මහතුන්
"බැදපුවා"
කියල කිව්වෙ වල් ඌරෙක්, මුවෙක් වගේ වල් සතෙක් දඩයන් කරගන්න, උන් යන එන මංකඩවල අටවපු තුවක්කු වලට. මංකඩවල තුවක්කු බදින එක වගේම , වන සත්තු මස් කරන එකත් නීතියෙන් තහනම්. දඩමස් හොයාගෙන කාලෙන් කාලෙට පොලීසිය හේන් වලට පැන්නත් ගමේ අයගෙ ඇස් වලට වැලිගහලා මහමූකලානෙ කිලෝ මීටර තුන හතරක් එන එක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ නිසා හේන් වල ගොයියො ලේසියකට පොලීසියට අහුවෙන්නෙ නෑ. පදවිය කියන්නෙ නිධන් සම්භන්දයෙනුත් බොහෝම ප්‍රසිද්ධ ගම්මානයක්. ගොඩක් වෙලාවට අපි වගේ නඩ මේ මූකලානට රිංගන්නෙ පැල් රකින්න නෙවේ. වලලපුවා ගොඩදාන්න. ඒක
නිසා කල්තියාම අපේ ගමන ගැන පොලීසියට දන්වන්නත් සිද්ද උනා.
මහතුන්ගෙ
පැල්කොටේ බොහොම සරලව හදපු එකක්. පැලේ මූලික සැකිල්ල හදල තිබුනෙ මූකලානෙන් කපා ගත්ත දඩු, වැල්, පට්ටා වලින්. බිමට මැටිගාපු එක ඇරෙන්න, ගංගෙවල්වල වගේ සැකිල්ල වටේට මැටි බිත්තියක් තිබුන්නෑ. පල
දෙකට ගහපු වහල, හෙවිලි කරල තිබුනෙ පිදුරු වලින්. මොර සූරන වැහි කාලෙට පැල ඇතුල තෙමෙන එක නවත්තන්න, වහල ඇතුල් පැත්තෙ තැනින් තැන ඉටි රෙදි අමුනලා තිබුනා. වහල, මුදුන්ලීය කිට්ටුවෙදි අඩි හතක් විතර උස උනත්, කෙලවරට වෙද්දි පොලවට අඩි හතරකට වඩා උස උනේ නෑ. පැල ඇතුලට හිරිකඩ වදින එක වගේම, වහලට වැටෙන වතුර ඉක්මනට බේරිලා යන්නත් ඒක බොහොම පහසුවක් උනා.
හේනෙ පැල |
පැලේ
කෙලවරක් පාවිච්චි කරේ කුස්සිය විදිහට. ලිප, දඩමස් දුන්ගස්සන්න ලිපට උඩින් බැදපු ලී මැස්ස, හට්ටි වලං නමන්න ඊටත් උඩින් බැදපු මැස්ස, තිබුනෙ ඔන්න ඔය කෙලවරේ. ඊට අමතරව ඉදගන්න, නිදාගන්න වගේම අඩුම කුඩුම අඩුක් කරන්න පාවිච්චි කරන තවත් ලී මැහි දෙකකුත් තිබුනා. පැල ඇතුල එළිය උනේ කුප්පි ලාම්පුවෙන්. මුල් කාල වල හේන්ට බහිද්දි හුලු අත්තක් පත්තු කරත්, දැන් හුලුඅතු පාවිච්චි වෙනවා බොහොම අඩුයි. ටෝච් එක තමයි හුලුඅත්ත වෙනුවට දැන් පාවිච්චි කරන්නෙ. ඉවුම් පිහුම් වලට වගේම බීමට ඕන කරන වතුර ටික අරගත්තෙත්, පැලට අත්පොවන මානෙන් හාර ගත්ත අඩි තුනක් විතර ගැඹුරු ලිං පොඩ්ඩෙන්.
ළිං පොඩ්ඩ |
කැලේ
අස්සෙ සෑහෙන දුරක් රිංගපු නිසාද මංදා, පැලට කිට්ටු කරනකොට අපි හොදටම හෙම්බත් වෙලයි හිටියෙ. මහතුන්ගෙ බෙලිමල් කෝප්පෙට පිංසිද්ද වෙන්න අපේ ගමන් මහන්සිය නම් නිකම්ම මග ඇරුනා. ඒත්
බෙලිමල් කෝප්පෙට බඩගින්න තවත් ඇවිස්සුනා මිසක් අඩු උනේ නෑ. මගදි හේනකින් කඩා ගත්ත බඩ ඉරිගු වල අගේ තේරෙන්න ගත්තෙ එතකොට. පැලේ තිවුන ලොකුම මුට්ටිය අරගෙන ඒකට බඩ ඉරිගු කරල් ටික සුද්ද කරල තැම්බෙන්න දාපු අතරෙ, ක්‍රිෂ්ණා තවත් කරල් තුන, හතරක් පැලට පිටින් අවුලවා ගත්ත ගිනිමැලේට දැම්මා. යාන්තම් කරවේගන එනකොට ගිනිගොඩෙන් ඇද ගත්ත බඩ ඉරිගු කරල් හරි අපූරු කෑමක්. ගොඩක් වෙලාවට තම්බපු ඉරිගු විදිහට පාරවල් අයිනෙ තියෙන්නෙ, මැලේසියන් ඉරිගු ජාතියක්. ඇට ලොකු , කරල් ලොකු නිසා එක කරලක් කනකොට ඒ ඉරිගු එපා උනත්, හේනෙම්ම කඩාගත්ත ලා ඉරිගු, කරල් තුන-හතරක් උනත් එක දිගට කන්න පුලුවන් තරම් රහයි. අනික පුච්ච ගත්තම, කර රහත් එක්ක එන කිරි රහ නිසා, තම්බපු ඉරිගු වලට වඩා පුච්චපු ඉරිගු තවත් රහයි.
තම්බපු ඉරිගු හට්ටිය |
පුච්චගත්ත ඉරිගු |
මහතුන්ගෙ
හේන අක්කර පහක් විතර ඇති. ඒකෙන් අක්කර කාලක් ඇරෙන්නෙ අනෙක් ඔක්කොගෙම වවල තිබුනෙ වී. හැබැයි වියලි කලාපෙ දකින්න පුලුවන් මඩ ගොවිතැන නෙවේ හේන් වල තියෙන්නෙ. හේන්වල වී ගොවිතැන කෙරුනෙ අහස් දියෙන්. හේනක වැව්වෙ තමන්ගෙ ගෙදර දොර පරිහරණයට ඕන කරන බව-භෝග. හේනක් කියන්නෙ යැපුන් ගොවිතැනට
හොදම උදාහරණයක් කියල කියන්නෙ ඒකයි.
මහතුන්ගෙ
හේනෙ ඉතුරු ඉඩේ ගෙදරට ඕන අනික් එළවලු වවලා තිබුනෙ ඉඩකඩ බොහොම අරපිරිමහින විදිහට. හේනෙ කිසිම අස්සක් මුල්ලක් තනි නොවෙන විදිහට මහතුන් හේන පුරාම වවලා තිබුනා. කුඹුරෙ ලියදි දිගටම මිරිස් පැල හිටවලා. පැල කිට්ටුවෙන්ම ළූණු පැල පාත්තිය. ඊට ටිකක් එහායින් පතෝල මැස්සත් එක්ක වට්ටක්කා මැස්ස. හේනෙ ඉඩ තියෙන බුරුල් තැන් බලල මඤ්ඤොක්කා දඩු හිටවලා. ඊට අමතරව ඉරිගු ගස් කීපෙකුයි, පිපිඤ්ඤා වැල් ටිකයි තිබුනෙ හේනෙ මායිමට වෙන්න. හේනෙ එලවලු එකක්වත් විකුනන්න බලාගෙන හදන් ඒවා නෙවේ. ඒක නිසා එළවලු වලට පෝර දාන , බෙහෙත් ගහන සිරිතක් හේන් ගොවියොගාව නෑ. ඒත් හේනෙම වවන වී වගාව ඊට ටිකක් වෙනස්. වී, කුරහන්, අබ වගේ භෝග හේනක වවන්නෙ කොටසක් කෑමට අරගෙන ඉතිරුවා විකුණන්න බලාගෙන. ඒක නිසා ඒ භෝග වලට, වෙන තැන්වලදි වගේම හේනෙදිත්, යහමින් බෙහෙත්, පොහොර වැටෙනවා.
නියර දිගේ වවපු මිරිස් |
පතෝල මැස්ස |
වට්ටක්ක මැස්ස |
ළූණු පාත්තිය |
තම්බපු
බඩ ඉරිගු ටික ඉවරවේගන එද්දි මහතුන් හේනට බැහැල පිපිඤ්ඤා ගෙඩි තුන හතරක් කඩාගෙන ආවා. පොළවල්වල විකුනන්න තියෙන ඒවා තරම් ලොකු ගෙඩි නූනත්, පොතු නොගහ කන්න පුලුවන් තරමට ඒවයෙ පොත්ත තුනීයි. ඊට පස්සෙ අපි කට්ටියම ලෑස්ති උනේ රෑ බත හරිගස්සන්න. බත් මුට්ටියක් එක ලිපක පැහෙද්දි, කඩාගෙන ආපු වට්ටක්කා, කෑලි කපල හොද්දක් හදන එක පැලෙන් එළියෙ සිද්ද උනා. මහතුන් පෝර උරියක දාල වහලෙ එල්ලල තිබුන වේලපු දඩමස් ටිකත් හීනියට කපල වට්ටක්ක හොද්දටම එකතු කරා.
හේනකදි
බතක් එක්ක හැදෙන්නෙ එක මාලුවයි. ඒ මාලුවටත් යහමට තුන-පහේ දාල, කිරි රහට කන්න වෙන්නෙ නෑ. ඒ ඔක්කොම අඩුපාඩු මග හරින්න, හේන් ගොයියා ඇති පදම් මිරිස්, මාලුවට එකතු කරනවා. ඉන්න හැමෝටම කන්න මදි වෙයි කියල හිතල, මහතුනුත් වට්ටක්ක මාලුවට මදි නොකියන්න මිරිස් එකතු කරා. කොච්චර සැර උනත්, උණු උණුවෙම බත් එක්ක කාපු වට්ටක්කා මාලුව, මගේ ජීවිතේ කාපු රසම කෑම වේල් අතරෙ ඉහලින්ම තියෙනවා.
තක්කාලි, මිරිස් යහමට දාපු වට්ටක්කා/දඩමස් මාලුව |
හේනෙ
ජීවිතේ අමාරුකම, එක රෑක් පැලේ හිටපු අපිට හොදටම තේරුනා. මෝසම් වැස්සත් එක්ක ඒ අමාරුකම
දෙගුණ-තෙගුණ වෙනවා. ගමේ ඉදන් කිලෝ මීටර හතරක් විතර ඈතින් මහ මූකලානෙ ගෙවන හේන් ජීවිතේ
බොහොම අවදානම්. සතෙක් සර්පයෙක් කෑවොත්, අල්ලපු හේනෙ ඉන්න ගොය්යා ඇරෙන්නෙ, පිහිටට වෙන
කවුරුවත් ඒ මූකලානෙ නෑ. ඒක නිසා යායට තියෙන හේන්වල ගොයියො බොහොම එකමුතුයි. ඕනම කෙනෙක්ට
ඕනම වෙලාවක අනුන්ගෙ පැලකට ගොඩවෙන්න කිසිම තහන්චියක් නෑ. ඒ වගේම තමන්ගාව තියෙන අඩු වැඩිය
උනත් අනිත් එකා එක්ක බෙදා ගන්න හේන් ගොයියා කිසි වෙලාවක පස්ස ගහන්නෙ නෑ. මහ කැලේ තුවක්කු
බදින්න, මරු වැල් අදින්න එක එක ගොයියාට වෙන වෙනම කැලෑ කුට්ටි තිබුනත් ඒවට කොටුවෙන
ඌරො , මුවෝ වගේ වන සත්තු, හේන් යායෙ හැමෝම අතරෙ බෙදෙනවා.
හේන්
ගොයියන්ගෙ තවත් අපූරු ලක්ෂනයක් තමා ඔවුන්ගෙ භාෂා විලාශය. "එයා", "මෙයා"
වගේ වචන හේන් ගොය්ය ගාව නෑ. ඒ වෙනුවට පාවිච්චි කරේ "ඒකා", "මේකා"
වගේ වචන.
"ඒකට
මං කීවා වට්ටක්කා හොද්දට තව ලුණු ටිකක් දාන්න කියලා. කෝ ඇහුවයැ...." වට්ටක්කා
හොද්ද හදද්දි මහතුන්, ක්‍රිෂ්ණට උපදෙස් දුන්නෙ ඒ විදිහට.
අනිත්
එක හේන් ගොය්යෙක්, "උඹ" කියල කතා කරන්නෙ අරියාදුවට නෙවේ. තාත්තට, පුතාට වගේම
ඕනම කෙනෙක්ට "උඹ" කියල කතා කරන්න හේන් ගොය්යා පස්ස ගහන්නෙ නෑ.
පැල්කවි
කියන එක දැන් ගොඩක් වෙලාවට හේන්වල කෙරෙන්නෙ නෑ. පැලට පිටින් අවුලව ගත්ත ගිනිමැලය ලගට
වෙලා හේන රකින එක තමයි දැන් කෙරෙන්නෙ. අපි කට්ටියත් රෑ එළිවෙනකම්ම වගේ ගිනිමැලය වටේට
වාඩි වෙලා කතා කර කර හිටියා. එළිවෙන්න පැයක් හමාරක් විතර තියෙද්දි නිදිමතේම මම ගිහින්
ලී මැස්සෙ ඇලවෙනවා වගේ මට අන්තිමට මතකයි. ආයෙ ගැස්සිල මම ඇහැරෙනකොට එළිය වැටිලා.
"ටිකක්
දවල් වෙලාම යන්න බැරියැ.. ඊයෙ පෙරේදා හොද මීයක් ඇහැ ගැහුනා. කට්ටියත් එක්ක ඒකත් කඩලම
යමු.." මහතුන්ගෙ යෝජනාව මසුරං වටිනවා උනත්, ඊළග දවසෙ සයිට් එකේ වැඩට ඉන්න ඕන නිසා,
උදේ පාන්දරම මහතුන් හදල දීපු තේ එකත් බීල අපි ආපහු එන්න පිටත් උනා.