Saturday, April 16, 2016

බොම්බයි මොටයි


ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියට මා ගොඩවූයේ සෑහෙන කලකට පසුවය. වෙනදා සතියකට වරක්, දෙවරක් හෝ ඊටත් කීපවරක් තැපැල් දුම්රියේ මා යන ගමන දැන් දැන් අඩුවී තිබේ. උදෑසනට දකුණු කලුතරින් ආරම්භවී මීගමුව බලා ඇදෙන දුම්රිය, හවස් වරුවේ අතිරේක ගමන් වාරයක් ලෙසින්, කොලඹ කොටුවෙන් නැවත දකුණු කලුතර බලා  ගමන් අරබන නිසා, වෙනදා තැපැල් දුම්රියේ ගමන් ගත් බෝහෝ පිරිසක් දැන් එහි ගමන් ගන්නේ නැත. කොටුවෙන් පිටත් වූ සැනෙන් එක පිම්මේ මොරටුව බලා දිවයන රාත්‍රී තැපෑල, මොරටුවේදී ලීබඩු පැටවීමටත්, තැපැල් මලු බෑමටත් බොහෝ වේලාවක් කා දමයි. විනාඩි විස්සකට, තිහකට පසු යාන්තමින් මොරටුවෙන් පිටත් උවත්, නැවතත් පානදුර දුම්රිය ස්ථානයේද එපමණම කාලයක් ගෙවා දමයි. 

දිනපතා කොළඹ ගමන් ගන්නා කාර්යාල සේවකයෙකුට විශේෂයෙන්ම පසුදා උදෑසන නැවතත් කොළඹ ආ යුතු අයෙකුට, තැපැල් දුම් රියේ මෙකී රස්තියාදුකාර ගමන මහත් වදයකි. එනිසාම අම්බලන්ගොඩ, හික්කඩුව මෙන්ම බොහෝවිට ගාලු යන්නවුන් පවා රාත්‍රී තැපෑල මගහැර "දකුණු කලුතර" දුම්රියෙන් කලුතරට පැමිණ ඉන්පසු දුරගමන් සේවා බස් රථයකින් ගමනේ ඉතිරිය ගෙවා දැමීමට හුරුවී සිටිති. මා ද ඉහතකී "දුම්රිය-බස්" දෙමුහුන් ක්‍රමයට හුරුවූයේ සුන්දර තැපෑලේ රසවත් රස්තියාදුව තවදුරටත් උහුලාගත නොහැකිවූ විටය. 

මා කොටුව දුම්රියපලට ලගාවන විට දකුණු කලුතර දුම්රිය පිටත්ව ගොසින්ය. රත්‍රී තැපෑල පස්වන වේදිකාවේ ගාල් කර ඇති අතර, කාකි කලිසන් ඇදගත් දුම්රිය කම්කරුවෝ තැපැල් සේවකයන් හා එක්ව පෝර උරවල දමා සීල් කල තැපැල් මලු දුම්රිය තුල අඩුක් කරති. 

රාත්‍රී තැපෑලේ දෙවන පන්තිය මැදිරිය ඇත්තේ තැපැල් මැදිරියට යාබදවය. ඒවනවිටත් බඩු පැටවීම නිමාවී තිබූ අතර තැපැල් මලු පැටවීමද අවසන් වීමට ආසන්න වී තිබින. වෙනදා පිටත්වෙන වේලාව ආසන්න වනවිට, අතොරක් නැතිව මැදිරි පිරී යතත් මා දුම්රියට ගොඩවන විටත්, දෙවන පන්තියේ ආසන කීපයක්ම හිස්වී තිබින. ආසනයට බරවූ මම, දෙපා සපත්තු යුගලෙන් මුදවා ඉදිරියට දිගා කලෙමි. සිවිලිමෙහි සවිලක පන්කාවේ තල අමුතුම හඩක් නන්වමින් අධිවේගයෙන් පරිභමණය වෙයි. මැදිරියේ සිවිලිම දෙස හිස් බැල්මෙන් මද වේලාවක් බලා සිටි මම, දවසේ දාහය රාත්‍රී තැපෑලේ මැදිරියට මුදාහලමින් දෑස් අඩවන් කලෙමි. 

යාබද තැපැල් මැදිරියේ යකඩ දොරවල් තදින් එකට ගැටෙන හඩත්,ඉබි යතුරු අගුල් වැටෙන හඩත් ඇසුනේ එකවිටය. ඉන්පසු ඇසුනේ දුම් රිය නියාමක තැනගේ තියුනු විසිල් හඩයි. සියුම් ගැස්මක් සමගින් රාත්‍රී තැපෑල, පස්වන වේදිකාව කොළඹ කොටුවේ තනිකරමින්, සෙමින් ඉදිරියට ඇදෙන්ට වින. මම අඩවන් වූ දෙනෙත් පියා ගතිමි. බේරේ වැවේ පල් ගද නාස්පුඩු කාරමින් දැනෙනවා යන්තමට මට මතකය.

