සයිට්
එකේ කැන්ටිම කරන්න බාරගෙන හිටපු කීර්ති, ආමි එකේ ඉදල තමන්ගෙ කැමැත්තෙන්ම වේලපහින් විශ්‍රාම ගියපු පොරක්. තමන්ගෙ විධායක බලතල බොහොම සාධාරණ විදිහට පාවිච්චි කරල, කීර්තිට කැන්ටිම කරන්න ටෙන්ඩරය පාස්කරල දුන්නෙ අපේ ලොක්කා. ඒ කීර්ති ගැන හද පතුලෙ උපන් අනුකම්පාවක් නිසාවත්, කීර්තිගෙන් මිට මොලවල ලැබිච්ච සන්තෝසමක් නිසාවත් නෙවේ. සයිට් එකට අල්ලල තියෙන කීර්තිගෙ ඉඩම් කෑල්ල, සයිට් එකේ වැඩට බද්දට ගන්න බලාගෙන. අපරාදෙ කියන්න බෑ ලොක්කා
කොක්කෙ අමුලන දාපු ඇම, කීර්ති දෝතින්ම අරන් කටේ ඔබාගත්තා.
කීර්තිට
අවුරුදු පනහක් විතර ඇති. ඒත් නිතරම ඇදගෙන ඉන්න සාක්කු පිරිච්ච කාගෝ කලිසමයි, බැගී ටී
ශර්ට් එකයි නිසා, බැලූ බැල්මට පොරට තිහක් - තිස්පහක් වත් කියන්න බෑ. මැදින් බෙදපු දිග
කොන්ඩෙ, කන් දෙක දෙපැත්තෙන් පිටිපස්සට අරගෙන "වූල් බැන්ඩ්" එකක් හරහා යවල,
අස්ස වලිගයක් වගේ පේන්න හරිගස්සල තිබුනා. අපූරු කොන්ඩ මෝස්තරෙයි, උඩට කරකවපු උඩු රැවුලයි,
කීර්තිගෙ මූණට ගෙනාවෙ තමිල්නාඩු සටන් නලුවෙග්ගෙ පෙනුම.
කීර්තිම
කියන විදිහට පොර අංක එකේ "කොටියෙක්". කැන්ටිම කරන්න කලින් කීර්ති කරගෙන ගියපු
සිල්ලර කඩේට ඇවිත්, කීර්තිගෙන් හිරි-ඔතප් බිදෙන කතාවක් අහපු නැති ගෑණු පරාණයක් ඒ ගමේ
හිටියෙ නැති තරම්. ගෑණුන්ගෙ විතරක් නෙවේ, ඒ වගේ වෙලාවට වටේ පිටේ ඉන්න, ලැජ්ජා නහර වැඩ
කරන පිරිමියෙක්ගෙ උනත් මූණ රතු වෙනවා. කැන්ටිමේ වැඩට උදවු වෙන්න ගෑණු මනුස්සයෙක් ආවත්,
දවසකට දෙකකට වඩා ඉන්නෙ නැත්තෙත් ඒකම වෙන්න ඕන. කීර්තිගෙ කට ඒ තරම්ම වාචාලයි.
කීර්ති
පොඩියට පටන්
ගත්ත කැන්ටිම දවසෙන් දෙකෙන් නැගල ආවා. තුන් වේලට බත් දෙන එකටයි, දෙවේලක් තේ දෙන එකටයි අමතරව, සයිට් එකේම නැවතිලා ඉන්න සීයකගෙ, එකසිය පනහකගෙ සියලූම සිල්ලර කඩ අවශ්‍යතා සම්පූර්ණ උනේ කීර්තිගෙ කැන්ටිමෙන්. ඒක පොරට සෙට් වෙච්ච නියමම ඉල්ලමක්. හරියට ලොරි කාරයෙක්ට "නියුටල්" පාරක් ගහගන්න චාන්ස් එකක් හම්බුනා වගේ.
කැන්ටිමේ
නිත්‍ය සාමාජිකයො හැම කෙනාම වගේ සයිට් එකේ කම්කරුවො. ඒ අයට පඩි හැදෙන්නෙ මාස බාගෙන් බාගෙට. පඩි හම්බෙන්නෙ මාස බාගෙන් බාගෙට උනාට, තුන්වේලම කැන්ටිමෙන් කන්න පුලුවන් වෙන විදිහට දවසේ වියදමට හරියන්න පුංචි ගානක් වැඩ කරන හැම කෙනාටම, දවස ගානෙ ගෙවනවා. ඒත් අපි දෙන "වියදම් සල්ලි", කෑමට වියදම් කරන්නෙ ඉදල හිටල එහෙමත්ම කෙනෙක් තමයි. ගොඩක් දෙනෙක් "වියදම් සල්ලි" වියදම් කරන්නෙ, ඇගේ අමාරුව යන්න කසිප්පු වීදුරුවක් අරගන්න. ඒක නිසා කීර්තිගෙන් අත්පිට මුදලට බඩු ගත්ත අය හිටිය නම්, ඒ බොහොම අඩු ගානක්. අනිත් අය බඩු ගත්තෙ "
ක්‍රෙඩිට් කාඩ්" එකට. එක එක්කෙනාගෙ "ක්‍රෙඩිට් කාඩ්" එකේ ලිමිට් එක වෙනස්. ඒ ලිමිට් එක තීරණය කරෙත් කීර්තිමයි. පොලු කාරයන්ගෙ "ක්‍රෙඩිට් කාඩ්" ලිමිට් එක, කලින්
මාස වල හිග වෙලාවට බේරන අයගෙ ලිමිට් එකට වඩා ගොඩක් අඩුයි. වැඩ නොකර "බිලට්" එකට වෙලා බුදියගන්න උන්ගෙ ලිමිට් එක ඊටත් අඩුයි.
ජාත්‍යන්තර බැංකු වලටත් පොලු තියන "ක්‍රෙඩිට් කාඩ්" ශිල්පියො ඉන්න අපේ රටේ, කීර්තිගෙ කැන්ටිම බේරිලා තිබුන නම්, ඒක අටවෙනි පුදුමෙ වෙන්න ඉඩ තිබුනා. කීර්ති කියන විදිහට නම්, මාසයක් පුරාවට ණයට කාල බීල, අන්තිමේදි ලග පැදුරෙ බුදිය ගන්න එකාටත් නොකියම මාරු වෙච්ච ගාන ඉහේ කෙස් ගානට වැඩිලු. ඉදල හිටල හවසක "ප්ලේන්-ටී" එකක් ගහන්න කැන්ටිමට ගියාම කීර්ති ඔය ණයට පොලු තියපු උන්ගෙ විස්තර කියවගෙන කියවගෙන යනවා.
"ඕන් මං
වැව් ඉස්මත්තෙන් තව අක්කර පහක් අරන් දැම්මා...." දවසක් ඔහොම කියවගෙන ගිහින් එකපාරටම කීර්ති කිව්වා.
"ඒ මොකටද
ඒ ?? " සමහර වෙලාවට කීර්ති කියන කතාවල පෙර-අපර සංධි මොනම විදිහටවත් ගැලපෙන්නෙ නෑ. මම හිතුවෙ මේකත් එහෙම කතාවක් කියල.
"ඕකුන් කවදහරි
හරක් වෙලා, මගෙ ණය ගෙවන්න එන දවසක දිගේලී කරන්න ඉඩත් තියෙන්නෙ එපැයි..." ඇගට පතට නොදැනි කීර්ති කිව්වම මගේ ඇග හීතල වෙලා ගියෙ, කලින් දවසෙ බීපු තේ එකේ සල්ලි ගෙවන්න බැරිඋන විත්තිය මතක් උනාම. මමත් වහු පැටියෙක් වෙලා වැව් ඉස්මත්තෙ උලා කනව මැවිලා පේන්න ගත්තා විතරයි තේ දෙකටම සල්ලි ගෙවල මම හිමීට මාරු උනා.
පොලු
කාරයන්ගෙ "බොල් ණය" කපාහරින ක්‍රමය, දීර්ඝ කාලීන ආයෝජනයක් උනාට, කීර්ති කාටවත් ලේසියෙන් පොලු තියන්න ඉඩ දුන්නෙ නෑ. පඩි දෙන දවසට කීර්තියි, කීර්තිගෙ මායියයි, සයිට් ඔෆිස් එක ගාව නොවැරදීම පිරික්සුම් කපොල්ලක් දානවා. ඩේවිඩ් කොෆ(ර්)ෆීල්ඩ් ආවත්, කීර්තිගෙ ණය පොත ශුන්‍ය නොකර නම් එතැනින් අතුරුදහන් වෙන්න බෑ.
