කැළණියේ
සුසිල්වත් සිල්වාට පසුව, "ගැමුණු" නාමයට වැඩිම කීර්තියක් අත්කරදුන්නේ පුද්ගලික බස් රථවලට අරක්ගත් "බස් ගැමුණු"ය. ඇතැම්විට කැළණියේ සිල්වාත්, "බස් ගැමුණු"ත් නොහිටින්න, මෙරට දේශප්‍රේමී, සුජාත සිංහලයන්ගේ දෙතොල් අතරින් "ගැමුණු" නාමය මග ඇරී යන්නට තිබුනි. ඒ අතින් ගත්කල, දැයේ මතු පරපුර ඔවුන් දෙදෙනාට මල් තබා වැන්දත් පාඩු නැත.
වරක්
ඡන්දය ඉල්ලා, ඇපත් නැතිවන තැනට කුජීත වූ "බස් ගැමුණු" කාලෙන් කාලෙට, තමන් මිහිපිටින් වදවී නැති බව මගී ජනතාවට මතක්කර දෙයි. ඉස්සරනම් පොර කරේ නොලැබෙන ඉල්ලීමක් ඉල්ලා, හැරෙන තැපෑලෙන් වැඩ වැරීමයි. එහෙත් දැන් "බස් ගැමුණු" වෙනදාට වඩා හික්මී ඇති බවක් පෙනේ. වෙනදාමෙන් මගියාගේ බොටුව මිරිකා, පොකට්ටුවට විදීමක් පෙනෙන්නටද නැත. ඇතැම්විට නිසි බලධාරීන් විසින් නිසි කලට මගී පොකට්ටුවට කෙලිනා
නිසා, පොර නිහඩවී සිටිනවා විය හැක. බස් මුදලාලිලාගේ දැවෙන ප්‍රශ්ණ හොදින් හදුනාගත්, බස් මුදලාලි කෙනෙකුම, "නිසි බලධාරියා" වී ඇත්තේ මගියාගේ වාසනාවටය. එසේ නොවන්නට වෙනදා මෙන් "බස් ගැමුණු"ලාගේ දරදඩු හස්තයේ හයිය බලන්නට අපිට සිදුවනු ඇත.
කලකට
පසුව "බස් ගැමුණු" නැවත කළ එළි බැස ඇත. ඒ වෙනදා මෙන් මගියාගේ බොටුව සොයාගෙන නොවේ. මගියා වෙනුවෙනි. කොටින්ම, මගී අයිතිවාසිකම් වෙනුවෙනි, මගී සුඛවිහරණය වෙනුවෙනි. සැබවින්ම මේ වෙනස නම් අසිරිමත්ය. ආශ්චර්යට යන ගමනට "බස් ගැමුණු"ද එක්වී ඇති හැඩකි. ඇගිලි කැපූ අංගුලිමාලට, රහතුන් නමක් බවට පත්වී ලෝ සතන් සනහාලන්නට හැකිනම්, "බස් ගැමුණුගේ" විපර්යාසය, මොන කජ්ජක්දැයි යමෙකුට සිතෙන්නට පුලුවන. එහෙත් "බස් ගැමුණු"ගේ යටගිය කෙරුවාව හොදින් දන්නා කිසිවෙකු, "අනේ සාධූ"යි කියනවා මිසක්, මෙකී විපර්යාසය සුලු කොට නොතකනු ඇත.
