මීට
අවුරුද්දකට විතර කලින්, ට්‍රැවලින් බෑග් දෙකක් දෝතින්ම එල්ලගෙන, "කොළඹ-වව්නියාව" සෙමියක ඇවිත්, අනුරාධපුරේ "ඩී.එස්. වටරවුම" ගාවින් බැහැපු විදිය, තාමත් මට හොදට මතකයි. ඊට කලින් මම අනුරාධපුරේ ඇවිල්ලා තිබුනේ දෙපාරයි. ඒ දෙපාරම ආවෙ, ට්‍රිප් යන ගමන්. ඒත් එදා "ඩී.එස්. වට රවුමෙන්" අනුරාධපුරේට ගොඩවෙච්ච එක, ජීවිතයට මෙච්චර සුන්දර අත්දැකීම් ගොන්නක් මුහුකරාවි කියල, එදා මම හීනෙකින්වත් හිතුවෙ නෑ,
"තිළිණ මාසෙකට,
දෙකකට විතර අනුරාධපුරේ සයිට් එකට යන්න පුලුවන්ද ?? " කොළඹ කිට්ටුව සයිට් එකක වැඩ කර කර ඉන්න ගමන්, හිටි හැටියෙම අනුරාධපුරේ යන්න වීසා එක හම්බ උනේ බොසාගෙන් ආපු ඔන්න ඔය කෝල් එක. බොසා එදා "යන්න පුලුවන්ද ?? " කියල මගෙන් ඇහුවෙ, මම "බැහැ" කිව්වොත්, යවන්න වෙන කවුරුවත් සෙට් කරගෙන නෙවේ. මම ඒක හොදටම දැනගෙන හිටියා. ලොක්කගෙ වචනෙ අහක දාන්න බැරි නිසයි, වෙනසකටත් එක්කයි, මම හැරෙන තැපෑලෙන් ලොක්කට "හා.. " කිව්වා.
අනුරාධපුරේට
ආපු මුල් දවස්වල මම හිටියෙ, හදාගන්න වෙන ගෙදරකට අරන් ගියපු බළල් පැටියෙක් වගේ, මඤ්ඤං වෙලා. ඇත්තටම ආධුනිකයෙක්ට අනුරාධපුරේ හුරුවෙන්න සෑහෙන කාලයක් යනවා. මට හිතෙන විදිහට ලංකාවෙ වැඩිම වට රවුම් ප්‍රමාණයක් තියෙන නගරෙ, අනුරාධපුරේ. "අලුත් ස්ටෑන්ඩ් එක", "පරණ ස්ටෑන්ඩ් එක", "බැංකු ටවුම", "පොලීසිය", "උසාවිය", "ශික්ෂණ රෝහල", "ආයුර්වේදය" වගේ ප්‍රධාන ආයතන ඔක්කොම තියෙන්නෙ අනුරාධපුර නගර මධ්‍යට වෙන්න. තිස් අවුරුද්දක් විතර උතුරෙ රජකරපු ත්‍රස්තවාදය නිසා, අනුරාධපුරෙන් උතුරට වෙන්න තිබුන ප්‍රධාන නගර ඒ හැටි දියුණු උනේ නෑ. අනුරාධපුරේ මේ තරම් ජනාකීර්ණ වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති. අනුරාධපුරේ, කොළඹ තරමටම ජනාකීර්ණයි කිව්වොත් ඒක අතිශෝක්ථියක්. හැබැයි "දහයියාගම හංදියෙන්" පටන් ගන්න, "මෛත්රීපාල සේනානායක මාවත" නම්, පිටකොටුවෙ "මල්වත්ත පාර" තරම්ම ජනාකීර්ණයි.
