක් කියවීමට සැලැස්වීම ගැන.මට නම් වචන එන්නෙ නැහැ මෙවැනි අධමයන්ට කොහොමද ලියන්න ඕන කියල.හෙන්රිත් ලියල තියෙනව වැලමිටෙන් අනින පරයන්ට කොර වෙන්නම.
      හෙන්රිගේ ලිපිය නලින්ට කියල පත්තර කීපයක පල කරවන්න පුලුවන්නම් වටිනව.

      Delete
    3. මම අදහස් කලේ එහෙම නරක වැඩ සඳහා එකතුවෙන කණ්ඩායම් නෙවෙයි සෙන්නා. මිත්‍රත්වය නිසාම හැදුන පුංචි කල්ලි තියනවා. ඒවා රාජකාරියට බලපෑමක් නොවෙනතාක්කල් ප්‍රශ්නයක් නැහැ.

      ඩූඩ් ගෙ ලිපියත් කියෙව්වා. බොහොම සංවේදී ලිපියක්. දුම්රියේදී සමහරුන්ගේ හැසිරීම ඉතා පහත බව මම දැකලා තියනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. @විචාරක : මිනිස්සු කොහේ ගියත් බලන්නෙ කල්ලි ගැහෙන්න. එක්කෝ ඉපදිච්ච ගම/පලාත අනුව. නැත්තම් ජාතිය, ආගම ,කුලය මත. තවත් සමහරු ඉගෙනගන්න ගියපු ඉස්කෝලෙ අනුව. ඔය බෙදීම් ඇතුලෙ හොද දේවල් නැතෙමත් නෑ....

      @සෙන්නා : ඩූඩ්ගෙ පෝස්ට් එකට මග පෙන්නපු එකට බොහොම ස්තූතී... මේ දවස්වල සෙන්නා ප්‍රදීපාගාරයකද වැඩ??? :D

      Delete
  5. මාර ආතල් එකක් නේ උන් උඹට දීල තියන්නේ. :D

    ඉස්සරහට වෙලා කන කොට සුවඳත් එද්දී කාට ද කෙළ ගිලෙන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙන චන්ද්‍රයා කිව්වලු.. වරෙන්කො දවසක "සමුද්‍රෙ" යන්න ........ :D :D

      Delete
  6. ඔබගෙ ලිපිය කියවල සෙන්නා පෙන්නපු විදියට හෙන්රිගේ ලිපිය කියෙව්වම උදෙන්ම මොලේ මඤඤං උනා.

    ReplyDelete
    Replies
    1. උදේම කෝච්චියෙ ගියානම් ඔය මඥාඥාං ගතිය ඩබල් කරගන්න තිබුනා... :D

      Delete
  7. මෙක කියවනකොට මටත් කෙල ගිලුන එකේ !

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ.... මම දෑකැත්තීට කියල පාන් පෙති දෙකක් ඉල්ලලා එවන්නම් ...... :D

      Delete
  8. මාර වැඩක්නේ වෙලා තියෙන්නේ ..
    බ්ලොග් එකට ආව පළවෙනි වතාව , සෙන්නගේ බ්ලොග් එකේ දැකලා ආවේ... හොද කතා ටිකක් කියවන්න ලැබුනා සෙන්නට තමයි ස්තුතිය ...

    ReplyDelete
    Replies
    1. අනිවා... සෙන්නාට ගොඩාක් ස්තූතී දීපු පබ්ලිසිටියට....

      චමීගෙ බ්ලොග් එක නම් මම පුලු පුලුවන් වෙලාවට කියවනවා... බොහොම ස්තූතී මේ පැත්තෙ ආවට...

      Delete
    2. උඹට ආයෙ අමුතුවෙන් පබ්ලිසිටියක් දෙන්න ඕනා නෑ බන්. හුඟක් දෙනෙක් මේක ආසාවෙන් කියවනවා. ඒත් පහු ගිය පෝස්ට් දෙක තුනක්ම හුඟ දෙනෙක්ට මග හැරිලා අප්ඩේට් නොවුන නිසා. මම ඒකයි දැම්මෙ.. පොඩ්ඩක් බලපන් ඔය අවුල ලිහා ගන්න.

      Delete
    3. @සෙන්නා : :D :D චන්දන කිව්ව විදිහට කීප පාරක් අප්ඩේට් කරල බලන්න ඕන.

      Delete
    4. මම ඇවිත් තියෙනවා බන් , පරණ කථා ටික කියවගෙන යද්දී මතක් උනේ .. අප්ඩේට් නොවුන එක තමයි අවුල ..

