අලුත් රැකියාවට ආ පසු කුලුදුලේම නිවාඩුවක් දැමුවේ, හරියාගේ මවගේ මලගෙදර යාමටය. එයද වරු නිවාඩුවකි. හරියා යනු මා කලින් සේවය කල වැඩබිමෙහි සිටි විදුලි කාර්මික ශිල්පියාය. දමිල තරුණයකු වූ හේ පමණ ඉක්මවා අවංකව සේවය කල, අතිශය විශ්වාසවන්ත අයෙකි.
දිනය, ඉලක්කමින් හරියටම මතක නැතත් එදා සිකුරාදා දිනයක් බවට නම් හොදින් මතකය. සිකුරාදා දිනයක කොළඹ සිට පිට පලාත් වලට යාමට ඇති අමාරුව දන්නේ එසේ ගිය උන් පමණි. හරියට විලිරුදාව දන්නේ දරුවකු වැදූ ගැහැණියක පමනක් මෙනි. ඉතාම මෑතක සිට දුම්රිය ගමනා ගමනයට ඇබ්බැහි වූ මා, සවස් යාමයේ සිරිත් පරිදි දුම්රියට ගොඩවන්නේ කොළඹ කොටුවෙනි. අවාසනාවකට මෙන් දකුණට ඇදෙන සියලුම කාර්යාල දුම්රියන් ගමන් අරඹන්නේ මරදානෙනි. එනිසා හවස දුම්රියේ ආසනයක් අල්වා ගැනීම, එකැස් අන්ධ කැස්බෑවකු විය සිදුරෙන් පුරහද බලන්නාක් තරම් විරලය. අමාරුවෙන් අහස බැලුවත් සද නැති අමාවක දවස සිකුරාදාය. සිකුරාදා දිනයක කොටුවෙන් ආසනයක් ලැබේ නම් එම "සිකුරාදාවේ" කුමක් හෝ ලොකු පරහක් තිබිය යුතුය.
හරියා සමග සොව බෙදා ගත් මා, හනිකට මරදාන දුම්රිය පලට ලගාවූයේ වෙනදා නොවූ උනන්දුවකිනි. ඒ වෙනදාට කොටුවට, කට කපා සෙනග පුරවාගෙන පැමිණෙන "සාගරිකා"ව අද, මරදානෙන්ම අල්වා ගැනීමේ අටියෙනි. "සාගරිකා" ගැනද යමක් කිව යුතුය. මුහුදු බඩ දුම්රිය මගේ දෙකෙලවර ගමනාන්ත ලෙස දිවෙන "සාගරිකා", සෑම දිනකම උදයටත් හවසටත් කාර්යාල මගීන්ද පුරවාගෙන කිලෝ මීටර එකසිය හැටක දුරක් සීමිතව නැවතෙමින්, සීග්‍රඝාමීව දුවන්නියකි. කාර්යාල වේලාවන් අලලා දිවෙන බැවින් ඇයට ඇත්තේ අසීමිත ඉල්ලුමකි. සිකුරාදාවකට මේ ඉල්ලුම, සැපයුමේ සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යයි.
කොළඹ දුම්රිය අංගනයේ සිට මරදානේ වේදිකාවට, "සාගරිකා" ලගාවන්නේ හවස හතරයි විස්සටය. එනම් ගමන් ඇරඹීමට මිනිත්තු විස්සකට පලමුවය. මරදාන දුම්රිය පොලේ පස්වන වේදිකාවට මා ගොඩවන විට හවස හතරයි දහය පමණ වන්නට ඇත. ඒ වන විටත් පස්වන වේදිකාවත් හයවන වේදිකාවත් අතුරු සිතුරු නැතිව පිරී ගොසිනි. උරයට නොසෑහෙන බර රැගත් ගමන් මලු එල්ලාගත් වැඩිහිටි පිරිමිත්, ලමා ලපටින් කිහිලිගන්වාගත් ගැහැණුත් පුල පුලා බලා සිටින්නේ ඒ අසිරිමත් මොහොත එළැඹෙන තෙක්ය. එනම් සාගරිකා වේදිකාගත වන තෙක්ය.
හතරයි විස්ස ගෙවී ගියත්, ක්‍රමයෙන් හතරයි තිහට ලං උවත්, සාගරිකා තබා ඇගේ හූ හඩවත් අපට ඇසුනේ නැත. මා මෙන්ම වේදිකාවේ උන් බොහෝ දෙනා තනිවම මුමුණමින් අත් ඔරලෝසු දෙස නෙත් යොමනු මට පෙනින. අයෙක් හිටගෙන ඉදීමෙන් එපා වී දෝ, තමන්ගෙම ගමන් මල්ල පසෙකින් තබා ඒ මත ඉද ගත්තේය. ඉදගෙන ඉද එපා වූ අයෙක් වරක් නැගිට, ඇග මැලි කඩා, වෙනත් අයෙකු පැහැර ගනී යැයි සැකයෙන්, තමා ඉදගෙන උන් දුම්රිය වේදිකාවේ පටි බංකුව මතම නැවත ඉද ගත්තේය. ඉවසීම ඉක්මවා ගිය අයෙක් දුම්රිය සේවයට නොසෑහෙන බැනුම් බැන්නේය. බොහෝ දෙනා ඔහුට හවුල්වනු පෙනින.
වෙනදා සාගරිකා, මරදාන වේදිකාව හැරයන වේලාව පවා පසුවුවත්, අද ඇය නැත. දුම්රිය වේදිකා යා කෙරෙමින් තනා ඇති ගුවන් පාලම මතට වී මම ඈත බලා සිටියෙමි. වේලාව පසුවෙත්ම වේදිකාව මත වන සෙනග ප්‍රමානයද ඊට අනුලෝමව වැඩිවේ. සාගරිකාට පසුව දිවෙන "හික්කඩුව ස්පෙෂල්" හා "සමුද්‍ර දේවියේ" මගීන්ද අද සාගරිකා වෙත පොර කෑමට සැදී පැහැදී සිටී.
පාලම මත උන් මම ඈතින් එන දුම්රිය දැක වේදිකාවට බැස්සෙමි. පාලම මතවූ බොහෝ පිරිසක් මා හා සමගම බැස්සේය. හැඩි දැඩි තරුණයෝ වේදිකාවේ අයිනට රොක්වන්නට වින. ඇතමුන් දුම්රිය පාර හරහා ගොස් වේදිකාව නොමැති පැත්තෙන් ගොඩවන්නට සැරසී සිටී. පලපුරුදු මගී කාන්තාවෝ සාරිය ඉනවටා පටලවාගෙන, ඉතිරිය ඉනේ දවටා, හැඩි දැඩි පිරිමින්ට තරගයට මෙන් වේදිකාවේ අයිනට තල්ලු වෙති. "අද නම් මරා ගැනිල්ලක් තමයි" අසල වූවකු මුමුණනු මට ඇසින. පැය තුන හතරක් තෙරපී යාමට කවුරුත් කැමති නැත. පොරකාගෙන ගොස් ආසනයක් අල්ලා ගන්නට වෙර දරන්නේ එහෙයිනි.
මමද දකුණතේ ඇගිලි වමතේ අල්ලෙන් තෙරපා, ඇගිලිවල හිරි ඇර, වේදිකාව අයිනේ වූ සේනාවට මුහු උනෙමි. සාගරිකා ලතාවට පැද්දෙන් වේදිකාවට ලගා වූවාය. පලමුව ඇංජිම මා පසු කලේය. ඉන් පසුව පලමු පෙට්ටිය. දෙවැන්න. තුන්වැන්න....... මගීන් පිරීගිය වේදිකාව අසලින් හිස් පෙට්ටි ඇදී යන්නේ, මගීන්ගේ "ආසන බලාපොරොත්තුව" තව තවත් ඉහල නංවමිනි. හරියට බඩගිනි වෙලාවට නහය අගින් කෑම සුවදක් ඇදෙන විට කටට කෙල උනන්නාක් මෙනි.
සමහර පෙට්ටි සම්පූර්ණයෙන්ම හිස් නැත. දුම්රිය අංගනයෙන්ම ඊට ගොඩවූවෝ අහංකාර ලෙස අප දෙස බලමින් ලාවට හිනා වෙති. ඔවුන් කඩඉම ජයගෙන ඇත. දැන් ඇත්තේ අපේ වාරයයි. දුම්රියේ වේගය මදින් මද අඩුවෙයි. නැවැත්වීමට පෙර දුම්රියට ගොඩවීම මාරාන්තික ක්‍රියාවක් බව, කවුදෝ කෙනෙක් පුල පුලා යකඩ කටින් පැවසූ අයුරු සියලු දෙනාටම අමතක වී ඇති හැඩකි. හැමෝම සැරසෙන්නේ ඒ මාරාන්තික පිම්ම පැනීමටය. ලෝකයේ ත්‍රාස්‍යජනක ක්‍රීඩා කොතෙක් ඇතත්, සිකුරාදා දිනෙක නගරාන්තර
කාර්යාල දුම්රියකට ගොඩවී ආසනයක් ලබා ගැනීම තරම් ත්‍රාස්‍යක් ඒවා තුල ඇද්දැයි සැක සහිතය.
දුම්රිය මන්දනය වී නවතින නොනවතින වේගයට ලගාවත්ම එකා දෙන්නා දුම්රියේ එල්ලෙන්නට විය. වාසනාව මා සොයාගෙන පැමිණ ඇත. එක් පෙට්ටියක දොරක් මා අසලින් ගියේ නැගිය හැකි තරමට සෙමිනි. දෙවරක් සිතීමට වේලාව නැත. පලමුව දකුණතිනුත්, එකෙනෙහිම වමතිනුත්, මම දුම්රිය දෝරේ එල්ලුනෙමි. පිටිපස්සෙන් එල්ලුනු තවත් අයෙකු නිසා මා ඉබේම දුම්රිය තුලට තල්ලු වී ගියේය.
එහෙත් අරුමයකි. වෙනදා දකින නිල්පාට තුනයි දෙකේ සීට් පේලි අද නැත. ඇත්තේ ඇදි සහිත ගුරුපාට සීට් දෙකේ පේලිය. අපි නැග්ගොත් තාලවර්ගයේ ගස් වලත් අතු බෙදී ඇත. මා පොරකාගෙන නැග ඇත්තේ දෙවන පංතියටය. මා නැගිය යුත්තේ තෙවන පංතියටය. තුංවන පන්තියේ පෙට්ටිය ඇත්තේ ඊට පිටුපසිනි. මම වහ වහා පිටිපස්සට දිව්වෙමි. සුනාමියක් පස්සෙන් එන්නාක් මෙන් සියල්ල පෙරලාගෙන දිව්වෙමි.
තවමත් දුම්රිය නවත්වා නැති නිසා, යම් අවස්තාවක් ලැබෙනු ඇත.
පිටිපස්සේ පෙට්ටියට එකා දෙන්නා ගොඩවනු මට පෙනේ. මම දිවීම තව තවත් වේගවත් කලෙමි. දෙකේ පෙට්ටිය නිමවීමට ඇත්තේ තව අඩි තුනකි. අහෝ.... සාගරිකා නැවතුනාය. වේදිකාවේ උන් පොරකාගෙන ඇයට ගොඩ උනෝය. තුනේ පංතියේ පෙට්ටියට අඩියක් තිබියදී මගේ ගමන නැවතින. ඒ වන විටත් පෙට්ටිය පිරී ඉතිරී ගොසිනි.
ඉන්පසු මෙහෙයුම, හිටගෙන ඉදීමට පහසු තැනක් සෙවීමය. ආසන හිමිකරගත්‍තෝ සැනසුම් සුසුම් හෙලති. නැත් තෝ පුලුටු කරගත් මුහුනෙන් ආසන වලට හේත්තු වී සිටිති. මමද ආසනයක් අසලට ගොස් දෙපා පහසු ආකාරයට තබාගෙන, ඉහලින් වූ හුක් එකක් එල්ලුනෙමි. දෙපා මතවූ ඇගේ බරෙන් කොටසක් නිදහස් වී දෑතට දැනෙනු මට දැනින. මේ ඇරඹුමයි. තවත් පැය දෙකක් මෙලෙසින්ම නොසෙල්වී සිටිය යුතුය.
