උපන්
ගමෙන් හැතැක්ම තුන් හාර සීයක් ඈත පළාතක කට්ට කන්න සිද්ද වෙච්ච එක, ඉගෙන ගත්ත ශිල්පෙ එක්කම මට උරුම වෙච්ච දෙයක්. හවසට හවසට වැඩ ඉවර වෙලා ගෙදර යන එක, හිතුන ගමන් සයිට් එකෙන් මාරු වෙලා ගෙදර දුවන එක, අපේ ෆීල්ඩ් එකේ අවුරුදු දහය දොලහක් කටු කාල, පදම් උනාට පස්සෙ හම්බ වෙන වරප්‍රසාද. තාම ෆීල්ඩ් එකේ පැටියා කාලෙ ගෙවන අපි වගේ උන්ට, මාසෙකට අනිවාර්යයෙන්ම තියෙන නිවාඩුව ගන්නත් ලොක්කට නොවදිනා වැදුම් වදින්න ඕනේ.
ගෙදර යන්න හිතාගෙන, ලොක්කට කන්කෙදිරිගාල හතරට විතර සයිට් එකෙන් පැන්නට, "වවුනියාව-කොළඹ" බස් එක බැස්ටියන් මාවතේ පෙට්ටිකඩ පේළිය ගාව නතරකරන කොට රෑ දහයමාරත් පහුවෙලා. තියෙන පණ්ඩිතකමට බස් එක තේ බොන්න නවත්තපු වෙලේ බස් එකෙන් බැස්සෙ නැති නිසා, පිටකොටුවන් බහිද්දි ට්‍රැවලින් බෑග් එකේ බරට අමතරව උහුලගෙන ඉන්න බැරි තරම මුත්‍රා බරකුත් සෙට් වෙලා තිබුනා. බස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිලියට රින්ගල බර සැහැල්ලු කර ගත්තට පස්සෙ ඇගට ආපු ගටට දෙතුන් දෙනෙක්ට නෙවේ සීයකට උනත් ගහන්න පුලුවන්. වතුර එහෙම ගහල, සුද්ද බුද්ද කරල, යස අපූරුවට නඩත්තු කරගෙන යන හින්දා වැසිකිළිදොර ගාව ඉන්න අන්කල්ට, රුපියල් දහය දුන්නෙ, පොර ඉල්ලන්නත් කලින්.
පොට්ට චාන්ස් එකක් වැඩ කරේ නැත්තම් සිකුරාදා දවස කියන්නෙ කොටුවෙන් නැග්ගත් සීට් එකක් ගන්න, පැයක් විතර බස්පෝළිමේ තපින්න වෙන කරුම දවසක්. වේලාව රෑ එකොළහට කිට්ටු කරල තිබ්බ නිසා, ගෙදර යන්න තිබුනෙ මාතර,කතරගම වගේ දුර ගමන් සේවා බස් විතරයි.
එකම "ලේලන්ඩ්" කම්පැණියෙ හැදුවට, කොට කොට යන සෙක්ශන් බසුයි, එක්ස්ප්‍රස් බසුයි අතර තිබුනේ මහ ලොකු වෙනසක්. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නියම කරන අවම ගාස්තුවටත් සෙක්ශන් බස් එකක සීට් එකක් හම්බ උනාට එක්ස්ප්‍රස් එකක එහෙම හම්බ වෙන්නෙ නෑ. බස් එකට නග්ග ගන්නෙ කවුද, සීට් එක දෙන්නෙ කාටද කියල තීරණය කරන පරම ආධිපත්‍ය නිතරගයෙන්ම පැවරිලා තිබුනෙ කොන්දා මල්ලිට.
කාර්ය බහුල නොවන වෙලාවක නම් බස් එකේ ගමනාන්තෙන් බාගෙකට වඩා දුර යන ඕන කෙනෙක්ට එක්ස්ප්‍රස් එකක සීට් එකක් ගන්න පුලුවන්. ඒත් සිකුරාදා රෑ වගේ එක්ස්ප්‍රස් කාරයෝ රජ වෙන වෙලාවක සීට් එකක් හම්බ වෙන්නෙ, ගමනාන්තෙටම යනව නම් විතරයි. "උන්ගෙ බස් - උන්ගෙ ඩීසල්" නිසා රෑට බස් වල යන, මගින් බහින කවුරු කවුරුත් කොන්ද මල්ලිගෙ තීරණ වලට ගරු කරා.
තව පැය බාගෙකින්වත් යන්නෙ නෑ කියලා හොදටම ශුවර් උනත් දුවල ගිහින් නවත්තල තිබුන මාතර සෙමියෙ එල්ලුනේ ඉක්මනට ගෙදර යන්න තියෙන උවමනාවට වඩා ට්‍රැවලින් බෑග් එකට රැක් එකේ ඉඩක් අල්ල ගන්න ඕනෙ නිසා.
"කොහාටද කොහාටද???? ඔය මග එහෙම නගින්න එපා........." මගේ මග හරස් කරපු කොන්ද මල්ලි ඇහුවෙ හප හප හිටපු චුයින්ගම් එක, අනිත් හක්කට මාරු කරන ගමන්.
"නැගල පස්සටම යන්න ඕන, මග හිර වෙන්නෙ නැතුව" බහින තැන කිව්වම පොර මට බස් එක ඇතුලට යන්න දුන්නා.
බස් එකට ඇතුලු වෙනකොට පහල උනේ විශ්ණු දේවාලයකට ඇතුල් වෙනවා වගෙ බැතිබර සිතක්. වින්ඩ්ස්ක්‍රීන් එකට උඩින් නිල්පාට LED බල්ප් වලින් වැඩදාපු පොඩි පෙට්ටියක් හයි කරල තිබුනා. ඒක ඇතුලෙ බුදුහාමුදුරුවොන්ට අමතරව දෙවි දේවතාවුන් කීප පොලක්ම වැඩ උන්නා. සර්ස්වතියගෙ ඇග පුරා බල්ප් හයි කරපු, තොරණක වගේ ලස්සන රටාවට නිවි නිවී පත්තුවෙන අයිටම් එක තිබුනෙ, ඩ්රයිවර් සීට් එක පිටි පස්සෙ තියෙන වීදුරුවෙ. ආනයනික ඉන්දියානු සුවදකූරු වල දුමෙනුයි, සුවදෙනුයි බස් එක පිරිලා තිබුනා.
පුරුද්දට වගේ දන්න අදුරන කවුරුවත් ඉන්නවද බැලුවත්, නිදිකිරා වැටෙන ඒ එකම මූණක් වත් මට හුරුපුරුදු ඒවා නෙවේ.
පිටිපස්සෙ
සීට් එකට පොඩි හේත්තුවකුත් දාගෙන, ඇලුමිනියම් බාර් එක අල්ලගෙන හිටපු අතට ඔලුව බරකරේ, පැය පහක ගමන් මහන්සියට හිටගෙන උනත් නිදයන බව දන්න නිසා.
"ඔය මගට තිබහට ගන්න කූල් එකක්...."
"ආ මෙන්න ලස්සන පාට කරන පොතක්. පාට කරන රූපෙ නම භාශා තුනෙන්ම තියෙනවා. ගෙදර ඉන්න පුන්චි පුතාට, දුවට, නන්ගිට ,මල්ලිට ගිහිල්ල දෙන්න"
"ඔන්න මහත්තයෝ ඉගෙන ගන්න පොඩි දරුවොන්ට වටින කියන පොත් සෙට් එකක් ගෙනාව........ කඩේ සාප්පුවෙ එක පොතක් රුපියල් පනහක් වෙනව. මම පොත් පහටම ගන්නෙ සීයයි"
ජන්ගම වෙළෙන්දො තුන් හතර දෙනෙක් බස් එකේ එහා කොනටයි මෙහා කොනටයි යන්න ගත්තම,මම නිදාගන්න වැඩේ අතඇරල දැම්මා.
සෙමියක
හිටගෙන යන්න බැරි උනත්, වාඩි වෙලා හිටපු අයට වඩා හිටියෙ මන් වගේ හිටගෙන යන අය. පිට කොටුවෙන් බස් එක එළියට දාල පැය බාගෙකට විතර පස්සෙ කොන්දාමල්ලි ටිකට් කඩන්න ආව. එක අතකින් ටිකට් කඩන මැශිමයි, සල්ලි කොල ටිකයි හිර කරගෙන, අනිත් අතින් ඇලුමිනියම් පොල්ලෙ එල්ලිලා, සෙනග පිරිච්ච බස් එකක, එක්කෙනෙක් වත් මගඇරෙන්නෙ නැතුව ටිකට් කඩන්න නම් වෘතීමය නුපුණත්වයක් අනිවාර්යයෙන්ම ඕන.
හිටගෙන හිටපු අයගෙන් "බහින්නෙ කොහෙද" කියල අහල ටිකට් කැඩුවට, වාඩි වෙලා හිටපු අයට මාතරටම ටිකට් කැඩුවෙ බස් එකට නගිද්දිම සීට් දෙන්න දාපු කොන්දෙසි වලට ඒ අය එකග වෙච්ච නිසා.
එක සීරුවට ටිකට් කඩාගෙන ගිය කොන්දාමල්ලිට නොහිතපු කොක්කක් වැටුනෙ බස් එකේ පිටිපස්සෙම පේළියෙදි;
"රත්ගමට පහයි" අලුත්ම දෙදාහෙ කොලයක් දික් කරපු අවුරුදු තිහක විතර පොරක් ටිකක් සද්දෙට කිව්වා. කට හඩේ තිබුන බර ගතිය නිසාම, ඔය නම් අර අදින්නෙ කොක්කකට කියල මට තේරුනා. අනික රත්ගම කියන්නෙ මගෙ උපන්ගම වගේම බොහොම සෙනෙහෙබර මිනිස්සු ඉන්න ගමක්. නිදිගැට එහෙම කඩල දාල, බෙල්ලත් දික්කරගෙන පිටිපස්ස දිහා බැලුවෙ, කොකු හරඹ වලට මම කවදත් ප්‍රිය කරපු නිසා.
"මම නගිද්දිම කිව්වනෙ සීට් දෙන්නෙ මාතරට විතරයි කියලා........." කොන්දා මල්ලිත් එකපාරටම සෙකන්ඩ් උනේ නෑ. හිස් අතින් ඉදගෙන, හැඩි දැඩි කොල්ලො පස් දෙනෙක්ගෙන් ගේම ඉල්ලන්න සෙට් වෙන කොන්දාමල්ලි වීරයෙක්ට වඩා මෝඩයෙක් කියලයි මට හිතුනෙ.
"අඩෝ එහෙම කොහොමද උබ සීට් දෙන්නෙ??? "
"මොකෝ බස් එක රත්ගමින් ගිහිල්ලා ඇති වෙලාද???"
"උබලෑ ............ ද නීති හදන්නෙ???" අස්භ්‍ය වචන දෙක තුනකුත් මුසුකරපු ප්‍රශ්න වැලක් කොන්දාමල්ලි ඉදිරියෙ දිග ඇරුනත්, පොර “හ්ම්” වත් කිව්වෙ නෑ. "මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා" නන්දා මාලිනිය ගයපු පදවැළ, කොන්දාමල්ලිගෙ නිහඩ පසුබැසීම සාධාරණීකරනය කරා. සින්හ පෝතකයෙක් වගෙ ඉස්සරහ ඉදන් පිටිපස්සට ගියපු කොන්දා මල්ලි, ආයෙ ඉස්සරහට ආවෙ නකුට පශ්චාත්භාගයෙ හන්ගගෙන.
"කෙහේ යන්වද මන්දා පෙරලගෙන. ඇස් පේන්නෙ නැද්ද ඕයි ???" යකඩෙ තැලෙන ගානට රත් වෙලා කියල ඉවෙන් වගේ තේරුන නිසාද කොහේ, කීප දෙනෙක්ම කොන්දා මල්ලිගෙන් ගේම ඉල්ලුවෙ කිසිම බයක් නැතුව.
වයසක අන්කල් කෙනෙක් ඒ අස්සෙ පොරගෙන් ඉතුරු රුපියල් දෙකකුත් ඉල්ලනවා. අසරණ වෙච්ච මිනිහෙක්ගෙන් ආතල් ගන්න කවදාවත් මම කැමතිනෑ. ඒත් බස් එකට නගිද්දියි,ටිකට් කඩද්දියි කොන්දා දාපු ලොරිටෝක් නිසා මමත් හිටියෙ කොන්දට මොකක් හරි කියන්න. ඒත් එක්ස්ප්‍රස් හෝල්ට් එකක් නොවෙන අපේ හන්දියෙන්ම බැහැගන්න නම් කොන්දව ශේප් එකේ තියාගන්න ඕන නිසා මම බොහොම අමාරුවෙන් කට වහගත්තා.
ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්
කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපු දාට වෙන්නෙත් ඔහොම දෙයක් තමා :P
ReplyDeleteහරියට හරි. බස්වල ඉන්නෙ කොන්දොස්තරලා නෙවේ කොට්ටෝරුවෝ.
Deleteරත්ගම චණ්ඩි ඉන්නෙ කියලා ඉස්සර ඉඳල ප්‍රසිද්ධයිනෙ... වලියට අර අඳින කොට සමහරු පපුව ඉස්සරහට දාගෙන එනවා 'අඩෝ.. අපි රත්ගම අරිද...' කියාගෙන... එතකොට හරියට දන්න අය නම් පහු බහිනවා කතාවක් නැතිවම... ඒක මතක් උනා මේ කතාව කියවපුවම.... හික්ස්...
ReplyDeleteඔව්.. රත්ගමත් එක්ක එකටම යන අනිත් ගම තමා අපේ ගම. ....
Delete// "මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා" //
ReplyDeleteහම්මේ රත්ගම කිව්ව නේද, අයින් වෙලා පයින් යමං කිව්වලු :)