Saturday, January 19, 2013

සිරි රහල් ජනකතා




ජනකතා තරම් රසවත් අංගයක් ජනසාහත්‍ය තුල නොමැති තරම්ය. බොහෝ විට ජනකතාව ලේඛණගත ඉතිහාස මූලාශ වලින් බැහැරය, ප්‍රාදේශීයය, කතා සාරය එක උවත් කතා කිහිපයකි. සංනිවේදනක්‍ර වල දියුණුවත් සමග ප්‍රාදේශීයව පැවති ජනකතා පුලුල්ව ව්‍යාප්ත උවද, අදටත් ඇතැම් ඒවා එලෙසම එකී ප්‍රදේශයන්ට ආවේණිකව පවතී. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිලිබදව ගෙතුනාවූ එවන් ජනප්‍රවාදයන්රැසක්, උන්වහන්සේ වැඩසිටි තොටගමු විජයබා පිරිවෙණ අවට ප්‍රදේශයේ ඇත. මා කුඩා කල අම්මා කියාදුන් මෙම රසවත් කතා පෙල, තොටගමුව අවට සහෘදයන්ට නවමුවක් නොවූවද, තවත් පිරිසකට අලුත් අද්දැකීමක් වනු ඇත.

තොටගමුවෙ රාහුල හාමුදුරුවො හදුන්වද්දි, උන්නාන්සෙගෙ නමට මුලින් "ෂඩ්භාශා පරමේශ්වර" කියල ගෞරව පදයකුත් එකතු කරනවා. උන්වහන්සෙ භාශා හයක කෙලපැමිනියෙක් කියල තමයි ඒකෙන් හැගෙන්නෙ. ඇත්තටම උන් වහන්සේ භාශා විශාරදයෙක් විතරක්ම නෙවේ, බොහොම කලාතුරකින් පහලවෙන විවිධ හැකියාවන්ගෙන් පිරිච්ච හිමි නමක්. උන්වහන්සෙට බොහොම ප්‍රභල මතක ශක්තියක් තිබුනලු. කවුරුහරි එකපාරක් කිව්ව දෙයක් උනත් උන්වහන්සෙට බොහොම අපූරුවට මතක හිටලා තියෙනවා. මේ අපූරු මතක ශක්තිය ලැබුන විදිය ගැන තියෙන්නෙත්, බොහොම රසවත් කතාවක්.

රාහුල හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො තමන්ගෙ ධාරණ ශක්තිය වඩවා ගන්න, "සිද්ධාලෝක රසය" කියලා බොහොම බලගතු තෙල් බේතක් පාවිච්චි කරාලු. මේ බේත බලගතු එකක් වගේම බොහොම විස සහිත එකක්.  ලොකු හාමුදුරුවො බණකට, පිරිතකට යන්න කලින් අස්ස කෙන්දක් මේ තෙල් කුප්පියට දාල, කෙන්ද හත් පාරක් ගසලා, දිවේ අග ගාගෙන තමයිලු යන්නෙ. ලොකු හාමුදුරුවො හොරාට කරන මේ වැඩේ බලාගෙන හිටපු රාහුල පොඩි හාමුදුරුවො, ලොකු උන්නාන්සෙ බණකට වැඩිය වෙලාවක් බලලා, මුලු බේත් කුප්පියම බිව්වලු. බේතෙ සැරට උන් වහන්සෙ එහෙන්ම සිහි නැති වෙලා. බණ ඉවර වෙලා ලොකු හාමුදුරුවො ආපහු වඩින කොට, පන්සලේ ඇතිකරන ගිරවා කෑගහනවලු, "රාහුලයා මලා... රාහුලයා මලා..." කියලා. ලොකු හාමුදුරුවො බලනකොට රාහුල හාමුදුරුවො  හිස් බේත් කුප්පියත් එක්කම සිහිනැතුව වැටිලා ඉන්නවලු. ඉක්මනට වටේ පිටේ ඉන්න දායකයො ගෙන්නපු ලොකු හාමුදුරුවො, මවුකිරි වලින් බෙහෙත් ඔරුවක් පුරවල රාහුල හාමුදුරුවන්ව ඒකට බැස්සුවලු. ටික වෙලාවක් යනකොට බේතෙ විස උරාගෙන මුලු ඔරුවම රෝසපාට උනාලු. ඔය විදිහට හත් පාරක් ආයෙ, ආයෙ කිරි මාරු කරලා තමයි රාහුල හාමුදුරුවො බේරගෙන තියෙන්නෙ. එදා බීපු "සිද්ධාලෝක රසය" නිසා උන්නාන්සෙ අපවත් උනත්, අදටත් මල මිනියෙ කොන්ඩෙ,‍රැවුල, නියපොතු වැවෙනවලු.

තොටගමුවෙ හාමුදුරුවො නැකැත් සාත්තරෙත් බොහොම පරතෙරට ගියපු කෙනෙක්. උන්නාන්සෙගෙ, ගුරු හාමුදුරුවොත් වගේමලු. දෙන්නම දක්ශයො නිසා, දෙන්නා නිතරම  වැඩ කරේ තරගයටලු. දවසක් පන්සල් වත්තෙ පොල් පැල හිටවන්න උන්නාන්සෙල වෙන වෙනම නැකැත් හැදුවලු. හැබැයි නැකැත් දෙක අරගෙන බැලුවම, වෙලාවල් දෙකක්ලු. දැන් දායකයොත් වැඩිය දක්ශ කවුද කියල බලන්නත් එක්ක නැකැත් දෙකටම වෙන වෙනම පොල් පැල හිටෙව්වලු. ටික කාලෙකින් ගුරු හාමුදුරුවොන්ගෙ නැකතට හිටවපු පොල් පැලේ ලොකු වෙලා උස ගිහින් ගෙඩි එහෙමත් ආවට, රාහුල හාමුදුරුවන්ගෙ නැකතට හිටවපු පැලේ පීදෙනවා තියා අඩියකට, දෙකකට වඩා උස ගිහිල්ලත් නෑලු. කොහොම හරි පොල් කඩන දවසෙ මුලු ගමේම දායකයො ටික පන්සල් වත්තට එකතු වෙලා දෙන්නගෙ නැකැත්වල හාස්කම් බලන්නත් එක්ක. තමන්ගෙ නැකතට හිටවපු, හොදට බරවෙලා ඉතිරෙන්න පොල් තියෙන ගහයි, අඩියක් වත් උස නැති රාහුල හාමුදුරුවන්ගෙ නැකතට හිටවපු ගහයි දිහා බලාගෙන, ලොකු හාමදුරුවො රාහුල හාමුදුරුවන්ගෙන් අහනවලු, "කෝ රාහුල, පොල්??" කියල. එතකොට කට කොනකට හිනා වෙච්ච රාහුල හාමුදුරුවො, දායකයෙක්ට කියල උදැල්ලක් ගෙන්නගෙන තමන්ගෙ ගහේ මුල වටේට හාරන්න කිව්වලු. මුල වටේට හාරන්න ගත්තා විතරයි, පස් යටින් දිගට හරහට පොල් ගෙඩි මතු වෙන්න ගත්තලු. අන්තිමේදි දායකයොන්ට තේරුනාලු රාහුල හාමුදුරුවන්ගෙ දස්සකම.

දවසක් රාහුල හාමුදුරුවො තමන්ගෙ ලොකු හාමුදුරුවොත් එක්ක වාදෙකට පැටලුනාලු. වාදෙ තමයි, "වඩා වටින්නෙ ජම්මෙද එහෙමත් නැත්තන් පුරුද්ද " කියන එක. රාහුල හාමුදුරුවො වාද කරන්නෙ, "පුරුද්දට වඩා ජම්මෙ වටිනවා" කියලලු. දෙන්නගෙම කෙස් පැලෙන තර්ක වලට පස්සෙ ලොකු හාමුදුරුවො හිතුවලු තමන්ගෙ කතාව ඔප්පු කරලම පෙන්නන්න. ලොකු හාමුදුරුවො බොහොම ආදරයෙන් ඇතිකරන බලලෙක් ඉන්නවලු පංසලේ. උන්නාන්සෙ කරේ ඔය බළලව අරගෙන උන්වහන්සෙ බණ පොත් කියවනකොට, පහන අල්ලගෙන ඉන්න විදිහට පුරුදු කරපු එක. බළලව හොදට පුරුදු කරයින් පස්සෙ,තමන්ගෙ කතාව  හරි කියල දායකයන්ට පේන්නත් එක්ක ලොකු හාමුදුරුවො හැන්දෑ ජාමෙ බණක් සංවිධානෙ කරාලු. දැන් ලොකු හාමුදුරුවො බණ කියන කොට, බළලා පාන අල්ලගෙන. දායකයොන්ටත් තේරෙන්න ගත්තලු ලොකු හාමුදුරුවො කියපු කතාව, කියන්නෙ "ජම්මෙට වඩා පුරුද්ද වටිනවා"කියන එක හරි කියලා. එතකොටම රාහුල හාමුදුරුවො කොහෙන්දෝ අල්ලගෙන ආපු මීයෙක් බළලට පේන විදිහට ධර්ම ශාලාවෙ කෙලවරකට අතෑරියලු. මීය දැක්ක ගමන්, අතේ තිබුන පානත් පෙරලගෙන බළලා මීය පස්සෙ එළවන්න ගත්තලු. "පුරුද්දට වඩා ජම්මෙ වටිනවා" කියල රාහුල හාමුදුරුවො ඔප්පු කරේ එහෙමලු.

රාහුල හාමුදුරුවො සාහිත්යට, වෙදකමට, නැකැත් සාත්තරේට වගේම මන්තර ගුරුකම් වලටත් උපන් හපනෙක්ලු. උන්නාන්සෙ ඔය මන්තර ගුරුකම් පාවිච්චි කරලා, යක්කු පෙරේතයෝ බැදගෙන වැඩගත්තා කියලා අදටත් මිනිස්සු පිලිගන්නවා. දවසක් පිරිතක් ඉවර වෙලා, ‍රැජාමෙ ආපහු තොටගමු පංසලට වඩිනකොට රාහුල හාමුදුරුවොන්ට මහන්සි දැනුනලු. තමන් දන්න මන්තර පාවිච්චි කරල, යක්කු කීපදෙනෙක් අල්ල ගත්ත රාහුල හාමුදුරුවො යක්කුන්ට කිව්වලු, "මාව අරන් තොටගමුවට පලයල්ලා" කියලා. "තොට-ගමුව" කියන එක යක්කුන්ට තේරුනේ, "උඹලගෙ ගම" කියලලු. ඉතින් යක්කු, රාහුල හාමුදුරුවොත් අරගෙන යක් පුරයට ගියාලු. රාහුල හාමුදුරුවො ඇහැරිලා බලනකොට උන්නාන්සෙ ඉන්නෙ යක් පුරේලු. උන්නාන්සෙට වෙච්ච වැරැද්ද තේරිලා, යක්කුන්ට ආපහු කිව්වලු, "තොටගමුවට නෙවේ බොලවු, මටගමුවට අරන්පල" කියල. එතකොට යක්කු ටික හාමුදුරුවන්ව ආපහු තොටගමු පන්සලටම ගෙනත් ඇරලුවලු.

මේ රාහුල හාමුදුරුවොන්ගෙ මන්තර ගුරුකම්වල හපන්කම් ගැන කියවෙන තවත් කතාවක්. "කරුවල අදුන" කියල අදුනක් උන්නාන්සෙගාව තිබුනලු. මේ අදුනෙ ඇගේ ගා ගත්තම අහසින් යන්න පුලුවන්ලු. දවසක් හාමුදුරුවො හම්බවෙන්න ආපු බමුණෙක් මේ අදුන ඉල්ලුවලු. ඒත් හාමුදුරුවො අදුන දීල නෑ. පස්සෙ බමුණා, "හාමුදුරුවොගාව එහෙම අදුනක් නෑ" කියල, හාමුදුරුවන්ගෙ හැකියාව අවතක්සේරු කරල කතා කරන්න පටන් ගත්තලු.  ඒක නිසා බමුණට පේන්නත් එක්ක හාමුදුරුවො අදුන හදන්න ගත්තලු. දැන් ගස්වල කොල,පොතු,මල්,ගෙඩි වගේම එක එක බෙහෙත් ජාති කවලම් කරලා, බෙහෙත් ගලක උරච්චි කර කර අදුන හදනවලු. ගලේ උරච්චි කරන්න කලින්, බෙහෙත් ගලට යටින් රත්තරන් කෑල්ලක් තියෙනවලු. අදුනෙ නියම පදම එනකොට, ගල හරහා රත්තරන් කෑල්ල පේන්න ගන්නවලු. ටික වෙලාවක් අදුන අඹරද්දි, හාමුදුරුවො වෙන වැඩකට ආවාසගෙට වැඩියලු.ඔය අතරෙ අදුනෙ නියම පදම ඇවිල්ලා, රත්තරන් කෑල්ල පේන්න ගත්තලු. හාමුදුරුවොත් ලග පාතක පේන්න නැති නිසා, ඉක්මනට අදුන එකතු කරගත්ත බමුණා ආපහු ගන්න, අදුනත් ගාගෙන අහසට නැගුනලු. ටික වෙලාවකින් හාමුදුරුවො ආපහු වඩිනකොට, අදුනත් අරගෙන බමුණා අහසින් යනවලු. කිසිම කලබලයක් නැතිව පංසලේ ඇබිත්තයට කතා කරපු උන්නාන්සෙ; "දුවලා ගිහින් අදුන අඹරපු බෙහෙත් ගල, කකුස්සිවලට දාපන්" කියලා කිව්වලු. ඇබිත්තයා බෙහෙත් ගල වැසිකිලිවලේ දැම්මා විතරයි බමුණා ආපහු පොලොවට වැටුනලු. 

පසු සටහන : ඉහත කතා සියල්ලම පාහේ මා කුඩා ඇසූ ඒවා විනා පිළිබදව ගැඹුරින් ගවේශනයක් සිදුකොට නැත. කියවූ සැනින් හුදු ප්‍රබන්දයන් සේ හැගෙන මෙකී කතා,  ශ්‍රී රාහුල හිමිගේ විශිෂ්ඨත්වය හුවා දක්වනු පිණිස නිර්මණය කරගත් ඒවා විය යුතුය. සැබවින්ම උන් වහන්සේගේ විශිෂ්ඨත්වය මෙවැනි ප්‍රසස්ති නිර්මාණයන්ගෙන් වැයීමට තරම්ම උසස්ය. වයස අවුරුදු විසි දෙකේ තරම ලාබාල වියේදීම, "බුද්ධගජ්ජය" නම් විශිෂ්ඨ නිරමාණය කරමින් නිර්මාණ කරලියට එළඹෙන එතුමන් පරවි සංදේශය, සැලළිහිණි සංදෙශය, කාව්යශේඛරය, සකස්කඩ, පංචිකා ප්‍රදීපය වැනි උසස් නිර්මාණරැසක් බිහි කලේය.


.ලි. : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.

2 comments:

  1. බුද්ධගජ්ජයයි, සකස්කඩයයි ලිව්වේ රාහුල හාමුදුරුවෝමය කියලා ෂුවර්ද ?

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය විස්තරේ හොයා ගත්තෙ මෙන්න මෙතනින්....

      http://www.lakehouse.lk/budusarana/2006/01/29/Budu13.pdf

      Delete