Friday, May 3, 2013

මුහුද




දුම්රියේ අසාමාන්‍ය පැද්දීමක් නිසා කවුලුවට හේත්තුවී අඩනින්දේ උන් මා ගැස්සී ඇහැරුනෙමි.  "මුහුදු බඩ දුම්රිය මාර්ගයේ" සිදුකල නවීකරණ කටයුතු නිසා, "සමුද්‍ර දේවියවෙනදා මෙන් වැඩිපුර ගැස්සෙන්නේ හෝ පැද්දෙන්නේ නැත. "සමුද්‍ර දේවිය" යනු ගාල්ලෙන් කොළඹටත්, කොළඹින් ගාල්ලටත් කාර්‍යා මගීන් ප්‍රවාහනය කරනා දිනපතා දුම්රියයි. පිණිබර යාමේ සැවුලන් අඩලන්නත් පළමුව ගාල්ලෙන් පිටත්වන "ඇයට",  මා ගොඩවන්නේ සැවුලන් එකා දෙන්නා අඩලන වෙලාවටය.

සදුදා දිනවල හැර සතියේ වෙනත් ඕනෑම දිනයක, උදෑසන "සමුද්‍ර දේවි"යේ ආසනයක් අල්ලා ගැනීම එතරම්ම උභතෝකෝටිකයක් නොවේ. එහෙත් කවුලුවක් ආසන්නයේ ආසනයක් අල්ලා ගැනීමට නම් තරමක් වාසනාවන්ත විය යුතුය. බොහෝ මගීන් මෙන් මා කවුලුවක්; විශේෂයෙන්ම මුහුද පැත්තේ කවුලුවක්, ආසන්නයේ ආසනයක් සොයන්නේ හේතු දෙකක් නිසාය. එකක් හිරු උදාවන තුරු කරිජ්ජ හුලං වැදෙමින් නිදා ගැනීමටය. අනෙක මුහුද බැලීමටය.

මුහුදට ඇලුම් නොකරන්නෝ නම් කවරෙක්ද??? කිසිවෙක් නැත. බාලයන්, තරුණයන් මෙන්ම වැඩිහිටියෝද එකසේ මුහුදට ඇලුම් කරයිමගේ කෙටි ජීවිත කාලය තුල, මුහුදට වෛර කරන්නකු මෙතෙක් මට මුණ ගැසී නැත. කොටින්ම සුනාමියෙන් බැටකා පණකෙන්දරැක ගත් උන් පවා මුහුදට ඇලුම් කරයි. මූදෙන් ඈත නව නිවාස හිමි වූවත්, සුනාමිය නැවත එතැයි මත පලවූවත් මුහුදු බඩ ජනයා මුහුද තනි නොකලේ, මේ අපූරු වස්තුවට ඔවුන් ඇලුම් කරන නිසාය.

කුඩා කල සිටම මුහුද පෙනෙන මානයේ හැදී වැඩුනත්, ඇති පදම් වැල්ලේ නටා, ගෙදරට හොරා මූදේ නා ඇතත්, අදටත් අහම්බෙන් හෝ මුහුද දකින විට මට ඇතිවන්නේ පලමුවරට එය දකින්නකු තුල ඇතිවන විශ්මය මුසු ප්‍රීතියයි. මුහුද මෙතරම්ම ප්‍රි වන්නට හේතුව කුමක්දැයි , "සමුද්‍ර"යේ කවුලුවට හේත්තු වී මම කල්පනා කලෙමි. මැවුනු විකාර රූපී මනෝ භාවයන් අතරින් සැලකිය යුතු මට්ටමේ හේතුවක් හොයා ගැනීමට මට හැකිවිය. එනම් මුහුද පණ ඇති එකෙකු වීමයි.

අප සිංහල වලට උගත්තේ "මුහුද" ප්‍රාණවාචී නාමපදයක් ලෙසය. එහෙත් මට හැගෙන්නේ එය එසේ නොවේ කියාය. අප මෙන් උදේ නැගිට, මූණ සෝදා, කලිසමක් කමීසයක් හැද, කෝච්චියක හෝ බස් එකක තෙරපීගෙන තරගයට එහේ මෙහේ නොදිව් පලියට, "මුහුද" ප්‍රාණවාචී කිරීම යුක්ති සහගත නොවේ. මුහුද ප්‍රාණවාචීය. එය හුස්ම ගනී. මහා හඩින් සද්ද නගයි. දිවා රෑ වෙහෙසක් නැතිව අඛන්ඩවරැළි නගයි. හිටි තැනම නොසෙල්වී බකන්නිලාගෙන සිටින මහා පර්වතයකින් මුහුද වෙනස් වෙන්නේ එමනිසාය. මහා පර්වතවලට ඇලුම් නොකරන අප මුහුදට ඇලුම් කරන්නේ ඉහත කී පරිදි මුහුද ප්‍රාණික වස්තුවක් වන බැවිනි.

