Monday, July 29, 2013

නිවහන බලා....

වල් වැදුනු පොල් කට්ටිය අස්සෙන් බූටෑව පීරගෙන, අපි තුන්දෙනා මූද පැත්තට ඇදෙන කොට හවස හයට, හය හමාරට විතර ඇති. ඉස්සරහින්ම ගියේ "ලකියා". ඉස්කෝලෙ ගමනට සමුදීලා සෑහෙන කාලයක් උනත්, ලකියාගෙයි මගෙයි අතිජාත මිත්‍රත්වය තාමත් එහෙම්මයි. මම යෝජනාව ගෙනාපු ගමන් බැහැයි නොකියා මේ ගමන සෙට් කරන්නත් ඒ මිත්‍රත්වය ගොඩක් දුරට බලපාන්න ඇති. 

ලකියා, ලකියට පිටිපස්සෙන් කැමරාව එල්ල ගත්ත මම. ඊටත් පිටිපස්සෙන් සාංඝික දානයකට කරඩුව වඩම්මනවා වගේ බොහෝම පරිස්සමෙන් ප්ලාස්ටික් බාල්දියක් එල්ල ගත්ත හර්ෂණ.

පොල් කට්ටියට සමාන්තරව අනික් පැත්තෙන් තිබුනෙ, ගාලු පාරෙ ඉදන් මූදට වැටිච්ච තාර පාර. පොල් කට්ටිය පහුකරලා තාර පාරට වැ‍ටුන ගමන් ලකියා කතාව පටන් ගත්තා.

"පොලීසියට අහු උනොත් නම් පු‍තෝ ඉවරයි...."

"ඇයි බන්... අපිට මුන් දුන්නෙ ප්‍රනාන්දු අන්කල්නෙ. පොරගෙන් ගත්තා කිව්වම ඉවරනෙ..."  

"යකෝ... උන්ට ලයිසන් තියෙනවා. ඒත් මුන්ව එහෙ මෙහෙ අරගෙන යන්න ලයිසන් නෑ. අහුඋනොතින් එකෙකුට පන්දාහයි. බලපන් එතකොට ඔක්කොම කීයක්ද කියලා..." ලකියගෙ කතාවට, ඈත අවරගිරෙන් මතුවීගෙන එන ඉරබ‍ටු තරුව, කීප ගුණයක් වැඩි වෙලා මට පෙනුනා. බාල්දියේ ඔක්කොම දහයයි. එකට පන්දාහ ගානෙ, දහයට පනස් දාහයි. අපි තුන්දෙනාගෙන් මම ඇර අනිත් උන් දෙන්නා තාමත් මව් පියන්ගෙන් පෝෂණය වෙන උන්. ඒක නිසා දඩයක් වැදුනොත් මුලු බරම එන්නේ මගේ කරට. 

"එහෙනම් ඉක්මනට යමන්... මුන් ටික අතෑරලා එන්න..." 

තාර පාර දිගේ මූදට කිට්‍ටු වෙද්දි, මම හැමදාම ආදරය කරන කරිජ්ජ හුලග පෙර මගට ඇවිත් අපිව පිලිගත්තා. මේ දවස්වල වාරකන් නිසා මූද ටිකක් සැරයි. වෙනදට බිංතඹුර වලින් වැහිච්ච වැල්ල, ගොඩ ඉමට එනකම්ම ‍රැල්ලට හේදිලා ගිහින්. කකුලෙ තිබුන බාටා ක‍ටු දෙක රෑන පදුරක් අස්සෙ ගහපු මම, ඩෙනිම දනිහ ගාවට එනකම් නවාගෙන වැල්ලට බැස්සා. ඊට පස්සෙ තමා "නිදහස් කිරීමේ මහා මෙහෙයුම" පටන් ගත්තෙ.



හර්ෂණ උස්සගෙන ආපු බේසමේ හිටියෙ දින තුනක් වයස කැස්බෑ පැටවු......

දගලන දැගලිල්ලට බේසම නොපෙරලුනා විතරයි

ලකියගෙ ඇදුරුම් කම නිසාම, ප්‍රනාන්දු අන්කල් බැහැයි නොකියා කැස්බෑ පැටවු ටික අපිට දුන්නෙ නහයෙන් අඩ අඩා. වාරකන් කාලෙ නිසා මේ කාලෙට කැස්බො බිත්තර දාන්න ගොඩට එනවා හොරයිලු. ඒක නිසා කැස්බෑ පැටවු බොහොම හිගලු.