      Delete
  9. කෝච්චි කල්ලි ගැන නම් මටත් කියන්න පුලුවන්.. හැබැයි ඉතිං ඒ 2007ට කලින් තමයි... මොකද මම ඒ කාලේ කෝච්චියේ තනියෙනුත් ගියා කල්ලියක් එක්කත් ගියා... අපේ කට්ටිය නම් ඉතිං එන ඕනේ කෙනෙක් සාදරෙයෙන් ආදරයෙන් පිළිගන්නවා.. මොකද මං අවුරුදු 10ක් විතර කෝච්චියෙම ගියානේ.. ඉස්කෝලේ ගියෙත් කෝච්චියේ වැඩට ගියෙත් කෝච්චියෙ... ඉතිං මාව දන්න අය මං ඉන්න තැනට එනවා එකපාරටම... හැබැයි ඉතිං හෙනම ජොලි තමයි... අපි නම් එක පාරක්ද කොහෙද රණ්ඩු උනා අන්කල් කෙනෙක් එක්ක.. ඒ ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ... එදාට ඉතිං පාටිනේ... කෑ ගහනවා දඟලනවා ඉවරයක් නෑ.. කොහොමත් 2.15 කෝච්චිය ළමයින්ට වෙන් කරලා වගේ තමයි.. කොහොමහරි ඒ අන්කල් නම් අපිට සද්දේ දාන්න ඇවිත් එතන හිටපු අනිත් අයගෙන් බැනුම් ඇහුවා.. හි හි... ඒ ඇරෙන්න කල්ලි වලි නම් කවදාවත් තිබ්බේ නෑ අපේ ....

    තනියෙන් එනකොටත් මට නම් කරදරයක් වෙලා නෑ කවුරුවත්.. ඔය ඉඳලා හිටලා පැණී හල හල යන කොල්ලෝ ඇරුනම.. ඒත් ඉතිං මං ඕවා වැඩිය ගනං ගන්නේ නැති නිසා මට වදයක් නම් වෙලා නෑ.... හි හි....

    මම දන්නේ නෑ ඇත්තටම ඒ කාලෙට වඩා දැන් තත්වෙ වෙනස් කියලා කට්ට්ය කියන නිසා මොකද දැන් වෙලා තියෙන්නේ කියලා.. හැබැයි කතන්දරේ ඇත්ත.. මාත් එක්ක කෝච්චියේ ගිය කීප දෙනෙක් තාම යනවා.. එයාලත් කියනවා දැන් නම් කෝචිචිය ගන්න දෙයක් නෑ කියලා... අනේ මන්දා.. මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා.....

    ReplyDelete
    Replies
    1. meya hithan inne meya rupasundariyak kiyala. nodakain honthuwa

      Delete
    2. @හිරු :
      අහ්හ්.. එහෙනම් හිරුත් කල්ලි සාමාජිකාවක් ඈ......
      කෝච්චි සංස්කෘතිය කියන්නෙත් අපි ජීවත්වෙන මහ සමාජයේම එක උප කුලකයක්. ඉතින් මහ සමාජෙ හොද, නරක, ඒ ඒ විදිහට අඩු වැඩි වෙලා කෝච්චි පෙට්ටි ඇතුලෙදිත් දකින්න පුලුවන්. හොද මිනිස්සු වගේම චාටර් උනුත් ඉන්නවා. මනුස්සකම් අතරෙ කුපාඩි වැඩත් සිද්ධ වෙනවා.
      සුන්දර අත්දැකීම් තියෙනවා නම් ඒවා බෙදාගන්න එකයි. අමිහිරි ඒවා තියෙනවා නම් අනිත් මිනිහව දැනුවත් කරන එකයි තමයි කරන්න ඕන.

      @ඇනෝ : :D

      Delete
  10. හරි!! එහෙනම් ගොයම් කයියක් සෙට් වෙයිද ලඟදි.... ; )

    ReplyDelete
  11. ඔය වගේ කෑමක් ළඟ තියෙද්දී කෙල ගිලෙන්නේ නැතිනම් තමයි පුදුමේ. එන්න පාර කිව්වේ සෙන්න අයියා.

    ReplyDelete
    Replies
    1. අනිවා... පුච්චපු පාන් වල සුවද ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ :D

      සෙන්නාටත් ගොඩක් ස්තූතී....

      Delete
  12. apaitath kela unanawa bole.hodata liyanawa.good luck

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.....
      සරත් අයියට කිව්ව දේම තමා... දෑකැත්තිට කියල පාන් පෙති දෙකක් ඉල්ලලා දෙන්නම්... :D

      Delete
  13. මචන් උබ
    අම්බලන්ගොඩ නේ ද ?

