Sunday, May 19, 2013

පුත්‍ර ස්නේහය




"අන්න ප්‍රනාන්දු, ලූකස් මහත්තයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා...... " කම්කරු සෝමදාස හැල්මේ දුවගෙන ඇවිත් මාත් එක්ක කිව්වෙ ඇස් දෙකත් උඩතියාගෙන. සෝමදාසලා වගේ පාරම්පරික සංනිවේදන උපක්‍රම වලට පිංසිද්ද වෙන්න, අක්කර දහයක් විතර විසාල සයිට් එකේ හොරාට කිවිසුමක්වත් අරින්න මොකෙකුටවත් බෑ.

"හෑ.... ප්‍රනාන්දු?? කවුද ප්‍රනාන්දු??.... " සෝමදාසගෙ තරමටම නූනත් මගෙත් ඇස් දෙක යන්තමට උඩ ගියා. මේ වගේ දුෂ්කර පළාතක ඉංග්‍රීසියෙන් කතා කරන කම්කරුවෙක් කියන්නෙ ඇත්තටම පුදුමයට කාරණයක්.

"ප්‍රනාන්දු... අර අලුතෙන් වැඩට ආවෙ. ත්‍රී-වීල් එකෙන් වැඩට එන්නෙ.. මහත පොර... " සෝමදාස අත් දෙක දෙක දෙපැත්තට පළල් කරලා ප්‍රනාන්දුගෙ ඇගේ මිම්ම මට පෙන්නුවා. සෝමදාස පෙන්නපු විදිහට ප්‍රනාන්දුගෙ ඉනේ සයිස් එක පනහ-පනස් පහ විතර වෙන්න ඕන. ඒතරම් විසාල පොරක් ලගදි සයිට් එකට ආවෙ නැතත් ත්‍රී-වීල් එකෙක් එන ටිකක් මහත පොරක් ගැන මගේ මතකය අලුත් උනා.

"ආ... කවුද ?? සංජීවද?? "

"ඔව්.. ඔව්.. මිනිහට සංජීව කියලා කෑල්ලකුත් තියෙනවා තමයි.." මගේ මතකයත්, සෝමදාසගෙ ඉංග්‍රීසි කථිකයාත් එකිනෙක සමපාත වීමේ සතුට, සෝමදාසගෙ ලොකු වෙච්ච කණිනිකාවලින් මට හොදටම පෙනුනා.

"දැන් ඉතින් ප්‍රනාන්දු ඉංග්‍රීසියෙන් කතා කලා කියලා මට මොකද්ද කරන්න කියන්නෙ?? " කියල සෝමදාසගෙන් අහන්න හිතුනත් මම එහෙම ඇහුවෙ නැත්තෙ, හැම වෙලේම ගුණාත්මක තොරතුරු විතරක් කිසිම මූලාශයකින් එක දිගට ලැබෙන්නෙ නැති බව මම දන්න නිසා. ඒ වෙනුවෙට කට කොනකට යන්තමින් හිනාවෙලා මම සෝමදාසගෙන් සමු ගත්තා.

සංජීව (ප්‍රනාන්දු) සයිට් එකේ වැඩට ආවෙ මීට සතියකට විතර උඩදි. සෝමදාසලාට වගේම, සංජීව දකින ඕනම කෙනෙක්ගෙ හිතේ, සංජීව මතක හිටින තරමේ තරබාරු කමක් පොරට තිබුනා. මිනිහට නම් තියෙන්නෙ වෘත්තීමය කම්කරු ඉතිහාසයක් නෙවේ කියලා, කම්කරුවෙක් විදිහට අපේ සයිට් එකේ ලියාපදිංචි වෙන්න සංජීව මාත් එක්ක කතා බහ කරපු වෙලේදිත් මට හිතිලා තිබුනෙ. සැපට වැඩිච්ච සංජීවගෙ ඇග-පත අනුරාධපුරේ කාෂ්ඨක පරිසරේට කොහොමත් පෑහුනේ නෑ. ෂර්ට් එකට කවර් වෙන්නෙ නැති බෙල්ල වටේටයි, වැලමිටෙන් පහල අත් දෙක දිගටයි අවුවට පිච්චිච්ච සලකුණු තිබුනට, ඒවා දීර්ඝ කාලයක් තද අවුවෙ වැඩ කරලා උරුම කර ගත්ත ඒවා නෙවේ. අනික අලුත්ම බජාජ් තී-වීල් එකක් තියාගෙන කම්කරුවෙක් විදිහට වැඩ කරන්නෙ ඇයි කියලා මුල්ම දවසෙම මම සංජීවගෙන් ඇහුවා.

"න්..නෑ.. වීල් එකේ ලීස් එක ගෙවන්නත් එපැයි.." පොර එහෙම කියලා ලිස්සල ගියාට, හැංගිච්ච යටගියාවක් පොරට තියෙන බව මට හොදටම තේරුනා.

ලංකාවෙ රාජ්‍ය භාෂාව සිංහල උනු පලියට සිංහලෙන්ම කතා කල යුතුයි කියලා නියමයක් නෑ. ඒත් සිංහල බහුතරයක් ඉන්න තැනක, සංක්‍රමණික භාෂාවකින් දෙන්නෙක් කතාකරනවා කිව්වම ඒක ටිකක් කැපිලා පෙනෙන දෙයක්. ඒ කතා කරන දෙන්නගෙන් එක්කෙනෙක් කම්කරුවෙක් උනාම ඒක තව තවත් කැපිලා පේනවා.