සමහර
දවස්වල හවසට පොඩි ෂොට් එකක් දා ගත්තම, කීර්තිට තමන්ගෙ ණයකාරයො මතක් වෙනවා. ඒ වෙලාවට ණයකාරය ජාතක කරපු මෑණියන්ට කියන කතා ඇහෙනවා නම්, උන්දෑ ආයෙත් බඩ වෙනවා.
"අපෝ... කීර්ති
මහ ජරා මිනිහෙක්... දවසක් දෙකක් සල්ලි පරක්කු උනොත්, වදපු අම්මා ඉවරයි.... අපිත් කැමතියි වෙලාවට ගනන් හිලවු බේරන්න. නැති බැරි කම නිසාම ඉවසන් ඉන්නවා..." කීර්තිගෙ ඔය නරක පුරුද්ද ගැන සයිට් එකේ දෙතුන් දෙනෙක්ම මට කිව්වා.
"හ්ම්ම්... මම
කීර්තිට කියල බලන්නම්" මම මූනිච්චාවට එහෙම කිව්වට, වැරැද්ද වෙන තැනක තියෙද්දි කීර්තිට ටෝක් කරන්න ගිහින් නිකන් කිච වෙන්න ඕන කමක් මට තිබුනෙ නෑ.
මොනව
උනත් සයිට් එකේ වැඩ කරන්න ඉන්නේ ඇති-හැකි කමෙන් බොහෝම පල්ලෙහයින් ඉන්න සෙට් එකක්. ඒ වගේ අයගෙන්ම, යුෂ උරාගෙන බීල, රජා වගේ ඉන්න කීර්තිය ගැන මගෙ හිතේ ඇදුන චරිතෙ සම්පූර්ණ කලු එකක්. එදා ඉදල කීර්තිගෙ කැන්ටිම පැත්තෙ යන එක මම නතර කරා.
** ** ** ** ** ** ** **
සයිට්
එකේ ඔෆිස(ර්)ලගෙන් කීර්තිගෙ කැන්ටිමට නිතර ආවෙ ගියේ රසික අයියා. ගොඩක් වෙලාවට ඒ සිගරට් එකක් අදින්න හරි, විටක් හපන්න හරි. දවසක් කැන්ටිමේ ඉදල එළියට බහින රසිකව මට මූණට හම්බ උනා.
"කැන්ටිම පැත්තෙ
යන්නද?" රසික දුර තියාම මගෙන් ඇහුවා.
"අපෝ නෑ....
කීර්තිය දකින කොටත් මට අප්පිරියයි"
"ඇයි ඒ..."
"මිනිහෙක් කාපු
බීපු දේකට, මහ සෙනගක් මැද්දෙ අම්මා මතක් කරල බනින එක මාර චාටර් වැඩක්නෙ. අනික ඔය මිනිස්සු තියාගෙන නුදුන්න නම් තව කමක් නෑ..." මගේ කතාවට ලාවට හිනා වෙච්ච රසික, හීනියට බුලත් කෙල පාරක් විදල, උගුර පැදුවා.
"බිව්වම කීර්ති
ටිකක් කෑගහනවා තමයි. ඒත් මිනිහගෙ පපුව හොදයි. කොච්චර ණයකාරයෙක් උනත්, සල්ලි හම්බවෙන්නෙ නෑ කියල දැන දැන උනත්, කන වෙලාවට ආවොත් කීර්ති බත් එකක් නොදී යවන්නෙ නෑ... අනික මගේ ඇහින්ම දැකල තියෙනවා, බත් ඉවරයි කිව්වම හැරිල ගියපු එකෙක්ට අඩගහල පොර ක කා හිටි පතෙන් බාගයක් දෙනවා.. කීර්ති හිටපු ආමි සෝල්ජ(ර්) කෙනෙක්නෙ. ඒ පුරුද්ද තමා තාම තියෙන්නෙ. ඕන වෙලාවක කන පත බෙදා ගන්නවා..."
රසිකගෙ
කතාවත් එක්ක, මගේ හිතේ කලුපාටට ඇදිලා තිබුන කීර්තිගෙ රූපෙ තැනින් තැන සුදු පාටට පේන්න ගත්තා.
මිනිස්සු ගැන හරිහමන් තීරණයක් ගන්න පොඩි සිද්ධියක් මුල් කරගන්න එක ලොකු වැරැද්දක් වුනාට අපි කරන්නෙම ඒක..
ReplyDeleteඔව්.... වෙන ක්‍රමයකුත් නෑනෙ...
Deleteකීර්ති එල පොරක්නේ. අර අක්කර පහේ කතාව නම් සිරා.
ReplyDeleteඅන්න ආයෝජන :D
Deleteඅපි සමහරක් වෙලාවට මිනිස්සු ගැන නිරපරාදේ වැරදියට හිතනවා තමා බං
ReplyDeleteහිනා වෙන විදිහෙන්, කතා කරන විදිහෙන් මිනිහෙක් මනින එක බොහොම අසාධාරණයි තමා.....
Deleteඅනේ මන්දා.. ඉස්සර මාත් පෙනුමෙන් මිනිස්සු මනින්න, නිගමනවලට ඇවිත් ව්වේචන කරන්න ඉක්මණ් උනා.. ඒත් දැන් ගොඩක් වෙලාවට පැත්තකට වෙලා බලං ඉන්න පුරැදු වෙලා... හොඳ ගොඩක් අස්සේ නරක ටිකක් තියෙන කොට ඒ චරිතේ තනිකර කලු පාට වෙන්න බැරි බවත්, හොඳ කොච්චර තිබ්බත් එක නරකකින් සුදු පාට චරිතයක් අපිරිසිදු වෙන්න පුළුවන් බවත් මං දැං දන්නවා..
ReplyDeleteහ්ම්ම්... පැත්තකට වෙලා උපේක්ෂාවෙන් බලා ඉන්න එක තමා හොදම දේ....
Deleteඅයියෝ අර වැව් ඉස්මත්තෙ අක්කර පහක් අරන් දැම්ම කියපු කතාව නම් මරු... ඔයාට පොළව පලන් යන්න හිතෙන්නැති කලින් දවසෙ තේ එකට ණය බව මතක් උනාම... වහු පැටියෙක් වෙලා උලා කන සීන් එක මරුවට තියෙන්න ඇති නේ... හික්ස්...
ReplyDeleteඔය පඩි දවසට ණය හිලව් කරගන්න හැටි කියවනකොට මට මතක් උනේ ඒ කාලෙ මම වැඩ කරපු ඔෆිස් එකක, පඩි දවසට සරප් කවුන්ටරේට ඇතුළු වෙන තැනට වෙලා වට පිට බල බල ඉන්න පොලී මුදලාලි... අපේ ලොක්කත් එයාගෙ දුවගෙ වෙඩිමට ඔය මුදලාලිගෙන් ණය මුදලක් අරන් තියෙනවා එක සැරයක්... දවසක් අපිත් පඩි අරන් එන වෙලාවෙ ලොක්කා අපට ඉස්සරහින් යනවා ලියුම් කවරෙ තියෙන සල්ලි ටික ගැන ගැන... පොලී මුදලාලි කාක්කෙක් වගේ පැනල එක පාරටම අර ලියුම් කවරෙ උදුරල අරන් සාක්කුවෙ දාගත්තෙ නැද්ද... අර මනුස්පයට වස ලැජ්ජාව... අන්තිමට මාසෙ පඩි පතම ඉවරයි...
ඇත්තටම අපි ගොඩක් වෙලාවට කරන්නෙ ඔය වගේ සිදුවීම් වලින් මිනිස්සුන්ව මනින එක තමා...
හික්ස්... පොලී මුදලාලි මරු බඩු කෑල්ලක්නෙ. එක අතකින් බැලුවහම ණය ගන්න කවුරුත් බලෙන්ම ගිහින් ණය බේරන්නෙ නෑනෙ. ඉතින් ඒ මිනිස්සුන්ගෙ හැසිරීමත් සාධාරණයි.
Deleteසෑහෙන්න වටිනවා. අදහස. පොඩි දෙයක් නිසා ලොකු දෙයක් හිතන එක ගැන. මචෝ උඹේ බලගේ අවුලක් තියෙනවා බං... අප්ඩේට් වෙන එකේ. ඒක හොයා බලා මොකක් හරි කරපං. අපි අමාරුවේ නොදා.. හිරුව ලින්කටුව නොදුන්නං උඹව අහුවෙන්නේ නෑ මේ පාර. ඒකිටත් තැන්කුයි
ReplyDeleteමම සෑහෙන්න ට්‍රයි කරා අවුල ලිහන්න. හරි ගියේ නෑ.. එහෙනම් හිරුටත් විශේෂ ස්තුතියක් දෙන්න ඕන.... :D
Deleteපොඩ්ඩක් වත් අතාරින්නෙ නැතුව කියවන්න හිතෙන විදිහට ලියනවා නේද . අපුරුයි . ඇත්ත තමයි කලුයි සුදුයි කියල මිනිස්සු මනින්න බැරි බව මටත් හිතෙනවා .මටත් මුණ ගැහුණ අය අතර එකම එක ගැහැණු කෙනෙක් හිටියා කොච්චර උත්සාහ කලත් හොඳක් නම් හිතාගන්නම බැරි වුන . ඒ ඇරෙන්න අනික් හැමෝම ගාව මොකක් හරි හොඳක් තිබුණ .
ReplyDeleteඅක්කර පහේ ඉඩමේ උලාකන වසු පැටියෙක් ...අපොයි
සමහර අය නම් ඉන්න කිසිම හොදක්වත්, නරකක්වත් පේන්නෙ නැති. ඒත් අවස්තාවක් ආවම ඒ අයත් වෙනස් වෙන්න පුලුවන්.
Delete//අක්කර පහේ ඉඩමේ උලාකන වසු පැටියෙක් ...//
ග්ර්ර්ර්ර්.........
කළු චරිතත් නැහැ සුදු චරිතත් නැහැ. ඉන්නේ අළු චරිත
ReplyDeleteහරියට හරි මචෝ....
Deleteම්හ්ම්.කලුත් සුදුත් අතර තව හුඟාක් වර්ණ තියෙන බව ඇත්ත. නමුත් මේ අදත් මම එක කට්ටියක් ගැන හොඳක් ලියන්න කල්පනා කරලා පැය ගානක් ගත කලා. ඒත් හරි ගියේ නැති නිසා අත හැරලා දැම්මා. කලු විතරමකුත් තියෙනවා ඉඳ හිට.
ReplyDeleteපැය ගානක් කල්පනා කරලත් එක හොදක්වත් හොයා ගන්න බැරි උනා නම්, ලියන එක අතෑරියා වගේ ඒ කට්ටියත් අතාරින එකයි කරන්න තියෙන්නෙ....
Delete//"මිනිහෙක් කාපු බීපු දේකට, මහ සෙනගක් මැද්දෙ අම්මා මතක් කරල බනින එක මාර චාටර් වැඩක්නෙ. අනික ඔය මිනිස්සු තියාගෙන නුදුන්න නම් තව කමක් නෑ..." //
ReplyDeleteබොහොමයක් බැංකු වලින් උනත් එහෙමයි, එහෙවු එකේ කිර්ති වගේ එකෙක් බැන්නම කමක් නැහැ කියලා හිතෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකේ ගාන ගෙවන්න පරක්කු උනොත්, කතා කරලා බනින්නේ ජාතකෙට තමයි. මගේ යාලුවෙක්ට ඔහොම දෙයක් උනා බැංකුවේ එකෙක් ගෙදරට කතා කරලා උනේ වයිෆ්ට කුණුහබ්බෙන් බැනලා, අන්තිමේදී පොලිසි හිටන් ගියා. ඔය HSBC බැංකුවෙන්.
මම නම් කිසිම දවසක ක්‍රෙඩිට් කාඩ් බාවිතයක් නැහැ. දන්නා එකෙක්ට ගන්න දෙන්නෙත් නැහැ. ඔය සිද්දියෙන් පස්සේ විශේෂයෙන් ඔය HSBC එකෙන්.
බැංකු වලින් දෙනකොට නම් දෙන්නෙ මල් තියල, වැදල පුදලා.... ඒත් පොඩ්ඩක් එහෙට මෙහෙට උනොත් ඉතින් සොරිම තමා.
Delete//මම නම් කිසිම දවසක ක්‍රෙඩිට් කාඩ් බාවිතයක් නැහැ//
මමත් ඉන්නෙ ඒ මතයෙම තමා. කරන මගුලක් සාක්කුවෙ තියෙන සල්ලි ගානට, අත්පිට මුදලට.... :D
කලු සුදු චරිත තියෙන්නෙ දෙමළ සහ හින්දි චිත්‍රපටි වල විතරයි. ඒ ඇරෙන්න බහුතරයක් අවස්ථාව අනුව කලු හෝ සුදු වෙන චරිත. හැමෝම සම්පූර්ණයෙන් හොදත් නෑ සම්පූර්ණයෙන් නරකත් නෑ 😁
ReplyDeleteපරිස්සං නොවුනත් බැංකු ක්රෙඩිට් කාඩ් නං වහ ...