පොටෝ ගහ ගහ ඉන්න, මාව අතාරිනවකො මිනිහෝ....

ක‍ටුවක් තිබුනට කැස්බෑවට, ඉබ්බට වගේ ක‍ටුව ඇතුලට රිංගන්න බෑ. අනික ඉබ්බගෙ වගේ හෙමින් ගමනකුත් උන්ට නෑ. අත පය හතර උනත් ගොඩක් ලොකුයි. බේසමෙන් එලියට අරන් වැල්ලේ තිබ්බ ගමන් උන් මූද පැත්තට දුවන්න ගත්තා. ටෙස්ටින් පාරකටත් එක්ක මම, එක පැටියෙක්ව ගොඩ පැත්තට හරවලා වැල්ලෙ තියලා බැලුවා, ඌ ගොඩට යයිද කියල. මොන,,, එක තැනම U ට'ර්න් එකක් ගහපු ඌ, වෙඩිල්ල වගේ දුවන්න ගත්තෙ සුපුරුදු මූද පැත්තටමයි.



පේළියෙන් පේළිය කියන්න ඕන නෑ නෙ... පල්ලෙහා තියෙන පින්තූර කීපය, කතාවෙ ඉතුරු ටික මටත් වඩා ලස්සනට කියල දෙයි....





හෝම්.. ස්වීට් හෝම්....



ප.ලි : කැස්බෑවො බිත්තර දාන්න එන්නෙ ලෝකෙ සීමිත වෙරළ තීරයන් කීපයකට. ලංකාවෙ දකුණු වෙරළ තීරයත් (ඉදුරුව සිට කොස්ගොඩ දක්වා) ඒ වගේ වාසනාවන්ත වෙරළ තීරයක්. ඉතින් බෙන්තර ගග පැනලා දකුණේ සිරි නරබන්න එනවා නම් මේ අපූරු සම්පත බලලා, අත් විදලා යන්නත් අමතක කරන්න එපා. මේ වගේ ෆාම් එකකදි ඕන වෙලාවක විවිධ වර්ගයේ කැස්බෑවො බලන්න පුලුවන්. හැබැයි මේ වගේ කැස්බෑවෝ මූදට දාන්න නම් හැම කාලෙදිම බෑ. ජනවාරි. පෙබරවාරි වගේ මාස වලදි තමා ඒ වගේ අත් දැකීමක් ගන්න පුලුවන් වෙන්නෙ. 

38 comments:

  1. ඔහොම යන උන්ගෙනුත් වැඩිහරියක් එක එක විලෝපීයන්ට ගොදුරු වෙනවලු නේද ? මුන්ට තියෙන්නෙ හරිම හුරතල් මූණු. පවු අප්පා, උන් ඉපදුනදා ඉඳන්ම අනාතයො නේද ? ගෙදර ගියාට කවුද උන්ව පිළිගන්න ඉන්නෙ ? ගොදුරු කරගන්න ඉන්න උන් මිසක්..

    උඹලා ආසාවට කාගෙන් හරි ඉල්ලන් අවිල්ලද මේ නිදහස් කලේ ? වාරකන් කාලෙට නිදහස් කළාට අවුලක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. //ඔහොම යන උන්ගෙනුත් වැඩිහරියක් එක එක විලෝපීයන්ට ගොදුරු වෙනවලු නේද ? //
      ඔව්.. කාක්කො, මුහුදු ලිහිණි වගේ කුරුල්ලොයි, මාලුයි තමයි කැස්බෑ පැටවුන්ගෙ විලෝපිකයෝ... අපි නිදහස් කරපු උන්ගෙන් එකෙක් වගේ තමා බේරෙන්න ඉඩ තියෙන්නෙ....

      //මුන්ට තියෙන්නෙ හරිම හුරතල් මූණු. පවු අප්පා, උන් ඉපදුනදා ඉඳන්ම අනාතයො නේද ?//
      කොහොමත් කැස්බෑව බිත්තර දාල ආපහු මූදට යනවා. බිත්තර රකින සිරිතක් උගේ නෑ. හැබැයි පැටවු එලියට එන දාට කැස්බි බිත්තර දාපු තැනටම එනවලු.
      උපන්දා ඉදන් අනාත නැත්තෙ කවුද සෙන්නා.... අපිත් උපන්දා ඉදන් මැරෙනකම්ම සදා අනාතයි. :D :D

      // ගෙදර ගියාට කවුද උන්ව පිළිගන්න ඉන්නෙ ? ගොදුරු කරගන්න ඉන්න උන් මිසක්..//
      ඒක නම් ඇත්ත..

      //උඹලා ආසාවට කාගෙන් හරි ඉල්ලන් අවිල්ලද මේ නිදහස් කලේ ?//
      ඔව්.. ලකියා කොස්ගොඩ එකෙක්. ඌ නොදන්න කැස්බෑ ෆාම් එකක් මුලු කොස්ගොඩම නෑ. ඌ හින්දා තමයි මෙච්චර කැස්බෑවො හිග කාලෙත් මෙහෙම චාන්ස් එකක් ඇදුනෙ..

      // වාරකන් කාලෙට නිදහස් කළාට අවුලක් නැද්ද ?//
      එහෙම නම් අවුලක් නෑ...

      Delete
  2. හරි හුරතල් පෙනුම තියෙන්නෙ.
    මුහුදට ගියායින් පස්සෙ දහයම බිලිද දන්නෙ නැහැ.
    ෆාම් එකෙන් සල්ලි දීල ගත්තද?
    කැස්බෑ ෆාම් වලට NGO වලින් ආධාර කරනව.

    ReplyDelete
    Replies
    1. //මුහුදට ගියායින් පස්සෙ දහයම බිලිද දන්නෙ නැහැ.//
      දහයෙන් එකෙක් දෙන්නෙක් බේරෙන්න ඉඩ තියෙනවා....

      //ෆාම් එකෙන් සල්ලි දීල ගත්තද?//
      නෑ.. ඔය කතාවෙ කියවෙන "ලකියා" කැස්බෑ ෆාම් වල උන් හොදට අදුරනවා. හැබැයි සුද්දොන්ගෙන් නම් සෑහෙන ගානක් ගන්නවා...

      //කැස්බෑ ෆාම් වලට NGO වලින් ආධාර කරනව.//
      ඔව්,,, කැස්බෑ ෆාම් ගොඩක් දුවන්නෙ රට සල්ලි වලින්...

      Delete
  3. //ඊටත් පිටිපස්සෙන් සාංඝික දානයකට කරඩුව වඩම්මනවා වගේ බොහෝම පරිස්සමෙන් ප්ලාස්ටික් බාල්දියක් එල්ල ගත්ත හර්ෂණ.//
    හී හී ලස්සණ උපමාවක්!

    කැස්බෑ පැටව් ටික හරිම හුරතල්...පව් අනේ...

    ReplyDelete
    Replies
    1. හුරතල් නිසාද පවු??? :D

      Delete
  4. මේකට දන කොමෙන්ට් එක = "පට්ට"

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කැස්බ පැටවු ටික නම් පට්ට.... :D :D

      Delete
  5. නීති විරොධි පින්කමක් නේද

    ReplyDelete
    Replies
    1. කැස්බ බිත්තර ලග තබා ගැනීම, ප්‍රවාහනය වගේම අනවසරයෙන් පැටවු ලග තබා ගැනීමත් නීති විරෝධී....

      පින් කමක්ම කියන්නත් බෑ දමිත්. මොකද කැස්බෑ ෆාම් වල කැස්බො ඇති කරන්නෙ මසට නෙවේ. කවදා හරි මූදට යවන්න. ඒක නිසා "මරණයට කැප වෙච්ච ගවයෙක් නිදහස් කරා" වගේ පින් කමක් මෙතන නෑ....

      Delete
  6. කැස්බෑ පැටව් බලාගෙන කෝටි ගනං හොයල අළුත්ම මොන්ටෙරේ එකක් ගත්ත කැස්බෑවෙකුත් අපේ පැත්තේ ඉන්නවා බං..