කදු හෙල්, තේ වතු හරහා බිංගෙවල් අස්සෙන් රිංගාගෙන යන උඩරට දුම්රියේ හෝ කෙත්වතු මැදින් දිවෙනා රජරට දුම්රියේ හෝ ගමන් ගන්න අයෙකුට අත්විදිය හැකි තරම් චමත්කාරයක්, මුහුදු බඩ දුම්රියේ ගමන් ගන්නෙකුටද අත්විදිය හැකියැයි පැවසුව හොත් එය අතිශයොක්තියකි. එහෙත් දැනට පවතින ආකාරයට නොව එක දිගටම සමුද්‍රාසන්නයෙන් දුම්රිය මග ඉදිවී තිබුනේ නම් මුහුදු බඩ දුම්රිය මාර්ගයද උඩරට හෝ රජරට මාර්ගය තරමටම චමත්කාරජනක වන්නට තිබුනි. සමහරවිට ඊටත් වඩා වැඩි වන්නට තිබුනි.

කොළඹ කොටුවෙන් පටන්ගෙන මාතර දක්වා ඇදීයන මුහුදුබඩ දුම්රිය මාර්ගය දිවෙන්නේ ගාලු පාරට සමාන්තරවය. සමාන්තරව කීවාට එය, රේල් පීල්ලක් තවත් පීල්ලකට වැනිවූ සමාන්තර බවකින් නොවේ. ඉදහිට ගාලුපාරත්, රේල්පාරත් ජේදනයද වන පරිදිය. එහෙත් රේල් පාර දිවෙන්නේ ගාලුපාර තරම් මුහුදට සමීපව නොවේ. එනිසා දුම්රියේ ගමන් ගන්නෙකුට මුහුද දැකිය හැක්කේ කඩින් කඩය. එයත්, පොල්ගස් පිරුණු පිට්ටනි අස්සෙන්ය, නැතහොත් සුපිරි හෝටල් හෝ මුඩුක්කු පැල්පත් හරහාය. කෙසේ උවත් කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වූ තීරයේදී නම් දුම්රිය මගත් මුහුදත් අතර කිසිදු අතරමැදියකු දැකිය නොහැකිය. එසේ එකදිගටම "අතරමැදියන්" නොමැතිව තිබුනා නම් කොතරම් අපූරුදැයි හැගෙන්නේ, "කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වූ තීරය" පසුකොට යනවිටය.

මුහුද ඒකාකාරී නැත. ප්‍රාණික දේවල් ඒකාකාරී විය නොහැක. (අප ඒකාකාරීය. එනිසා හුස්ම ගත්තත් අප ප්‍රාණික නොවේ). එකම රටාවකට රළ බිදෙන, පෙණ විසිරෙන ගතියක් මුහුදේ නැත. අඩියෙන් අඩිය මුහුදේ හැඩය විවිධාකාරය. එක් තැනක ගල් කුලක හැපී අහස්ගුන්ඩුවක් මෙන් විසිරී යන මුහුදු රළ, තවත් තැනක් කිසිදු ආන්තරාවකට ලක්නොවී අවානක මෙන් වෙරළේ විසිරී නැවත මුහුදටම ඇදී යයි. නැගෙන මුහුදු රළ උවද එක එක උසය. උස්ව නැගී රළ බිමට වැටෙන්නේද එකවර නොවේ. තාලයකටය. ලතාවකටය. රටාවකටය.

පැහැය අතින් ගත්කලද මුහුද විවිධාකාරය. පොඩිකාලෙ සුදු ඩ්‍රෝවින් කොල මත තද නිල් පාටින් මුහුද ඇන්දාට මුහුද තද නිල් පාට නැත. තැනක "අහස් නිල". තැනක "කෙහෙල් දල්ලේ"ලා කොළ පාටය. තවත් තැනක "කිරි සුදු" පාටය. කොටින්ම සංකීර්ණ වර්ණ සංකලනයකි. මුහුදට අපූරු මෝස්තර එකතු වන්නේ පෙණ පිඩු වලිනි. රළ බිදීමෙන් හෝ රළ ගැටීමෙන් මේවා උපදී. තාලෙට පැද්දෙන මුහුදු දිය මත, රටාවකට විසිරුණු සුදුපාට පෙණකැටි හරි අපූරු දසුනකි.

මුහුදෙන් හඩ නැගෙන්නේද රිද්මයමටය. මූලික "හෝ හෝ" හඩ පසුබිමෙහි තවත් බොහෝ හඩවල් කලවම් වී ඇත. රළ බිදෙන, ගැටෙන, පෙණ විසිරෙන ආදී එකී මෙකී ක්‍රියාවන් නිසා උපදින විවිධ නාදයන් නිරූපණය කිරීමට වචන තැනීමට මා උත්සාහ කලත් එය අසාර්ථක විය.

