අපේ
බොසා හරියට නෙල්ලි ගෙඩියක් වගේ පොරක්. වැඩ කරන වෙලාවට කොච්චර තිත්ත උනත්, ඕෆ් වෙච්ච වෙලාවට රස උනන උල්පතක්. මුල් දවස්වල ලොක්ක සයිට් එකට එනව කියන්නෙ අපේ උන්ට හෙනම ආතල් නිවුස් එකක්. ඒ, දවල් දවසෙ ගිරිය පුප්පගෙන කොච්චර මොර දුන්නත්, හවස් වෙනකොට බොසා ගානෙම සැර බීම දන්සැලක් අනිවාර්යයෙන්ම සෙට් වෙනව කියල දන්න නිසා. ඔය හැම දන්සැලක්ම අන්තිමේම බොසාගෙ මධුර හඩින් රසවත් වෙච්ච සර්ව රාත්‍රික ගී ප්‍රසංගයකුත් නොවැරදීම සෙට් උනා.
ලොක්කගෙ
බීම ගැනත් ටිකක් කියන්න ඕන. පොරට දේශීය, විදේශීය ඕනම බ්‍රෑන්ඩ් එකක් ඔට්ටුයි.
සැරබීම දන්සල ඉවර වෙනකොට, ඒකට ගොඩවෙච්ච බහුතරයකගෙ ඔලුව දනිහෙ ගෑවෙන ගානට ආවත්, ලොක්කා නෙවේ එක අංශකයක්වත් සිරසට ආනත උනේ. වැඩි වෙච්ච උන් වෙරිමර ගාතෙ පිස්සු කියවද්දි ලොක්කා කරේ හීන් සැරේ ඒ කියන ඒවා මීටර් කරගන්න එක. ගොඩක් උන්ගෙ වෙරි හිදෙන්නෙ, වෙරිමතේ දීපු ටෝක් වලට පහුවෙනිදා ලොක්කා ප්‍රතිචාර දක්වනකොට තමයි. ඇත්තටම ඔය බීම දන්සල නිසා, සයිට් එක ඇතුලෙ බල්ලෙක් චූ කරත් ලොක්කගෙ කනට නිවුස් එක ගියා.
ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත කාලේ, බොසා සයිට් එකට ආවෙ බොහොම කලාතුරකින්. ඒ ආවෙත් මොකක් හරි මරාලයක් පාත් වෙලානම් හරි, පොඩි චෙන්ජ් එකකට හරි තමයි. එහෙම එන හැම පාරකම අර කලින් කිව්ව දන්සැල නොවැරදීම සෙට් උනා. ඒත් පහුවෙන්න පහුවෙන්න, සතියට දෙ-තුන් ගමනක් ලොක්ක සයිට් එකට පාත් උනත් වෙනද දුන්න සැර-බීම දන්සැල නම් විවෘත උනේ නෑ. අපේ උන් කොච්චර බලන් හිටියත්, හවස් උනාම "ටටා.." කියල හෙමීට ලිස්සල යන්න ලොක්කා පුරුදු උනා. ඒ, මතට තිත තියපු නිසා නම් නෙවේ. බීල ආතල් එකක් ගන්න තරම් නිදහසක්වත් අපේ ප්‍රොජෙක්ට් එකෙන් හම්බ නූන නිසා.
වෙනදට
හේතු හොයන්නෙ නැතිවම සෙට්වෙන ලොක්කා, තමන්ගෙ උපන්දිනේ, නත්තල, අලුත් අවුරුද්ද වගේ සුවිශේෂී, මග හැර යා නොහැකි දවස් වලත් සීල් බෝතල් මග ඇරල යන්න ගත්තම නම් අපේ සයිට් එකේ උන්ගෙ රතු කට්ට පැන්නා.
"සර්ර්.. නත්තලටත්
මුකුත් කරෙත් නැති එකේ, අලුත් අවුරුද්දටවත්.." රැකියාව අහිමිවීමේ අවදානම පෙනි පෙනී, එකෙක් කිව්වෙ අන්තිම තුරුම්පුව විදිහට.
"හ්ම්ම්.. අදනම්
බෑ.. එන සතියෙ මම ආවම මොනවහරි කරමු " අපේ බොසා "යථාවාදී තථාකාරී" චරිතයක්. ලොක්කගෙ ඒ ගුණය දැනගෙන හිටි නිසා සයිට් එකේ කිසි එකෙක් ඊළග සතියෙ බෝතල් පාටිය ගැන සැක කරේ නෑ. අනික අපිත් එක්ක හිටපු අනුර අයියා ජොබ් එකෙන් අස්වීම සමරන්න යෙදිල තිබුනෙත් ඊළග සතියට. අනුර අයියා මතට තිත තියපු, අනිත් උන්ටත් බීමෙ ආදීනව විස්තර
කරල දෙන, අමද්‍යප පොරක්. ඒක නිසා පොරගෙ වියෝවීමේ පාටියට, පොර බොන්න දෙන්නෙ නෑ කියල
කලින්ම කිව්වා. ඒත් ඒකටත් හරියන්න සුපිරි
රෑ කෑම වේලක් දෙනවා කියල තමා මුල ඉදලම කිව්වේ. අනුරගෙ ඩිනර් එකට ලොක්කගෙ බීම දන්සල එකතු උනාම අවුරුද්දටම ඇති වෙන මෙගා ෆන් එකක් ගන්න තමයි කට්ටිය සතියක් තිස්සෙම සෙට් උනේ.
