එක්
සමයැක "වේලුපිල්ලේ" නම් මනුෂ්‍ය ඝාතනයෙහි දක්ශ වූත්, චන්ඩ වූත්, ලෙයෙහි කරුණා මෛත්‍රී සිදී ගියා වූත්, දුටු දුටුවන් නෙත් බියෙන් අලවාලූත්, රාක්ෂයෙක් බදු භයංකර මනුෂ්‍යයෙක්, තිස් වසරකුත් තවත් මද කාලයක්, සිරිලංකාද්වීපයෙහි උත්තර හා පූර්ව හා දෙදිශාවන්හි, තමුන්ගේ මහානුසම්පන්න බල පරාක්‍රමය පතුරුවාගෙන කල්ගත කරන්නේ, අවශේෂ ජනයා හට මහත් වූ විපත් ගෙන දෙන්නේය. යටත් වැසියෝද, බිලාල රාජයෙකු නෙත ගැටී, ගුලට වැදි මූසික සමූහයා මෙන් මහත් වූ සැක සංකා උපද්දවා ගෙන භයෙන් දිවිසරන්නේය.
එකල්හි
රෝහණ දේශයෙහි ජන්ම ලාභය ලදැ, “මහේනද්‍ර” නම් නිර්භීත නරපති කෙනෙක්, උපාය ශිල්පයෙහි දක්ශ වූත් පක්ෂ වූත්, එක මවු කුස ජාතක වූත්, තමන්ගේම මලනුවන් හා යුද්ධ කර්මයෙහි මහත් වූ සූර වීර කම් පෑවා වූත්, තේජාන්විත වූත්, යුද්ධ සෙන්පතියෙක් හා එක්වැ, දස බිම්බරක් තරම් වූ සතුරු බළ ඇණි දූරීභූත කොට, ලංකාද්වීපයට සැනසුම් වැසි වස්සවන්නේ, යටත් වැසි ජනයා මහත් වූ ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ.
“මහේනද්‍ර” නරපති තෙමේද යුද්ධ කර්මයෙන් අනතුරුවැ, රටෙහි සකලවිදැ නුවරුන් එක්කොට මහා මාර්ගයන් ජනිතකරවන්නේ,
මනුෂ්‍ය
ජනතාවට ගමනෙහි පහසුව සලසන්නේය. මහා මාර්ග දියුණු
තියුණු වැ ගිය කල බස් රථ කරුවෝද නා නා විද නුවරුන් යා කොට මගී පහසුව අරභයා නව රථ මුහු කරන්නේය. මෙපරිද්දෙන්, දෙකොනක් අල්වා වියන ලදැ මකුළු හුයක් මෙන් රට වෙලාගත් මාවත් ඡාලයක් ජාතක විය. ඉක්බිත්තෙන් දක්ඛිණ දේශයේ වැසියෝ, රක්ෂා කොට දිවි රැක ගන්නා අටියෙන්දැ, නාගදීප අදී කොට ඇති උත්තම භූමීන් වන්දනා කරනා අටියෙන්දැ, මේතාක් කල් ඇස නොගැටුනා වූ උත්තර හා පෙරදිග නුවරවල චාරිකා කරන්නට වන්හ.
දක්ඛිණ
දේශයේ, ගොඩවාය සමීපයෙහි පිහිටි එක් නියම් ගමැක, එක් උත්සාහවන්ත දුක්පත් පුරුෂයෙකි. හෙතැම රාත්‍රී සමයෙහි මහා සමද්‍රය කරා එළැඹ, තොරා, මෝරා, බලයා අදී කොට ඇති මත්සයය සමූහයා අල්වා ගෙන අවුත්, විකුණා, අඹු දරුවන් රක්නේය.