    ReplyDelete
    Replies
    1. අඩෙ දෙශ උබ කොහෙද මමත් දන්න එකෙක් ඉන්නව මොන්ටෙරො නෙමෙයි ඉයෙ පෙරෙද ලන්ඩ් කෘසර් ප්‍රඩො එකක් ගත්ත

      Delete
    2. @දේශකයා : සම්පූර්ණයෙන්ම එකගයි. කැස්බෑ බිත්තරයක් ෆාම් කාරයා ගන්නෙ රු. 10ට 15ට. හැබැයි කැස්බ පැටියෙක්ව මූදට දාන්න සුද්දෙක්ගෙන් රු. 5000ක් විතර ගන්නවා. ඊට අමතරව ෆාම් එක බලන්න වෙනම ගානක් ගන්නවා. ඒ අතින් බැලුවහම මේක සල්ලි උල්පතක්....

      @දමිත් : ඔය තියෙන්නෙ ඇතිපදම් නිදසුන්.... :D :D

      Delete
  7. මේ සතුන්ගෙන් දිවි බේරෙන්නේ බොහොම සීමිත ගණනකි. නමුත් ඔබ සැම කළේ පිරිසිදු සිතින් පිංකමකි.
    ඒවගේම මේ සතුන් එන්ජීඕ හෙන්චයියලාට ධන නිධානයකි. දේශකයාගේ කමෙන්ටුවෙන් කියැවෙන්නෙත් ඒ ගැනයි.
    සංරක්ෂණය මුවාවෙන් තවත් දේ සිදුවෙයි. ඒවා ඔප්පු කරන්නට සාක්ෂි සපයා ගැන්ම අසීරුයි. පාතාලයක් ද මේ හා බැඳී ඇත.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ පාතාලය බැඳී නැත්තේ මොකක් සමගද?

      Delete
    2. @නලීන් : යහමින් සල්ලි ගැවසෙන තැනක පාතාලය, අපරාධ, දූෂණ වගේ දේවල් ගෑවුනේ නැත්තම් ඒක පුදුමයක්. එකම සුභවාදී කාරණයකට තියෙන්නෙ මේකෙන් යම් තාක් දුරකට හරි කැස්බෑ සම්පත සු‍රැකෙන එක....

      @Ayilas A: හරියට හරි මචං....

      Delete
  8. ඒ මොකද ජනවාරි පෙබරවාරි වල විතරක් මුහුදට දාන්නේ?

    ReplyDelete
    Replies
    1. ජනවාරි, පෙබරවාරි කියන්නෙ කැස්බෑ බිත්තර පුපුරලා පැටවු එන කාලය. ඒ කාලෙට පැටව් හරිම සුලභයි... මේ කාලෙ වාරකන් නිසා කැස්බො බිත්තර දාන්න එනවා අඩුයි. ඒක නිසා පැටව් අඩුයි....

      Delete
  9. මේගොල්ලෝ වඳ වීමේ තර්ජනයට මුහුණ පාලලු ඉන්නේ නේද ? ඔයාල කරලා තියෙන්නේ පිං ඇති වැඩක්

    ReplyDelete
    Replies
    1. ඔව්.... කැස්බෑවො වද වීමේ තර්ජනයට මූන දීලා ඉන්නෙ...
      හ්ම්ම්ම්... මුන් මරණයට කැප වෙච්ච සත්තු නෙවේ. කොහොමත් මේ අයව නිදහස් කරනවා

      Delete
  10. දැන් මෙහෙම නිදහස් කරන්න යනකොටත් පොලිසියෙන් අල්ලනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්.... කට්ටිය ෆාම් වලට බිත්තර ගෙනැත් දෙන්නෙත් පොලිසියට හොරා....

      Delete
  11. උඹලටත් හිතෙන දේවල්... :)

    උන්ගෙ කකුල් තිබුනට ඒව වරල් වගෙ නේද බං.. පීනන්න පහසු වෙන්න එහෙම හැදිල ඇත්තෙ. කොහොමත් උන්ට ඔය ෆාම් එකක් අස්සෙ ඉන්නවට වඩා දවසක් මුහුදෙ ඉන්න එක නිදහස් ඇති..

    ReplyDelete
    Replies
    1. //උන්ගෙ කකුල් තිබුනට ඒව වරල් වගෙ නේද බං//
      ඔව් ඒවා උන්ගෙ ඇගට සාපේක්ශව මාර ලොකුයි

      //කොහොමත් උන්ට ඔය ෆාම් එකක් අස්සෙ ඉන්නවට වඩා දවසක් මුහුදෙ ඉන්න එක නිදහස් ඇති..//
      ඒක නම් ඇත්ත.... :D :D

      Delete
  12. //හැබැයි මේ වගේ කැස්බෑවෝ මූදට දාන්න නම් හැම කාලෙදිම බෑ//

    ඒ ඇයි කියලා දැනගන්න පුලුවන්ද?

