ඒ, මාස ගානක් පුරාවට රජරට පොළව ගිණියම් කරවපු වාර්ශික නියගය නිමා කරමින් ඊසාන දිග මෝසම පටන් ගත්ත මුල් දවස් කීපය. සුපුරුදු පරිද්දෙන්ම එවරත් මෝසමෙන් සරු ඵල භුක්ති විදිමින් හිටියෙ දිවයිනේ නැගෙනහිර සහ ඊසාන දිග වෙරළබඩ කලාපය. පොළොන්නරුව, අනුරාධපුරය වගේම ඒ වෙනකොට මම වැඩ කර කර හිටපු කන්තලේ කිට්‍ටුවටත් මහ වැසි වැටෙන්න ගන්නෙ තවත් දින කීපයක් පස්සට පහු වෙලා. කොහොම උනත් ඊසාන දිග මෝසමේ අතුරු ඵල ටිකෙන් ටික අපි හිටපු පැති වලටත් දැනෙන්න ගත්තා. දිය කදුලක් නැතිව පතුලටම පෑදුනු ඔයවල් දිගේ උඩහට වහින වැහිවතුර, බින්දුව බින්දුව ගලන්න උනා. ඒ ලපටි වතුර පාරවල් එක්ක, මෙච්චර කාලයක් නොනැසී පණ ගැටගහ ගත්තු කොළපාට පල් වතුර පිරුන හුදකලා ගල් වලවල් එකිනෙකා යාවෙන්න ගත්තා. එක රැයෙන්, දෙකෙන් ලපටි දිය පාරවල් පෘෂ්ටිමත් ඔයවල් බවට පෙරලෙන්න පටන් ගත්තා.
අපේ වැඩබිම උනේ "කිතුල් උතුව" පාලම. හබරණ ඉදන් කන්තලේ යද්දි "හතරැස්කොටුව" පහුකරලා ටික දුරකදි තමා, කන්තලේ වැවට වතුර සම්මාදම් කරවන ඔයක් හරහා ඉදිවෙච්ච "කිතුල් උතුව" පාලම හම්බ වෙන්නෙ. හබරණ-කන්තලේ පාර නවීකරණයත් එක්කම, මේ පාලම නවීකරණයත් පටන්ගෙන තිබුනා. නියං සමය මැද වැඩ පටන් ගත්ත නිසා, වැඩ බිම ඉදිවෙලා තිබුනෙ ඔයේ මායිමේ. අනික් අතට පාලමේ වැඩ වලට ඕන පලංචි එහෙම බැදලා තිබුනෙත් වේලිච්ච ඔය මැද. ඒකනිසා කලින් කිව්ව විදිහට හිටි අඩියෙම ඔයේ වතුර වැඩි වෙන්න ගත්තහම, පාලමේ වැඩ අතරමග නතර කරන්න සිද්ද උනා.
ලොක්කට කොච්චර පාඩු උනත්, පාලමේ වැඩ නතර වෙච්ච එකෙන් උපරිම ලාභය හම්බ උනේ අපිට. උදේට සයිට් එකෙන් ඕන් වෙලා පාලම ගාවට එන අපි, පාලම අයිනෙ අටවගෙන තිබුනු ලෑලි මඩුව ඇතුලට වෙලා හවස් වෙනකම්ම පාලමේ තනි රැක්කා. මුල්දවසෙ ඔය විදිහට පාලම අයිනට වෙලා බකන්නිලාගෙන ඉන්න වැඩේ බොහොම සාර්ථකව කරගෙන ගියත්, දෙවැනි දවස වෙනකොට ඒ වැඩේ තිත්ත උනා.
"මල්ලි යමුද කැලේ පැත්තෙ පොඩි රවුමක් ගහල එන්න..." යෝජනාව ගෙනාවෙ පාලමේ වැඩ බාරව හිටපු T/O, අනුර අයියා. පාලමට එපිටින් ඔය දිගට තිබුන මහ මූකලානට අනුර අයියා මීට කලිනුත් පාරක් දෙපාරක් ගිහිල්ලා තිබුනා. බොහොම උග්‍ර පරිසර ලෝලියෙක් විදිහට තමයි, අනුර අයියව අපි හැමෝම අදුරගෙන හිටියෙ. කොළඹ ගෙන්දගම් පොළවෙ හැදිච්ච එකෙක් උනාට, ගහ කොල ගැන, සත්තු සර්පයෝ ගැන, බෙහෙත් ජාති ගැන වගේම යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ගැන පොරගෙ දැනුම අදහන්න බැරි තරමටම ඉහලයි.
ඒකමතිකව සම්මත වෙච්ච අනුර අයියගෙ යෝජනාව අනුව, ගමනට මායි අනුර අයියටයි අමතරව, උප කොන්ත්‍රාත්කරු මඩුගල්ලෙයි පොරගෙ ගෝලයෙකුත් එකතු උනා. මඩුගල්ලෙත් උඩරට පාරම්පරික වෙද පරපුරක පුරුකක්. අනුර අයියට වගේම පොරටත් ගහකොල, සතා සර්පයා ගැන තිබුනෙ හසල දැනුමක්.