අපේ
සයිට් එක තිබුනෙ, අනුරාධපුර නගරට ටිකක් ඈතට වෙන්න, කොටි ගහපු ආමි කෑම්ප් එක කිට්ටුව, නුවර වැව් ඉස්මත්තෙ. කරිජ්ජ හුළගට, වැලි පොළවට හුරුවෙලා හිටපු මට, රජරට දැවැන්ත වැව්-අමුණු , ඉමක් නොපෙනෙන කෙත් යායවල් අලුත්ම අත්දැකීමක් උනා. නිරිත දිග මෝසමෙන් සරුවට වැස්ස ලැබෙන අපේ පැතිවල පෑවිල්ල අල්ලන්නෙ උපරිම සතිදෙකයි, නැත්තම් තුනයි. ඒත් අනුරාධපුරේට එහෙම නෑ. එක දිගට මාස හතර-පහ-හය පායනවා. සතෙක්ට වතුර කදුළක් හොයා ගන්න නැති වෙන තරමට, මහ වැව් වල අඩිය පෑදෙන තරමට, ඒ පෑවිල්ල සැරයි. අනිතිමට කට්ටියම එකතුවෙලා "පිච්ච මල් පූජා", "ආශිර්වාද බෝධි පූජා" කරල වැහි වස්සවන්න පිරිත් කියන තරමටම පෑවිල්ල දරුණු වෙනවා.
ඔය
පෑවිල්ල ඉවර වෙන්නෙ නොවැම්බර් අන්තිමේ පටන් ගන්න ඊසාන දිග මෝසමෙන්. ඊසාන දිග මෝසම නිරිත දිස මෝසම තරම් සරු නෑ. ජනවාරි අග වෙද්දි ඊසාන දිග මෝසම ඉවරයි. ඒත් එතකොට අවුරුද්දක් අල්ලලා ඉන්න ඕන තරම් මහ වරුසාවකුත් රජරටට ලැබිලා ඉවරයි. ඊසාන දිග මෝසම නිසා රජරට මහ වැව් ඔක්කොම වගේ තරගෙට වාන් දාන්න පටන් ගන්නවා. "මහ" කන්නය වගේම "යල" කන්නයත් කුඹුරු කරන්න වතුර ඉතුරු වෙන්නෙ ඔය විදිහට පිරිලා ඉදිරිලා යන මහ වැව් සමූහය නිසා.
රජරට
සරු පොළොව "හියුමස්" වලින් සශ්‍රීකයි. ඒක නිසා වතුර බැහැල යන ගතිය සාපේක්ශව අඩුයි. එක දිගට අල්ලලා යන වරුසාවට, රජරට පොළොවෙන් දිය බුබුළු මතු වෙන්න පටන් ගන්නෙ ඔය හේතුව නිසා. හැබැයි දවසක් දෙකක් පෑව්ව ගමන් වතුර ඔක්කොම ටික හිදිලා දූවිලි මතුවෙන ගානට ආයෙ කරකූට්ටම් වෙනවා.
දෙසැම්බර්
මහ වරුසාවත් එක්ක මඩ කරපු කුඹුරුවල කරල් පීදෙන්න ගන්නෙ පෙබරවාරි අග හරියෙදි. පොත්වල
පත්තරවල පීදෙන "රන් ගොයමෙ" අපූර්වත්වය විස්තර කරලා තිබුනට, ඒක අත්දැකීමෙන්ම
විදගන්න ලැබුනෙ රජරටදි. ඒක බොහොම චමත්කාරජනක දසුනක්. පැහුන වී කරල් ඇත්තටම "රන්"
පාටයි. සාහිත්‍යකරුවො මේ අපූර්වත්වයෙන් මුසපත් වෙලා වෙනමම සාහිත්‍යක් ගොඩ නොනැගුවානම්,
ඒක සීගිරියට වඩා මහා පුදුමයක් වෙන්න තිබුනා.