    ReplyDelete
    Replies
    1. නෑ මචං අම්බලන්ගොඩට ටිකක් මෙහා.... බලපිටියෙ.....

      Delete
  14. අපොයි.... ලැජ්ජාවේ බෑ.....
    සෙන්නගේ ලින්කුවෙන් ආවේ.... මේ පෝස්ට් රෝලේ අප්ඩේට් වුනේ නෑනේ....

    ReplyDelete
    Replies
    1. :P කෙලගිලින්න මොකටද ලැජ්ජා... අනික ලැජ්ජාව වගේයැ පාන් පෙති දෙක :D :D

      Delete
  15. මමත් කාලයක් සතියට දවසක් දෙකක් උදේ හවස ඔය ඔෆිස් ට්‍රෙන් එකේ ගිහින් තියනවා කච කචේ ඇරුනාම වෙන අවුලක් නම් තිබ්බේ නැ. හැබැයි යුද්දය තිබ්බ දවස් වල ඔය කණ්ඩායම් අතින් විශාල සේවයකුත් උනා. ගමන් මලු පරික්ෂාව, රැක් එකේ ගමන් මලු දාන්න නොදීම වගේ දේවල් හින්දා ජීවිත ගොඩක් බේර ගන්න පුළුවන් උනා. ඕවගේ ඉන්න ගොඩක් කණ්ඩායම් හොඳයි. අතරින් පතර මෝඩයෝ දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වෙන ඒවත් නැතිවම නෙවේ

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. දුම්රිය කල්ලි වල නරක පැත්ත වගේම හොද පැත්තකුත් තියෙනවා. ඒත් ඉස්මතු වෙලා පේන්නෙ ගොබ්බයෝ එකා දෙන්නා කරන කුපාඩි වැඩ..

      Delete
    2. මනුස්සකම නැති උන්, මෝඩයෝ නම් කල්ලි වල විතරක් නෙමෙයි , හැමතැනම ඉන්නවා
      ප්‍රස්නේ තියෙන්නේ අන්තිමට හම යන්නේ කල්ලියේ වීම.
      දිනපතා දුම්රියේ මගියෙක් වෙලා හිටපු කාලේ මට වුන සීන් එකක් තමයි මේ

      http://mageswaraya.blogspot.com/2012/08/blog-post.html

      Delete
  16. සෙන්නා කිව්ව පාරෙ ඔන්න මමත් ආවා...මම හිතන විදියට මම කලිං මේ ඉසව්වට ඇවිල්ලා නෑ.

    මේ කථාව කිව්වම මට මතක් වුනේ අවුරුදු 3ක් කොළඹ කොටුවෙ ඉදන් ගම්පහට මහව දුම්රියේ පැමිණි මතකය. මමත් අහම්බෙන් දවස් කීපයක් එකම පෙට්ටියක එකම තැන ගියාම සුහද ආරාධනාවක් ලැබුනා අපිත් එක්ක එන්න කියලා. ඒ කොල්ලෙක්ගෙන්. මමත් ඉතිං දෙපාරක් හිතුවෙ නෑ...උන්ට එකතු වුනා...ටික කාලෙකින් අපේ අසුනට යාබදව හිටිය ගෑණු දරුවො විතරක් හිටිය සැට් එකකුත් අපිට එකතු වුනා...අපි දැන් මහවෙ 10 පෙට්ටිය බදු අරගත්ත සැට් එකක්.

    ටික කාලෙකට පස්සෙ අපි කෑම සටහනක් හැදුවා. ඒ අනුව හැමදාම ගෑණු ළමයෙක් එක්ක පිරිමි ළමයෙක්ට සිද්ද වුනා අනිත් අය වෙනුවෙන් කුමක් හෝ යමක් ගේන්න. මේ කාර්යය සතියේ දවස් 5 පුරාම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වුනා. සමහර දවස් වලට අපි උපන් දින කේක් කැපුවෙත් මහවෙ 10 පෙට්ටිය ඇතුලෙ ගෙදර යන ගමන්...පිහිය උනේ ATM කාඩ් පතක්. වැඩිපුර කේක් තනි තතිව යන අය අතරෙ බෙදුවා...මේ අය කසාද බදිනකොට මහවෙ 10 පෙට්ටියෙ ගැන් එක අනිවාර්යෙන් එතන, බණ ගෙදරත් 10 පෙට්ටියෙ සැට් එක...පොඩි එකෙක් ඉපදුනා නම් එයාව බලන්න යන්නත් 10 පෙට්ටියෙ කස්ටිය එකතු වුනා.