"පළවන වේදිකාවට දැන් ලගාවූ රාත්‍රී තැපැල් දුම් රිය තව ස්වල්ප වේලාවකින් ගාල්ල බලා පිටත් වනවා ඇත. එම දුම් රිය නවත්වන්නේ....." ගොරහැඩි ස්පීකර් හඩින් මම අවදි උනෙමි.

විවරවූ දෑස් පලමුව සමපාත වූයේ සිවිලිමේ කැරකෙන පන්කාව වෙතය. එය පෙර පරිදිම වේගයෙන් නොනැවතී කරකැවේ. කොටුවෙන් පිටත් වන විට යබද අසුනේ උන් මිනිසාද බැස ගොසිනි. ආසන තුන හතරක් හැරුනු කොට මැදිරියේ සෙසු ආසන සියල්ලම පාහේ හිස්ව ගොසිනි. දෙපා යුගල නැවත සපත්තු කූට්ටම තුලට දමා ගත් මම, නිදිගැට කඩමින් දුම් රියෙන් බැස වේදිකාවට ගොඩ උනෙමි. වේදිකාවද මැදිරිය මෙන්ම පාලුවට ගොසිනි. ඉදහිට අයෙක් වේදිකාවට බැස දුම් රිය පිටත් වන්නේදැයි පරීක්ෂා කොට නැවත දුම් රියට ගොඩ වෙයි. තවමත් සේවකයෝ තැපැල් මලු තෝරති. හාන්සි පුටු යුගලක් ඔසවාගත් තවත් දෙදෙනෙක් ඒවා අඩුක් කල යුතු තැන් ගැන දුම් රිය නියාමකගෙන් විමසයි. මම අසල වූ ජල කරාමය වෙත ඇදුනෙමි. වතුර දෝතක් මුහුණට දමාගත් මම, තවත් දෝතක් බීගෙන බීගෙන ගියෙමි. සීනු නාදය ඇසුනේ එවිටම වාගේය.

ඔව් ඒ එම සීනු නාදයමය. 

මීට පෙර රාත්‍රී තැපෑලේදීමත් ඇසුනු, අප කුඩා කල ඇසී, මතකයේ පැලපදියම්වූ හොදින් හුරුපුරුදු ඒ සීනු නාදය. 

අප කුඩා කල "චූන් පාන්" තිබුනේ නැත. එහෙත් අද ඕනෑම අත දරුවකු උවද "චූන් පාන්" ගැන දනී. "චූන් පාන්" කරුවන් කිසිදිනක "චූන් පාන් - චූන් පාන්" හෝ "පාන් - පාන්" හෝ වෙනයම් නමක් හෝ කියමින් තම අලවිය සිදුකරනවා මා නම් මෙතෙක් දැක නැත. එහෙත් ගව්වක් දෙකක් දුර තියා උවද "චූන් පාන්" කරුවකු එන හඩ නොවැරදීම හදුනාගත හැක. ඒ ඔහුගේ ආවේණික සන්ගීත රාවයෙනි. මේ "සීනු නාදයද" එවැන්නකි. අසූව දශකයේ කෙලවරට වන්නට ඉපැදුණු අප, ඒ විසල් "සීනු නාදය" ඇසූ අවසන් පරපුර විය යුතුය. මා මදක් ඉස්සී මැදිරිය දෙස බැලිමි. මගේ අනුමානය හරියටම හරිය. අතකින් සීනුවත්, අතකින් "බොම්බයි මොටයි" කෑනයත් එල්ලාගත් කැහැටු මරක්කල මිනිසා මැදිරි දොර වෙත පැමිණියේය.

මරක්කල මිනිසා අනාරාධිතවම දුම්රිය පා පුඅරුව මත ඉද ගත්තේය. වමතේ මාපටගිල්ලෙන් අල්ලට සිරකරගත් කුඩා සීනුව නොනැවතී නින්නාද දෙයි. හේ බොම්බයි මොටයි ඇසිරූ වානේ කෑන් එක අසලින් තබා හරි බරි ගැසුනේය. මට තවත් ඉවසන්නට බැරිය.
 
"කීයද එකක්?"
 
"විස්සයි" මරක්කල මිනිසා මාදෙස නොබලාම, වානේ කෑන් එක විවර කොට, බොම්බයි මොටයි සකස් කිරීමට පටන් ගත්තේය.
 
"උදේම මට්ටක්කුලි ගියා දැන් තමා යෙන්නෙ. බේරුවලට යනකම්ම බිස්නස් තමා....." හෙතෙම පපඩමක් වැනි රෝස පැහැ යමක් ගෙන එය හරිමැදින් නවා දෙකට කැඩුවේය. ඉන්පසු ගෑරුප්පුවක් ගෙන වානේ කෑනය තුලට අතදමා බොම්බයි මොටයි අහුරු කීපයක් ගෙන "පපඩම්" පලු දෙක මැද්දට තබා මාවෙත දිගු කලේය. මම විස්සේ කොලයක් ඔහුට දිගු කලෙමි.

**          **          **          **          **          **          **          **

මා කුඩා කල සීනු නාදය ඇසෙත්ම  විදුලි වේගයෙන් වහ වහා ගේට්ටුව වෙත දිව යන්නේ බොම්බයි මොටයි කරු බවට සැක හැර දැනගැනීමටය. ඉන්පසු ආපසු දිව යන්නේ අම්මා සොයාගෙනය.
 
"අම්මේ.... මොම්බයි මොටයි යනවා......"
"ඉතින් ???" අම්මාට වගක් වත් නැත.
"අනේ අම්මෙ අරන් දෙන්නකෝ...." අම්මා නෑසූ කන් ඇතිව සුපුරුදු වැඩෙහිම නිරතවෙයි.
"අනේ අම්මේ....." මමද නොපසුබස්නා වීර්යයයෙන් ඇයට ඇවිටිලි කරමි.
"මොන වදයක්ද දරුවො. ඕවා කන්න හොද නෑ. කොහේ හදන දහ ජරාවක්ද දන්නෙ නෑ..."
"අනේ... ඔය හැමෝම කන්නෙ..."
"මල ජරාව... තනිකරම සැකරින් ගොඩක්...." අපේ අම්මාට අනුව බොම්බයි මොටයි යනු මාරාන්තික වසකි.
"හැමදාම කන්නෙ නෑනෙ අම්මෙ. අදට විතරක්......

මෙවැනි දෙබස් කණ්ඩ කීපයක් අම්මාත් මාත් අතර තවදුරටත් හුවමරු වන අතර, මාගේ ඇවටිල්ල අවසානයේ ඵල දරයි. එසේ ඵල නොදරන සෙයක් පෙන්වයි නම් මම කරන්නේ ටීක් බෝල සයිස් කදුලු බින්දු දෙකක් ඇස් දෙකේ පුරව ගෙන අම්මා දිහා බැලීමයි. ඇයට ඒ බැල්ම මගහැර යානොහැකි බව මම හොදින්ම දැන සිටියෙමි.
 
"ආ.... ගිහින් අරගන්නවා... හැබැයි බඩරිදෙනවා කියල එහෙම මට ඇහෙන්න කියන්නෙ එහෙම නෑ......
අම්මා රුපියලක් හෝ දෙකක් මා අත මිටමොලවයි. ඒ රුපියල් තුනයි පනහට පාන් ගෙඩිය කෑ අප ළමා කාලයයි. එනිසා රුපියලක් හෝ දෙකක් යනු බොම්බයි මොටයි ඇති පදම් කෑහැකි මුදලකි.

රුපියලත් අල්ලේ ගුලිකරගෙන මා නැවත දිව යන්නේ ගේට්ටුව වෙතයි. එවිට බොම්බයි මොටයි කරු අපේ නිවස පසුකරගෙන ගොස් හමාරය. එහෙත් මාදු ගගෙන් වටවී ඇති අපේ ගමට ඇත්තේ එක් පාරකි. එනිසා ගමට එන අයෙකු ආපසු යායුත්තේද ආමගින්මය. එසේත් නැතහොත් ගගට බැස පීනාගෙනය. මා බොම්බයි මොටයි කරු එනතුරු ගේට්ටුවේ එල්ලී පාර බලාගෙන සිටීමි. 

මේ මිනිහා ගගට බැහැල පීනලවත් ගියද?????? අතකින් බොම්බයි මොටයි කූඩයත්, අනිත් අතින් සීනුවත් එල්ලාගෙන ගගේ පීනන මිනිසෙකු මා මනසේ ඇදේ.

නැත්තන් බොම්බයි මොටයි ඉවර වෙලාවත්ද???? මනසේ ඇදෙන්නේ දහසකුත් එකක් ප්‍රශ්ණය.
කුතුහලය නිමවමින් අවසානයේ බොම්බයි මොටයිකරු ඈතින් මතුවේ.
පෙරමග ගමන් ගොස් හෙතෙම පිලිගන්නා මා, කඩදාසි කැබලි දෙකකට මැදිකරදුන් බොම්බයි මොටයි ටිකෙන් ටික රස බලයි.

ඒ රස අදටත් මාගේ රසනහර තුල නොමැකෙන සේ සිරවී ඇත. මරක්කල මිනිසාගේ බොම්බයි මොටයි හා මීට දශක දෙකකට, දෙක හමාරකට ඉහතදී පොඩි එකා සන්දියේ කෑ බොම්බයි මොටයි අතර රසයෙහි කිසිදු වෙනසක් නැත. දශක ගනනක් ගත වූවත් බොම්බයි මොටයි පරිණාමය වී නැත. 

දුම්රිය නියාමකගේ විසිල් හඩින් මාගේ සිoහාවලෝකනය නිමවිය. සිහින් හූ හඩක් නැගූ තැපැල් දුම්රිය සෙමින් ඉදිරියට ඇදෙන්ට වින. අවසාන මොම්බයි මොටයි කෑල්ලත් කටට දමාගත් මම වානේ පොල්ලට බරදී, පා පුවරුවට ගොඩ උනෙමි.


ප.ලි. : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතැනින්.