දිය පිරී ගිය තඩාගයකින් පැන් බදුනක් ගත් නියා, එකී තඩාගය සිදී නොයන්නා සේ කොතෙකුන් අල්වා ගත්තත් මහ සාගරයෙහි වසනා මත්සයය සමූහයා මදකුදු ක්ෂය නොවෙතත්, වර්ෂයේ එක් සමයැක මහා සාගරයට බැසීමට කිසිකෙනෙකුන් සමර්ථ නොවන්නේය. එසමයැහි මහා සාගරයැ රළ පහර චන්ඩව නැගී සිටින්නාහ. පවනද රෞද්‍ර වන්නේය. කරුණු එසේ හෙයින් දක්ඛිණ නුවර වැසියෝ එසමයෙහි මහා සාගරයට බැසීමට මැලි වෙත්. දක්ඛිණ දේශයේ එසේ උවත් එසමයැහි පෙරදිග සාගරය එසේ නොවන්නේයැ. පෙරදිග සාගරය සිහිල් පවන් පොදැක් මෙන් මටසිලුටුවැ ඇත්තේය.
එකල්හි
එකී උත්සාහවන්ත පුරුෂයා සිතන්නේ; "මහා සාගරය රෞද්‍රයැ කියා උකටලීව වැද හුන්හොත් අඹු දරුවන් රක්සා කිරීමට මගක් නැතිවැ මහත් වූ අනර්ථයක් වන්නේය. එහෙයින් පෙරදිග බලා ගොස්, පෙරදිගින් රක්ෂා පිණිස මහා සාගරයට වන්නේයැ" යි, පෙරදිග නුවරක් බලා යෑමට සිත් ඇතිව, පූර්ව සමයෙහි මෙන් නොවැ, යුද්ධ කර්මය අස්ථාන වීමෙන් අපර සමයැහි, දක්ඛිණ හා පෙරදිග හා යා කෙරෙමින් රථ ඇති පදම් දිවැන්නේ, එවැනි රථයකට ගොඩවන්නේය.
පෙරදිග
නුවරුන් බලා යෑමද සිතූ තරම් පහසු කාර්යයැක් නොවන්නේය.
ඉදින් ඊට අඩ දිනක් තරම් වූ කාලාත්‍රයක් ගතවන්නේය. මහත්වූ පීඩා ආදිය වන්නේය. කරුණු එසේ හෙයින් බස් රථ කරුවෝද අනවරථව නොදුවන්නේ, ප්‍රධාන නුවරුන් අලලා මගින් මග නවත්වා, පැන් පහසුව, ආහාර පහසුව උපයා සපයා ගන්නේය. මෙලෙසැ පංච හෝරාවක් පමන ගතවූ කලිහි රථය, කොලොම්තොට ප්‍රධාන රථතොටට සමීප වන්නේ, බොහෝ පිරිස් රථයෙන් බැස නික්මෙන්නේය. නවක පිරිස් රථයට ගොඩවන්නේය.
රථය
කොලොම්තොට නැවැත්වූ කල්හි, අප කතානායක, උත්සාහවන්ත පුරුෂ තෙමේ, පංචම හෝරාවක් පමන අසුන්ගතව ආ හෙයින් දැ එපරිද්දෙන්ම තවත් හෝරා කීපයක් යා යුතු හෙයින් දැ තෙහෙට්ටු වූ සරීර මදක් සන්තර්පණය කරගනු ඉටා රථයෙන් බැසීමට සිත් ඇතිව, රථ පාලක කොන්දොස්තර තැන අමතන්නේ; "එම්බල මා සබද, පංචම හෝරාවක් පමන කල් මා මේ ආසනයෙහි වකුටුව ආවෙමි. එහෙයින් මාගේ අත් පා වේදනා දෙන්නේයැ. පශ්චාත් භාගය හිරිවැටී ඇති සෙයැකි. සරීර කෘත්‍යයේද අවැසිය. එහෙයින් මදකට මා මේ රථයත්, ආසනයත් හැර පියා යැමි. මා පෙරලා එනු තාක් තොපට මේ ආසනය රැක ගත හැකි වේදැ"යි විචාරා, රථ පාලක තෙමේද "යහපතැ"යි ගිවිසුම් දෙන්නේ, අප කතානායක පුරුෂයා රථයෙන් බැස යන්නේය.