    අද ඉතිං මේ සියල්ල මතකයක් විතරයි. පෙට්ටි කෝච්චි වෙනුවට පවර් සෙට් මහවට එකතු වුන දවසෙන් පස්සෙ ඒ සුන්දරත්වය නැතිව ගියා. සමහරු රැකියා ස්ථානය මාරු කලාට පස්සෙ මහව මගඇරුනා...අන්තිමට සිරා ලංකාවෙනුත් සමුගත්තා. අද මහවෙ 10 පෙට්ටියට තනි රැක්ක අපේ ගැන්සියෙ කවුරුවත් එතන නෑ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම සෙන්නට ස්තූති කරන්න ඕන.
      සිරා නම් මීට කලින් මෙහෙ ආවා. ඔය "හේනට එකතු වූවෝ" ගොඩේ ඉන්නෙ.. :D

      අපේ තාත්තත් මීට අවුරුදු විසි පහකට කලින් වැඩට ගිහින් තියෙන්නෙත් සමුද්‍ර. ඒ කාලෙ තාත්තල ගියපු පෙට්ටියට කියල තියෙන්නෙ "යක්ස භවන" කියලලු. තාත්තා බැදපු දවසෙ කෝච්චියෙ සෙට් එකෙන් හම්බ උන තෑගි පෙට්ටියෙ ගහල තිබුනලු "යක්ස භවනෙ යක්ස පැටවුන්ගෙන්" කියල......

      Delete
  17. මමත් කලකදී සිකුරාදා දුම්රිය කල්ලි සාමාජිකයෙක් වී සිටියෙමි. :) එකම දේ අපේ එවුන් එකාට එකා ෆිට් වීම වගේම කිසිවෙකුට අභියෝග නොකිරීමයි. අපේ තැනට එන වෙන අයට අපි ඉඩ දීම සාමන්යෙන් කළෙමු. නමුත් හැමෝම එහෙම නැත.

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් , මමත් training යන කාලේ සමුද්‍රේ ගැන්සියක හිටියා
      මනුස්සකම තිබුන ගැන්සියක්. අපි හැම දාම යන්නේ එකම පෙට්ටියේ.හැබැයි එතන අපි අඳුරන්නේ නැති අය හිටියත්, අපි තියෙන ඉඩ බෙදා හදාගෙන ගියා .
      එක පාරක් අපිට ටිකක් එහායින් වැඩි වෙලා හිටපු නංගි කෙනෙකුට සනීප නෑ කියල තේරිලා අපේ ගැන්සියේ අක්කල එයාව ලඟට අරගෙන කෝච්චියෙන් බහිනකන්ම බලාගත්තා ...
      respect!

      Delete
    2. @ඇලෙම්සැන්ඩර් : දවස ගානෙ පැය දෙක -තුනක් ගමන් කරනවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්. හිටගෙන , තෙරපිලා යන ඔය "රයිඩ්" එක කියන තරම්ම සුන්දර නෑ. පොඩි පොඩි ආතල් දෙන "කල්ලි" නිසා තමයි ඔය ගමන රසවත් වෙන්නෙ. හැබැයි ආත්මාර්ථකාමී "කල්ලි"ත් ඕන තරම් ඉන්නවා....

      @අසංක : දැන් මට පාන් පෙති දෙකක්ම දීල මට ආදරෙන් සලකපු එකම මදෑ... ;)

      Delete
  18. බලාගෙන...ඊලඟට මොනවා දෙයිද දන්නේ නෑ.
    'නවදැලිහේන' කියනකොට මතක් වෙන්නේ නන්ද හාමුදුරුවෝ....:D

    ReplyDelete
    Replies
    1. මොනවා දුන්නත් වළලු අතකින්නෙ... ;)

      'නවදැලිහේන"ටත් වැදිරියෙක් තමා අඩු :D :D :D

      Delete
  19. මචෝ , ඔය අඳුරන්නේ නැති අය දෙන කෑම ජාති කන්නේ බලාගෙන , හරිය?

    ReplyDelete
    Replies
    1. :P මම නම් නොකා ඉදියි පාන්..... :D

      Delete
  20. කලු වලාවෙ රිදී රේඛාවක් දැකපු දුර්ලභ අවස්තාවක් වගේ නේද තිළිණ? ඒක දුන්නේ උමේ උගුරු ගැටේ හෙලවෙනවා නොදැක වෙන්නත් පුලුවන් කියලා අපි හිත හදාගනිමු.

    සෙන්නා පුණ්‍ය කර්මයක්නේ කලේ.

