Tuesday, October 23, 2012

සුනාත, ධාරේත, චරාත




සතර දිගින් වඩින මහා සංඝරත්නයට පූජා කරල තිබුනට අපේ ගමේ පංසල, සතර පේරුවේ දායක ඇත්තන්ගෙ දායකත්වයෙන් ගොඩනගපු එකක් නෙවේ. ඒක තනිකරම ඒක පුද්ගල පරත්‍යාගයක්.  මේ ආරාම පූජාවට නිධාන වෙච්ච කතාවත් හරි අපූරු එකක්. අපේ ගමටම කියල පංසලක් නොතිබුන ඒකාලේ ගමේ කට්ටිය තමන්ගේ ආගමේ, දහමේ කටයුතු කරන්න ගිහිල්ල තිබුනේ අල්ලපු ගමේ පංසලට. ඔය විදිහට පෝය දවසක බණ අහන්න කියල පිටගන් ගියපු අපේ ගමේ හිටපු සල්ලිය බාගෙ තියන උපාසක මහත්තයෙක්ට, පංසලේදි පොඩි අරුයාදුවක්  වෙලා තියෙනවා. ඔය පොඩි අරියාදුව තමයි එතුමාව අනේපිඩු සිටානන්ගෙ තත්වෙට පත් කරලා තියෙන්නෙ.

පංසලේ දැනට වැඩ ඉන්න ලොකු හාමුදුරුවො පංසලට වැඩම කරල තියෙන්නෙ උන්නාන්සෙ පුන්චි සංධියෙම. උන්නාන්සෙගෙ ගුරු හාමුදුරුවන්ගෙ දෙවැනි ගෝලයා විදිහට. සාමාන්‍යන් පංසල් වල කිරීටය හිමිවන්නේ  ගුරාගෙන් ගෝලයට. ගෝලයන්ගෙනුත් වැඩිමහල්ම ගෝලයට. ඒත් ගුරු හාමුදුරුවන්ගෙ වැඩිමල් ගෝල නම සංසාර විමුක්තිය හොයන එක පොඩ්ඩකට පැත්තකින් තියල සමාජයට විමුක්තිය හොයල දෙන්න මහන්සි වෙලා තිබුනා.  88-89 කාලෙ. ඒක නිසාම ජනතාව වෙනුවෙන් මහන දම් අත ඇරපු උන්වහන්සෙගෙ ජීවිත කතාවෙ ඉතිරි හරිය ගමේ කවුරුත් දැනන් හිටියෙ නෑ. බොහෝ බුද්ධ පුත්‍රයන්ට වගෙම උන්වහන්සෙගෙත් ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිවම, ටයර් සෑයක් මත කරන්න ඇති කියල තමයි ගමේ ගොඩක් අය කියන්නෙ. කොහොමත් ඒකාලෙ ආණ්ඩුවට, බවුන් වඩන්නෙ නැතුවම තරුණයො රහත් කරවන්න අපූරු හැකියාවක් තිබුනනේ..

ගුරු හාමුදුරුවන්ගෙන් පස්සෙ, පංසලේ නායකකම හම්බ උනේ දැන් ඉන්න ලොකු හාමුදුරුවන්ට. උන්නාන්සෙ බොහොම දැන උගත් හාමුදුරුනමක්. බණ කියන්න, උන්නාන්සෙ තරම් උපන් හපනෙක් අහල ගං හතක හිටියෙ නෑ. ඊටත් අපේ පැත්තෙ පංසල්වල වැඩ ඉන්න ඕන කරන ඉහලම සුදුසුකම් උන්නාන්සෙට තිබුනා. ඒතමා කටේ හයියයි, අතේ පයේ හයියයි. ඔය දෙක නැත්තම්, නිතරම කරිජ්ජ පෑගෙන අපේ ගම්වල උපාසක මහත්තරු මෙල්ල කරන්න ටිකක් අමාරුයි. ගමේ පැතිරිච්ච විදිහට උන්වහන්සෙ පිරිවෙන් ගිහිල්ල බුදු බණ ඉගෙන ගන්නවට අමතරව කලුපටි ශේණිය වෙනකම් අත-පය විසි කරන හැටිත් ඉගෙන ගෙන තිබුනා. ඒක නිසා උන්නාන්සෙගෙ නමත් එක්ක අපූරු වීර කතා ගොන්නක් කියවුනා.

ඔය වීර කතා මට කියල දුන්නෙ අපේ ආච්චි. පොඩි එකා කාලේ වහිද්දි අකුණු කොටන කොට  දුවන් ගිහින් ආච්චි ගාව හැංගුනාම උන්දැ මට ඔය කතා කියලා දුන්නා. සද්දෙට අකුණු ගහද්දිත් ආච්චි බය නැතුව ඔය කතා කිව්ව නිසා ඕවයෙ ඇත්තක් නැතිවෙන්නම බෑ.

"ලොකු හාමුදුරුවෝ නොහිටින්න අද ඔහොම පංසලක් ඉතුරුවෙන්නෙ නෑ. ඔය පල්ලෙහා උන් එක්ක පංසලක් වත් බේර ගන්න පුලුවනෑ...... " ආච්චි කතාව පටන්ගන්නෙ පංසල කිට්ටුව ඉන්න උපාසක ඇත්තන්ට පිං අනුමෝදන් කරන ගමන්. ගමේ පංසල කිට්ටුවම හිටියෙ මොහොම හෙමීට ශිෂ්ඨ වෙන මිනිස්සු කොට්ඨාශයක්. ඒකනිසා පංසලේ ශිෂ්ඨ ගති සෙට් එකට දිරෙව්වේ නෑ.

"ඕකුන් කසිප්පු බූලිය හැංගුවේ බුදුගේ ඇතුලෙ.මං මේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනව කසිප්පු බූලිය අරගෙන බුදුගෙයින් එලියට යනවා.ලොකු උන්නාන්සෙ නොහිටින්න ඕකුන් ඔතනට පර්මිටුත් ගන්නවා කසිප්පු පෙරන්න. හ්ම්ම්... මොකෝ කොල්ලො නිදිද???? " කටත් ඇරගෙන, "හ්ම්ම්" නොකිය, ආච්චිගෙ කතාව අහගෙන හිටිනිසා ආච්චි හිතන්න ඇති මම කටත් ඇරගෙනම නිදි කියල.

"න්නෑ.. නෑ.. ඉතින් ඉතින්...." මම හූමිටි තිබ්බා.

" කාලේ පංසල් වත්තෙ පොල් ගහක ආසාවට පොල් ගෙඩියක් තිබුනෙ නෑ... මලෙන් එලියට ආපු ඇට්ටි කාලෙම ඕකුන් ගහ හූරගෙන යනවා. වදුරොරැල වගේ..." හොර පොල් කඩන වැඩේ නවත්තන්න ලොකු හාමුදුරුවෝ කරල තිබුනේ හරි අපූරු වැඩක්.

උන්නාන්සේ, ගෙවල් වයරිං කරන්න ගන්න වයර් තුන හතරක් එකට තියල අඹරගෙන මහත කඹයක් හදාගෙන තිබුනලු.  හැමදාම බිංකලුවර වැටෙන වෙලාවට ඒකත් අරගෙන උන්නාන්සේ පංසලේ හතර මායිමේ සක්මං කරනවලු. එක දවසක් ඔහොම සක්මං කර කර වඩිනකොට, පොල් කඩන්න ආපු උපාසක මහත්තයා හාමුදුරුවන්ට මුලිච්චි වෙලා තියෙනවා. ආච්චි කිව්ව විදිහටනම්, හාමුදුරුවෝ අර අඹරපු කඹෙන් පිටහරහා දෙකයි උපාසක මහත්තයට දීල තියෙන්නෙ. පොර කඩපු පොල් ගෝනියත් හාමුදුරුවන්ට පූජකරලා දිව්වලු. ඒදායින් පස්සෙ පංසල් වත්තෙ පොල් වේලිලා වැටුනත් එකෙක්වත් ගස් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑලු.

පංසල ගැනයි, ලොකු හාමුදුරුවෝ ගැනයි මෙච්චර දිග හෑල්ලක් ලිව්වෙ, ලොකු උන්නාන්සෙ කලකට උඩදි මට දීපු උපදෙසක් මතක් වෙලා.

ඔය සිද්දිය වෙනකොට මට අවුරුදු දහයක් දොලහක් ඇති. ලොකු උන්නාන්සෙ වැඩ උන්න ආවාස ගෙයි මුල්ලක දැවැන්ත කලුවර අල්මාරියක් තිබුනා. ඕකෙ උඩ තට්ටුවෙ තිබුනප්ලාස්ටර් ඔෆ් පැරිස්” බුදුපිළිමෙ ඇරෙන්න, අල්මාරිය පිරෙන්නම තිබුනෙ පොත්. . ඒදවස් වලත් පොත් කියවන්න, පොත් අත-පත ගාන්න මම හරි පෙරේතයි.

අල්මාරියෙ වීදුරු අස්සෙන් පොත් දිහා බල බල කෙල හල හලා හිටියට පොතක් ඉල්ලන්න තරම මට ගටක් ආවෙ නැත්තෙ , කවුරුත් ලොකු හාමුදුරුවන්ගෙන් පොත් ඉල්ලනවා දැකලා නැති නිසා වෙන්න ඕන. ඒත් දවසක් ගෙදර දානයක් මතක් කරන්න පංසලට ගියපු වෙලාවෙ අර පොත් කන්ද දැක්කම මට අමුතුම මොරාල් එකක් ආවා.

"හාමුදුරුවනේ.... ම්..ම්..  මේ පොතක් අරන් ගිහින් කියවල ගෙනල්ලා දෙන්නද???...." මං ඔන්න ඔහේ කියලා දැම්මා.

"හ්ම්ම්.... ඉලංදාරියට මම පොඩි උපදෙසක් දෙන්නද??? " පොරවගෙන හිටපු සිවුර එහෙම හරිගස්සගෙන කතාව පටන් ගන්න විදිහටම මට තෙරුනා  ශුවර් එකටම පොත් නම් හම්බ වෙන්නෙ නෑ කියලා.

"කොල්ලෝ පොතයි, ගෑණියි කවදාවත් අතින් අත යවන්න එපා. ආයේ කවදාවත් උඹ ලගට එන්නෙ නෑ" හාමුදුරුවෝ කිව්වෙ කට කොනකට කින්ඩි හිනාවකුත් දාගෙන.

එදා එහෙයි කියල ඔය උපදෙස ගත්තට, ඒක හොදට පත්තියන් උනේ ඊට ටික කාලෙකට පස්සෙ, යාලුවෙක්ට දීපු මගේ පොතක් ආපහු ඉල්ලගන්න කතා කරාම. පොර ඒක තව කාටද දීල, ඒකා තවත් එකෙකුට දීල. ඔහොම ඔහොම පොත රවුන් කීපයක් අතින් අත ගිහිල්ල තිබුනා.කොහොම හරි පොත් අවසන් වරට දුටු කෙනෙක් හොයා ගන්න නෑ.  ගෑණු ගැන නම් දන්නෙ නෑ. හැබැයි පොත් වලට නම් කියමන හරියට හරි. බුද්ධ පුත්‍රයෙක් කට කහනවට දොඩවන්නෙ නැති නිසා කියමනේ ඉතුරු පලුවත් හරි යන්න ඕන.

.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින.

6 comments:

  1. ලස්සන විස්තරයක්.. කොහොමත් මචන් ආච්චිලා සීයලා එක්ක කතාවට සෙට් කියන දේවල් හරි රසවත්.
    අර පොත් ගැන කතාව නම් හරියට ම හරි. මගෙ ලඟත් තිබුණු පොත් මං එක එකාට දීලා තියනවා. ආයේ හම්බ වෙන්නේ නම් නෑ. අරන් ගිය එකා දන්නෙත් නෑ ඒවාට මොනවා උනාද කියල.
    ගෑනු ගැන නම් ඉතින් උඹ කියපු එකම තමයි මටත් කියන තියන්නේ. :)

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං. ගෑණු ගැන නම් කතා ගොඩායි.......

      Delete
  2. හි හි......ඔන්න මමත් ආවා,............අවා අවා..සිල්වා සොයා..නවදැලි හේනේ විස්තර සොයා...එයා මෙයා කියූ කතා අපිට එපා....ඔයා දිගට ඕක කරන් යන්න මෙයා,.....


    මරු අයියේ නියමයි...

    ReplyDelete
    Replies
    1. එයා.. මෙයා.. කියූ කතා
      රසට ගොතා දෙනවා මෙයා

      උබේ බ්ලොග් එකත් බැලුවා. නිවිහැනහිල්ලේ බලල කමෙන්ට් දාන්නම්. ජයවේවා !!!!!

      Delete
  3. පුස්තකං වනිතා රත්නං - පර හස්ත ගතං ගතම්

    මේකේ තේරුම දෙවිදිහකට කට්ට්ය කියනවා. ස්ත්‍රී රත්නයත් පුස්තක රත්නයත් වෙන කෙනෙකුගේ අතට ගියොත් ගියාමයි ආයේ එන්නේ නැහැ. අනික් එක තමා පොතත් කාන්තාවත් මැණිකත් වෙන කෙනෙකුගේ අතට ගියොත් ගියාමයි ආයේ එන්නේ නැහැ :D

    ReplyDelete
    Replies
    1. අහ්..... ඔය තියෙන්නෙ වස්තු බීජේ. :ඩී

      Delete