කතානායක
පුරුෂයා රථය හැර ගිය සමයෙහි මද කාලයකට පසු වැ වෙනත් පුරුෂයකු රථයට ගොඩ වන්නේයැ. හෙතෙම මහත් වූ ශරීර ඇත්තාහ, පූර්ණ වූ මාංශ ගොබයෙන් සන්නද්ධ වූ බාහු ඇත්තාහ, තරව වැඩුනු උඩු රැවුලක් ඇත්තාහ, ඹළිදැට මෙන් රත් වූ ඇස් ඇත්තාහ, මුවින් සුරා ගන්ධයක් වහනය වන්නාහ, හිස්ව ඇත්තාවූ ආසනය දර්ශනය වන්නේ, වහා ගොස් එහි හිද ගන්නේය. එකල්හි යාබද ආසනයෙහි හිමිකරු පවසන්නේ "මිත්‍රය, මෙකී ආසනයෙහි වෙනත් පුරුෂයෙකු සිටින්නේයැ. හේ මදක් ඉවත ගිය නමුදු, නැවත පැමිනෙන්නේය". මහත් වූ ශරීර ඇත්තා වූ පුරුෂයාද, කවුලුව සමීපයෙහි ආසනයක් බැවින් මහත් වූ ලෝභ උපදවා ,එකී බස් ඇසී, නෑසී ගිය කන් ඇත්තකු සේ ඉවත බලා, ආසනයෙහිම පැලපදියම් වන්නේය.
කාලය
මදින් මද ගෙවී යන්නේ, උත්සාහවන්ත පුරුෂයා ශරීර කෘත්‍ය නිමවා, නැවතැ රථයට ගොඩ වැ තමන් සන්තකයෙහි පැවතියා වූ ආසනය සොයා එන්නේය. එකල්හි තමුන්ගේ ආසනය වෙනත් පුරුෂයෙකු ගොදුරු කොට ඇති නියා දැක, තුෂ්නිම්භූත වැ, එකී පුරුෂයාව අමතන්නේ; "එම්බල යහපත් පුරුෂය, මා මෙහි පංච හොරාවකට මදක් වැඩි කාලයක් ලැග උන්නෙමි. මහත් වූ ශරීර පීඩාවන් ජනනය වූ හෙයින් මදකට ඉවත ගියෙමි. එහෙයින් ක්ෂමා වදාරා, වෙනත් ආසනයකට මාරු උන මැනවි"යි යහපත් බසින් තෙපුලන්නේය.
උත්සාහවන්ත
පුරුෂයාගේ යහපත් බස් අසනු අනෙක් පුරුෂයා, "මොහු නම් නියාලු ගති ඇති ක්ෂද්‍ර සරීර ඇත්තෙකි. මුහුණෙද රෞද්‍ර ගති නැත්තේය. එහෙයින් උස් වදන් පවසා බිය ගන්වමි"යි සිතා, "එම්බල තෝ නන් දොඩවන්නෙහිද ?? මා මේ ආසනයෙහි මුල පටන් හිද ආවෙමි. තා අන් එකක් සොයා ගනුව"යි සකල රථයටම ඇසෙනා පරිද්දෙන් කේසර හඩින් ගර්ජනා කරන්ට වන්නේය.
එකල්හි
උත්සාහවන්ත පුරුෂයාද, දුර්මුඛ වැ, මහත් වූ දොම්නසට පත් වැ "අහෝ මට උන් විපත්තියක තරමැ. ඉදින් මා හට කාගේ නම් පිලිසරණ කැ"යි සිතා, රථ පාලක තැන සම්මුඛ වන්නේ, ආසනය ආපසු සන්තක කොට දෙන්නැයි, රථ පාලක තැනට කන්නලවු කරන්නේය. එබස් අසනා රථ පාලක තැනද, "යහපති"යි ගිවිස, උත්සාහවන්ත පුරුෂයාද කැටිව, "ආසන ප්‍රශ්නය" විසදනු වස්, පෙර කී ආසනය කරා එලැබෙන්නේය.
