Saturday, April 27, 2013

මා‍ෆියා චෙෆ්




ගොඩක් දෙනෙක් අහල තියෙන, තවත් සමහරු අත්විදල තියෙන, බොහොම අපූරු සමාජ ඒකකයකට තමයි, "චමරියක්" කියල කියන්නෙ. තේරෙන සිංහලෙන් කිව්වොත්, "චමරියක්" කියන්නෙ කීප දෙනෙක් එකතුවෙලා, කුකෙකුත් සෙට් කරගෙන උයා-පිහාගෙන කන තැනකට. ගොඩක් වෙලාවට ඔහොම සෙට් වෙන්නෙ රස්සවල් කරන උන්. මම දන්න තරමින් පිට තැනක බෝඩින් වෙලා ස්කෝලෙ / කැම්පස් යන උන්නම් "චමරි" කරන්නෙම නැති තරම්. වගේම බෝඩින් වෙලා රස්සාවල් කරන ගොඩ දෙනෙකුත් "චමරි" කරන්නෙ නෑ. ඒකට හේතු කීපයක් තියෙනවාප්‍රධානම හේතුව තමයි, තුන් වේලම කන්න එකම තැනකට සෙට් වෙන්න තියෙන අමාරුකම. උදේට වැඩට ගිහින් රෑ වෙලා බෝඩිමට එන තැන් වලට "චමරියක්" ගැලපෙන්නෙ නෑ. අනික තමා "චමරියක්" පිහිටුවන්න යන මූලික ප්‍රාග්ධන වියදම. ඒක ධ්‍ය පාන්තිකරැකියාධාරීන්ට දරාගන්න ටිකක දරාගන්න අමාරුයි.

"චමරිය"කට නියමෙටම ගැලපෙන තැන තමයි, සිවිල් සයිට්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් කොම්පැණි වලින් "චමරියක් පිහිටුවන්න යන මූලික ප්‍රාග්ධන වියදම" වෙච්ච, කුකාගෙ පඩිය, කුස්සියට ඕන කරන ආම්පන්න ටික නොමිලේම සපයන නිසා, සිවිල් සයිට්  හැම එකකම වගේ චමරියක් තියෙනවා. මමත් සයිට් වල ඉදපු අවුරුදු දෙකේම කෑම ගත්තෙ චමරිවලින්

අනුරාධපුර සයිට් එකේ තිබිච්ච චමරිය, සාමාජිකයො විසිපහක් විතර හිටපු, ටිකක් ලොකු සයිස් එකක්. චමරියෙ යාව-ජීව සාමාජිකයන්ට අමතරව, කොළඹ ඉදන් පාත්වෙන හෙඩ් ෆිස් එකේ උනුත් කෑම ගත්තෙ චමරියෙන් නිසා, කිලෝ දහයෙ හාල් ගෝනියට උපරිම ආයුෂ තිබුනෙ වේල් තුනයි

කට්ටියගෙන් සල්ලි ටික එකතු කරගෙන, ඕන කරන බඩු මුට්ටු ටික ගෙනැල්ලා, චමරිය කරගෙන යන්න මුල් කාලෙ බාරගෙන හිටියෙ "අරුත්" කියල T/O කෙනෙක්. ඇත්තටම ඒක පොර බාර ගත්ත එකක් නෙවේ. පොරගෙ ඇගේ ගහපු එකක්. සයිට් එකේ උන්ගෙන් වෙලාවට චමරි සල්ලි එකතු කරන එක, එකතුවෙන සල්ලි හරියට මාසයක් යනකම් බැලන්ස් කරන එක, බිල් ටික නූලට පියවන එක වගේ දේවල්, හිතෙන තරම් ලේසි වැඩ නෙවේ. අනිත් අතට පොඩ්ඩක් හරි එහා මෙහා උනොත් කුණු කතා ලෝකයයි.

පිටට පේන්න චමරිය කරගෙන ගියේ "අරුත්" උනාට, චමරියෙ වැඩ සිද්ද උනේ "කුක් උපාලිට" ඕන විදිහට. අනූව දශකයේ අගනුවර හොල්ලගෙන හිටපු "සොත්ති උපාලි" වගේම අපේ "කුක් උපාලිත්" කෑම මාෆියාවෙන් අපිව සලිත කරගෙන හිටියෙ. උපාලි කියන දේට පිටින් ගිහින් මොනවා හරි චමරියෙ කරොත්, වේලක් දෙවේලක් යනකම් චමරියෙ කෑම එක කටේ තියල හමාරයි. ඒක නිසා කවුරුවත් උපාලිගෙ පරමාධිපත්‍ය අභියෝග කරේ නෑ.

