රාත්‍රී හතයි තිහට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිතව තිබුනද, වව්නියාවෙන් පැමිණින "යාල් දේවිය" කොටුවේ හත්වන වේදිකාවට ගාල්වන තුරු, ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය කොටුවෙන් නික්මෙන්නේ නැත. පැය හයක, හතක ධාවන කාලයක් ඇති "යාල්දේවිය", දුම්රිය කාලසටහනේ දැක්වෙන අවසාන මිනිත්තුවට කොළඹ කොටුවට සේන්දු වේ යැයි සිතීම සැබවින්ම විහිලුවකි. ලංකා දුම්රිය සේවය තම සේවාදායකයන්ට කිසිදිනෙක විහිලු කරන්නේ නැත. එනිසාම "යාල් දේවිය" කොටුවේ වේදිකාගත වූයේ සුපුරුදු පරිදි අඩ පැයක් පමා වීමෙන් පසුවය.
ගමනාරම්භයේදීම "යාල් දේවිය" නිසා සිදුවූ පමාව, තැපැල් දුම්රියට අල්ලා ගත නොහැකි හැඩකි. එය දකුණු කලුතර දුම්රිය ස්ථානයේ නවතා, තැපැල් මලු සහ ගමන් මලු බෑම අරඹන විට රාත්‍රී අටද පසුවී තිබින. මම නැවත අත් ඔරලෝසුව දෙස බැලීමි. දුම්රිය මැදිරියේ වූ අඩ එළිය ඔරලෝසු මුහුනතේ කටු පිහිටීම බලා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නැත. ජංගම දුරකථනයේ අංක පුවරුවෙන් අහඹු ලෙස අංකයක් එඹූ මම, ඉන් දුරකථන තිරය අවදි කොට වේලාව බලා ගතිමි.
කොටුවෙන් මැදිරි පිරී ඉතිරී යන තරමට මගීන් සිටියත් දකුණු කලුතර පසු වන විට දුම්රියේ මැදිරි, හිමිදිරිය ලංවූ මලගෙදරක මෙන් පාලුවට යයි. දුම්රිය මැදිරියේ පාලු කපන කිහිපදෙනාද, වාඩිවූ තැන්වලම දිග ඇදී නිදිකිරයි. මා උන් ආසනයේවත්, ඊට යාබදවත් කිසිදු මගියෙකු නැත. මම විඩාපත් දෙපා, සපත්තු යුගලෙන් මුදවා, ඉදිරියෙන්වූ ආසනය මත තැබුවෙමි. මෙතෙක්වේලා බත්කෙන්ඩ තෙරපමින් රිදුම් දුන් වේදනාව, ක්‍රමක් ක්‍රමයෙන් පාදවල ඇගිලි තුඩු අතරින් අවකාශයට මුදා හැරෙන්නට වින.
"අ.... වඩේ... වඩේ... විස්සට පහයි වඩේ... " පාලු දුම්රියේ වානේ ඇතිල්ලෙන අජීවී හඩ පරයමින් බැරැන්ඩි වූ මිනිස් කට හඩක් පාවී ආවේය. දුම්රිය ගමනකදී මා අතිශයෙන්ම ප්‍රිය කරන්නේ, මෙලෙස හිටි හැටියේම සෙනග අතරින් මතුවන වඩේ කරුවන්ටය. ගෙදර හදන වඩේ වලත්, සයිවර් කඩ වල ඇති වඩේ වලත්, මෙවැනි ජංගම වඩේ වලත් ඇත්තේ එකිනෙකට ආවේනික රසයන්ය. ඔය තුන් කට්‍ටුව අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ පසුව කී ජංගම වඩේ වලටය.
"කීයද වඩේ??" වඩයක මිල දැන දැනත්, මා පසුකර යන වඩේකරුගෙන් මා විමසුවේ ඔහුව නවතා ගන්නා අටියෙනි.
"විස්සට පහයි..." ඔහු වේවැල් කූඩය යාබද අසුනේ තබා, කඩදාසි කවරයක් විවර කරමින් මා දෙස බැලුවේය. වඩයක විනිමය අනුපාතය වෙනස් වන්නේ ඩොලරයකටත් වඩා වේගයෙන් යැයි මට සිතින. අප කුඩා කල වඩයක විකුණුම් මිල දැක්වූයේ "දහයට පහක්" ලෙසිනි. දැන් එය, "විස්සට පහකි". රුපියල කඩා වැටී ඇත. "කබ්රාල්" මහතා මොනවා කීවත්, වඩේකරු කියන්නේ එයයි.
මා දුන් විස්සේ කොලදෙක දෙකට නවා උඩ සාක්කුවේ දමා ගත් වඩේකරු, දැලි කුණු බැදී අපිරිසිදු වූ අතැගිලි වලින් වඩේ පෙට්ටිය පීරමින්, වඩේ දහයක් සොයා කඩදාසි කවරයට දැමුවේය. අනතුරුව බදින ලද මිරිස් කරල් දෙකකුත්, හීනියට කැපූ බොබ්බයි ළූණු පෙති කිහිපයකුත් ඊට එක්කොට, මා අත තැබුවේය.
පිරිසිදුකම පිලිබද උගත් හර පද්දතීන් මා සහමුලින්ම අමතක කර දැමුවේ, විශ්ව විද්‍යාල පලමු වසර තුලදීය. ඊට ප්‍රථම ගෙදරින් පිට, කඩවල කෑම ප්‍රතික්ශේප කිරීමේ මාන්නයක් මාගේ උදරයට තිබුනද, වර්ථමානයේ "ගලුයි - තාරයි" දැමුවද, එය බැහැයි නොකියා පත්තියම් කර ගනී. එනිසා වඩේ කරුගේ අපිරිසිදු ඇගිලි පිලිබදව වත්, හන් ගැහුන වඩේ පිලිබදව වත් මා තුල අපුලක් ඇති වූයේ නැත.
වඩේ කා අවසන් වන විට දුම්රිය සිටියේ බෙන්තර ගග පනිමිනි. අවසාන වඩයත් කා, වඩේ දමා දුන් කඩදාසි කවරය ගුලි කොට කවුලුවෙන් පිටතට විසිකල මා වාඩිවී උන් ආසනයෙන් නැගිට දුම්රිය පා පුවරුව වෙත ගියෙමි.
පාපුවරුවේ දෙපසින් සවිකල යකඩ බාර් දෙක දෑතින්ම අල්ලාගත් මා, දෙපා දුම්රිය මැදිරිය තුල රදවාගෙන, ඉනෙන් උඩ කද කොටස මැදිරියෙන් පිටතට දැමුවෙමි. සීතල කරිජ්ජ සුළං ධාරාවෝ මාගේ මුහුන කපාගෙන පසුපසට ඇදීගෙන යයි. අදුරු වටපිටාවේ තැනින් තැන කණාමැදිරියන් සේ පෙනෙන්නේ ගෙවල දැල්වූ විදුලි පහන් විය යුතුය. සංචාරක හෝටලයක් පසුකරද්දී ඉදහිට ඇසෙන ඝෝෂා කාරී සංගීත හඩ හැරුනු කොට, දුම්රියේ වානේ ඇතිල්ලෙන හඩ පරයන්නට සමත් වෙනත් කිසිවක් නැතිසෙයකි. මම පාපුවරුවේ එක පසකට හේත්තු වී, දෑස් අඩක් පියාගෙන වේගයෙන් ඇදීයන කරිජ්ජ සුළං ධාරා විදින්ට පටන් ගතිමි. ඉදිරියේවූ මැදිරියක, මගියෙකු උරන දුම්වැටියකින් ගලා එන දුම්කොළ පිලිස්සෙන සුවද නාස් පුඩු කිතිකවමින් මා ප්‍රබෝදමත් කලේය.
"ඇයි රත්තරං ඔයා මට මෙහෙම කරන්නේ ?? ඇයි ඔයා මගේ කෝල් වලට ආන්සර් කරන්නෙ නැත්තෙ ??? බලන්න ඊයෙ පෙරේදා මම කෝල් කීයක් දුන්නද ?? " පා පුවරුවට ඉදිරියෙන් කවුලුව ආසන්නයේ ආසනයක හුන් පිරිමි අයෙකු තාලයට තොදොල් වෙමින් දුරකතන සංවාදයක් අරඹන අයුරු මට යන්තමට ඇසින. දුම්රියේ හඩ නිසා දුරකතනයේ අනෙක් අන්තයෙන් මතුවන පිලිතුරු පිලිබද කිසිදු ඉගියක් මට නොලැබේ.
"ඔයාට පිස්සුද රත්තරං.... මම ඔයාට බොරු කරනවද ??? ඇයි ඔයා එක එකා කියන ඒවා විශ්වාස කරන්නෙ ?? " කතා නායකයාගේ හඩ නැවත මතුවිය. වඩා සුපැහැදිලි ශ්‍රවණ තත්වයක් සදහා මම කවුලුව ආසන්නයට තවත් ලං උනෙමි.
"ඔයාට තේරෙන්නෙ නැද්ද අපි දෙන්නා සංසාරෙ පුරාවටම එකට එනවා කියලා. ඔයාව දැකපු මුල්ම දවසෙ මට හිතුනෙ එහෙමයි..... එහෙවු මම වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙයි කියලා ඔයා හිතන්නෙ කොහොමද?? මට නම් හිතා ගන්නත් බෑ.... " ඉන්පසු නිහැඩියාවකි. දුරකතනයේ අනෙක් අන්තයෙන් පිලිතුරු නික්මෙනවා විය යුතුය.
"ඔයා මට සලකන්නෙ ඔහොම නම්, මාව විශ්වාස කරන්නෙ නැත්තම්, මම මේ කෝච්චියෙන් පනිනවා... පනිනවා... පනිනවා... සත්තයි... හෙලෝ... හෙලෝ... ?? " ඒ සමගම දුරකතන සංවාදය නිමාවන්නට ඇත.
මෙතෙක් වේලා සැහැල්ලුවෙන් උන් මම තැති ගැනිමි. කතා නායකයා දුම්රියෙන් පනිනවා නම් ඔහුට ඇති ආසන්නම දොරටුව මෙයයි. එනම් මා සිටිනා දොරටුවයි. එසේ උවහොත් ඔහු අල්ලා ගන්න අයුරු පිලිබදව මම කල්පනා කලෙමි. කතා නායකයා හැඩි දැඩි අයෙකු නම් ඔහු සමග පොර බැදිය නොහැක. කෙට්‍ටු අයෙකු නම් ගැටලුවක් මතු නොවේ. කෙසේ වෙතත් මාරාවේශයෙන් සිටිනා අයෙකු හා පොර බැදීමද නුවණට හුරු නැත. ක්ෂනයෙන් දහසක් දේ මගේ මනසේ පිරී ගියේය.
නැත ... කලයුතු හොදම දේ ඔහු පනින්න පැමිනේ නම් හදිසි දම්වැල ඇද දුම්රිය නැවැත්වීමයි. එවිටම වාගේ කතා නායකයා උන් මැදිරියේ සිට අයෙකු එන හඩ ඇසින. නිසැකවම මේ ඔහු විය යුතුය. ඔහු එන්නේ පනින්න විය යුතුය. මම හදිසි දම්වැල දෙසට අත දිගුකොට පෙර සූදානමින් උන්නෙමි. පුදුමයෙකි... ඔහු මා පසුකර ගියේය. ඇතැම්විට දොරටුවේ මා සිටිනා බව දැක මා මගහැර වෙනත් දොරටුවකට ඔහු යනවා විය යුතුය. මම ඔහුට යන්නට දී ඔහුට නොදැනෙන සේ ඔහු පසු පසින් ලුහුබැදීමි. ඔහු තවත් දුම්රිය දොරටුවක් පසු කලේය. තවත් එකක් පසු කලේය. නමුත් පනින පාටක් තබා, දොරටුවක් අසල නවතින පාටක් වත් නැත. තවත් දොරටුවක් පසුකල හේ වෙනත් මැදිරියකට ඇතුලු විය.
"කොහෙද පැටියො ගියේ ??? මම මේ බලන්න යන්න හැදුවෙ.... " ඉදිරියෙන් වූ ආසනයකින් දගකාර ගැහැණු කට හඩක් නික්මින. කතා නායකයා එම ආසනය අසල නැවතී එහි වාඩිවූවේය.
"මෙතන ටොයිලට් එකේ වතුර නෑ අනේ... මම එහා පෙට්ටියෙ එකට ගියා..." කතානායකයා තම වම් අත, යාබද අසුනේ වූ යුවතියගේ කරවටා දමා ගනිමින් සෙමෙන් මිමිනුවේය.
රියදුරා දුම්රිය, දුම්රිය වේදිකාවක නැවැත්වුවහොත් විනා, කතා නායකයා නම් දුම්රියෙන් පිටට අඩියක් හෝ නොතබන බව සක්සුදක් සේ පැහැදුලි වූයෙන්, මම ඔවුන් දෙදෙනා පසුකර ගියෙමි.
ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.