ඉස්සර
කාලෙ කුඹුරෙ ගොයම් කපන එක සිද්ද උනේ "අත්තමට". "කැපුම් අත්තම" කියල කිව්වෙ ඒකට. ඒත් අද ගොයම් කපන්නෙ යන්ත්‍රානුසාරයෙන්. "සුනාමි" , "බූතයා" කියල ගැමි උරුවට හදුන්වන "සංයුක්ත අස්වනු නෙලීමේ යන්ත්‍රා" (combined
harvesting machine) තමයි
ගොඩක් තැන්වල පාවිච්චි කෙරෙන්නෙ. මේ දෙකෙනුත් "බූතයා" තමයි ජනප්‍රියම. "බූතයා" ලවා කපපු කුඹුරක් හරි පහසුවෙන් අදුර ගන්න පුලුවන්. කෙතේ කෙලවරක අඩි දහය-දොලහක් උසට පිදුරු විසි වෙලා තියෙනවා නම් ඒක "බූතයා" වැඩ කරපු තැනක්.
රජරට
(අනුරාධපුරය) ට ආවේනික තවත් සංකේතයක් තමා "පුල්ලෙයාර් දෙවියො". කතෝලික ජනතාව ජීවත්වෙන පැතිවල තුම්මං හන්දිවල "සුරුවම්" තියෙනවා වගේ, දකුණේ බෞද්ධ පැතිවල බුදු පිළිම තියෙනවා වගේ, අනුරාධපුරේ හැම තුම්මං හන්දියකම, හතර මං හන්දියකම "පුල්ලෙයාර්" පිලිමයක් තියෙනවා. ගොඩක් දෙනෙක් රජරට හදුන්වන්නෙ "අයියනායක දෙවියන්ගෙ අඩවිය"ත් විදිහට. "අයියනායක", "පුල්ලෙයාර්", "ගණ" කියල විවිද නම් වලින් හදුන්වන්නෙ එකම දෙවිකෙනෙක්ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. හැබැයි "පුල්ලෙයාර්" දෙවියන් නම් "ගණ" දෙවියන්ගෙ ස්වරූපයමයි. "පුල්ලෙයාර් දෙවියන්" කියන්නෙ දුටු ගැමුණු රජතුමාත්, එතුමාගෙ කඩොල් ඇතා "කන්ඩුල" ත් එකතු කරලා රජරට වැසියන් සිදුකරපු නිර්මාණයක් කියලා බ්ලොග් අවකාශෙ ලිපියක් තිබුනා මතකයි. ඒත් ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ. කොහොම උනත් තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්දෙද්දි රජරට බෞද්ධයන් අතරට "පුල්ලෙයාර් දෙවියන්" මෙච්චරම සමීප උනේ කොහොමද කියල නම් ගවේශණය කරන්න වටිනවා.
"පුල්ලෙයාර් කිරිබත්"
රජරටටම ආවේණික දෙයක්. හකුරු, මිදි, රට ඉදි, උක්ගස්, කඩල, සූකිරි වගේ නොයෙක් ජාති දාල, රස ගන්වපු කිරිබතක් තමා "පුල්ලෙයාර් කිරිබත". ඇඹුල්
කෙසෙල් එක්ක ඇරෙන්න, පිලිහඩුත් එක්ක "පුල්ලෙයාර් කිරිබත්" කන්නෙ නෑ.
සිංහල-හින්දු අලුත් අවුරුද්ද තියෙන්නෙ ගමේ. ඒකනිසා කොළඹ පැතිවල උදවිය අලුත් අවුරුද්දට ගම්වලට යනවා. වෙසක් තියෙන්නෙ කොළඹ. ඒකනිසා වෙසක් කාලෙට, ගම්වල කට්ටිය වෙසක් බලන්න කොළඹ එනවා. හැබැයි "පොසොන්" තියෙන්නෙ අනුරාධපුරේ විතරමයි. ඒක නිසා කොළඹ අයයි, ගම්වල අයයි හැමෝම පොසොන් එකට අනුරාධපුරේ එනවා. මහින්දාගමනය සිදුවෙච්ච මිහින්තලයත්, අටමස්ථානයත් පොසොන් එකට අතුරු සිතුරු නැතිවෙන්න පිරෙනවා. සාමාන්යයෙන් පොසොන් එකට සයිට් එක සතියක් විතර වහනවා. ගියපාර පොසොන් එකට සයිට් එකේ සෙට් එක එක්ක එකතු වෙලා උදේ ඉදන් රෑ එළි වෙනකම් දන්සැල් ගනෙ ගියපු එක විස්තර කරන්න වචන නැති තරමටම අපූරුයි. ලංකාවෙ මිනිස්සු කොයිතරම් පරිත්‍රාගශීලීන්ද කියලා හිතෙන්නෙ පොසොන් එකට තියෙන දන්සැල් තොගේ දැක්කම. ගොඩක් දන්සැල් සංවිධානය කරලා තිබුනෙ ඒ සදහාම ස්ථීරව පත්කරගෙන තිබුන කමිටු වලින්. අනුරපුරේ මිනිස්සුන්ට අමතරව පිටපලාත්වලින් ආපු උදවියත් මේ දන්සල් සංවිධානයට එකතු වෙලා හිටපු හැටි අපි දැක්කා.