මුහුදට "ඉර" එක්වූ විට හරි අපූරුය. හරියට මී කිරි වලට කිතුල් පැණි එක්වූවා වගේය. දකුණේ අපිට ඉරයි මූදයි එකතු වන්නේ හැන්දෑ ජාමයේය. නිලාවේලි ගොස් උදෑසනක මූදේ නාන තුරු මම සිතා සිටියේ ඉර බසින්නේ මූදෙන් කියාය.

"ඉර බසින මූද" වෙනමම මාතෘකාවකි. බ්ලොග් භාෂාවෙන් කියනවා නම් වෙනමම පෝස්ට් එකකි. දැනට වෙලා නැත. "සමුද්‍ර දේවිය" කොටුවේ තුන් වෙනි වේදිකාවට තව ටිකකින් ලගාවනු ඇත. ඉතින් මම බැස යා යුතුය.


සැ.යු : මෙය තනිකරම මනෝ විකාරයකි.



12 comments:

  1. මනෝ විකාරය අතිශය චමත්කාරය.. මුහුද දිහා නොබලපු පැති කීපයකින්ම බලන්න මේ ලිපිය උදව් වුනා..

    මම හිතන්නෙ, අපේ ඩූඩ් හෙවත් හෙන්රි මුහුදට වැඩිය මනාප නෑ.. දැකලා, දැකලම එපා වෙලාද කොහෙද.. :D

    ReplyDelete
    Replies
    1. මුහුදු කීපයක්ම තරණය කරලා ඈතට ගිය නිසාද දන්නෙ නෑ ඩූඩ්ට එහෙම හිතෙන්නෙ,,,,, :D

      Delete
    2. අනේ මේකා මේක ලියලා තියෙන විදියට මම කොහොමද එහෙම කියන්නේ දැන්. :D

      මේ අහපං තිළිණ. මෝල්ඩිව්ස් වල මුහුද තද හා ලා නිල් පාට විතරයි. කොළ පාට මම දැකලම නෑ. ඒ ඇයි කියලා මමත් දන්නේ නෑ. වෙරල සුදුම සුදුයි, අපේ වටේ රන්වන් පාට නෑ. ඒකට හේතුව මේ ඇත්තෙන්ම වැලි නෙවෙයි, කොරල් කුඩු නිසායි. නමුත් මුහුද මේ තරම් නිල් ඇයි කියලා නම් මම දන්නේ නෑ.

      Delete
    3. @ඩූඩ් : මුහුද නිල් පාට ඇයි කියල නම් දන්නෙ නෑ. සමහරවිට "සයුරි" දන්නවා ඇති. එයා තමයි "අහස නිල් පාට ඇයි" කියන එකට උත්තරේ කියල දුන්නෙ..

      http://pahanyaaya.blogspot.com/2013/03/blog-post.html

      මූදට එක එක පාටට පේන්නෙ. මුහුදෙ ගැඹුර, ජලජ ජීවීන් වගේම ජලයේ දියවෙච්ච අපද්‍රව්‍ය නිසා වෙන්න ඕන...

      Delete
  2. Athishaya sundara mano vikarayaki.

    ReplyDelete
    Replies
    1. මනෝ ගහන එක මාර ආතල් වැඩක්...

      Delete
  3. පොස්ටුව රවසත්ය.. මුහුදේ නෑමට මමද අතිශයින් ප්‍රිය කරමි..

    ReplyDelete
    Replies
    1. මමද මුහුදේ නෑමට ප්‍රිය කරමි. වඩාත් ප්‍රිය කරන්නේ ගෙදරට හොරා ගොස් මුහුදේ නෑමටය.

      Delete
  4. \\\\මුහුදට "ඉර" එක්වූ විට හරි අපූරුය. හරියට මී කිරි වලට කිතුල් පැණි එක්වූවා වගේය.///

    හැබෑව.ගොඩක් ගැඹුරු කතාවක් මේක.ඔය වෙලාවට ආදරේ කරන කෙනාගේ අත් දෙක අල්ලන් ඉන්න තියේ නම් ඔය කතාව හොඳටම තේරෙනවා..

    ReplyDelete
    Replies
    1. හික්ස්.... මට නම් එහෙම චාන්ස් එකක් වැදිලා නෑ නොව... :D :D :D

      Delete
    2. මටත් එහෙමටම කාලයක් අල්ලලා හිටියේ නැහැ ගහලා ගියා නෙව චෑන්ස් එක..:(

      Delete
    3. :D :D ගනන් ගන්න එපා සහන්.. ඉස්සරහට තව චාන්ස් එයි.... ;)

      Delete