අපි
කවුරුත් පුල පුලා බලන් හිටිය ඒ ඉරණම්කාර දවස උදා උනේ වෙනද විදිහටමයි. ඒත් වෙනදා නැති අමුතු ප්‍රබෝදයක් අපි කා ගාවත් තිබුනා. උදේ පාන්දරම කුකුළටත් පයින් ගහගෙනම ලොක්කා සයිට් එකට ආපු නිසා අපේ ඒ ප්‍රබෝදෙ තවත් වැඩි උනා. වෙනදට ලොක්කගෙන් බේරෙන්න සයිට් එකේ අහුමුලු වලට රිංගන අපේ උන්, ලොක්ක හොයාගෙනම ගිහිල්ලා "ගුඩ් මෝනිං" කියන තැනට ඒ ප්‍රබෝදෙ අපිව ෆෝම් කරා.
දවල්
වරුව ගෙවීගෙන යද්දි, අනුර අයියා අරක්ඇමි උපාලිව කඩේට යවල රෑ කෑමට ඕන කරන දේවල් ගෙන්නුවත්, ලොක්කගෙන් කිසිම සුභවාදී ප්‍රතිචාරයක් පෙන්නුවෙ නෑ.
"කාලෙකින්නෙ සෙට්
වෙන්නෙ.. බොසා අපිව සප්‍රයිස් කරන්න හදන්නෙ.." එකෙක් කිව්වෙ පොරගෙ හිතත් හදාගෙන, අපේ හිතුත් හදන ගමන්. ඇත්තටම ඒක එහෙම්ම වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරා.
නුවර
වැව පැත්තෙන් ඉර බැහැගෙන ගිහින්, සයිට් එකට බිං කරුවල වැටෙන්න පටන් ගන්නකම්ම ලොක්කගෙන් සුභ ආරංචියක් ආවෙ නෑ. ලොක්කගෙ බීම දන්සල ගැන අදහස අතාරින්න ඔන්න මෙන්න තියෙද්දි තමයි, අරක්ඇමි උපාලි අපි කවුරුත් පුල පුලා බලන් හිටපු නිවුස් එක ගෙනාවෙ.
උපාලි
කියපු විදිහට නම් බොසාගෙ හිතේ බෝතල් පාටිය ගැන කිසිම උනන්දුවක් තිබිල නෑලු. ඒත්, "සර්.. කට්ටිය ගෙවල් වල යන්නෙත් නැතුව ඉන්නෙ, සර් එදා පාටිය ගැන කිව්ව නිසා.. " කියල කිව්වම තමයිලු ලොක්ක බැරි මර ගාතෙ හරි වැඩේට ඉස්සර උනේ. බොසාට උනත් හින්ට් පාස් කරන්න තරම් හැකර කටක් අරක්ඇමි උපාලිට තියෙන නිසා, පොරගෙ කතාව අපි ඉස්මුදුනෙන්ම පිලිගත්තා.
කොහොම
උනත් වෙනදා ලොක්ක බෝතල් පාටි වලට පෙන්නන උනන්දුව, එදා අපි කවුරුවත් බොසාගෙන් දැක්කෙ නෑ. වෙනදට අනුන්ගෙ පංගු ගැන හොයන්නෙ නැතිව තනියෙන් සත්කාරකත්වය දරන බොසා, මොණර කොල තුනක් දීල එදා ශේප් උනා. ඒක නිසා මදි පාඩුවටයි, බයිට් වලටයි අපේ උන් වෙනම කලෙක්ශන් එකක් දානවත් මම බලාගෙන.
** ** ** ** ** ** ** ** **
අනුරගෙ
ඩිනර් එක මැද්දි බෝතල් පාටියත් නැගල යද්දි අපේ උන්ගෙ පියවි සිහියත් ටික ටික අස්ථානගත වෙන්න ගත්තා. රාග තාල යන්තම් ගැට ගහගෙන, අමාරුවෙන් ඇදගෙන ගිය ගීත සාජ්ජෙ එකපාරටම නතර කරන්න උනේ, පියවි සිහිය හොදටම අස්ථානගත වෙච්ච සුපවයිසර් අසිතට කතාවක් කරන්න ඕනමයි කියල බෙරිහන් දීපු නිසා.
"ෂ්.. ෂ්..
පොඩ්ඩක් ඉන්න.... මට පොඩි කතාවක් කරන්න ඕන, අපෙ අනුර අයිය ගැන.. ග්ප්.." ලග හිටපු දෙන්නෙක් අල්ලගෙන උනත් බඹරෙ වගේ කැරකෙන ගමන් අසිත කිව්වා.
"සභහවෙන් අවසරයි.. ආ...
අපේ බොස්තුමාගෙන්ද අවසරයි..ඇත්තටම... ඇත්තටම.. අනුර අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේ කරපු සංග්‍රහයට.. " අසිත කතාව පොඩ්ඩක් නවත්තල, බොස් දිහා බලල, කින්ඩි හිනාවකුත් දාගෙන, ආයෙත් කතාව පටන් ගත්තා.
"අන්තිමේදි අනුර
අයියගෙ සල්ලි වලින් අපි කෑවා.. අපිට ලොක්කොන්ගෙ සල්ලි ඕන නෑ... හික්.. හික්.. අපේ සල්ලි වලින් අපි බිව්වා.. කවුරු මොනා කිව්.... ආ.. අ. " අසිත කතාව ඉවර කරන්න කලින්, පොර ලග හිටපු සිහිය තියෙන එකෙක් පොරගෙ කට වහගෙන ඇදගෙන ගියා.
"ආ... අපි
සිංදුවක් කියමු. ආ..ලෝකෙ විහිදී... පැතිරෙයිදෝ.. " බොස්ගෙ කලුවෙච්ච මූනට එළියක් දෙන්න කියල හිතාගෙන මම පදයක් ඇල්ලුවා.