පාලම යටින් ඔයට සමාන්තරව ඉවුර දිගේ ගමන් කරපු අපි මීටර සීයක් විතර ගියාම ඔය හරහා අනික් ඉවුරට එගොඩ උනා. වෙලාව දවල් දොලහට විතර කිට්‍ටු උනත්, ඉවුර දිගේ පැතිරිච්ච යෝධ කුඹුක් ගස් යායට පිං සිද්ද වෙන්න ඉවුර දිගටම තිබුනෙ, මහන්සිය මරණ අපූරු සිසිලසක්. නියං කාලෙ ගල් වලවල් අස්සෙ රිංගගෙන පණ බේරගත්තු මාලු පැටවු, අලුතෙන් පණ ගහල එන ඔයේ ඒ මේ අත කරක් ගැහුවා. නියං සමේ නිට්ටාවටම දුරු නූනත්, ඊසාන දිග මෝසමේ පෙරමග සළකුණු විද්‍යාමානවෙමින් තිබුන නිසා, වේලිච්ච ගහ කොල වල පවා අමුතු සජීවී බවක් පේන්න තිබුනා.
ඔයේ ඉවුර දිගේ සෑහෙන දුරක් ගියාට පස්සෙ, ඔයෙන් ඈතට ඇදිච්ච හීන් අඩි පාරක් හම්බ උනා. ඒ අඩි පාර, වෙල් යායක් වටේ ගිහින් කෙලවර උනේ අපි යන මූකලානෙන්. වපසරියක් ගැන හරියටම ඉගියක් ගන්න බැරි තරම් ඈතට විහිදුනු වෙල්යාය, බොහොම මෑතක අස්වනු කපාපු එකක්. රූස්ස ගහ කොල නැති වෙල්යාය වටේ, ගිනි මද්දහනෙ යන එක නම් හොදට මහන්සි වෙන වැඩක්. ඒත් වෙල්යාය පහු කර ගමන් ඇතුලු වෙච්ච මූකලාන අපේ ඒ මහන්සිය බොහොම ඉක්මනට නිව්වා.
අනුර අයියගෙ නොනවතින විස්තර කථනය ආරම්භ උනේ මූකලානට පය තියපු ගමන්. අර ගහේ නම මේක, මේ ගහේ දළු ගන්නෙ මේ ලෙඩේට, ගුරුකම් වල මල් පැලට ඕන ගහක් මේක, වගේ හැම ගහකම, මලකම, වැලකම ගුණ කථනයක් අනුර අයියා ස්වේච්චාවෙන්ම කරන්න ගත්තා. අනුර අයියා කියපු හැම දෙයක්ම වගේ මඩුගල්ලෙත් අනුමත කරපු විදිහෙන් මට තේරුනේ අනුර අයියගෙ අසීමිත පාරිසරික දැනුමෙ තරම.
"මම මල්ලී... පොඩි කාලෙ ඉදලම ගහ කොල වලට ආදරේ කරපු මිනිහෙක්. අපි කොච්චර සල්ලි හම්බ කරත් ඒවයෙන් ගන්න බැරි සතුටක් මේ ගහ කොල වලින් තියෙනවා.." ඇත්තටම අනුර අයියගෙ ජීවන දර්ශණය හරිම සරල, පරිසර හිතකාමී එකක්.
මූකලානෙ තව ටිකක් දුරට යනකොට පරණ ගල් පඩි කීපයක් එක්ක, අපිලිවෙලට විසිරෙච්ච ගල් කණු කීපයක් හම්බ උනා. අනුර අයියා කියන විදිහට රජ කාලෙ මේ මූකලාන හරහා අනුරාධපුරයට යන්න ගල් පඩි අල්ලපු පාරක් තිබිලා තියෙනවා. ඒත් කාලයාගෙ ඇවෑමෙන් ඒක විනාස වෙලා ගිහිල්ලා.
"අපේ රටේ පුරාවිද්‍යා කියලා එකක් තිබුනට කිසිවැඩක් නෑ මල්ලි. මේ වගේ ජාතික සම්පත් මතුකරලා උඩට ගන්න උන්ට ඕන කමක් නෑ.."
අපි මූකලානෙන් එළියට ආවෙ පැය තුන හතරක් ඒක ඇතුලෙ හොදටම කරක් ගහලා ඉර බහින්න ඔන්න මෙන්න කියල තියෙද්දි. ඒ එන ගමනෙදි අලුත වැටිච්ච මුව අං තට්‍ටුවකුයි, මීහරක් අණකුයි, තව බෙහෙත් පැළ කීපයකුයි එකතු කරගන්න අපිට පුලුවන් උනා. මුව අං තට්‍ටුවටත් වඩා ආදරෙන් මී හරක් අණ, මඩුගල්ලෙ තුරුල් කරන් හිටියෙ, පොරට බෙහෙත් දාන්න කොපුවක් ඒකෙන් හදාගන්න පුලුවන් නිසා.
ට්‍රේනින් එක ඉවර වෙලා කන්තලෙන් ආපහු එන්න කලිනුත් තව පාරක මම, අනුර අයියත් එක්ක මූකලානෙ රවුමක් ගැහුවා. ඇත්තටම ඒවා බොහොම අපූරු ජීවන අත්දැකීම්. හැබැයි හොදම අත්දැකීම හම්බ උනේ ඊට ටික කාලෙකට පස්සෙ.
කන්තලෙන් ආවට පස්සෙ කැම්පස් එකේ එකදිගට සෙට් වෙච්ච වැඩ නිසා කන්තලේදි හම්බ වෙච්ච මිනිස්සුන්ට කෝල් එකක් වත් දීගන්න මට බැරි උනා. ඔහොම ඉන්න අතරෙදි තමා මාත් එක්ක එකටම හිටපු රංජි අයියා කෝල් කරේ
"හේලෝ.. තිළිණ මලයා නේද?? "
"අම්මට සිරි.. රංජි අයියා.... ඉතින් කොහොමද??"
"කොහොමද තමයි. කෝ යකෝ.. තෝ යනකොට පොර ටෝක් දීලා ගියේ, ගිහින් කතා කරන්නම් කියලා. කෝ කතා කරාද?" රංජි අයියා දුරකථන සංවාදය පටන් ගත්තෙම සාධාරණ චෝදනාවකට මාව වැරදි කාරයා කරගෙනම. සමාව ගැනීම, බැනුම් ඇසීම් නැවත සමාව ගැනීම් වලින් වට කීපයක් ගිහාට පස්සෙ රංජි අයියා සුපුරුදු සුහදසීලී කතාබහට මුල පිරුවා.
"කොහොමද කට්ටියගෙ සැප දුක.. අනුර අයියලා එහෙමත් හොදින් ඉන්නවද??" මගේ පැරණි ගමන් නායකයා ගැන, කතාව මැදදි මම ඇහුවා.
"අඩෝ උඹට ආරංචි නැද්ද?? අනුරයා නිධන් වගයක් හාරන්න මූකලාන පැත්තෙ රිංගගෙන ඉන්දෙද්දි ගමේ උන්ට මාට්‍ටු වෙලා. ගමේ උන් වට කරගෙන නෙලලා. අපේ ලොක්කා නිසා තමයි යන්තම් පොලීසියට බාර නොදී ශේප් කර ගත්තෙ. හැබැයි පොරට ජොබ් එක නම් නැති උනා...." රංජි අයියගෙ කතාවෙන් මම මොහොතක් ගොලු උනා.
"... උඹත් ඒ දවස් වල ඕකා එක්ක කැලේ රිංගුවා නේද?? උඹත් හිටියනම් ශුවර් එකටම පෝරියල් එකට සෙට් වෙනවා..." මුත්‍රාශයෙ හතර මායිමකවත් තිබුනෙ නැති මහා මුත්‍රා බරක්, එකපාරටම මට දැනුනා.
ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ
මෙතනින්.
පසු සටහන : මගේ බ්ලොග් එකට හැදිච්ච ලෙඩක් නිසා කාලයක් බ්ලොග් පෝස්ට් අප්ඩේට් උනේ නෑ.
"චන්දන", "ඩූඩ්", "සෙන්නා", "අටම්" ඇතුලු ගොඩක් දෙනා ඒකට පිලියම් කිව්වා. ඒත් ඒ එක බෙහෙතක් වත් මේකට ඇහුවෙ නෑ. අන්තිමේදි නිහඩ සහන් ලෙඩේ අල්ල ගෙන බේතක් උන්නා. දැන්නම් ලෙඩේ ගොඩ වගේ. මේ පෝස්ට් එක අද ඕගොල්ලො ලගට කරදරයක් නැතුව එන්නෙ සහන්ට ස්තූතිවන්ත වෙන්න. බ්ලොග් එකකට ලෙඩක් හැදුනම ඒකෙ අමාරුව දන්නෙ ඒ විදිහටම දූක් විදපු තවත් බ්ලොග් කාරයෙක්. මම හිතන්නෙ "ඩූඩ්"ට ඒ ගැන හොද අත්දැකීමක් තියෙනවා.
බ්ලොග් එක අවුල් කාලෙ ඒකෙ පෝස්ට් වලට පබ්ලිසිටිය දුන්න "අටමා","සෙන්නා","චන්දන" ඇතුලු බ්ලොග් කරුවන්ට වගේම, වෙච්ච දේ දැකලා, පැතුමකින් හරි උදව් කරපු සියලූම සහෘදයන්ට නැවත් නැවතත් ස්තූති වන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා.