Showing posts with label ගමේ කතා. Show all posts
Showing posts with label ගමේ කතා. Show all posts

Sunday, March 24, 2013

පොලිස් වාර්තාව




"..... ම්ම්ම්.... තව එනකොට ගේන්න, ග්‍රාමසේවා සහතිකයකුයි, පොලිස් රිපෝට් එකකුයි. හරිනෙ ??? මතකයි නේද ඔක්කොම ටික ??? " විනාඩි විස්සකට අධික කාලයක් ජංගම දුරකථනයේ අනික් අන්තයෙන් නොනවත්වාම ගලාගිය විස්තර කථනය, අවසන් අදියරට ලගාවේගන එන බව, මට ඉවෙන් මෙන් තේරුනි.

"මෙහෙමයි මිස්, අපේ පොලීසියෙන් රිපෝට් එක ගන්න නම්, මිස්ලගෙන් ලියුමක් ගේන්න ඕන. අනික රිපෝට් එක ගන්නම සතියක් දෙකක් යනවනෙ... " මානව සම්පත් කළමණාකරුවන් නොදන්නා ප්‍රායෝගික ගැටලුවක් මම ඉදිරිපත් කලෙමි.

"අපි එහෙම ලියුම් ඉෂූ කරන්නෑ... අනික,,, අනිත් අය අරගෙන ආවනෙ ??? " මෙතෙක් වෙලා කෝමල ස්වරයෙන් ඇමතූ මිස්ගෙ ස්වරය, මගේ ගැටලුවත් එක්ක  උච්ච ස්වරස්ථාන වෙත මාරුවිය.

"හරි... හරි... මිස්... මම අරගෙන එන්නම්.... " මට මතක හැටියට, මගේ අන්තයට කලින් විසංදි උනේ අනිත් අන්තයය.

සැබවිම පොලිස් වාර්තාවක් ලබා ගැනීම, ක්ෂණික නූඩ්ල්ස් විනාඩි දෙකෙන් තම්බනවා වැනි පහසු කාර්යයක් නොවේ. පළමුව, වාර්තාවක් අවශ්‍ය බවට පොලිස් ස්ථානාධිපතිතුමා වෙත ලිඛිතව ඉල්ලීමක් කල යුතුය. අදාල පුද්ගලයා පිලිබදව කරුණු සොයාබැලීම සිදුවන්නේ ඉන් අනතුරුවය. වාර්තාව ලබා දෙන්නේ ඊටත් පසුවය. මෙකී නත්‍යානුකූල ක්‍රියාවලියට අවම වශයෙන් සතියක දෙකක කාල සීමාවක්වත් ගතවේ.

නීති ප්‍රකාරව පොලිස් වාර්ථාවක් ගැනීමට අවශ්‍ය "කාලය" මා සතුව නොමැත. එනිසා මම, "මිත්‍ර-සංග්‍රහය"ක් අපේක්ෂාවෙන්, අසල්වාසීන් අතරෙන්, පොලිස් සේවයේ නිරත වන්නන් සිහියට නැගුවෙමි. වැඩි දුරක් යායුතු නැත. අපේ ගෙට අල්ලපු ගෙදර අංකල් පොලීසියේය. අංකල් වැඩ කරන්නේද ගමේ පොලීයේය. අනික අංකල්ගේ පුතා; "ලසියා", මගේ බොක්කකි. වහා ජංගම දුරකථනය අතට ගත් මා L අකුරෙන් ඇති නම් පේළිය පිරික්සන්නට වීමි.

ලසියාගේ අංකයට ඇමතුමක් ගත්තත්, එම අංකය භාවිතයේ නොමැති බව පුන පුනා පවසයි. එනිසා භාවිතයේ ඇතිබවට හොදටම දන්නා, වෙනත් මිතුරෙකුගේ දුරකථනයකට මම ඇමතුමක් ගතිමි.

"මචං සුමිත් අංකල්ගෙ නම්බර් එක එවපන්... " ‍තෝල්කයන් මගහැර, කෙලින්ම අංකල් ඇමතීමට අවසන් මොහොතේ මට සිතින.

"මොකටද මචං... ?? "

"පොලිස් රිපෝට් එකක් ගන්න "

"සුමිත් අංකල් මේ දවස්වල මෙහෙ නෙවේ වැඩකරන්නෙ. උඹ ලසියට කෝල් කරපං. සුමිත් අංකල්ට වඩා පොලීසියෙ අයව ඌ අදුරනවා... " "කොහොමද බං එහෙම වෙන්නේ"යි ඇසීමට තදින්ම උවමානා වූ මුත්, තවදුරටත් සංවාදය දිග්ගස්සවා ගැනීමට මට අවශ්‍ය නොවින. අනික දුරකතන සේවාව තත්පරයට අයකරන එකක් නිසා අනවශ්‍ය සෑම තත්පරයක්ම ඉතිරි කරගැනීම පොකැට්‍ටුවට සුබදායකය.

මිතුරාගේ සංවාදය නිමාවූයේ, ලසියා මේ දිනවල භාවිතාකරන අංකයද මා සතුකරමිනි. මම මිතුරාදුන් අංකයට ඇමතීමි. පෙර මෙන් පටිගතකල ලයාන්විත ගැහැණු කටහඩ නොව මෙවර අනෙක් පසින් ඇසුනේ ලසියාගේ ගොරහැඩි හඩයි. ලසියා මගේ උවමනාව සාවදානව අසා සිටියේය. වරින් වර ප්‍රශ්න කීපයක්ද නැගීය. ඒවාට මා දුන් පිළිතුරු සතු‍ටුදායක මට්ටමක පැවති නිසාදෝ මා සමග පොලීසියට යාමටද හේ එකග විය.

අපේ ගෙවල්ගාව ඉදන් පොලීසියට ඇත්තේ විනාඩි විස්සක දුරකි. මාත් ලසියාත් එහි යනවිට, මොකද්දෝ උත්සවයක් සංවිධානය වෙමින් පැවතින. දෑස මදක් කුඩාකොට ඈත බැලූ ලසියා කීවේ, අද  A S P මහත්තයාද පැමිණ ඇති බවය. මගේ මිතුරා හරිය. ලසියා නොදන්නා එකෙක් පොලිසියේ නැත. අප නොදන්නා A S P මහතාවද ලසියා හදුනයි. උත්සවය පවතින පොලිස් පිට්ටනිය මගහැර ප්‍රධාන පෝටිකෝව යටින් අපි පොලීසියට ඇතුලු වීමු.

"කොහෙද ?? කොහෙද ?? ඔය දෙන්නා යන්නෙ ?? " පොලිස් අණ නොතකා ධාවනය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදකි. එබැවින් පිළිගැනීමේ පොලිස් නිළධාරිනියගේ අණට අපි වහා කීකරු වීමු.

"ආ... මම සුමිත් සාජන්ගෙ පුතා. අපි ආවෙ පොලිස් රිපෝට් එකක් ගන්න... " ලසියාට කතා කිරීමට ඉඩ දී මා මදක් පසුපසට විය.

"සුමිත් සාජන් ?? එහෙම කෙනෙක් මෙහෙ නෑ නෙ ??? මොකද්ද අංකෙ ?? " පිළිගැනීමේ පොලිස් නිළධාරිනිය අපව ඇද දැමුවේ මහත් උභ‍තෝකෝටිකයකටය. ලසියා මගේ මූණ බැලුවේය. මම පෙරලා ලසියාගේ මූණ බැලුවේමි.

"හෙලෝ... තාත්තෙ... මම තිලින අයියත් එක්ක පොලීසියට ආවා රිපෝට් එකක් ගන්න. පොඩ්ඩක් මෙතන ඉන්න කෙනෙක්ට කියන්න. ආ... තව එකක් මොකක් කිව්වමද මෙහෙ අය දන්නෙ?? " ලසියා වහා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය.

"මිස් මම සිල්වා සාජන්ගෙ පුතා... අංකෙ 22----- ..." තාත්තාගේ සුරතල් නාමයත්, ලියාපදිංචි අංකයත් වහා ලසියා ඉදිරිපත් කලේය. මුරපදය වැඩය. නිළධාරිනිය ලසියා හදුනාගත්තාය.

"හ්ම්ම්.... අන්න අර සාජන් මහත්තයව හම්බ වෙන්න " පිළිගැණීමේ නිලධාරිණිය, ලිපිගොනු මිටියක් කිහිල්ලේ ගසාගෙන තරමක වේගයෙන් යන උස මහත පොලිස් රුවක් අපට පෙන්නුවාය. ලසියා ඉදිරියෙන්ද මා පසුපසින්ද වනපරිදි අපි දෙදෙනාද සාජන් මහතා පසුපස ලුහුබදින්ට වීමු.

"මේ... මම සිල්වා සාජන් මහත්තයගෙ පුතා. රිපෝට් එකක් ගන්න ආවෙ... "ලසියා අනන්‍යතාව සහ අවශ්‍යතාව එකවරම ඉදිරිපත් කලේය.

"අහ්හ්.... මට සිල්වා අයියා කිව්වා.. කාටද ඔයාටද??? " සාජන් මහතා විමසුවේ ලසියාගෙනි.

"නෑ.. මෙයාට.. මෙයා අපේ අයියා කෙනෙක් " ලසියගෙ ආරාධනාවත් සමගම, මුල්ම වතාවට ලසියව පසුකොට පෝලිමේ ඉස්සරහට මම ආවෙමි.

"ඔතනින් ඉන්න ටික වෙලාවකින් මම එන්නම්..." සාජන් මහතා අප තනිකර ඉදිරියට ගියේය. සියල්ල  නූලට වන බැවින් ලසියා තවදුරටත් රස්තියාදු කලයුතු නැත. මම වහා ලසියාට සමුදී අසල වූ බංකුවකට බර වීමි.

කාලය ගෙවීගියේය. විනාඩි දහයක්, විස්සක් නොව තිහක්ම ගෙවීගියේය. බංකුවේ තද ලෑල්ල නිසා පශ්චාත් බාගයද රිදුම් දෙන්නට විය. කල හැක්කක්ද නොමැත. දෙදන මත වැලමිටි තබා, දිගෑරුනු අල්ලා මත මූණ හොවාගෙන තවත් වේලාවක් බලා සිටියෙමි. සාජන් මහතාගේ හෝඩුවාවකුදු නැත. එකම ඉරියව්වෙන් දිගටම සිටිය නොහැක. ඇගමැලි කඩා, මදක් හිස ඔසවා බැලිමි. බිත්තියට තබා ඇණ ගැසූ මහින්ද මාමා, මා දෙස බලා කින්ඩියට මෙන් සිනාසෙයි. මමද මාමා සමග සිනාසීමි.

"කෝ.. ඔය මල්ලි එන්න... " සාජන් මහතා මා ඇමතුවේය. "ඇති යාන්තම්" සැනසුම් සුසුමක් පාවී ගියේය.

"ඔය පු‍ටුවකුත් ඇදන්, මෙහෙට එන්න.. " අයිනක තිබූ පු‍ටුවක්ද ‍රැගෙන, සාජන් මහතාගේ මේසයට සමීප වීමි.

"මොකද මේ හදිස්සියෙම පොලිස් රිපෝට් එකක් ??? "

"රස්සාවකට යන්න " මම කිරිදත් පෙන්වා අහිංසක ලෙස සිනාසුනෙමි.

"දැනට රස්සාවක් කරන්නෙ නැද්ද??"

"කරනවා... ඒකෙන් අස්වෙලා වෙන එකකට යන්න"

"හ්ම්ම්... දැනට කොහෙද වැඩ ?? ඇයි අස්වෙන්නෙ ?? පදිංචිය කොහෙද ?? තාත්තා මොකද කරන්නෙ ?? තාත්තත් මෙහෙද ?? එතකොට අම්මා ?? මුකුත් අපරාධ වලට සම්භන්ද වෙලා තියෙනවද ?? ශුවර්ද ?? හොදටම ශුවර්ද ?? "  අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව පේපර් එකට පසුව, කෙටිම කාලයක් තුල වැඩිම පිළිතුරු ගනනක් දුන්නේ එදාය. සාජන් මහතාට “සැටිස්” පාටය.

"මල්ලී.... මගේ දැන් පෑන ඉවර වේගන එන්නෙ. ඔයාට පුලුවන්ද ගිහිල්ලා පෑනක් අරන් එන්න.. " හිටිවනම සාජන් මහතා ලියමින් සිටි ලිපිය නතර කලේය. පෑන ගෙන ඒමට මුදල් දීමට දෝ පු‍ටුවෙන් මදක් ඉස්සී කලිසමේ පස්සා සාක්කුවට දකුණතද යැවුවේය.

"ඕ.න්නෙ..නෑ සාජන් මහත්තයා. මම එකක් අරගෙන එන්නම් " මම වහා දිව්වේමි. පුදුමය, තවමත් "ඇට්ලස් චූටි" බෝල්පොයින්ට් පෑන අපි ඉස්කෝලෙ යන කාලේ ගානමය.

"ආ... මෙන්න සාජන් මහත්තයා " පෑන දෝතින්ම ගෙන සාජන් මහතාට පිදීමි. පිදිය යුත්තන් පිදිය යුතුය. එය මංගල කාරණයකි.

"මල්ලි මේක සෙල්ලමක්... තනිකරම රස්සාවත් එක්ක කරන සෙල්ලමක්. කාගෙහරි ඇදුනුම්කමකට මෙහෙම පොලිස් වාර්තා ලියනවා කියන්නෙ රස්සාව ගැන ආසාව අතෑරලා කරන වැඩක්. ඔයාලට නම් මේක නිකම්ම නිකම් කොල කෑල්ලක් වෙන්න ඇති. ඒත් අපිට මේක රස්සාව. පොඩ්ඩක් හරි ගැස්සුනෝතින්… ඉන්ටඩික්........ " සාජන් මහතාගේ හිතේ බර මටද දැනින.




පසු සටහන : ගොඩක් අය හිතාගෙන ඉන්නෙ, පොලීසියෙ ඉන්නෙ පගා ගහන, පිනට බොන, අහිංසකයන්ට පොර ටෝක් දෙන, චාටර් උන් කියලා. ඒත් බොහෝම දුර ඇදුනුම්කමක් වෙනුවෙන්, රස්සාව පරදුවට තියලා, නීති විරෝධී වැඩක් කරන්න උනත් පොලීසියෙ සමහරු පස්සා ගහන්නෙ නෑ.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.



Tuesday, October 23, 2012

සුනාත, ධාරේත, චරාත




සතර දිගින් වඩින මහා සංඝරත්නයට පූජා කරල තිබුනට අපේ ගමේ පංසල, සතර පේරුවේ දායක ඇත්තන්ගෙ දායකත්වයෙන් ගොඩනගපු එකක් නෙවේ. ඒක තනිකරම ඒක පුද්ගල පරත්‍යාගයක්.  මේ ආරාම පූජාවට නිධාන වෙච්ච කතාවත් හරි අපූරු එකක්. අපේ ගමටම කියල පංසලක් නොතිබුන ඒකාලේ ගමේ කට්ටිය තමන්ගේ ආගමේ, දහමේ කටයුතු කරන්න ගිහිල්ල තිබුනේ අල්ලපු ගමේ පංසලට. ඔය විදිහට පෝය දවසක බණ අහන්න කියල පිටගන් ගියපු අපේ ගමේ හිටපු සල්ලිය බාගෙ තියන උපාසක මහත්තයෙක්ට, පංසලේදි පොඩි අරුයාදුවක්  වෙලා තියෙනවා. ඔය පොඩි අරියාදුව තමයි එතුමාව අනේපිඩු සිටානන්ගෙ තත්වෙට පත් කරලා තියෙන්නෙ.

පංසලේ දැනට වැඩ ඉන්න ලොකු හාමුදුරුවො පංසලට වැඩම කරල තියෙන්නෙ උන්නාන්සෙ පුන්චි සංධියෙම. ඒ උන්නාන්සෙගෙ ගුරු හාමුදුරුවන්ගෙ දෙවැනි ගෝලයා විදිහට. සාමාන්‍යන් පංසල් වල කිරීටය හිමිවන්නේ  ගුරාගෙන් ගෝලයට. ගෝලයන්ගෙනුත් වැඩිමහල්ම ගෝලයට. ඒත් ගුරු හාමුදුරුවන්ගෙ වැඩිමල් ගෝල නම සංසාර විමුක්තිය හොයන එක පොඩ්ඩකට පැත්තකින් තියල සමාජයට විමුක්තිය හොයල දෙන්න මහන්සි වෙලා තිබුනා.  ඒ 88-89 කාලෙ. ඒක නිසාම ජනතාව වෙනුවෙන් මහන දම් අත ඇරපු උන්වහන්සෙගෙ ජීවිත කතාවෙ ඉතිරි හරිය ගමේ කවුරුත් දැනන් හිටියෙ නෑ. බොහෝ බුද්ධ පුත්‍රයන්ට වගෙම උන්වහන්සෙගෙත් ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිවම, ටයර් සෑයක් මත කරන්න ඇති කියල තමයි ගමේ ගොඩක් අය කියන්නෙ. කොහොමත් ඒකාලෙ ආණ්ඩුවට, බවුන් වඩන්නෙ නැතුවම තරුණයො රහත් කරවන්න අපූරු හැකියාවක් තිබුනනේ..

ගුරු හාමුදුරුවන්ගෙන් පස්සෙ, පංසලේ නායකකම හම්බ උනේ දැන් ඉන්න ලොකු හාමුදුරුවන්ට. උන්නාන්සෙ බොහොම දැන උගත් හාමුදුරුනමක්. බණ කියන්න, උන්නාන්සෙ තරම් උපන් හපනෙක් අහල ගං හතක හිටියෙ නෑ. ඊටත් අපේ පැත්තෙ පංසල්වල වැඩ ඉන්න ඕන කරන ඉහලම සුදුසුකම් උන්නාන්සෙට තිබුනා. ඒතමා කටේ හයියයි, අතේ පයේ හයියයි. ඔය දෙක නැත්තම්, නිතරම කරිජ්ජ පෑගෙන අපේ ගම්වල උපාසක මහත්තරු මෙල්ල කරන්න ටිකක් අමාරුයි. ගමේ පැතිරිච්ච විදිහට උන්වහන්සෙ පිරිවෙන් ගිහිල්ල බුදු බණ ඉගෙන ගන්නවට අමතරව කලුපටි ශේණිය වෙනකම් අත-පය විසි කරන හැටිත් ඉගෙන ගෙන තිබුනා. ඒක නිසා උන්නාන්සෙගෙ නමත් එක්ක අපූරු වීර කතා ගොන්නක් කියවුනා.

ඔය වීර කතා මට කියල දුන්නෙ අපේ ආච්චි. පොඩි එකා කාලේ වහිද්දි අකුණු කොටන කොට  දුවන් ගිහින් ආච්චි ගාව හැංගුනාම උන්දැ මට ඔය කතා කියලා දුන්නා. සද්දෙට අකුණු ගහද්දිත් ආච්චි බය නැතුව ඔය කතා කිව්ව නිසා ඕවයෙ ඇත්තක් නැතිවෙන්නම බෑ.

"ලොකු හාමුදුරුවෝ නොහිටින්න අද ඔහොම පංසලක් ඉතුරුවෙන්නෙ නෑ. ඔය පල්ලෙහා උන් එක්ක පංසලක් වත් බේර ගන්න පුලුවනෑ...... " ආච්චි කතාව පටන්ගන්නෙ පංසල කිට්‍ටුව ඉන්න උපාසක ඇත්තන්ට පිං අනුමෝදන් කරන ගමන්. ගමේ පංසල කිට්‍ටුවම හිටියෙ මොහොම හෙමීට ශිෂ්ඨ වෙන මිනිස්සු කොට්ඨාශයක්. ඒකනිසා පංසලේ ශිෂ්ඨ ගති ඒ සෙට් එකට දිරෙව්වේ නෑ.

"ඕකුන් කසිප්පු බූලිය හැංගුවේ බුදුගේ ඇතුලෙ.මං මේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනව කසිප්පු බූලිය අරගෙන බුදුගෙයින් එලියට යනවා.ලොකු උන්නාන්සෙ නොහිටින්න ඕකුන් ඔතනට පර්මි‍ටුත් ගන්නවා කසිප්පු පෙරන්න. හ්ම්ම්... මොකෝ කොල්ලො නිදිද???? " කටත් ඇරගෙන, "හ්ම්ම්" නොකිය, ආච්චිගෙ කතාව අහගෙන හිටිනිසා ආච්චි හිතන්න ඇති මම කටත් ඇරගෙනම නිදි කියල.

"න්නෑ.. නෑ.. ඉතින් ඉතින්...." මම හූමිටි තිබ්බා.

"ඒ කාලේ පංසල් වත්තෙ පොල් ගහක ආසාවට පොල් ගෙඩියක් තිබුනෙ නෑ... මලෙන් එලියට ආපු ඇට්ටි කාලෙම ඕකුන් ගහ හූරගෙන යනවා. වදුරො ‍රැල වගේ..." හොර පොල් කඩන වැඩේ නවත්තන්න ලොකු හාමුදුරුවෝ කරල තිබුනේ හරි අපූරු වැඩක්.

උන්නාන්සේ, ගෙවල් වයරිං කරන්න ගන්න වයර් තුන හතරක් එකට තියල අඹරගෙන මහත කඹයක් හදාගෙන තිබුනලු.  හැමදාම බිංකලුවර වැටෙන වෙලාවට ඒකත් අරගෙන උන්නාන්සේ පංසලේ හතර මායිමේ සක්මං කරනවලු. එක දවසක් ඔහොම සක්මං කර කර වඩිනකොට, පොල් කඩන්න ආපු උපාසක මහත්තයා හාමුදුරුවන්ට මුලිච්චි වෙලා තියෙනවා. ආච්චි කිව්ව විදිහටනම්, හාමුදුරුවෝ අර අඹරපු කඹෙන් පිටහරහා දෙකයි උපාසක මහත්තයට දීල තියෙන්නෙ. පොර කඩපු පොල් ගෝනියත් හාමුදුරුවන්ට පූජකරලා දිව්වලු. ඒදායින් පස්සෙ පංසල් වත්තෙ පොල් වේලිලා වැ‍ටුනත් එකෙක්වත් ගස් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑලු.

පංසල ගැනයි, ලොකු හාමුදුරුවෝ ගැනයි මෙච්චර දිග හෑල්ලක් ලිව්වෙ, ලොකු උන්නාන්සෙ කලකට උඩදි මට දීපු උපදෙසක් මතක් වෙලා.

ඔය සිද්දිය වෙනකොට මට අවුරුදු දහයක් දොලහක් ඇති. ලොකු උන්නාන්සෙ වැඩ උන්න ආවාස ගෙයි මුල්ලක දැවැන්ත කලුවර අල්මාරියක් තිබුනා. ඕකෙ උඩ තට්‍ටුවෙ තිබුන “ප්ලාස්ටර් ඔෆ් පැරිස්” බුදුපිළිමෙ ඇරෙන්න, අල්මාරිය පිරෙන්නම තිබුනෙ පොත්. . ඒදවස් වලත් පොත් කියවන්න, පොත් අත-පත ගාන්න මම හරි පෙරේතයි.

අල්මාරියෙ වීදුරු අස්සෙන් පොත් දිහා බල බල කෙල හල හලා හිටියට පොතක් ඉල්ලන්න තරම මට ගටක් ආවෙ නැත්තෙ , කවුරුත් ලොකු හාමුදුරුවන්ගෙන් පොත් ඉල්ලනවා දැකලා නැති නිසා වෙන්න ඕන. ඒත් දවසක් ගෙදර දානයක් මතක් කරන්න පංසලට ගියපු වෙලාවෙ අර පොත් කන්ද දැක්කම මට අමුතුම මොරාල් එකක් ආවා.

"හාමුදුරුවනේ.... ම්..ම්..  මේ පොතක් අරන් ගිහින් කියවල ගෙනල්ලා දෙන්නද???...." මං ඔන්න ඔහේ කියලා දැම්මා.

"හ්ම්ම්.... ඉලංදාරියට මම පොඩි උපදෙසක් දෙන්නද??? " පොරවගෙන හිටපු සිවුර එහෙම හරිගස්සගෙන කතාව පටන් ගන්න විදිහටම මට තෙරුනා  ශුවර් එකටම පොත් නම් හම්බ වෙන්නෙ නෑ කියලා.

"කොල්ලෝ පොතයි, ගෑණියි කවදාවත් අතින් අත යවන්න එපා. ආයේ කවදාවත් උඹ ලගට එන්නෙ නෑ" හාමුදුරුවෝ කිව්වෙ කට කොනකට කින්ඩි හිනාවකුත් දාගෙන.

එදා එහෙයි කියල ඔය උපදෙස ගත්තට, ඒක හොදට පත්තියන් උනේ ඊට ටික කාලෙකට පස්සෙ, යාලුවෙක්ට දීපු මගේ පොතක් ආපහු ඉල්ලගන්න කතා කරාම. පොර ඒක තව කාටද දීල, ඒකා තවත් එකෙකුට දීල. ඔහොම ඔහොම පොත රවුන් කීපයක් අතින් අත ගිහිල්ල තිබුනා.කොහොම හරි පොත් අවසන් වරට දු‍ටු කෙනෙක් හොයා ගන්න නෑ.  ගෑණු ගැන නම් දන්නෙ නෑ. හැබැයි පොත් වලට නම් ඒ කියමන හරියට හරි. බුද්ධ පුත්‍රයෙක් කට කහනවට දොඩවන්නෙ නැති නිසා ඒ කියමනේ ඉතුරු පලුවත් හරි යන්න ඕන.

ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.