"බස් ගැමුණු"ගේ අලුත්ම සටන් පාඨය දැනටමත් ඔබ හොදින් දන්නවා ඇත. "බස් රථ තුල වෙළදාම් කිරීම තහනම් කරනු!!!! ". එය ඇසෙන වාරයක් පාසා මගේ ඇගේ මවිල් හිරි වැටී යන්නේ, "ගැමුණු" ගැන උපන් ආඩම්බරයෙනි. හෙතෙම අපේ කාලයේ නියම සටන් කරුවෙකි. ඔහු ගේම ඉල්ලන්නේ එසේ මෙසේ පොරවල්ගෙන් නොවේ. බහු ජාතික ජංගම වෙළද සමාගම් වලිනි. වඩයක් විකුණා, වතුර බෝතලයක් විකුණා, එහෙමත් නැත්තන් කපුරු බෝල පැකට්ටුවක්, පහේ කාසි මාලයක් විකුණා පරම්පරා හත අටකට හම්බකර ගත්
සුපිරි මුදලාලි පැළැන්තියෙනි. "බස් ගැමුණු"ලා මෙන් නොව, මෙකී ජංගම වෙළෙන්දෝ බලහත්කරයෙන්, බස් මගියාව හූරාගෙන කන අන්දම ගැමුණුගේ හදට වාවන්නේ නැතිව යෑම, සැබවින්ම මගියාගේ පිනටම වූවකි.
අනෙක්
අතට මෙකී ජංගම වෙලෙන්දෝ කඩා වඩා ගන්නේ මගියාගේ පොකට්ටුව පමනක්ම නොවේ. බස් රථය තුල මගියාට ඇති නිදහසටයි. මිහිරි ගීයක් ශ්‍රවණය කරමින්, සුව පහසු ආසනයකට බරවී, ගැස්සීම පැද්දීම් නැතිව, නොපමාව ගමනාන්තය කරා යාමට, "බස් ගැමුණු"ලා මගියාට ලබා දුන් නිදහසටයි.
මගියෙකුට
මගදී බීමට ජලය බෝතලයක් ගැනිමට, කෑමට යමක් ගැනීමට, "බස් ගැමුණු"ලාගේ සහචරයෝ ගමනේ අඩක් දුරදී, තෝරාගත් හෝටලයකට අල්ලා නවත්වන බැවින්, කූඨ ජංගම වෙළදුන් නැතුවාට මගියාගේ දිව ගිලී මිය යන්නෙ නැත. අනෙක එකී හෝටල්වල තත්වයද උසස්ය. ජංගම වෙලදුන්ගේ මෙන් නොවේ. ආහාර පාන නිරන්තර පරීක්ෂණයට, නිරීක්ෂණයට, අධීක්ෂණයට ලක්වේ. නියමිත මිලට වඩා එක සතයක් වත් වැඩිපුර නොගනී. කුපාඩි මගියෙක් දෙන්නෙක්, එකී හෝටල් ගැන කට කැඩිච්ච කතා කීවද "බස් ගැමුණු"ලා ඒ ගැන නොතකන්නේ , ඔහු ඒවායේ තත්වය හොද හැටි දන්නා නිසාය. අනෙක ඇත්තටම ඒ හෝටල් නියමිත ප්‍රමිතියෙන් නැතිනම් "බස් ගැමුණු" නිකන් ඉන්නේද නැත. ජංගම
වෙළෙන්දන්ට එරෙහිව අවි ඔසවන ඔහුට, එකී හෝටල් මුදලාලිලා කජ්ජකි.
"බස් ගැමුණු"
අප වෙනුවෙන් සටනට බහිද්දී, අප කල යුත්තේ ඔහුට ගට දීමයි. මෙරට බස් කර්මාන්තයේ දැවෙන
සහ
එකම
ගැටලුව වන "බස් රථ තුල වෙළදාම" නිට්ටාවටම තුරන් කිරීමට අප, ඔහුට ගට දිය යුතුය. අප ගට දෙන අතරතුර "බස් ගැමුණු"ගේ සටන, ලත් තැනම ලොප් කිරීමේ දේශීය විදේශීය කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැක. මන්දයත් බස් රථ තුල වෙළදාමේ නිරතවන සුපිරි මුදලාලි පැළැන්තිය, තමන්ගේ බඩට පහර වදිනවිට නිහඩව නොසිටන හෙයිනි. එනිසා ගැමුණුට ගට දෙන අතරම, මගියාට ගුණාත්මක බස් සේවයක් උරුම කිරීමට කැපවන ඔහුව රැක ගැනීමටද අප පෙරට ආ යුතුය. මා මේ ලිපිය ලියුවේද එහෙයිනි.