Friday, August 17, 2012

දෙකේ වාට්ටුවෙ වරුවක්









උදේ නැගිටිද්දි, ඉනේ වම් පැත්තේ ඉදලා යටි බඩ දිහාවට හීනියට වගේ රිදීගන ගියපු එක, ජීවිතයේ අමිහිරිම අද්දැකීමක දූත ලක්ශණ වෙයි කියල මට නිකමටවත් හිතුනෙ නෑ. එළුවගෙ මොකද්ද එක වැටෙනකන් බලන් ඉන්න නරියා වගෙ, "දැන් අඩුවෙයි, දැන් අඩුවෙයි" කියල බලන් හිටියෙ රිදෙන එක ටිකක් වත් අඩු වෙයි කියල හිතලා. ඒත් වැඩි උනා මිසක් අඩුවෙන පාටක් වත් තිබුනෙ නෑ. සාමාන්‍යයෙන් බඩ රිදෙන්න ගත්තම කරන්නෙ ඊට කලින් දවසෙ කාපු බීපු දේවල් වල අගමුල හොයන එක නිසා, මමත් ඇදේ වකුටු වෙලා සිoහාවලෝකනයක යෙදුනෙ, විත්තිකාරයෙක්ව හොයා ගන්න හිතාගෙන. අග ඉදන් මුලටත්, මුල ඉදන් අගටත් කොච්චර මතක් කරත් සැක කටයුතු කිසිම දෙයක් මගෙ මතකෙට ආවෙ නෑ.

මගේ වෙලාවටමද මන්දා එදා ගෙදර කව්රුවත් හිටියෙ නැති නිසා, බැරිම තැන ස්වශක්තියෙන්ම දෙහි ගෙඩියකුත් මිරිකගෙන බිව්වා. වෙනදට බඩෙ අමාරුවට  ප්‍රත්‍යක්ශ අත් බෙහෙතක් වෙච්ච දෙහිඉස්ම ටිකටත් ලෙඩේ අඩු උනේ නැත්තෙ මගෙ අන්තිම තුරුම්පුවත් අපතෙ යවාගෙනම.

මුලින් ඉන වටේ විතරක් තිබුන වේදනාව, ටික ටික මුලු යටි බඩම ආක්රමණය කරා. ඊලගට පැය බාගයක් ඇතුලත අහවල් තැන  කියල පෙන්නන්න බැරි විදිහට මුලු බඩම එක පාරටම කකියන්න ගත්ත. අපෙ අල්ලපු ගෙදර ඉන්නෙ තාත්තගෙ අයියා කෙනෙක්. වේදනාව වැඩි කමට, අම්මා ගාවට මතක් උනේ අල්ලපු ගෙදර ඉන්න බාප්පව,

"බාප්පේ......... බේරගනියෝ................. මට මොකද්ද වෙලෝ........"
අපරාදෙ කියන්න බෑ දෙපාරයි කෑගැහුවෙ පොර මන් ගාව.

"මොකෝ.. මොකෝ .... කොල්ලො මේ........." අල්ප ""යන්නක් වගේ වකුටුවෙලා බිමට නැමිල හිටපු මාව දැක්කම මිනිහට කට කොනකට පොඩි හිනාවකුත් ගියා.

"බඩ රිදෙනව. ඉස්පිරිදාලෙට යමු"

"මොනව හරි ජරාවක් ඊයෙ කෑවද? නැත්තම් මොනව හරි බිව්වද? කොයි හරියද රිදෙන්නෙ? බඩද? කොන්දද?"  වෛද්‍ය උපාධ්යක් නැති උනත් බාප්ප රෝග විනිශ්චය පටන් ගත්තෙපලපුරුදු දොස්තර කෙනෙක්ගෙ  ප්‍රශ්න වලින්.

උත්තර දෙනව වෙනුවට මම කරේ තව ටිකක් හයියෙන් කෙදිරි ගාන එකටක් ගාල දුවල ගිහින් එයාගෙ මෝටබයික් එක අරන් ආපු  බාප්ප, මාවත් ඒකට පටවගෙන මහ ඉස්පිරිතාලෙට ඉගිල්ලුනා.

"හ්ම්ම්ම්..... ගල්ද දන්නෙ නෑ...." යන ගමන් බාප්පා කිව්වේ, රෝග විනිශ්චයෙ නිගමනය එලියට දාන ගමන්. බාප්පගෙ නිගමනය එක්කම, පස්සෙ සීට් එකේ හිටපු මට සිද්දි දාමයක් මතකෙට ආව. මාස හයක ට්‍රේනින් එකකට, හබරණ පාරෙ කට්ට කාපු හැටියි, ඒ ඉන්නකොට කිවුල් වතුර බීපු හැටියි, ඔය ඔක්කොම නාභිගත උනේ "බඩේ ගල්" කියන තැනට.