සෝමදාස කිව්ව පැත්තට මම යනකොට සංජීවගෙයි, ලූකස් මහත්තයගෙයි කඩු හරඹය නිමා වෙලා. ලූකස් නම් පේන්න හිටියෙ නෑ. සංජීව උදැල්ලකුත් අරගෙන මොකද්දෝ කාණුවක් කප කපා හිටියා. මම ලං උනාම සංජීව කර කර හිටි වැඩේ නවත්තල මං දිහා බැලුවා.

"ඇත්තද මේ සංජීව, ලූකස් මහත්තයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරා කියන්නෙ?? " මවා ගත්ත හිනාවකින් මූණ පුරෝගෙන, මම සංජීවගෙන් ඇහුවෙ, දීර්ඝ කතාවකට ප්‍රවිශ්ඨයක් විදිහට.

"යර්ස්.. මිස්ට තිලින. අයි ඩිඩ් මයි හයර් ස්ටඩීස් ඉන් ඉංග්ලිශ් මීඩියම්. සෝ අයි ඇම් ගුඩ් ඇට් ඉංග්ලිශ්..." දාඩිය වැක්කෙරෙන මූණ, දකුණු කමීස අතෙන් පිහිදාන ගමන් සංජීව කිව්වා. අනපේක්ශිත කඩු පහරෙන් පොඩ්ඩක් විතර සලිත උනත් මම පසු බැස්සෙ නෑ. දන්න කියන ඉංග්‍රීසි වචන ටික මතක් කරගෙන මමත් සංජීව එක්ක කතාවට බැස්සා. [ඉංග්‍රීසියෙන් ඇදීගිය පහත සංවාදය සිංහලට නගා ඇත]

"හ්ම්ම්... සංජීව මොනවද ඒ ලෙවල් වලට කරේ.."

"මට ඒ ලෙවල් වලදි ශිෂ්‍යත්වයක් හම්බ උනා ඉතාලියට. එහෙදි මැනේජ්මන්ට් කරලා, උපාධිය සම්පූර්ණ කරා. අවුරුදු දෙකක් විතර රෝමෙ කම්පැණියක වැඩ කරලා තමයි මෙහෙට ආවෙ.. " උපාධිදාරී සංජීවගෙ කතාවෙන් මම පුදුම උනා. ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා අපූරුවට ඉන්න පුලුවන්කම තියෙද්දි, මේ වගේ කඨෝර පැත්තකට ඇවිල්ලා කුලීවැඩ කරන්නෙ, මේ යකාට සෙනසුරු අපලෙ වත්ද මට එකපාරටම හිතුනා.

"ඉතින් ඇයි ජොබ් එකෙන් අස් උනේ?? " සංජීවගෙ මූණෙ ලාවට හිනාවක් ගියා.

"මම බැදලා නෑ. දැන් නම් බදින්න අදහසකුත් නෑ. ඉතින් මට මහ ලොකුවට හම්බ කරන්න උවමනාවක් නෑ. අනික ඒ දවස් වල මම වැඩ කරන කාලෙ පුදුම ස්ට්‍රෙස් එකකින් හිටියෙ. අද එහෙම නෑ. ආවා.. වැඩ කරා.. ගියා..  රෑට කෑවා හොදට නිදා ගත්තා.. වැඩේ ඉවරයි... " සංජීව කිව්වෙ බොහොම සැහැල්ලුවෙන්. විධායක ශේණියේ ‍රැකියාවක පීඩනයෙන් නිදහස් වීමේ සැහැල්ලුව ඒ හැම වචනයකම හැංගිලා තිබුනා.

"හ්ම්ම්... ඒක නම් ඉතින් ඇත්ත තමා. සංජීවගෙ උපන් ගමත් මෙහෙද?? " මම තව තවත් සංජීවගෙ ජාතකේ හාරඇවිස්සුවා.

"හපෝ නෑ... අපි මීගමුවෙ.. "

"ඉතින් ඇයි මේ පළාතට ආවෙ???" මගේ ප්‍රශ්නෙත් එක්කම, සංජීවගෙ ඇස් යාන්තමට දිලිසුනා. මෙච්චර වෙලා සැහැල්ලුවට තිබුන සංජීවගෙ මූණට ටිකක් බර ගතියක් එකතු උනා.

"අපේ අම්මට පිළිකාවක්. ඒක හොද කරන්න බෑ. ජීවිතේ තියෙන්නෙ තව මාස කීපයක් විතරයි කියල දොස්තරලා කිව්වා.." සැරේට පායන රජරට සූර්යාට වඩා වැඩි ගින්දරක් සංජීවගෙ පපුවෙන් පිටවෙන නිසාද මංදා මිනිහගෙ කටහඩ ටිකක් බැ‍රැන්ඩි වෙලා සද්දෙ අඩු උනා. පපුවෙ ගින්දරට වේලිච්ච උගුර එහෙම පාදලා සංජීව ආයෙත් කතාවෙ ඉතුරු ටිකත් පටන් ගත්තා.

"... අපේ තාත්තා ක‍තෝලික. ඒත් අම්මා බුද්ධාගමේ. අම්මගෙ අන්තිම කැමැත්තට තමා මෙහෙට ආවෙ. එයාට උදේටයි, හවසටයි උඩමලුවට යන්න ඕනලු. ඒකයි මීගමුවෙ ඉඩම් විකුණල මෙහෙට ආවෙ... මීගමුවෙ ඉදගෙන ඒ දේ කරන්න බෑනෙ..."

ආත්ම කථනය අවසනයේ සංජීව ඈතින් පෙනෙන මහා සෑය දිහා බැලුවෙ, "දැන් ඇති නේද?" කියලා නොකියා කියන්න වගේ. සංජීවට හුදකලා වෙන්න ඕන බව මට තේරුනා. සංජීවට විතරක් නෙවේ මටත් ඒ වෙනකොට ඒ දේම ඕන වෙලා තිබුනා.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.