චමරියෙ උයන්න එනකම්ම, උපාලි වෘත්තීමය අරක්ඇමියෙක් නෙවේ. අනුරාධපුරේ ආමි කෑම්ප් එක කිට්ටුව තමන්ගෙම කියල රෑ කඩයක් දාගෙන හිටපු පොරට, බතක්-මාලුවක් උයන එක කෙසේ වෙතත් රයිස් දාන්න, චොප්සි හදන්න, ඩෙවල් දන්න වගේ කැටයම් වැඩ වලට නම් උපන් හපන්කමක් තිබුනා. ඒක නිසා මාසෙ ඉතුරු දවස් ටික කොහොම උනත්, පාටි දාන "පඩි සතිය" ඇතුලෙ නම්, උපාලි තමා චමරියෙ "ඩ්‍රීම්-ස්ටාර්".

ගුණාත්මක භාවයට වඩා ප්‍රමාණාත්මක භාවය අගය කරපු චමරියේ බහුතරයක් දෙනා නිසාජිල් බෝල හොද්ද වගේ මෙලෝ රහක් නැති උපාලිගෙ කෑම වලටත් හොද ඉල්ලුවක් තිබුනා. ඔලු කඩපු හාල්මැස්සන් බැදුමක්, "අජිනමොටෝ" නොදාපු ව්‍යංජනයක්, ගල් හැපෙන්නෙ නැති බතක් වගේ දේවල් උපාලිගෙ අතින් හැදුනා නම් ඒක තමා "ආශ්චර්‍ය".

උපාලි ගොඩක් දවස්වල උදේට කන්න හැදුවෙ බතුයි, පරිප්පුයි, "සිංහ පීකදුයි" TM ( ; "සිංහ පීකදුTM" යනු එකල අප විසින් "සෝයා-මීට්" වෙනුවට භාවිතා කරන ලද නමකි ). උපාලි පරිප්පු හදන්නෙත්, අපේ ගෙවල් වල හදන විදිහට හොදි තියල නෙවේ. පුඩිමක් වගේ ඝණකමට හිටින්න. ඝණකම ගන්න පොර කරන්නෙ, පරිප්පු හට්ටියට  පාන්පිටි දාන එක. හැබැයි පොරගෙ ක්‍රමේ නම් මාර අඩු වියදම් ක්‍රමයක්. අඩු පරිප්පු ප්‍රමාණයකින් වැඩි බඩවල් ගානක් පුරවන්න පුලුවන්.

උයන පිහන කටයුතුවලට අමතරව උපාලිට තව කටයුත්තක් පැවරිලා තිබුනා. තමා චමරියට බඩු ගේන්න කඩේට යන එක. හැමදාම උදේට උයල ඉව්වර වෙලා, චමරිය කරවන අරුත්ගෙන් සල්ලිත් ඉල්ලගෙන, උපාලි පොරගෙ බයික් එකෙන්ම කඩේට යනවා. තමන්ගෙ "ජොබ් ප්‍රොෆයිල්" එකේ නැති වැඩක් උනත් කඩේ යන වැඩේ උපාලි කරේ බොහොම කැමැත්තෙන්. කොච්චර කැමැත්තෙන්ද කිව්වොත්, වෙන එකෙක් කඩේ යනවටවත් පොර කැමති උනේ නෑ. වෙන කවුරු හරි කඩේ ගිහින් බඩු ගෙනාවොත් එදාට උපාලිගෙ කෑම ඌරෙකුටවත් කන්න බෑ.

අපේ රටේ ගොඩක් උන් වගේම උපාලිත් "කඩේ ගියේ",  "මීයක් කඩන්නෙ අතලෙවකන්න නෙවේ" කියන තියරියට. උපාලිගෙ බොක්කෙෆිට් එකක් වෙච්ච එළවළු කඩේ මුදලාලි, පුංචි එක්සැයිස් කොල කෑල්ලක කුරුටුගාලා දෙන බිලේ, නොවැරදීම උපාලිගෙ "සර්විස් චාජ්" එක, සැගවූ ගාස්තුවක් විදිහට ඇතුලත් කරා. සයිට් එකේ හැමෝම වගේ උපාලිගෙ මිල සූත්‍ර දැනගත්තත්, නොදන්නවා වගේ හිටියෙ කෑම අතපත ගාන මනුස්සයට කොකු දාන්න ගිහින් විහින් වහ කන්නෙ මොකටද කියල හිතලා වෙන්න ඕන. අලුත් ඇඩ්මින් ෆිසර් කෙනෙක් සයිට් එකට එනකම්ම, ඔය විදිහට කාලයක් කිසිම ආන්තරාවක් නැතිව පොර, තමන්ගෙ වැඩේ කරගෙන ගියා.

සයිට් එකට අලුතෙන් ඇඩ්මින් වෙලා ආවෙ "උපයා".  උපයා ආවම චමරිය කරන වැඩේ අරුත්, උපයට පැවරුවා. එක්කම තමයි උපාලිට සෙනසුරු අපලෙ උදා වෙන්න ගත්තෙ. උපයා, උපාලිව කඩේ යැව්වට, පොරව අන්තිම සතේට විඝණනය කරා. මාසෙ මුලම ටවුමට ගිහින් මාසෙකට හරියන බඩු ටික ගේන්න පටන් ගත්තා. දවස ගානෙ එළවළු ගේන වැඩේට උපාලිව යැව්වෙ, නොයවා බැරි උනොත් විතරයි. වැඩ අඩු හැම දවසකම වගේ උපයම කඩේ ගිහින් එළවළු ගේන තැනටම අන්තිමේදි වැඩේ නැගලා ආවා.

උපාලිගෙ අමතර ආදායමට ටික ටික තට්ටු වෙන්න ගත්තට, පොර එක පාරටම කලබල උනේ නෑ. පදිංචිය අනුරාධපුරේ උනාට "ගගෙන් එහා" ඉපදිච්ච එකෙක් වෙච්ච උපාලි, සෙනසුරාට උනත් බටකොල කවන ජාතියෙ පොරක්. පොර කරේ උපයා ගේන බඩු උයන එක. හැබැයි වෙනදා විදිහට නෙවේ;

වෙනදට සැමන් ටින් දෙකක් කඩන පොර, සැමන් ටින් තුන හතර කඩන්න ගත්තා. එදාට ඉදින් සැමන්වල අනාගෙන තමයි බත් කන්නෙ. සැමන් විතරක් නෙවේ ගොඩක් එළවළු ජාති වලටත් පොර ඕකම කරන්න ගත්තා. සමහර දවස්වලට උයල තිබුනෙ, වම්බටු, කොහිල, කරවිල වගේ කිසිම ගැලපීමක් නැති එකම ජාතියෙ එළවළු. හිටපු ගමන් දවස්වල එකා දෙන්නට කෑම මදි වෙන්නත් පටන් ගත්තා. උපයා කොච්චර හොද එළවළු ගෙනාවත්, එයින් බාගයක්ම ගියේ කුණුවලට. ගැන උපාලිගෙන් ඇහුවම පොර කිව්වෙ, කුණුවෙච්චා කියලා. ඒත් පොලෙන් ගෙනාපු ගමන්ම වට්ටක්කා ගෙඩි, මුකුණුවැන්නා මිටි කුණුවෙන රහස දැනගෙන හිටියෙ උපාලිම විතරයි.

උපයගෙ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරපු මාසයෙ චමරියෙ බිල දකින්න කලින්ම, ඒක වැඩි වෙයි කියල හිතාගෙන හිටියට, එච්චරම ලොකු වැඩිවීමක් වේවි කියල අපි කවුරුත් බලා පොරොත්තු උනේ නෑ. බිල වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා හැමෝම දැනගෙන හිටියත්, ඒක උපාලිගෙ ඇගේ ගහන්න තරම ප්‍රමාණවත් සාධක අපි කවුරුවත් ගාව තිබුනෙත් නෑ. ඒක නිසා චමරි බිල වැඩි වීමේත් උපයම බාර ගත්තා. ඒ එක්කම පොර හදුන්වා දීපු ප්‍රතිසංස්කරණ ටික ඉල්ලා අස්කර ගත්තා.


පහුවෙනිදා උදේම, බෑග් එකකුත් කරේ එල්ලාගෙන, සයිට් එකෙන් එළියට බයිසිකලේ පාගන උපාලිව මම දැක්කා.


.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.