රථ
පාලක තැන, උත්සාහවන්ත පුරුෂයා වැද උන් ආසන්යෙහි, අල්ජ්ජීව ලැග ඉන්නා, දුෂ්ඨ පුරුෂයා අමතන්නේ; "යහපත් මගිය, තමුන් වැද හිදිනා ආසනය මෙකී පුරුෂයට අයත්යැ. දීර්ග හෝරාවක් ආසනගතව උන් හෙයින් හෙතෙම මදකට ආසනයෙන් බැහැර වූයේයැ. එහෙයින් මෙකී ආසනය උනුන්ටම ලබා දෙවැ"යි, මියුරු බසින් තෙපලන්නේය.
යටකී දුෂ්ඨ පුරුෂයාද පූර්වයෙහි මෙන් උස් වදන් පවසා බිය ගන්වමියි සිතා, මෙකී භුවනත්‍රයෙහි තමා යටපත් කල හැක්කෙක් නොවෙතැයි මහත්වූ ගර්ව උපදවා, සා දුකින් පෙලෙන්නා වූ කැනහිල් රාජයෙකු මෙන්, රථ පාලක තැන මතට කඩා පනින්නේ; "එම්බල කොටළුව,, තෝ තා කුමක් දනිත්ද?? මා මෙහි නැගි කල ආසනය රික්තවැ පැවතින. එසේ හෙයින් මම ආසන ගතවීමි. කුමන කරුණක් නියාවෙන් ආසනය නොදෙමි. තවද මා ඉදිරියෙන් සම්මුඛ
වන නුවරක පිරිස් බලය ඇත්තෙක්මි. එහෙයින් තව තවත් නන් දොඩවන්නට වන්නේ නම් රථයට එනුවරින්
යාමට ඉඩ නොදෙමි"යි
මහත් වූ ශබ්ද නංවා, දුෂ්ඨ ලෙසින් ආකෝස පරභ්රව කරන්ට වන්නේය.
එකෙනෙහිම
රථ පාලක තැනගේද හික්මීම ඉක්මව යන්නේ, කණක ලෙනකින් නික්මෙන කේසර සිංහ රාජයකු සේත්, දස බිම්බරක් පර සතුරන් නසාලූ අභීත සේනාධිනායකයකු සේත්, දේශ දේශයන් ඒකඡත්‍ර කල නරපතියෙකු සේත්, මහත් වූ තේජස් විලාශයක් පා, දුෂ්ඨ පුරුෂයාගේ බොටුවෙන් අල්ලා, ආසනයෙන් නැගිටුවන්නේ; "එම්බල දුෂ්ඨය, තාගේ ධර්මයෝ යුක්ති නොවන්නේය. අහිංසක දුක්පත් පුරුෂයන් කෙරෙහි රළු ගති පෑම නිවට කම් විනා වීර කම් නොවන්නේය. තට මාගේ රථයෙහි ගමන් පහසුව නැත්තේය. අපිද තා කිව් නුවරින් නිරුපද්‍රිතව ගමන් යන්නෙමු. කල හැක්කක් කරව"යි රථ ද්වාරයෙන් බැහැරට තල්ලුකොට හැරියේය.
දුෂ්ඨ
පුරුෂයාද මහත් වූ නින්දාවට පත් වැ "මතු සමයෙක බලා ගනිමු"යි නන් දොඩවමින් පලා යන්නට වන. ඉක්බිත්තෙක් රථ පාලක තැන උත්සාහවන්ත පුරුෂයා කැදවා "ඉදගනුව මිත්‍රය"යි ආසනය පනවන්නේය. උත්සාහවන්ත පුරුෂයාද, රථ පාලක තැනට මුව නොසෑහෙන තරම් ගුණ කියා, ආසනයට වැද, නිදොකින් චාරිකා කරන්ට වන්නේයැ.
කොහොමද මලේ මේ බාසාව හදා ගත්තේ ...? අපූරුයි!
ReplyDeleteඅයියන්ඩියනි, "උම්මග්ග ජාතකය" නම් වූ පුරාණ පුස්ථකය හා ප්‍රේමයෙන් ඇලී ගැලී බන්ධනය වූ හෙයින් එකී පුස්ථකයේ පැවතියාවූ කන්කළු වාග් මාධූර්යය මා කෙරෙන් බැහැර වැ නොයන්නේය.....
Deleteමේ සිරිලංකාද්වීපයෙහි අග්‍රගණ්‍ය වූ සක්වළ තක්සලාවකින් මැවිසුරු ගෞරව උපාධිය ලබා ගත්තා වූ මේ යෞවනයාගේ ලේඛන කෞශල්‍යයය දැක පිබිදුණු සිත් ඇති අයකු සිතනුයේ "මේ වර්ණනාලංකාරයට වස්තු විෂයය වූ සිද්ධි දාමය ඔහුගේම අත්දැකීමක් ආශ්‍රය කොට ගෙන රචනා කරන්නට යෙදුණේද" යනුයි.
ReplyDeleteඑසේයැ.. එසේයැ.. උක්ත සිද්ධි දාමය අරභයා, රථ පාලක තැන කෙරේ මහත් වූ ගෞරවයක් මාගේ චිත්තයෙහි ජාතක වූ හෙයින් මෙසේ ඡාලගත කලෙමි.
Deleteඔන්න බලහන් අප්ඩේට් වෙලා නෑනෙ බ්ලොග් රෝල් වල..මේ නිකමට ඇවිත් බැලුවෙ. පෝස්ට් එකක් දාලා ටිකක් බලන්න අනිත් අයගෙ බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලාද කියලා.. අප්ඩේට් වෙලා නැත්නම් ආයෙ මේකෙ ලින්ක් එකත් එක්ක පොඩි පෝස්ට් එකක් දාන්න.. ඒවා කොහොමත් අප්ඩේට් වෙනවා..
ReplyDeleteකියවලා ( හක්ක පන්නං ) එන්නං.. :D
මරු ලිවිල්ල බන්.. නියමයි... ඉඳලා හිටලා මේ බාසාවෙනුත් කතාවක් දෙකක් දාමු..
Delete"බ්ලොග් රෝල්"හි යාවත්කාලීන නොවන්නේ මාගේ කරුමයක් නිසාමැය.
Deleteසැවුල් රාජයකුගේ කරමලය රක්ත වර්ණ උවැ, අනවරත දර්ශණයෙන් ස්වේත වර්ණ සේ දැනෙන්නේයැ. කරුණු එසේ හෙයින් මෙවන් උපායක් යෙදීමි. :D :D
අඩේ... මේක මිස් වෙලානේ අප්පා.. ඕකට කියන්නේ ඔයාගේ කරැමෙ නෙවෙයි..... අපේ කරුමේ...
ReplyDeleteඋම්මග්ග ජාතකේ වගේම තමයි... හි හි
//අඩේ... මේක මිස් වෙලානේ අප්පා.. ඕකට කියන්නේ ඔයාගේ කරැමෙ නෙවෙයි..... අපේ කරුමේ...//
Deletegoogle තෙමේ ධන ලාභ, වස්තු ලාභ නොවිමසා blogger සේවය සපයන්නේ, උන්දෑටද දොසක් කිව නොහැක්කේය......
//උම්මග්ග ජාතකේ වගේම තමයි.....//
සේනකයාත්, මහෞෂද පණ්ඩිතයෝත් වියුක්ත වීම අලාභයක්මැ.....
මනරම් ලෙසැ වැනුවක් බව නොකියා මනායා සිල්වානෙනි. ඉතා මනරම්යැ.
ReplyDeleteතැන්කූ යැ... තැන්කූ යැ.... :D :D
Deleteයහපති යහපති පණ්ඩිතය
ReplyDeleteතොපටත් යහපති නම් මටත් යහපති යැ....
Deleteයකෝ පට්ටයිනේ...මේ ටයිප් එකේ ඒවා තව එකක් දෙකක් ලියන්න තිළිණ..නියමයි...
ReplyDeleteබලමු.. ඉස්සරහට තව එකක් දෙකක් දාන්නම්...
Deleteමෙකී පෝස්ටුව අපගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වී ඇත්තේ දැන් ය. ලියවිල්ලේ අරුමය හෙයින් සොයා සොයා ගොසින් කියෙව්වෙමු. පෂ්ඨ පඨ පඨ යැ. දිගටම ලීම යෙහෙකි. තොපට ජයෙන් ජය වේවා!
ReplyDelete