    මේ තිළිණ. මේ කෙලියම මටත් වුනා. උඹ මගේ පෝස්ට් එක කියවලා බලපං. ඒකද සීන් එක කියලා.

    http://dude-heydude.blogspot.com/2013/03/68-yeah-i-did-it.html

    ReplyDelete
    Replies
    1. සෙන්නා කරල තියෙන්නෙ ලොකු උදව්වක්.... අනුන් වෙනුවෙන් තකහනියක් පෝස්ට් එකක් දානවා කියන එක සුලු දෙයක් නෙවේ......

      //ඒක දුන්නේ උමේ උගුරු ගැටේ හෙලවෙනවා නොදැක වෙන්නත් පුලුවන් කියලා අපි හිත හදාගනිමු.//
      ඔව් ඒ ඇත්තිගෙ ළෙයෙහි උපන් දයානුකම්පාවට කියල හිත්මුකෝ... :D ;)

      මම ඕක, ඩූඩ් ඔය පෝස්ට් එක දාපු දවසෙම චෙක් කරල බැලුවා. වෙන අවුලක් වගේ.

      Delete
    2. දැන් හරිද තිළිණ?

      මම කියනවට උඹ අතන මකලා ආයෙම
      http:/nawadalihena.blogspot.com/feeds/posts/default?alt=rss
      දාලා සේව් කරලා බලපං.

      Delete
    3. ඔන්න ඩූඩ් දීපු ලින්ක් එකට තව "/" කෑල්ලකුත් දාල සේව් කරා. පෝස්ට් එකක් දාල බලන්නම් හරිගියාද කියලා. නැත්තම් කීප පාරක් පෝස්ට් කරන එක තමා කරන්න වෙන්නෙ......

      Delete
    4. http://
      සමාවෙන්න ඕනෙ.
      හරි නොගියොත් මට තව එකක් මතක් වුනා. දාලා කියාපංකෝ පෝස්ට් එක.

      Delete
    5. ඉතින් කෝ මේකා? පෝස්ට් එකක් ඕනෙ නෑ. මාතෘකාවටයි පෝස්ට් එකටයි දෙකටම testing කියලා දාලා පබ්ලිෂ් කරපංකො බලන්න. ඒ කරල මට කමෙන්ට් එකකින් කියාපංකො.

      Delete
    6. test කියල පෝස්ට් එකක් දැම්මා.. ඒක update වෙලා මම හිතන්නෙ :D :D

      Delete
    7. හරි. මගේ ඩෙනිමේ අප්ඩේට් වෙලා. උඹ ගොඩ! දාපං පහක්!

      Delete
  21. සිම්පල් කතාවක් වගේ කීවට හරිම ගැඹුරු තේරුමක් දැනෙනවා ..අපි සමහර විට එපා කරපු අය ලෙස හිතන් ඉන්න අය ගැන තියෙන අදහස එක මොහොතකින් සම්පුර්ණයෙන් අනික් පැත්ත ගහන්න පුළුවන් ..ඔව් පාන් පෙති දෙකකට වුනත් එහෙම කරන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මම හැමදාමත් ආස කරේ වෙනස් අවසානයක් තියෙන කතාවලට. බ්ලොග් එකේ මම ගොඩක් වෙලාවට ලියන්නෙත් ඒ වගේ ඒවා.

      Delete
  22. මේක කියවද්දී මගේ කටටත් කෙල ඉනුවා බං.මොකද මං මේ වෙලාවේ බඩගින්නේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. :P පාන් කාපු හැම එකාගෙම බඩ යයිද දන්නෑ....

      Delete
  23. දැන් මේ සිරි රහල් ජනකතා කියන්නේ අලුතෙන්ම දාපු පෝස්ට් ඵකද ? ඵහෙම ඵකක් තමා බ්ලෝග් රෝලෙ පැන්වන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ,.... ඒක පරණ එකක්. test කියල පෝස්ට් එකක් දැම්මා.. ඒක update වෙලා මම හිතන්නෙ :D :D

      Delete
  24. දැන් එතකොට චීන පුසාගේ කල්ලියට බැඳුණද :D

    ReplyDelete
  25. කාලයක් මරදානේ සිට හෝමගම තෙක් දුවන කැළණිවැලි දුම්රියේ නිත්‍ය සාමාජිකයෙක් උනත් කිසිම දාක කල්ලියකට සෙට් උනේ නෑ ...

    දන්න කියන යාලුවො එක්ක ෆුට්බෝඩ් එකට වෙලා කියව කියව යන එක තරම් ඔය කල්ලි වලට වඩා හිත නිදහස් දෙයක් :)

    ReplyDelete