** ** ** ** ** ** ** **
එදා
රජරටට අමුත්තෙක් වෙච්ච මට රජරට අපූර්වත්වය දැනුනෙ ඔන්න ඔය විදිහට.මගේ දැනීමෙ හැටියට රස්සාවකින් අපි හම්බ කරගන්න දේවල් තුනක් තියෙනවා. ඒ සල්ලි, අත්දැකීම් සහ මිනිස්සු. මම අනුරාධපුරේදි වැඩිපුරම හම්බ කර ගත්තෙ අත්දැකීමුයි, මිනිස්සුයි. අත්දැකීම් කිව්වට ඒවා වෘත්තීමය අත්දැකීම් නෙවේ. රජරට ජීවිතයට ආවේණික අත්දැකීම්.
සමීර
අයියා, අරුත්, රසික. දසයා, අසිත, චතුරංග, උපේ, කාලිංග, ක්ලිෆඩ්, දීපාල්, සරා, ලක්ෂ්මන්, ඇතුලු සෙට් එක තමයි මම හම්බ කරගත්ත මිනිස්සු ටික. සාමානයෙන් "සිවිල්" සයිට් එකක ඉන්න සෙට් එක එච්චරම ෆිට් වෙන්නෙ නෑ. ඒත් අපේ සයිට් එකේ සෙට් එක එහෙම නෑ. සමහරවිට ඒ, එකම වයස්වල කොල්ලො සෙට් එකක් නිසා වෙන්න ඇති. මම උන් සෙට් එකත් එක්ක අනුරාධපුරේ නාපු නැති වැවක්, ඇවිදපු නැති සිද්ධස්ථානයක් නැති තරම්. වැව් වාන් දාන කාලෙට වැව් ගානෙ ගියෙත්, පදවියෙ හේන් රකින්න ගියෙත්, අප්‍රසිද්ධ සිද්ධස්ථාන හොයාගෙන ගියෙත් අපේ සෙට් එකත් එක්ක. ඇත්තටම උන් හොද කොල්ලො සෙට් එකක්. පුද්ගලික හේතු නිසා රජරටට සමුදෙන එක, කැම්පස් එකේ හොස්ටල් සෙට් එකට සමු දෙන තරමටම හැගීම් බර උනේ ඒක නිසා. වෙනදට ගෙදර එන්න, බස් එකට නැග්ග ගමන්ම නින්දක්
දාන්න සීට් එකට හේත්හුවක් දාන මම, රජරටට
සමුදීලා එන දවසෙ, "දෙකේ කණුව" ගාව වෙනකම්ම හැරි හරී ආපස්ස බැලුවෙ වෙනදා වගේ නින්දයන්න තරම් හිතේ සැහැල්ලුවක් නැති නිසා වෙන්න ඕන.
මේ
බ්ලොග් පෝස්ට් එක ලිව්වෙ, රජරට, එහි අව්‍යාජ මිනිසුන් වගේම අපේ සයිට් එකේ සෙට් එක වෙනුවෙන්..........