බාප්පගෙ නිගනේටම OPD එකේ හිටපු දොස්තර මහත්තයත් ආවෙ, මගෙ හබරණ ඉතිහාසෙ ඇහුවට පස්සෙ. වේදනා නාශක පෙති වගයක් දුන්නත් ඒ එකක් වත් කිසිම සහනයක් දුන්නෙ නෑ.

"සෝමසිරි මේ ලෙඩාව දෙකේ වාට්ටුවට අරන් යන්න" මාව අරන් යන්න සෝමසිරි ආවෙ රෝදපුටුවකුත් තල්ලු කරගෙන. අවුරුදු විසි හතරෙදි, කකුල් දෙකත් හොදට තියාගෙන, රෝදපුටුවකට බර වෙන්න වෙයි කියල මගෙ තුන් හිතකවත් තුබුනෙ නෑ. සෝමසිරි මාවත් තල්ලු කරන් දෙකේ වාට්ටුවට ආව.

දෙකේ වාට්ටුව කියන්නෙ අපෙ ඉස්පිරිතාලෙ හදිසි අනතුරු වාට්ටුව. ඒකෙ ඉන්නෙ අතපය කඩාගෙන ඔපරේශන් කරපු, එකකට නොඅඩු අවයව ගානක් බැන්ඩේජ් වලින් ඔතපු, ඩැමේජ් සෙට් එකක්. අතපය හතර යස අපූරුවට තියාගෙනත්, රෝදපුටුවකින් දෙකේ වාට්ටුවට ආවම උන් මන් දිහා බැලුවෙ කින්ඩියට වගේ.

"ඔතනින් වාඩිවෙලා ඉන්න" සෝමසිරි මාව වාට්ටුවට පිටින් තිබුන ලී බන්කුවෙ වාඩි කරලා, ආපහු හැරුන.

වාට්ටුව බාරව හිටියෙ, ලස්සන හුරුබුහුටි දොස්තර නෝන කෙනෙකුට. නෝන කෙනෙක් කිව්වට, එයා ලගදි පාස් අවුට් වෙච්ච අක්ක කෙනෙක්. හරි හුරතල් පෙනුමක් තිබුන එයා හරියන්නෙ, මල් පාත්තියක් වගෙ ළමා වට්ටුවකට මිසක්, අතපය එල්ලන් ඉන්න පෝරිසාදයො පිරිච්ච දෙකේ වාට්ටුවට නම්  නෙවේ.

"කොතනද රිදෙන්නෙ??? මෙතනද???? " මනෝලෝකෙක කරණම් ගගහා හිටපු මම, දෙකේ වාට්ටුවෙ ලෑලි බන්කුව උඩට ඇදගෙන වැටුනෙ, දොස්තර අක්කා එක පාරටම බඩට ඇගිල්ලෙන් අනින්න ගත්තම.

"ඔව් ඔව් ඔතන තමයි" ඇගිල්ල තියල අහවල් තැන කියල පෙන්නන බැරි උනත්,ඇගිල්ලෙන් අනින එක නවත්තගන්න ඕන නිසා මට කෑගැහුනා.

"ඔතන කියන්නෙ කොතනද??? මෙතනද??? මෙතනද???"

"නෑ නෑ මෙන්න මේ හරියේ" මම ඇගිල්ල තියල කොහෙද මන්දා පෙන්නුවෙ, මේ අමානුශික අතවරය ඉවසගෙන ඉන්න බැරිම තැන.

"හ්ම්ම්ම්..... ඔතනින් වාඩි වෙලා ඉන්න. ඇදක් හම්බවෙයි"

මේ අතරෙ බාප්පා දිග දුර බලල මෙහෙයුමක් දියත් කරලා තිබුනා. මට ඇදක් හොයාගන්න එක. ඉස්පිරිතාලෙක ඇදක් හොයා ගන්න එක, පාන් පිටි ගෝනියක හන්ගපු සතයක් හොයනවට වඩා අමාරු එකක්.

"හරි කොල්ලො මම ගිහින් රෑ වෙලා එන්නම් " බාප්පා වාට්ටුවෙන් ගියේ, එයා අදුරන මේල් නර්ස් කෙනෙක් අල්ලගෙන මෙහෙයුමත් සාර්තකව ඉවර කරල.

"මොකද මල්ලි කේස් එක???? බඩ අවුල්ද??? කවලන් කරල ගැහුවම ඔහොම වෙනවා. එකම බ්රෑන්ඩ් එකකට හුරු වෙන්න. එතකොට බඩ උනත් පත්තියන් වෙනවා " මට අල්ලපු ඇදේ හිටපු අය්යා මට කිව්වෙ, හෙන සීරියස් පිට. මූණ තඩිස්සි වෙලා, වම් අත ඔපරේශන් කරල වෙලලා, තිබුනෙ එකම බ්රෑන්ඩ් එකකට හුරු වෙච්ච හින්ද්ද කියල අහන්න හිතුනත්, "නෑ එහෙම එකක් නෑ...." කියල ,මම කතාව ඉවර කරා. වේදනාව වැඩි කමටද? නින්ද යන්න බෙහෙත් දුන්න නිසාද? මන්දා ඇදේ ඇලවෙනකොටම නින්ද ගියා.

  *               *               *               *               *               *               *               *               *              *

පැය තුන හතරක් සැපට නිදාගත්තු මම, ගැස්සිලා ඇහැරුනේ ගෑනු කෙනෙක් බෙරිහන්දෙන සද්දෙට.

"අය්යෝ මගෙ මිනිහට මොකද උනේ,,,, මේක කරපු එකාට නම් හොදක් වෙන්න එපෝ,,,,,,, අයියෝ....... අම්මෝ............" ගෑණු කෙනා නන්ස්ටොප් බෙරිහන් දෙනවා. ලගම අත් දෙකයි, ඔලුවයි බැන්ඩේජ් වලින් ඔතපු අවුරුදු හැටක විතර අන්කල් කෙනෙක් වාඩි වෙලා හිටියා. සුදු පාට බැන්ඩේජ් පටි ඔක්කොම වගෙ රතු පාට වෙලා. කම්මුල් වලයි, රැවුලෙයි කැටි ගැහිච්ච ලේ පැල්ලම මහ ගොඩක්. ගෑනු කෙනාට, "මොකද උනේ" කියල හිතා ගන්න බැරි උනාට, වෙලාතිබුන දේ නිල් කැටේට පැහැදිලියි. මාලු කපන්න ගන්න මන්නා පිහි වලින් ඉදල හිටල සරඹ කරගන්න එක අපේ පැත්තෙ බොහොම සුලඹ සිද්දියක්. අන්කලුත්  මේ ඇවිල්ලා ඉන්නෙ සරඹ සන්දර්ශනය ඉවර වෙලා කියලා මට තෙරුනා.

"දැන් කිව්ව නේද කට පියාගෙන ඉන්න කියල. කට වහගත්තෙ නැත්තම්, කටට මැහුම් දෙකක් දාල, වෝඩ් එකට දානවා " හුරතල් දොස්තර නෝන කිව්ව ගමන්, අර ගෑනු මනුස්සය කට පියා ගත්තා.

"ඔය පොර ඉස්සර හෙන ඩයල් එකක්ලු. ගමේ දෙතුන් දෙනෙකුටම වග කියල තියනවලු. මිනිහට උසාවි පොලීසි නිකන් ගෙදර වගෙලු. දැන් ඔය කවර් වෙන්නෙ පරණ ඇරියස්ලු" තුවාල වෙච්ච අන්කල්ගෙ ඉතිහාස ගැන,"ලු ප්‍රත්‍ය දදා, අල්ලපු ඇදේ අයියා, කිව්ව කතාවෙ නම් තාර බර  හුගක් වැඩියි.

දරුණු කැපුම් තුවාල තිබුනත්, අන්කල් හීන් කෙදිරියක් වත් දැම්මෙ නෑනියම ඩයල් එකක් වගේ, වේදනාව උහුලන් හිටියා. උනාට පොරට තිබුන අමාරුව බෙල්ල දෙපැත්තෙ නහර ඉලිප්පිච්ච විදිහෙන් මට තේරුනා.

"ඔලුවට කඩුවෙන් කොටද්දි මිනිහ අත අල්ලලා. ඒකයි අත කැපිල තියෙන්නෙ. කඩුපාර කාගෙනම මිනිහ, කොටපු එකාට පොලු පාරක් දීල. ඒ මිනිහටත් අමාරුලු. ඒ මිනිහව වෙන ඉස්පිරිතාලෙකට යවලා. නැත්තන් මේක ඇතුලෙත් මරා ගන්නවනේ" ටැලන්ට් එකේ හැටියට නම් අල්ලපු ඇදේ අයිය, ආත්ම ගනනක්ම පැපරාසියෝ වෙලා ඉදල තියෙනව ශුවර් එකටම.

"කොතනද රිදෙන්නෙ???? " දොස්තර අක්ක ඇහුවෙ ,රබර් ග්ල්වුස් දෙකක් අත් දෙකට දාගෙනබැන්ඩේජ් පටි එකින් එක ගලවන ගමන්.

"අතයි, ඔලුවයි තමයි මිසි. කකුලත් පොඩ්ඩක් රිදෙනවා "

"දියවැඩියාව, ප්රෙශර් එහෙම තියෙනවද???? "

"හැක්.........." පොරගෙ මූනට හිනාවක් ආවා.

"පිස්සුද නෝනා... අපි මේ ගස්, ගල් වගේ හයිය හත්තිය තියෙන මිනිස්සු. ඉදල හිටල හැදෙන උනක් හෙම්බිරිස්සාවක් ඇරෙන්න වෙනමොන මගුලක් වත් මට නෑ.කොටින්ම ඉස්පිරිතාලෙක නවතින්න ආපු මුල්ම පාරත් මේක. ඔන්න දහ දොලොස් පාරක් නම් ලේ දන් දීල තියනවා"
පොර, පොරටෝක් දීගෙන දීගෙන යද්දි, දොස්තර අක්ක අඩුවක් වගේ එකකින් කඩු පාරට කැපිච්ච හම් කෑල්ලක් උස්සල තුවාලෙ පාදන්න ගත්තමහසෝන් හූවට සෙකන්ඩ් නොවෙන හූවකින් අන්කල් මුලු වාට්ටුවම දෙදෙරෙව්වෙ, වාට්ටුවෙ හැමෝගෙම ඇගේ මයිල් කෙලින් කරවගෙන.

"බොරු නොකර ඉන්න. ඔච්චර රිදෙන්න විදිහක් නෑ ගස් ගල් වගේ කියල නේද කිව්වෙ ??? " දොස්තර අක්ක කින්ඩියකුත් පාත්කරා.

"හ්ම්ම් තව කොහෙද තුවාල වෙලා තියෙන්නෙ ??? "

"න්නැනෑ.. කොහෙවත් නෑ නෝනා"

"කෝ කකුලත් අමාරුයි කිව්ව නේද??"

"නෑ නෝන, ඒක මේ දුවද්දි ගලක හැපිල, පොඩ්ඩක් හීරිච්ච එකක්" ගොත ගගහ අන්කල් කියන කතාවට වාට්ටුවෙ කීපදෙනෙක්ට ලාවට වගේ පොඩි හිනාවක් ගියාට මට දැනුනෙ මහා බයක්.

"මරු මිස් නේද්?????" කතාව ඇත්ත උනත්, හුරතල් දොස්තර නෝනා හෙට උදේ ලෙඩ්ඩු බලන්න වාට්ටුවට ආවම මටත් වෙන්නෙ අන්කල්ට වගේ හූ කියන්න නේද කියල හිතෙනකොට මගෙ ඇග සීතල වෙලාගියා.

"මචන්.. ඉස්පිරිතාලෙ පිටිපස්සෙ ගේට්ටුවෙ නිතරම වගෙ සිකුරිටිල නෑ නේද්??? " මහ ඉස්පිරිතාලෙ කිට්ටුවම ඉන්න යාලුවෙක්ට මම කෝල් එකක් දුන්නා.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්

6 comments:

  1. උණ්ඩුකපුච්ඡේ කචල් එකකටද හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වුණේ ??

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ.... මේක කිවුල් වතුර නිසා හැදුනෙ.

      Delete
  2. ලස්සන හුරුබුහුටි දොස්තර නෝන කෙනෙකුට. නෝන කෙනෙක් කිව්වට, එයා `ලගදි පාස් අවුට් වෙච්ච අක්ක කෙනෙක්` එච්චර අවුලකුත් නෑ වගේ නේද අයියන්ඩි... ;)

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා උඹටත් මීටර් වෙන ඒවා. :පී

      Delete
  3. අර අල්ලපු ඇඳේ එකා ඇඳේ පත බෑවිලා ඉන්න ගමන්ම දාපු පැපරාසි පාර අදහන්න වටිනවනෙ අනේ... මදැයි අන්කල්ට වෙච්චි දේ... පොර වෙලා කොර වෙලා... පව් හැබැයි... අන්කල් මොර ගහල නිකම් හිටිය ඇති.... නෝනට දෙකක් ඇදලා අරින්නෙ නැතිව... හික්ස්...
    ඉස්පිටිතාලෙ පස්ස ගේට්ටුව කලින්ම චෙක් කරල තියාගත්තෙ පස්සෙන්දට දොස්තර නෝන ළඟට එනකොටම පණ කඩාගෙන දුවන්න හිතාගෙනද...

    ReplyDelete
    Replies
    1. පොර, කොර වෙලා, චොර වෙලාම ගියා.... හික්ස්....

      අපොයි පිස්සුද??? ඒ හුරුබුහුටි දොස්තර නෝනට බය කවුද??? :පී

      Delete