    කැස්බෑ බිත්තර කනවා නේද? මමනම් කවදාවත් කාලා නෑ

    ReplyDelete
    Replies
    1. මේ කාලෙට කැස්බො බිත්තර දාන්න එනවා අඩුයි. ඉතින් මූදට දාන්න පැටවු හොයා ගන්න ටිකක් අමාරුයි.....
      ඔව්..කැස්බා බිත්තර කනවා.. මමත් කාලා නම් නෑ...

      Delete
  13. ඕමානයේ සූර් කියන ප්‍රදේශයේ තියෙනවා ලෝක ප්‍රසිද්ධ ස්වභාවක කැස්බෑ මුහුදු තීරයක්.මට යන්න ලැබුනා බලන්න.වෙරලට ආසන්නව රෑට කෑම්පින් කරන්න ඕන.සුද්දෝ පිරිලා සීසන් එකට.ඒ කාලෙට පුදුම විදිහට පැටව් ඉන්නේ බීච් එකේ.නිදාගන්න ටෙන්ට් අස්සටත් එනවා.අපේ යාලුවෙක්ගේ ඇඳුම් බෑග් එකක් අස්සටත් රිංගපු පැටියෙක් මගදී අපි දැක්කේ.අත්දැකීමක් නිසා ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. අහ්හ්... ඔය තියෙන්නෙ මරු අත්දැකීමක්... මමත් ලකියට කිව්වා ඔහොම රෑක් ඉන්න සෙට් කරපන් කියලා. ලංකාවෙ නම් ඔහොම රෑ ඉන්න කොට පොලිසියෙන් පනිනවලු. ...

      Delete
  14. සමහර තැන්වල නම් කරන්නෙ උන්ට වද දෙන එක. අපි ගිය එක දවසක අර මනුස්සයා වැලිවල වලලල තියල උන්ව එලියට එනවා පෙන්නුවා. එතන හිටි මනුස්සයෙක් කිවුවා කී පාරක් මුන් මෙහෙම වැලි යට ඉඳන් එන්න ඇත්ද සුද්ද්න්ට පෙන්නන්න කියල.

    ReplyDelete
    Replies
    1. අපිට කැස්බෑ පැටවු වගේ පෙනුනට ෆාම් කාරයොන්ට උන්ව පේන්නෙ ඩොලර් කුට්ටි වගේ වෙන්න ඇති...

      Delete
  15. මොකද දැන් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානෙකද වැඩ :P

    ReplyDelete
    Replies
    1. නෑ බන්... එහෙම ආතල් ජොබ් කොහෙද අපිට.... :D :D

      Delete
  16. අපිත් ගිය පාර ගියා . සුනාමියට කලින් ගිහින් තිබුනට ඊට පස්සේ ගියේ මෙදා පාර ළමයින්ට පෙන්නන්න . පුද්ගලික ව්‍යාපාර වගේ තමයි එව්වා . දියුණු රටක නම් ඔයිට වඩා පිළිවෙලකට කෙරෙයි කියල හිතුන. උන්න හැටියට මලා මදැයි කියන්න වගේ ටික දෙනෙක් හරි කැස්බෑවන් දිවිගලවා ගන්න නිසා ඔයත් මදැයි අපේ වැඩ වල හැටියට .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයිට වඩා පිලිවෙලට, ලස්සනට කරන්න පුලුවන් කම තියෙනවා. ඒත් සුද්දොන්ගෙන් ආධාර ගන්න ඕන නිසා ගොඩක් තැන් තාමත් හිගන විදිහට තමා තියෙන්නෙ.....

      Delete
  17. අන්න ප්‍රනාන්දු අන්කල් යස අගේට ඔක්කොම එවුන් ටික එකතු කරගෙන ඇවිල්ලා. හිකිස්... :)

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ ප්‍රනාන්දු ලොක්කා උන්ව පුරුදු කරලද කියලා ආපහු එන විදිහට.... :D :D

      මේ පැත්තට ආවට ස්තූතී.... මමත් එහේ එනවා...

      Delete
  18. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete