Sunday, August 21, 2016

වතුර මල


උදෑසන හිරුගේ ප්‍රභාවත් හිරු කිරණ එකක් පසුපස එකක් ලෙසින් කොටුව දුම්රිය පොලට පිටුපසින් අහසට නැගෙමින් පැවතින. තවමත් කොටුව හරිහැටි අවදි වී නැත.  ඉදහිට ගාලුපාර දිගේ සැර දමමින් ඇදීයන බස් රථයක් හැරුනු කොට, කොටුව නිසලය. නිහඩය. එය, මීටර සියය ධාවන තරගයක ආරම්භක වෙඩි පහරට පළමුවෙන් පවතින වර්ගයේ මරණීය නිහඩතාවයකි. තවත් විනාඩි කිහිපයකින් වෙඩි හඩ නිකුත් වනු ඇත. මහා ගාලගෝට්ටියකින් කොළඹ කොටුව වැසී යනු ඇත. 

අයෙක් ඩීමෝ බට්ටෙකුගේ පසුපස තට්ටුවේ ඇසිරූ තැඹිලි වලු ගෙන එකින් එක ගෙන තම තැඹිලි ලෑල්ලේ අඩුක් කරයි. ඊට යාබදව ලොතරැයි කූඩුවකි. මැදිවිය ඉක්මවූ අයෙක් පිලිවලට වෙන්කරන ලද ලොතරැයි පත්, කූඩුවේ ඉදිරිපස ලෑල්ලට තබා ඇණ ගසයි. රොටී බාස් කෙනෙකු රත්වූ යකඩ තැටිය මත පිලිස්සෙන රොටී ලේන්සුවට, බිත්තරයක් කඩා දැමුවේය. කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානයේ රෙදිකඩ තවමත් විවෘත වී නැත.

"දඩාස්.........." පිටකොටුව දෙසින් ඉගිල්ලී ආ සුදු පැහැ කාර් රථයක් දුම්රියපල ඉදිරියෙන් වූ මගී ආරක්ශක වැටෙහි ගැටී නතර විය. තැඹිලිකරු අතින් තැඹිලි වල්ල බිම අත ඇරින. මිටිය වැරදී ලොතරැයි අලෙවිකරුගේ දබරගිල්ල තැලින. නියමිත වේලාවට නොනැමූ නිසා බිත්තර සාරු, රොටී ලේන්සුවෙන් පිටතට ගලා ගියේය. සිහිනයෙන් අවදිවූවන් මෙන්, තැඹිලිකරුත්, ලොතරැයිපත් අලෙවිකරුත්, රොටී බාසුත් කාරය දෙසට දිව ගියහ.

රථයේ වම්පස ලාම්පුව කුඩුවී තිබූ අතර බොනට්ටුවද තැලී ඇතුලට එබීගොස් තිබින. අනතුරට හේතුව රියදුරුට නින්ද යාමයි. හේ පෙරදින රාත්‍රියේ මලගෙදරක  නිදිවරා ආපසු යමින් සිටි අයෙකි. යන්තමින් වූ සීරීන් සළකුණු හැරුණු විට රෝහල්ගත කලයුතු අන්දමේ තුවාල කිසිවක් ඔහුට නොවීය.

"ඇති ඔයින් ගියා...."

"හ්ම්ම්...."

"වෙනකොහෙවත් වැදුනද? මේ... ඔලුව එහෙම???"

"න්..නෑ.... අතයි, කකුලයි විතරයි. යමින් ගමන් බෙහෙත් ටිකක් දාගෙන යනවා"

"ෆුල් ඉන්ශුවරන්ස් නේද?"

"අපොයි ඔව්. උදෙම මේ යක්කු එයිද දන්නෙ නෑ....."

"කොහෙන්ද මේ වතුර පාරක් එන්නෙ? මෙතන ටැප් එකක් තිබුන් නෑනෙ?"

"අහ්.. ඔතන අර ගිණි නිවන්නද, මොකකටද මන්දා වතුර ගන්න මගුලක් තිබුනනෙ.ඒක කැඩිලා වෙන්න ඇති."

"හ්ම්ම්ම්..."

කාරය යටින් ගලා එන සිහින් දිය පහර, ගාලු පාර ඔස්සේ ඇදී ගොස් ඉහලටත්, පහලටත් විසිරී යයි.

අඩ පැයකට පමණ පසු කොටුව පොලීසිය පැමිණ අනතුර සටහන් කරගන්නා ලදී. රක්ෂණ නියෝජිතයන් පැමිණියේ ඊටත් සෑහෙන වේලාවකට පසුවය. ආපදා රථයක් පැමිණ, ඉවතට පැන තිබූ කාරය පැටවීමට පටන් ගන්නා විට උදෑසන අටට ආසන්නවී තිබින. කාරයේ චැසියේ පසුපසට කේබලයක් දමා, කාරය නැවත ගාලුපාරට අදිනවාත් සමගම මෙතෙක් වේලා සිහින් දියපහරක්ව ගාලු පාර තෙමූ වතුර කාන්දුව, අඩි දහයක් තරම් වූ දැවැන්ත වතුර මලක් බවට පත්විය.

තැඹිලි කරුටත්, ලොතරැයි අලෙවිකරුටත්, රොටී බාස්ටත් අතිරේකව මහා සෙනගක් වතුර මල දෙසට දිව ආහ. ගාලු පාර දෙබෑකරගෙන මතුවූ වතුර මල හැමටම නැවුම් අත්දැකීමකි. ගිණි නිවන කරාමය කැඩුන තැනින් ඊයක වේගයෙන් අඩි දහයක් පමන ඉහලට ඇදෙන වතුර පහර, කිරි ඉතුරුමකදී මුට්ටි කටෙන් කිරි විසිරී යන්නාක් මෙන් සිව් දිසාවටම විසිරී යන්නේ, අඩි අටක පමණ අරයක් ඇති කවයක වතුර විසුරුවමිනි. 

වතුර මල පිලිබද ආරoචිය ගාලුපාර දිගේ ඉහලටත්, පහලටත් පලමුව ඇදී ගිය අතර, පිට කොටුවේ හරස් වීදි වලටත්, මැනින් මාර්කට්ටුව ඔස්සේ මරදාන දෙසටත් ඇදීගියේ ඉන් අනතුරුවය. හුදී ජනයා වතුර මල වටා රැස් කන්නට විය. කොටුව දුම්රියපල එකම හිස් ගොඩකි. ගාලු පාරේ දෙපස යා කරන මගී ගුවන් පාලමත්, පදික වේදිකාවත් මිනිසුන්ගෙන් පිරී ගොසිනි. හැම දෙනාම පොරකන්නෙ වතුර මලට කිට්ටු වීමටය. නැතිනම් වතුර මල ඇල්ලීමටය. බොහෝ දෙනා තම ජoගම දුරකතන මිටමොලවා වතුර මල වීඩියෝ ගතකරති. නැතහොත් වතුර මලත් සමග සෙල්ෆි ගසති. තවත් සමහරු ගැසූ සෙල්ෆි ෆේස්බුක් වෝල්වලට අප්ලෝඩ් කරති.

"Feeling crazy with වතුර මල at කොටුව ස්ටේෂන්......."

කොටුව පොලීසියේ ට්‍රැෆික් රාළහාමිලාට ගාලු පාර නිදහස් කර ගැනීමට දැවැන්ත මෙහෙයුමක් දියත් කලෝය. එන්න එන්නම රැස්කන සෙනග වැඩි වූයෙන්, පසුව ඔවූහු එම අදහස අත්හැර දැමීය. ගාලු පාරේ වම්පස අර්ධය සම්පූර්ණයෙන් වසා දැමුණු අතර වාහන ධාවනය දකුණු පස අර්ධයට පමණක් සීමා විය. තවත් ස්වල්ප වේලාවක් යනවිට කොටුව ඉදිරිපස ගාලුපාරේ අර්ධ දෙකම වසා දැමීමට සිදුවිය. වාහන ධාවනය, පිටකොටුවෙන් ටෙක්නිකල් හන්දිය හරහා මරදානට ගොස්, පැරණි ගාමිණී හෝල් තිබූ තැනින් ඩී.ආර්. විජේවර්ධන මාවතට පිවිස, එතැනින් ලේක් හවුස් වටරවුම හරහා ගාලු පාරට සම්බන්ද කෙරින.

119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඔස්සේ ලැබුනු පණිවිඩයකට අනුව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන්ට වතුර මල අසලට පැමිණීමට සිදුවූයේද ඉහත කී ප්‍රති-මාර්ගය ඔස්සේය.

"සර් මෙතන ෆයර් හයිඩ්‍රන්ට් එකක් කැඩිලා තියෙන්නෙ. අපිට කෙලින්ම ඉන්වෝල්ව් වෙන්න බෑ. වතුර, බෝඩ් එකේ උනාට ෆයර් හයිඩ්‍රන්ට් එක අපේ නෙවේනෙ.." ජල සම්පාදන මණ්ඩල නිලධාරියා සිය උසස් නිලධාරියාට වාර්ථා කලේය. මද වේලාවකින් ඔවූහු පිටත්ව ගියහි.

දහවල ආසන්න වන විට වතුර මල පිළිබදව සියලූම මාධ්‍ය පුලුල් ආවරණයක් කර තිබින. සියලූම නාලිකා පැයෙන් පැයට වතුර මල පිලිබදව උණුසුම් පුවත් වාර්ථා කරන්ට වින. කාරය හප්පවා වතුර මල සෑදූ පුද්ගලයා, කොටුව පොලීසිය මගින් උසාවියට ඉදිරිපත් කල අතර, මහේස්ත්‍රාත්තුමා ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ශේප කලෙන්, ඔහුව රක්ශිත බන්ධනාගාර ගත කෙරින.

මේ අතර වතුර මලෙන් ගැලූ වතුර කද නිසා අගල් දෙකක පමණ ගoවතුර තත්වයක් කොළඹ නගරයට  බලපා ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. කෙසේ වෙතත් මෙය බියවීමට කිසිදු හේතුවක් නොවන බවද ඔවූහු පුල පුලා කියා සිටියහ. වතුර මල අවට ජනතාව පාලනය කිරීම සදහා විශේෂ හමුදා බළඝණයක් කැදවීමට සිදුවූ අතර තවත් අතිරේක බළැඝණ දෙකක් ඕනෑම මොහොතක  යෙදවීමට සූදානම් කරන ලදී. 

එදින කැබිනෙට්ටුව රැස්වන දිනයක් නොවූවද ඇතිවූ හදිසි තත්වය සලකා බැලූ ජනාධිපතිතුමා හදිසි කැබිනට් රැස්වීමක් කැදව්වේය. රැස්වීම පැය තුනකට වඩා වැඩි කාලයක් ඇදී ගියේය. අවසානයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා ඇතිවී ඇති තත්වය පිලිබදව පුලුල් විමර්ශනයක් කිරීමට කැබිනෙට්ටුව එකග විය. මේ වන විට ගoවතුර තත්වය අගල් දෙකේ සිට අගල් දහය දක්වා ඉහල ගොස් තිබින. රාත්‍රී අට පමණ වනවිට එය අඩි එකහමාර දක්වා තවදුරටත් වැඩිවී තිබින. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය තවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය සුලු ගoවතුර තත්වයක් බවත්, කෙසේ උවත් මහජන ආරක්ශාව පතා වතුර මල අවට ප්‍රදේශය අවධානම් කලාපයක් ලෙස නම් කරන බවත්ය. ඒ අනුව වතුර මල අවට මීටර පනහක අරයෙන් යුතු ප්‍රදේශයකින් ජනතාව ඉවත් කෙරුනු අතර වතුර මල තහනම් කලාපයක් බවට පත්කෙරින.

රාත්‍රී නවයට ආපදා කළමණාකරන ඇමතිතුමා, ජල කළමණාකරණ ඇමතිතුමා හා ආරක්ෂක ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්චාවක් කැදවා තිබින. 

"අපි තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරලයි තියෙන්නෙ. මම ත්‍රිවිධ හමුදපතිවරුත් එක්කත් සාකච්චාකරා. නාවික හමුදාව දැනටමත් ඒ ගොල්ලන්ගෙ බෝට්ටු හතලිහක් කොටුවට ගෙනැත් තියෙනවා. මම අපේ ධීවර ප්‍රජාවගෙනුත් ඉල්ලා සිටිනවා ඉදිරි දින කිහිපයේ ගoවතුර තත්වය දරුණු උනොත් පාවිච්චි කරන්න ධීවර බෝට්ටු ලබා දෙන්න කියලා." ආරක්ශක ඇමතිතුමාට පසුව කතා කලේ ජල කළමණාකරණ ඇමතිතුමාය.

"සමහරු මේක ජල සම්පාදන මණ්ඩලයට බැර කරල අත පිහදා ගන්න හදනවා. ඒක වැරදියි. හොදට මතක තියාගන්න අපි ඉන්නෙ වතුර දෙන්න. කැඩෙන කැඩෙන පලියට තැන් තැන් වල තියෙන ටැප් හදන්න ගියෝතින් අපිට වෙන කරන්න වැඩක් නෑ."

"ඒත් ඇමතිතුමා ජලය අපතේ යාම ජාතික අපරාධයක් නේද?" ඒ මාධ්‍යවේදියෙකි.

"කවුද කියන්නෙ??"

"න්..නෑ.. ඔය හැමෝම කියන්නෙ?"

"කවුද හැමෝම කියන්නෙ ? මට හරියට පුද්ගලයව කියන්න. නිකන් කතෲ නැති වාක්‍ය හදලා දේශපාලන වාසි ගන්න හදන්න එපා. හරි ඒ උනත් මම ඕකට උත්තරේ දෙන්නම්. ඔබතුමා දන්නවද ජලය කියන්නෙ චක්‍රයකට අනුව යන දෙයක්. ඔය අපතේ යන ජලය නැවතත් වාශ්පීකරණය වෙලා ඉහල අහසට ගිහිල්ලා ඝණීභවනය වෙලා ආපහු පොලවටම ලැබෙනවා. ඉතින් කොහොමද අපතේ ගියා කියන්නෙ. ඕවා විපක්ශයේ කතා. අනික මේ සිදුවීමෙන් පෙනෙනවා අපේ මන්ඩලයේ ශක්‍යතාවය. බොන්න නාන්න විතරක් නෙවේ ඕන්නම් ගoවතුර හැදෙන ගානට උනත් වතුර දෙන්න අපට පුලුවන්. හක්.. හක්.. හාඅ..."

අවසානයට කතා කලේ ආපාදා කළමණාකරන ඇමතිතුමාය.

"ජනාධිපතිතුමා, අගමැතිතුමත් එක්ක සාක්ච්චාකරල මේ ගැන හොයල බලල, විශේෂ වාර්ථාවක් සපයන්න ත්‍රි පුද්ගල කමිටුවක් පත් කලා. ඒකෙ සභාපති තුමා තමයි ජල සම්පාදන මණ්ඩලයෙ සභාපති තුමා. නමුත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ බිරිදට දරුවෙක් ලැබිලා නිසා සභාපතිතුමා ඉන්නෙ එතුමාට නිලවශයෙන් හිමි "පිය -ප්‍රසූත" නිවාඩු අරගෙන. කොහොම උනත් මම එතුමා එක්ක කතා කලා. එතුමා එකග උනා නිවාඩු දවස් තුනෙන්, දෙකක් අවලන්ගු කරලා අනිද්දට කමිටුවට වාර්ථා කරන්න. අපිට බලකරන්නත් බෑනෙ ඉතින්. ඒක බොහෝම මානුශීය තත්වයක්. අනික කොලු පැටියෙක්ලු. එතුමාට ඉන්නෙම ගෑණු දරුවො තුන් දෙනෙක්නෙ."

පසුදා එලිවනවිට ගoවතුර තත්වය අඩි හතරක් දක්වා ඉහල ගොස් තිබින. ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලේ මෙය තරමක සැලකිය යුතු තත්වයේ ගoවතුරක් බවය. කෙසේ වෙතත් නාය යෑමේ අවදානමක් නොමැති බව ඔවුන් ස්ථීරවම කියා සිටියේය. වතුර මලෙන් තව දුරටත් වතුර විහිදෙමින් ඇති අතර ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමාගේ පැමිණීමත් සමග හෙට දිනයේදී ත්‍රි පුද්ගල කමිටුව රැස්වීමට නියමිතය. 


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.

Friday, June 3, 2016

වැසිකිලියක් ඕනෑකර තිබේ.


මේක මීට අවුරුදු හයකට විතර උඩදි වෙච්ච සිද්දියක්. එතකොට අපි කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දෙ අන්තිම හරියෙ. තර්ඩ් ඉයර් එක තමයි කැම්පස් ජීවිතේ "පොරත්වය" උපරිමයටම ආපු අවුරුද්ද. අපි, යට බැච් දෙකකට සින්නෝ. අනික ෆයිනල් ඉයර් එකේ උන් එක්සෑම් වලටයි, ප්‍රොජෙක්ට් වලටයි හිරවෙලා නිසා උන්ට "පොරත්වය" එලියට දාන්න වෙලාවක් නෑ. ඒකනිසා අපේ බැච් එක තමා යට බැච් තලා පෙලා ගෙන කැම්පස් එකේ රග දුන්නෙ.
තර්ඩ් ඉයර් එකේ අන්තිම හරියෙ අපට තිබුනා මාස හයක වෘත්තීය පුහුණුවක්. මටයි තව බැචාල තුන්දෙනෙකුටයි සෙට් උනේ හබරණ - කන්තලේ පාර හදන කොම්පැණියක්. අපරාදේ කියන්න බෑ හබරණට ඇවිල්ල දවස් දෙකයි ගියේ, කැම්පස් පොරත්වය අඩු වෙලා, අඩු වෙලා, බින්දුවටම බැහැලා, බින්දුවෙනුත් තව පල්ලෙහාටම ඇදගෙන වැටුනා. 

ඒ වෙනකොට වැඩිය තැලිල, පොඩිවෙලා, කුරවල් වෙලා හිටපු නැති අපට ඒ මාස හය දැනුනෙ බරපතල වැඩ සහිතව හිරේට දැම්මා වගේ. වෙලාවකට ගෙදර යන්න නෑ. උදේ - රෑ වෙනකන්, රෑ - එළි වෙනකන් අවුවක් වැස්සක් බලන්නෙ නැතුව වැඩ. ඔය මාස හයටම පුටුවක වාඩි වෙලා මේසෙක තියාගෙන දවල් බත් එක කාපු වාර ගාන අත්දෙකේම ඇගිලි ගානට අඩු ඇති. මහන්සි වෙලා හවසට "වාට්ටුවට" ආවත්, කිසිම නිදහසක් නෑ. "වාට්ටුව" කිව්වෙ ඔය මාස හයේ අපි නැවතිලා හිටපු නිවාසෙ. ඒක ඉස්පිරිතාලෙක වාට්ටුවක වගේ එකදිගට ඇදන් දාපු ලොකු හෝල් එකක්. "වාට්ටුවෙ" තමන්ට කියල වෙන්වෙච්ච ඉඩකට තිබුනෙ ඇදයි, ඇදලග තිබුන ටීපෝ එකයි, ඇද යටයි විතරයි. රෑ දෙගොඩහරිය වෙනකන් බීලා කෑ ගහන උන් හින්දා සමහර දවස් වලට දෙයියනේ කියලා නිදා ගන්නත් නෑ. ඒ මදිවට සයිට් එකේදි පොඩ්ඩක් වැරදුනොත් කුණු බැනුම් අහන්න ඕන.
 
මේ විදියට අසරණ වෙලා, "හික්" ගෑවිලා හිටපු අපි හතර දෙනාට යන්තම් හරි මූණ බලල කතා කරන්න චාන්ස් එකක් තිබුනෙ, කවුරුත් නිවාඩු යන වැඩ අඩු සෙනසුරාදා හරි ඉරිදා හරි හවසක් විතරයි. ඒ වගේ හවසක හබරණ ටවුමට ගිහින්, රෑ කඩේකට වැදිලා සතියෙම තියෙන ඇරියෙස් එක බිත්තර කොත්තුවකින් හරි, චිකන් හොදි එක්ක පරාටා පිගානකින් හරි කවර් කරන ගමන්, එක එකාගෙ සැප දුක හොයල බලන එක අපි පුරුද්දක් කර ගත්තා. මේ කතාවත් පටන් ගන්නෙ ඔන්න ඔය වගේ අපි හතර දෙනා සෙට් වෙච්ච, එක් දෛවෝපගත සැන්දෑවක හබරණ ටවුමෙ රෑ කඩෙකින් ඕඩර් කරපු, චිකන් හොදි සහිත පරාටා පිගානකින්.

සතිය තිස්සෙම ඇට තඩි කෝරා බතුයි, කැකිරි මාලුවයි, කොහෙන් හරි උස්සන් ආපු වල් ගහක කොළ මැල්ලුමයි කාල කාල හතිවැටිච්ච මට, දුම් දාන් පරාටා පිගාන දැක්කම ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටුනා.

"ඉතින් මචන් මොකද අකිලය උඹෙන් ඔච්චරම ගේම ඉල්ලන්නෙ ???" මගේ බැචා "ලවුඩා" සයිට් එකේ මට කැපිල්ල දාන සුපවයිසර් බුවෙක් ගැන මගෙන් අහනවා.

"කවුරු දන්නවද බන්. උගේ හිතේ මම උගෙ ජොබ් එකට කෙලින්න ආව කියලා..." ඒ එක්කම චිකන් හොදි දීසියත් ආවා. ආයෙම පුටුවෙ හරි බරි ගැහිලා වාඩි වෙච්ච මන්, සුභ මොහොතින් පරාටා අනුභවය පටන් ගත්තා. මට මතක හැටියට එදා මම පරාටා හතරක් නැත්තන් පහක් කන්න ඇති. පරාට කාල, ප්ලේන්ටියක් බීල ආයෙත් වාට්ටුවට අපි හතර දෙනා විසිර ගියා.

රෑ කාපු පරාටා තවත් එක් මෙගා නාට්ටියක පලවෙනි එපිසෝඩ් එක කියලා තේරුනේ උදේ නැගිටලා වැසිකිලි යද්දි. වෙනදට බොහොම සන්සුන්ව වැසිකිලියට යන මම, එදා වැසිකිලියට දිව්වෙ උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේ. අන්ඩක් කැඩුනත්, අන්ඩ කරේ තියන් හරි වැඩට වරෙන් කියලා ලොක්කා කියලා තියෙන නිසා, මම බඩේ රුදාව පැත්තකින් තියල, ඉක්මනට ඇද පැලද ගෙන දුවගෙන ගිහින් කෲ කැබ් එකට නැග්ගා. ඒ දවස් වල පාර හැදුවෙ කන්තලේ කිට්ටුවට වෙන්න. අපි නැවතිලා හිටියෙ හබරණ කිට්ටුව. ඉතින් හැමදාම උදෙට කිලෝ මීටර තිහක් විතර කැබ් එකේ අපි යන්න ඕන.

සයිට් එකට යන්න පටන් අරන් මුල් කිලෝමීටර දහය විතර යද්දි යටිබඩ පැත්තෙන් හීනියට වගේ කැක්කුමක් එන්න පටන් ගත්තා. ඒ එක්කම යගුලියක් බඩ ඇතුලෙ කරකවනවා වගේ දැනෙන්න උනා. තව ටික වෙලාවක් යද්දි බඩ ඇතුලෙ කැරකිච්ච යගුලිය මහා වැසිකිලි බරක් උනා. මට ගම්බාර දෙයියෝ සිහිඋනා.

මම ෆුල් ඩම් එක දාලා බඩ අකුලා ගෙන, ඒ මහා වැසිකිලි බර මාව අතඇරලා මහ පොළවට පතිතවෙන එක නවත්තගන්න හෙන ගේම. ගේම කොච්චරද කියනවා නම් මගේ තොල කට වේලිලා, මූන සත පහ වගේ වෙලා, මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා. එක පාරටම බඩ ඇතුලෙ කැරකිච්ච යගුලිය බෝලෙ අතුරුදහන් උනා. ඒ එක්කම වැසිකිලි බරත් නැතිවෙලා ගියා. වේලිච්ච තොල් වලට යන්තමට ලේ ටිකක් ඉනුවා.

ඔය විදිහට නිදහසේ තව කිලෝ මීටරක් යන්න ඇති. ආයෙම අර යගුලිය බෝලෙ බඩ ඇතුලෙ කැරකෙන්න පටන් ගත්තා. දැන් ඒක කලින් එකට වඩා ලොකු, බර යගුලිය බෝලයක්.කලින් විදිහටම බඩ තදකරගන්න හැදුවත්, වැසිකිලි බර අඩු කරගන්න ඒක මදි කියලා මට තේරුනා. කොට සායක් ඇදපු ගෑණු ලමයෙක් පුටුවක ඉදගන්න විදිහට මාත් කකුලක් පිට කකුලක් දාගෙන, අමතර ගැම්මක් අර ගත්තා.

"මොකෝ මල්ලී ඉඩ මදිද??? ආ... මෙහාට වෙයන්. ඔහොම හිර වෙලා යන්න ඕනැය...."මට එහා පැත්තෙ හිටපු රන්ජි අයියා එහාට මෙහාට වෙලා මට ඉඩ දෙන්න හදනවා.

"ඕන්නෑ රන්ජි අයියා... මෙහෙම හොදයි." මගේ වෙලාවටද කොහේ මිනිහා වැඩිය බල කලේ නෑ.

දෙවැනි ස්ට්‍රෝක් එක පලවෙනි එකට වඩා අමාරුයි කියලා මට තේරුනේ මොන සෙල්ලන් දැම්මත්, මොන ඉරියව්ව මාරු කරත් බඩ ඇතුලෙ කැරකෙන යගුලිය බෝලෙ අඩු කරගන්න බැරි නිසා. ඒත් එහෙම කියල වැසිකිලි බරට දිනන්න දෙන්න පුලුවනෑ. ඊට වඩා හොදයි හෑන්ඩ් ෆ්‍රී සෙට් එකක් කනේ ගහගෙන රුහුණු කුමාරිට පනින එක.

මම මහා චිත්ත වේගයක් මවා ගත්තා. හිත දැඩිකරගෙන ස්ථිර අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. වැසිකිලි බර පරාජය කොට මිස වාහනයෙන් නොබසිමීයි මම මටම කියා ගත්තා. 

ඒත් යගුලිය බෝලේ මගේ වීර්යයට කින්ඩි දදා බඩ ඇතුලෙ පිනුම් ගහනවා. අන්තිමට යගුලිය බෝලෙට මගේ වීර්ය පරාද උනා. වැසිකිලි බර මාව පහුකරගෙන ඉස්සරහට ඇදෙනවා. ජීවිතේ මූණ දෙන ලොකුම සමාජ අවමානයට මූණ දෙන්න හිතාගෙන මම ඇස් දෙක පියා ගත්තා.

වටේ ඉන්න උන් නහය අකුල ගෙන, මූණ නාලු කරගෙන මාව ඈත් කරන හැටියි, මගේ අතිජාත බැචාලා මේ සීන් එක කැම්පස් එක පුරා පතුරුවන හැටියි, ඊට පස්සෙ නිවුස් එක ගමේ උන් දැනගෙන ගන්න හැටියි, ඒ දැනගෙන ගමේ ඉන්න ඥාති සමූහයා "තෝ අපේ හත්මුතු පරම්පරාවෙම දැලි ගෑවා යකෝ..." කියල ආකෝශ පරිබ්‍රහ කරන හැටියි මට මැවිලා පෙනුනා.

එතකොටම තමයි බඩ ඇතුලෙ බඩ පිනුම් ගහපු යගුලිය බෝලෙ වැසිකිලි බරත් අරගෙන අන්තරස්දාන උනේ.මම එක හුස්මට දෙවිවරු තිස්තුන් කෝටියටම පින් දීගෙන දීගෙන ගියා.

හැබැයි මට එක දෙයක් තක්කෙටම තේරුණා. කාට කොහොම පින් දුන්නත්, යගුලිය බෝලෙ තුන්වෙනි ස්ට්‍රෝක් එකෙන් බේරෙන්න නම් සක්කරයගෙ පුතා වයිමා ආවත් බෑ කියන එක.

අපි ඒ වෙනකොට උදේ කෑම කන තැනට කිට්ටු කරලයි හිටියෙ. ඒක තප්පර කටුවත් එක්ක තිබුන රේස් එකක්. ගෙවෙන හැම තත්පරයකම කෑම කන තැනට අඩියක් හරි ලන් වෙනවා. හැබැයි ඊලගට එන හැම තත්පරයකම ඒ මාරාන්තික ස්ට්‍රෝක් එක එන්න පුලුවන්.

කොහොම හරි අපේ කෲ කැබ් එක අපි කෑම කන තැනට ආවා. ස්ට්‍රෝක් එක තවම නෑ. මම අනිත් අයට බහින්න දීල, අන්තිමට බහින්න හරි බරි ගැහුනා. මෙච්චර වෙලා ආපු ඉරියව්ව එකපාරටම මාරු උන නිසාද මන්දා, හැන්ගිලා හිටපු යගුලිය බෝලෙ වහාම සක්‍රීය උනා. මහ අන්ත්‍ර, කුඩා අන්ත්‍ර, අග්නාශය, පිත්තාශය එකී මෙකී නොකී සියලූම අවයව තලා පෙලාගෙන යගුලිය බෝලෙ කැරකෙන්න ගත්තා. කෑම කාල බොන්න ගෙනාපු ලීටර එක හමාරෙ වතුර බෝතලෙත් අරගෙන මම කැබ් එකෙන් එලියට පැන්නා. 

කැබ් එකේ ඉදන් අඩි සීයක් විතර ඈතින් තිබුන කැලෑ කුට්ටියට මම ගියපු හැටි අදටත් මට මතක නෑ. අඩු ගනනෙ, ඒ අඩි සීය ඇවිද්දද, නැත්තම් බඩ ගෑවද, ඒත් නැත්තම් දිව්වද කියල වත් මට කල්පනාවක් නෑ. කොහොම හරි ජීවිතේ පලවෙනි වතාවට එළිමහන් පරිසරයක එළි බැස්සෙ ඒ කැලෑ කුට්ටියෙදි. මගෙයි මගෙ හත්මුතු පරම්පරාවෙමයි නම්බුව බේරල දුන්න ඒ කැලෑ කුට්ටියට අදටත් මම ණය ගැතියි.

අදාල කාර්යය නිම උනාට පස්සෙ, ටොන්කිරිඤ්ඤ බ්‍රෑන්ඩ් ටොයිලට් පේපර්ස් වලින් පශ්චාත් ප්‍රදේශය පිහිද ගෙන, මදිපාඩුවට බෝතල් වතුරෙනුත් සෝද ගෙන මම ආපහු අපේ කට්ටිය ඉන්න තැනට ආවා.

"කොහෙද හු#&% යන්නෙ. මම මේ කාල ඉවර වෙලා හතර අතේ දුවනවා වතුර බෝතලේ හොය හොයා...." රන්ජි අයියා පැනපු ගමන් මගේ අතේ තිබුන වතුර බෝතලේ උදුරගෙන, ඉතුරු වෙලා තිබුන වතුර ටික බීගෙන බීගෙන ගියා.



ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.

Saturday, April 16, 2016

බොම්බයි මොටයි


ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියට මා ගොඩවූයේ සෑහෙන කලකට පසුවය. වෙනදා සතියකට වරක්, දෙවරක් හෝ ඊටත් කීපවරක් තැපැල් දුම්රියේ මා යන ගමන දැන් දැන් අඩුවී තිබේ. උදෑසනට දකුණු කලුතරින් ආරම්භවී මීගමුව බලා ඇදෙන දුම්රිය, හවස් වරුවේ අතිරේක ගමන් වාරයක් ලෙසින්, කොලඹ කොටුවෙන් නැවත දකුණු කලුතර බලා  ගමන් අරබන නිසා, වෙනදා තැපැල් දුම්රියේ ගමන් ගත් බෝහෝ පිරිසක් දැන් එහි ගමන් ගන්නේ නැත. කොටුවෙන් පිටත් වූ සැනෙන් එක පිම්මේ මොරටුව බලා දිවයන රාත්‍රී තැපෑල, මොරටුවේදී ලීබඩු පැටවීමටත්, තැපැල් මලු බෑමටත් බොහෝ වේලාවක් කා දමයි. විනාඩි විස්සකට, තිහකට පසු යාන්තමින් මොරටුවෙන් පිටත් උවත්, නැවතත් පානදුර දුම්රිය ස්ථානයේද එපමණම කාලයක් ගෙවා දමයි. 

දිනපතා කොළඹ ගමන් ගන්නා කාර්යාල සේවකයෙකුට විශේෂයෙන්ම පසුදා උදෑසන නැවතත් කොළඹ ආ යුතු අයෙකුට, තැපැල් දුම් රියේ මෙකී රස්තියාදුකාර ගමන මහත් වදයකි. එනිසාම අම්බලන්ගොඩ, හික්කඩුව මෙන්ම බොහෝවිට ගාලු යන්නවුන් පවා රාත්‍රී තැපෑල මගහැර "දකුණු කලුතර" දුම්රියෙන් කලුතරට පැමිණ ඉන්පසු දුරගමන් සේවා බස් රථයකින් ගමනේ ඉතිරිය ගෙවා දැමීමට හුරුවී සිටිති. මා ද ඉහතකී "දුම්රිය-බස්" දෙමුහුන් ක්‍රමයට හුරුවූයේ සුන්දර තැපෑලේ රසවත් රස්තියාදුව තවදුරටත් උහුලාගත නොහැකිවූ විටය. 

මා කොටුව දුම්රියපලට ලගාවන විට දකුණු කලුතර දුම්රිය පිටත්ව ගොසින්ය. රත්‍රී තැපෑල පස්වන වේදිකාවේ ගාල් කර ඇති අතර, කාකි කලිසන් ඇදගත් දුම්රිය කම්කරුවෝ තැපැල් සේවකයන් හා එක්ව පෝර උරවල දමා සීල් කල තැපැල් මලු දුම්රිය තුල අඩුක් කරති. 

රාත්‍රී තැපෑලේ දෙවන පන්තිය මැදිරිය ඇත්තේ තැපැල් මැදිරියට යාබදවය. ඒවනවිටත් බඩු පැටවීම නිමාවී තිබූ අතර තැපැල් මලු පැටවීමද අවසන් වීමට ආසන්න වී තිබින. වෙනදා පිටත්වෙන වේලාව ආසන්න වනවිට, අතොරක් නැතිව මැදිරි පිරී යතත් මා දුම්රියට ගොඩවන විටත්, දෙවන පන්තියේ ආසන කීපයක්ම හිස්වී තිබින. ආසනයට බරවූ මම, දෙපා සපත්තු යුගලෙන් මුදවා ඉදිරියට දිගා කලෙමි. සිවිලිමෙහි සවිලක පන්කාවේ තල අමුතුම හඩක් නන්වමින් අධිවේගයෙන් පරිභමණය වෙයි. මැදිරියේ සිවිලිම දෙස හිස් බැල්මෙන් මද වේලාවක් බලා සිටි මම, දවසේ දාහය රාත්‍රී තැපෑලේ මැදිරියට මුදාහලමින් දෑස් අඩවන් කලෙමි. 

යාබද තැපැල් මැදිරියේ යකඩ දොරවල් තදින් එකට ගැටෙන හඩත්,ඉබි යතුරු අගුල් වැටෙන හඩත් ඇසුනේ එකවිටය. ඉන්පසු ඇසුනේ දුම් රිය නියාමක තැනගේ තියුනු විසිල් හඩයි. සියුම් ගැස්මක් සමගින් රාත්‍රී තැපෑල, පස්වන වේදිකාව කොළඹ කොටුවේ තනිකරමින්, සෙමින් ඉදිරියට ඇදෙන්ට වින. මම අඩවන් වූ දෙනෙත් පියා ගතිමි. බේරේ වැවේ පල් ගද නාස්පුඩු කාරමින් දැනෙනවා යන්තමට මට මතකය.

"පළවන වේදිකාවට දැන් ලගාවූ රාත්‍රී තැපැල් දුම් රිය තව ස්වල්ප වේලාවකින් ගාල්ල බලා පිටත් වනවා ඇත. එම දුම් රිය නවත්වන්නේ....." ගොරහැඩි ස්පීකර් හඩින් මම අවදි උනෙමි.

විවරවූ දෑස් පලමුව සමපාත වූයේ සිවිලිමේ කැරකෙන පන්කාව වෙතය. එය පෙර පරිදිම වේගයෙන් නොනැවතී කරකැවේ. කොටුවෙන් පිටත් වන විට යබද අසුනේ උන් මිනිසාද බැස ගොසිනි. ආසන තුන හතරක් හැරුනු කොට මැදිරියේ සෙසු ආසන සියල්ලම පාහේ හිස්ව ගොසිනි. දෙපා යුගල නැවත සපත්තු කූට්ටම තුලට දමා ගත් මම, නිදිගැට කඩමින් දුම් රියෙන් බැස වේදිකාවට ගොඩ උනෙමි. වේදිකාවද මැදිරිය මෙන්ම පාලුවට ගොසිනි. ඉදහිට අයෙක් වේදිකාවට බැස දුම් රිය පිටත් වන්නේදැයි පරීක්ෂා කොට නැවත දුම් රියට ගොඩ වෙයි. තවමත් සේවකයෝ තැපැල් මලු තෝරති. හාන්සි පුටු යුගලක් ඔසවාගත් තවත් දෙදෙනෙක් ඒවා අඩුක් කල යුතු තැන් ගැන දුම් රිය නියාමකගෙන් විමසයි. මම අසල වූ ජල කරාමය වෙත ඇදුනෙමි. වතුර දෝතක් මුහුණට දමාගත් මම, තවත් දෝතක් බීගෙන බීගෙන ගියෙමි. සීනු නාදය ඇසුනේ එවිටම වාගේය.

ඔව් ඒ එම සීනු නාදයමය. 

මීට පෙර රාත්‍රී තැපෑලේදීමත් ඇසුනු, අප කුඩා කල ඇසී, මතකයේ පැලපදියම්වූ හොදින් හුරුපුරුදු ඒ සීනු නාදය. 

අප කුඩා කල "චූන් පාන්" තිබුනේ නැත. එහෙත් අද ඕනෑම අත දරුවකු උවද "චූන් පාන්" ගැන දනී. "චූන් පාන්" කරුවන් කිසිදිනක "චූන් පාන් - චූන් පාන්" හෝ "පාන් - පාන්" හෝ වෙනයම් නමක් හෝ කියමින් තම අලවිය සිදුකරනවා මා නම් මෙතෙක් දැක නැත. එහෙත් ගව්වක් දෙකක් දුර තියා උවද "චූන් පාන්" කරුවකු එන හඩ නොවැරදීම හදුනාගත හැක. ඒ ඔහුගේ ආවේණික සන්ගීත රාවයෙනි. මේ "සීනු නාදයද" එවැන්නකි. අසූව දශකයේ කෙලවරට වන්නට ඉපැදුණු අප, ඒ විසල් "සීනු නාදය" ඇසූ අවසන් පරපුර විය යුතුය. මා මදක් ඉස්සී මැදිරිය දෙස බැලිමි. මගේ අනුමානය හරියටම හරිය. අතකින් සීනුවත්, අතකින් "බොම්බයි මොටයි" කෑනයත් එල්ලාගත් කැහැටු මරක්කල මිනිසා මැදිරි දොර වෙත පැමිණියේය.

මරක්කල මිනිසා අනාරාධිතවම දුම්රිය පා පුඅරුව මත ඉද ගත්තේය. වමතේ මාපටගිල්ලෙන් අල්ලට සිරකරගත් කුඩා සීනුව නොනැවතී නින්නාද දෙයි. හේ බොම්බයි මොටයි ඇසිරූ වානේ කෑන් එක අසලින් තබා හරි බරි ගැසුනේය. මට තවත් ඉවසන්නට බැරිය.
 
"කීයද එකක්?"
 
"විස්සයි" මරක්කල මිනිසා මාදෙස නොබලාම, වානේ කෑන් එක විවර කොට, බොම්බයි මොටයි සකස් කිරීමට පටන් ගත්තේය.
 
"උදේම මට්ටක්කුලි ගියා දැන් තමා යෙන්නෙ. බේරුවලට යනකම්ම බිස්නස් තමා....." හෙතෙම පපඩමක් වැනි රෝස පැහැ යමක් ගෙන එය හරිමැදින් නවා දෙකට කැඩුවේය. ඉන්පසු ගෑරුප්පුවක් ගෙන වානේ කෑනය තුලට අතදමා බොම්බයි මොටයි අහුරු කීපයක් ගෙන "පපඩම්" පලු දෙක මැද්දට තබා මාවෙත දිගු කලේය. මම විස්සේ කොලයක් ඔහුට දිගු කලෙමි.

**          **          **          **          **          **          **          **

මා කුඩා කල සීනු නාදය ඇසෙත්ම  විදුලි වේගයෙන් වහ වහා ගේට්ටුව වෙත දිව යන්නේ බොම්බයි මොටයි කරු බවට සැක හැර දැනගැනීමටය. ඉන්පසු ආපසු දිව යන්නේ අම්මා සොයාගෙනය.
 
"අම්මේ.... මොම්බයි මොටයි යනවා......"
"ඉතින් ???" අම්මාට වගක් වත් නැත.
"අනේ අම්මෙ අරන් දෙන්නකෝ...." අම්මා නෑසූ කන් ඇතිව සුපුරුදු වැඩෙහිම නිරතවෙයි.
"අනේ අම්මේ....." මමද නොපසුබස්නා වීර්යයයෙන් ඇයට ඇවිටිලි කරමි.
"මොන වදයක්ද දරුවො. ඕවා කන්න හොද නෑ. කොහේ හදන දහ ජරාවක්ද දන්නෙ නෑ..."
"අනේ... ඔය හැමෝම කන්නෙ..."
"මල ජරාව... තනිකරම සැකරින් ගොඩක්...." අපේ අම්මාට අනුව බොම්බයි මොටයි යනු මාරාන්තික වසකි.
"හැමදාම කන්නෙ නෑනෙ අම්මෙ. අදට විතරක්......

මෙවැනි දෙබස් කණ්ඩ කීපයක් අම්මාත් මාත් අතර තවදුරටත් හුවමරු වන අතර, මාගේ ඇවටිල්ල අවසානයේ ඵල දරයි. එසේ ඵල නොදරන සෙයක් පෙන්වයි නම් මම කරන්නේ ටීක් බෝල සයිස් කදුලු බින්දු දෙකක් ඇස් දෙකේ පුරව ගෙන අම්මා දිහා බැලීමයි. ඇයට ඒ බැල්ම මගහැර යානොහැකි බව මම හොදින්ම දැන සිටියෙමි.
 
"ආ.... ගිහින් අරගන්නවා... හැබැයි බඩරිදෙනවා කියල එහෙම මට ඇහෙන්න කියන්නෙ එහෙම නෑ......
අම්මා රුපියලක් හෝ දෙකක් මා අත මිටමොලවයි. ඒ රුපියල් තුනයි පනහට පාන් ගෙඩිය කෑ අප ළමා කාලයයි. එනිසා රුපියලක් හෝ දෙකක් යනු බොම්බයි මොටයි ඇති පදම් කෑහැකි මුදලකි.

රුපියලත් අල්ලේ ගුලිකරගෙන මා නැවත දිව යන්නේ ගේට්ටුව වෙතයි. එවිට බොම්බයි මොටයි කරු අපේ නිවස පසුකරගෙන ගොස් හමාරය. එහෙත් මාදු ගගෙන් වටවී ඇති අපේ ගමට ඇත්තේ එක් පාරකි. එනිසා ගමට එන අයෙකු ආපසු යායුත්තේද ආමගින්මය. එසේත් නැතහොත් ගගට බැස පීනාගෙනය. මා බොම්බයි මොටයි කරු එනතුරු ගේට්ටුවේ එල්ලී පාර බලාගෙන සිටීමි. 

මේ මිනිහා ගගට බැහැල පීනලවත් ගියද?????? අතකින් බොම්බයි මොටයි කූඩයත්, අනිත් අතින් සීනුවත් එල්ලාගෙන ගගේ පීනන මිනිසෙකු මා මනසේ ඇදේ.

නැත්තන් බොම්බයි මොටයි ඉවර වෙලාවත්ද???? මනසේ ඇදෙන්නේ දහසකුත් එකක් ප්‍රශ්ණය.
කුතුහලය නිමවමින් අවසානයේ බොම්බයි මොටයිකරු ඈතින් මතුවේ.
පෙරමග ගමන් ගොස් හෙතෙම පිලිගන්නා මා, කඩදාසි කැබලි දෙකකට මැදිකරදුන් බොම්බයි මොටයි ටිකෙන් ටික රස බලයි.

ඒ රස අදටත් මාගේ රසනහර තුල නොමැකෙන සේ සිරවී ඇත. මරක්කල මිනිසාගේ බොම්බයි මොටයි හා මීට දශක දෙකකට, දෙක හමාරකට ඉහතදී පොඩි එකා සන්දියේ කෑ බොම්බයි මොටයි අතර රසයෙහි කිසිදු වෙනසක් නැත. දශක ගනනක් ගත වූවත් බොම්බයි මොටයි පරිණාමය වී නැත. 

දුම්රිය නියාමකගේ විසිල් හඩින් මාගේ සිoහාවලෝකනය නිමවිය. සිහින් හූ හඩක් නැගූ තැපැල් දුම්රිය සෙමින් ඉදිරියට ඇදෙන්ට වින. අවසාන මොම්බයි මොටයි කෑල්ලත් කටට දමාගත් මම වානේ පොල්ලට බරදී, පා පුවරුවට ගොඩ උනෙමි.


ප.ලි. : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතැනින්.

Sunday, August 25, 2013

දෙබිඩියෝ



රාත්‍රී හතයි තිහට කොළඹ කො‍ටුවෙන් පිටත් වීමට නියමිතව තිබුනද, වව්නියාවෙන් පැමිණින "යාල් දේවිය" කො‍ටුවේ හත්වන වේදිකාවට ගාල්වන තුරු, ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය කො‍ටුවෙන් නික්මෙන්නේ නැත. පැය හයක, හතක ධාවන කාලයක් ඇති "යාල්දේවිය", දුම්රිය කාලසටහනේ දැක්වෙන අවසාන මිනිත්තුවට කොළඹ කො‍ටුවට සේන්දු වේ යැයි සිතීම සැබවින්ම විහිලුවකි. ලංකා දුම්රිය සේවය තම සේවාදායකයන්ට කිසිදිනෙක විහිලු කරන්නේ නැත. එනිසාම "යාල් දේවිය" කො‍ටුවේ වේදිකාගත වූයේ සුපුරුදු පරිදි අඩ පැයක් පමා වීමෙන් පසුවය.

ගමනාරම්භයේදීම "යාල් දේවිය" නිසා සිදුවූ පමාව, තැපැල් දුම්රියට අල්ලා ගත නොහැකි හැඩකි. එය දකුණු කලුතර දුම්රිය ස්ථානයේ නවතා, තැපැල් මලු සහ ගමන් මලු බෑම අරඹන විට රාත්‍රී අටද පසුවී තිබින. මම නැවත අත් ඔරලෝසුව දෙස බැලීමි. දුම්රිය මැදිරියේ වූ අඩ එළිය ඔරලෝසු මුහුනතේ ක‍ටු පිහිටීම බලා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නැත. ජංගම දුරකථනයේ අංක පුවරුවෙන් අහඹු ලෙස අංකයක් එඹූ මම, ඉන් දුරකථන තිරය අවදි කොට වේලාව බලා ගතිමි.

කො‍ටුවෙන් මැදිරි පිරී ඉතිරී යන තරමට මගීන් සිටියත් දකුණු කලුතර පසු වන විට දුම්රියේ මැදිරි, හිමිදිරිය ලංවූ මලගෙදරක මෙන් පාලුවට යයි. දුම්රිය මැදිරියේ පාලු කපන කිහිපදෙනාද, වාඩිවූ තැන්වලම දිග ඇදී නිදිකිරයි. මා උන් ආසනයේවත්, ඊට යාබදවත් කිසිදු මගියෙකු නැත. මම විඩාපත් දෙපා, සපත්තු යුගලෙන් මුදවා, ඉදිරියෙන්වූ ආසනය මත තැබුවෙමි. මෙතෙක්වේලා බත්කෙන්ඩ තෙරපමින් රිදුම් දුන් වේදනාව, ක්‍රමක් ක්‍රමයෙන් පාදවල ඇගිලි තුඩු අතරින් අවකාශයට මුදා හැරෙන්නට වින. 

"අ.... වඩේ... වඩේ... විස්සට පහයි වඩේ... " පාලු දුම්රියේ වානේ ඇතිල්ලෙන අජීවී හඩ පරයමින් බැ‍රැන්ඩි වූ මිනිස් කට හඩක් පාවී ආවේය. දුම්රිය ගමනකදී මා අතිශයෙන්ම ප්‍රිය කරන්නේ, මෙලෙස හිටි හැටියේම සෙනග අතරින් මතුවන වඩේ කරුවන්ටය. ගෙදර හදන වඩේ වලත්, සයිවර් කඩ වල ඇති වඩේ වලත්, මෙවැනි ජංගම වඩේ වලත් ඇත්තේ එකිනෙකට ආවේනික රසයන්ය. ඔය තුන් කට්‍ටුව අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ පසුව කී ජංගම වඩේ වලටය. 

"කීයද වඩේ??" වඩයක මිල දැන දැනත්, මා පසුකර යන වඩේකරුගෙන් මා විමසුවේ ඔහුව නවතා ගන්නා අටියෙනි.

"විස්සට පහයි..." ඔහු වේවැල් කූඩය යාබද අසුනේ තබා, කඩදාසි කවරයක් විවර කරමින් මා දෙස බැලුවේය. වඩයක විනිමය අනුපාතය වෙනස් වන්නේ ඩොලරයකටත් වඩා වේගයෙන් යැයි මට සිතින. අප කුඩා කල වඩයක විකුණුම් මිල දැක්වූයේ "දහයට පහක්" ලෙසිනි. දැන් එය, "විස්සට පහකි". රුපියල කඩා වැටී ඇත. "කබ්රාල්" මහතා මොනවා කීවත්, වඩේකරු කියන්නේ එයයි.

මා දුන් විස්සේ කොලදෙක දෙකට නවා උඩ සාක්කුවේ දමා ගත් වඩේකරු, දැලි කුණු බැදී අපිරිසිදු වූ අතැගිලි වලින් වඩේ පෙට්ටිය පීරමින්, වඩේ දහයක් සොයා කඩදාසි කවරයට දැමුවේය. අනතුරුව බදින ලද මිරිස් කරල් දෙකකුත්, හීනියට කැපූ බොබ්බයි ළූණු පෙති කිහිපයකුත් ඊට එක්කොට, මා අත තැබුවේය.

පිරිසිදුකම පිලිබද උගත් හර පද්දතීන් මා සහමුලින්ම අමතක කර දැමුවේ, විශ්ව විද්‍යාල පලමු වසර තුලදීය. ඊට ප්‍රථම ගෙදරින් පිට, කඩවල කෑම ප්‍රතික්ශේප කිරීමේ මාන්නයක් මාගේ උදරයට තිබුනද, වර්ථමානයේ "ගලුයි - තාරයි" දැමුවද, එය බැහැයි නොකියා පත්තියම් කර ගනී. එනිසා වඩේ කරුගේ අපිරිසිදු ඇගිලි පිලිබදව වත්, හන් ගැහුන වඩේ පිලිබදව වත් මා තුල අපුලක් ඇති වූයේ නැත.


වඩේ කා අවසන් වන විට දුම්රිය සිටියේ බෙන්තර ගග පනිමිනි. අවසාන වඩයත් කා, වඩේ දමා දුන් කඩදාසි කවරය ගුලි කොට කවුලුවෙන් පිටතට විසිකල මා වාඩිවී උන් ආසනයෙන් නැගිට දුම්රිය පා පුවරුව වෙත ගියෙමි. 

පාපුවරුවේ දෙපසින් සවිකල යකඩ බාර් දෙක දෑතින්ම අල්ලාගත් මා, දෙපා දුම්රිය මැදිරිය තුල රදවාගෙන, ඉනෙන් උඩ කද කොටස මැදිරියෙන් පිටතට දැමුවෙමි. සීතල කරිජ්ජ සුළං ධාරාවෝ මාගේ මුහුන කපාගෙන පසුපසට ඇදීගෙන යයි. අදුරු වටපිටාවේ තැනින් තැන කණාමැදිරියන් සේ පෙනෙන්නේ ගෙවල දැල්වූ විදුලි පහන් විය යුතුය. සංචාරක හෝටලයක් පසුකරද්දී ඉදහිට ඇසෙන ඝෝෂා කාරී සංගීත හඩ හැරුනු කොට, දුම්රියේ වානේ ඇතිල්ලෙන හඩ පරයන්නට සමත් වෙනත් කිසිවක් නැතිසෙයකි. මම පාපුවරුවේ එක පසකට හේත්තු වී, දෑස් අඩක් පියාගෙන වේගයෙන් ඇදීයන කරිජ්ජ සුළං ධාරා විදින්ට පටන් ගතිමි. ඉදිරියේවූ මැදිරියක, මගියෙකු උරන දුම්වැටියකින් ගලා එන දුම්කොළ පිලිස්සෙන සුවද නාස් පුඩු කිතිකවමින් මා ප්‍රබෝදමත් කලේය.

"ඇයි රත්තරං ඔයා මට මෙහෙම කරන්නේ ?? ඇයි ඔයා මගේ කෝල් වලට ආන්සර් කරන්නෙ නැත්තෙ ??? බලන්න ඊයෙ පෙරේදා මම කෝල් කීයක් දුන්නද ?? " පා පුවරුවට ඉදිරියෙන් කවුලුව ආසන්නයේ ආසනයක හුන් පිරිමි අයෙකු තාලයට තොදොල් වෙමින් දුරකතන සංවාදයක් අරඹන අයුරු මට යන්තමට ඇසින. දුම්රියේ හඩ නිසා දුරකතනයේ අනෙක් අන්තයෙන් මතුවන පිලිතුරු පිලිබද කිසිදු ඉගියක් මට නොලැබේ.

"ඔයාට පිස්සුද රත්තරං.... මම ඔයාට බොරු කරනවද ??? ඇයි ඔයා එක එකා කියන ඒවා විශ්වාස කරන්නෙ ?? " කතා නායකයාගේ හඩ නැවත මතුවිය. වඩා සුපැහැදිලි ශ්‍රවණ තත්වයක් සදහා මම කවුලුව ආසන්නයට තවත් ලං උනෙමි. 

"ඔයාට තේරෙන්නෙ නැද්ද අපි දෙන්නා සංසාරෙ පුරාවටම එකට එනවා කියලා. ඔයාව දැකපු මුල්ම දවසෙ මට හිතුනෙ එහෙමයි..... එහෙවු මම වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙයි කියලා ඔයා හිතන්නෙ කොහොමද?? මට නම් හිතා ගන්නත් බෑ.... " ඉන්පසු නිහැඩියාවකි. දුරකතනයේ අනෙක් අන්තයෙන් පිලිතුරු නික්මෙනවා විය යුතුය.

"ඔයා මට සලකන්නෙ ඔහොම නම්, මාව විශ්වාස කරන්නෙ නැත්තම්, මම මේ කෝච්චියෙන් පනිනවා... පනිනවා... පනිනවා... සත්තයි... හෙලෝ... හෙලෝ... ?? " ඒ සමගම දුරකතන සංවාදය නිමාවන්නට ඇත. 

මෙතෙක් වේලා සැහැල්ලුවෙන් උන් මම තැති ගැනිමි. කතා නායකයා දුම්රියෙන් පනිනවා නම් ඔහුට ඇති ආසන්නම දොර‍ටුව මෙයයි. එනම් මා සිටිනා දොර‍ටුවයි. එසේ උවහොත් ඔහු අල්ලා ගන්න අයුරු පිලිබදව මම කල්පනා කලෙමි. කතා නායකයා හැඩි දැඩි අයෙකු නම් ඔහු සමග පොර බැදිය නොහැක. කