Saturday, June 8, 2013

වැසිකිලි කතාවක්



දරු පවුල් ජීවත් කරන්න මහ මුහුද ගරන්න යන ධීවරයන්ට අයහපත් උනාට, කට්ට ඇතුලට වැදිච්ච කිරි ඉබ්බෙක් වගේ සරම අස්සට ගුලිවෙලා දවසෙම නිදා ගන්න පුලුවන් නිසා, මේ දවස්වල දිවයිනේ කාළගුණ තත්වය නම් මට බොහෝම යහපත්. ඔය විදිහට ගුලිවෙලා ඉන්න අතරෙ තමයි කලින් වැඩකරපු සයිට් එකේ වෙච්ච මේ සිද්දිය, මගේ ‍රැම් එකට ලෝඩ් උනේ. හැබැයි මේක වැසිකිලි කතාවක්. මල මුත්‍රා ගැන කියවෙන "කක්කා" කතාවක්.

මේ කතාවට වගේම, මීට කලිනුත් ගොඩක් පෝස්ට් වලට වස්තුබීජ සපයපු මගේ කලින් සයිට් එක තිබුනෙ, අනුරාධපුරේ නුවර වැව් ඉස්මත්තෙ. වැව් ඉස්මත්තෙ තිබුන නිසායි, අනුරාධපුරේ පසේ තියෙන සරු බවයි නිසා, සයිට් එකේ වතුර බැහැලයන ගතිය බොහොම දුර්වලයි. මාස ගානක් එක දිගට පායල වහින එක වට වැස්සෙන්, මුලු සයිට් එකම මඩ ගොහුරක් වෙන්නෙ ඒක නිසා වෙන්න ඕන. වතුර බැහැලා යන්නෙ නෑ වගේම තමා වතුර උනන්නෙ නැති කමත්. වැව පේන මානෙ උනත්, හරිහමන් උල්පතක් හම්බ නූනොත්, අනිත් පැත්ත මතුවෙනකම් හෑරුවත්, අනුරාධපුර පොළවෙන් වතුර කළයක් ගොඩ ගන්නවා බොරු.

මේ දවස්වල වහින වැස්සට පිරිලා ඉතිරිලා යන්නෙ, ඇළ,දොළ,ගංගා,ළිං, පොකුණු විතරක්ම නෙවේ. ගොඩක් තැන්වල ගෘහස්ත මළ අපවහන පද්දතියත් තමන්ගෙ පිටාර මට්ටම කරා ලගාවෙලයි තියෙන්නෙ. මෙච්චර කාලෙකට කිසිම අගයක් නැතිව හිටපු වැසිකිලි වල, තමන්ගෙ අගය කියල දෙන්න පටන් ගන්නෙ වැහි කාලෙට. උතුරන්න ඔන්න මෙන්න තියෙන වැසිකිලිවලක් පාවිච්චි කරන එකා වැටෙන අලි අමාරුව දන්නෙ, වැසිකිලි කටට හතර පස් පාරක් වතුර ගගහා දගලන තවත් ඒ වගේම එකෙක් හරි, ගලක පහරපු බළල් තඩියෙක් හරි විතරයි.

ඔය ගැටලුවම මගෙ කලින් සයිට් එකේ නේවාසිකාගාරයටත් කඩන් පාත් උනා. පස්වල වතුර බහින්නෙ නැතිකමයි, වැසිකිලි වල බෙදා හදා ගත්ත සාමාජිකයො ප්‍රමාණයේ වැඩි කමයි නිසා සාමාන්‍ය ගෙදරකට වඩා සයිට් එකේදි තත්වෙ ටිකක් දරුණු උනා. වෙනදට වැසිකිලියට ගිහින් හැරෙන තැපෑලෙන් එන උන් පවා, ඔය ප්‍රශ්නෙ නිසා, දිහට හරහට වතුර ගගහා හිටියා මිසක් වරුවකින් මෙහා ආවෙ නෑ. හැම එකාගෙන්ම වැදෙන අතිරේක වතුර පාරවල් ටිකෙන් තත්වෙ තව තවත් උත්සන්න උනා. වාසනාවකට වගේ සයිට් එක කෙලවරක තිබුනු අබලන් වැසිකිලිය නොතිබෙන, අපි කට්ටියට සරණ වෙන්න හිටියෙ නුවර වැව් ඉස්මත්ත විතරයි.

සයිට් එක මුහුණ දීපු හදිසි ආපදා තත්වය තේරුම් ගත්ත අපේ ලොක්කා, වහාම ක්‍රියාත්මක වෙන පරිදි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරලා, මේ වගේ හදිසි අවස්ථාවක සංයමයෙන් කටයුතු කිරීමත්, පරිසරය පවිත්‍රව තබා ගැනීමත් පිලිබදව මූලික උපදෙස් මාලාවකුත් නිකුත් කරලා, නව වැසිකිලි වලක් කපන්න මුල්ගල තිබ්බා. අලුතෙන්ම සයිට් එකට ගෙනාපු "කොමැට්සූ 200" එක්ස්කැවේටර් එකට පිං සිද්ද වෙන්න වැසිකිලිවල කපන්න ගියේ පැය බාගයයි.

පළමු අදියර යටතේ "වල කැපීම" ඉවර වෙච්ච ගමන්ම දෙවැනි අදියර පටන් ගත්තා. ඒ තමා නව වලට කොන්ක්‍රීට් වැස්මක් ලබාදීම සහ පැරණි අපවහන පද්දතිය නව වලට සම්බන්ද කිරීම. දෙවැනි අදියර බාර දුන්නෙ සයිට් එකේ ඉන්න, ඒ සම්බන්දව බොහෝම අත්දැකීම් ඇති, පරිණත සුපවයිසර් කෙනෙක් වෙච්ච චතුරංගට. මුලින් ඥරු ඥෞරු ගගා හිටියට, ලොක්කගෙන් කෙලින්ම ආපු ඕඩර් එකක් නිසා, මුවින් නොබැනම චතුරංග වැඩේ ඇදගෙන ගියා. සයිට් එකේ ඉන්න අනිත් උනුත් ඒ පැත්ත පලාතෙවත් නොගියෙ, වටේ පිටේ ඉන්න උන්ගෙ වැඩට ඇගිලි ගැහීමෙ කැත පුරුද්ද මුලින්ම දුරු කරපු උන් වගේ.
වලේ වැඩේ පටන් අරගෙන දවස් දෙකකට විතර පස්සෙ චතුරංග මාව හොයාගෙන ආවා.

"වලට කොන්ක්‍රීට් එක නම් දාලා ඉවරයි. මම ලෙවල් කරලා බටයත් ප්ලේස් කරා. ඇවිල්ලා ලෙවල් එක චෙක් කරනවද ??"

"අපෝ ඕන නෑ. චතුරංග හරියට ලෙවල් කරානෙ. එහෙනම් එච්චරයි. මගේ මිනිස්සු මට ශුවර්.." ඈතින් පතිත වූ පන්දුව, නිදැල්ලේ ඇදීයන්න මම ඉඩ ඇරියා.

"හ්ම්ම්.. එහෙනම් මම පරණ බටේ කපලා අලුත් එකට සෙට් කරන්නම්" අවසාන අනුමැතිය බලාපොරොත්තුවෙන් වගේ චතුරංග මගෙන් ඇහුවා. ඔලුව දෙපැත්තට පද්දලා මමත් වැඩේට තල්ලුව දුන්නා.

"තවත් එකක්... පරණ වල කට ගාවට එනකම්ම පිරිලා. පරණ බටේ කපද්දි ජරාව එහෙම එන්න පුලුවන්. වැඩේ කරන්න නම් නිවුටන් කැමතියි. හැබැයි පොරට බෝතලයක් අරන් දෙන්න වෙයි. අනික වැඩේට කලින් පොඩි ෂෝට් එකකුත් දාගන්නද ඇහුවා.."

"ආ... අවුලක් නෑ. පෙටි කෑෂ් එකෙන් අරං දෙන්න. කමක් නෑ වැඩේ කෙරෙන්නත් එපැයි." රාජකාරී වේලාව තුල මත්පැන් පානය, ඊට අනුබල දීම වැ‍රැද්දක් උනත්, පරාල ඇණේ ගහන්න ඕන තැනට "ටිංටස්" ඇණ හරියන්නෙ නෑ කියලත් මම දැනන් හිටියා.

**               **               **               **               **               **

චතුරංග පිට වෙලා ගිහින් පැයකට දෙකකට පස්සෙ ආයෙමත් පොර, මං ඉන්න තැනට දුවගෙන ආවා.

"මාර කේස් එකනෙ. බටේ කපලා, අලුත් එකට සෙට් කරලා බැලුවම ගලියෙ ඉදන් යන්න බට කෑල්ලක් දිග මදී..." චතුරංග මං දිහා බැලුවෙ, උතුරන වැසිකිලියක පහරපු එකෙක් වගේ අන්ද-මන්ද වෙලා.

"ඇයි බන්.. දිග මැනලා නෙවෙද බටේ ගෙනාවෙ ?? "

"දිග මැන්නා. මට පේන්නෙ අඩුවෙන්ද කොහේ ගෙනැල්ලා තියෙන්නෙ.." සයිට් එකට බඩු ගේන රසිකගෙ පැත්තට, චතුරංග හෙමීන් සැරේ බෝලෙ පාස් කරා.

"දැන් කරන්න දෙයක් නෑ එහෙනම්. හෙට උදේම ගෙනැල්ලා හයි කරමු.." ඒ වෙනකොට සැදෑ අදුර ගලා ගෙන ආපු නිසයි, ගොම්මන් වෙලාවට හාඩ්වෙයාර් වහලා නිසයි, අභිනව වැසිකිලි වල විවෘත කිරීමේ මහෝත්සවය තවත් රෑකින් කල්ගියා.

"ඔව්.. මම ටොයිලට් වල දොරවල් වහලා හරහට ලී පටිත් ගහලා තියෙන්නෙ, අපේ එකෙක් වැරදිලාවත් ගියොත් කියලා... මෙච්චර දවසක් හිටපු එකේ ඔය ටිකත් ඉන්න බැරියැ.. " වැසිකිලි සම්බන්ද කාරනා වලදි කොච්චර ඉවසගෙන හිටියත්, අන්තිම මොහොත බොහොම තීරණාත්මකයි කියලා මම වගේම චතුරංගත් දැනන් ඉන්න ඇති. ඒත් වෙන කරන්නම දෙයක් නැති නිසා අපි වැඩේ හෙටට තල්ලු කරා.

**               **               **               **               **               **

පහුවෙනිදා උදේ සයිට් එකට එනකොට අපේ උන් සෙට් එකම අලුතෙන් හදපු ගලිය ලගට වට වෙලා. සමහර උන් සැරින් සැරේ කාර කාර කෙලත් ගහනවා. ඒ අස්සෙ චතුරංග මහ සද්දෙට කාටදෝ කෑ ගහනවා.

"යකෝ මුන්ට ටිකක් ඉවසන්න බෑ ද?? දොරට ගහපු පටිත් ගලවගෙන ගිහින් රීලා තියෙන්නෙ. නේ..ද්දකින් විතරක්......"

වටෙන් පිටෙන් ලැබිච්ච සාක්ෂි අනුව වෙලා තියෙන්නෙ මේකයි. උදෑසන ඇතිවෙන වැසිකිලි බර දරා ගන්න බැරිවෙච්ච එක්තරා පුරුෂයෙක් අඩක් නිම කරපු නව වැසිකිලි පද්දතිය භාවිතා කරලා තියෙනවා. වැසිකිලියෙ ඉදන් වල ට යන බටේ ගලිය ගාවින් ඉවර නිසා, ඒ පුරුෂයා නිදහස් කරපු "බර" බටේ දිගේ ගලිය ගාවටම ගිහින්, එතැනින් එහාට යන එන මං නැති නිසා, ගලිය ඇතුලෙම නතර වෙලා. අපේ උන් උදේපාන්දරම ‍රැස් කකා බලන්නෙත්, සමහර උන් බල බලා කෙල ගහන්නෙත්, අන්න එහෙම ගලියෙ නතර වෙච්ච "බර" දිහා බලලා.

දොරවල් කඩාගෙන ඇතුලට පැනලා, වැසිකිලිය පාවිච්චි කරපු එකාට බනින ගමන් චතුරංග මගේ ගාවට ආවා.

"මොනවා උනත් එක දෙයක් හරි..."

"මොකද්ද??"

"මගේ ලෙවල් එක. බටේ ගානට ලෙවල් එකට හයි කරලා තියෙනවා. පේනවනෙ අරූ රීපු ටික වෙන කොහෙවත් නොගිහින්, බටේ දිගේම ඇවිත්, ගලියට වැටිලා තියෙන හැටි... " ජයග්‍රාහී විදිහට චතුරංග කිව්වා.

'ඒකනේ මම කිව්වේ. මගේ මිනිස්සු මට ශුවර්' කියල කියන්න හිතුනත් මම මුකුත් කිව්වේ නෑ.



ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.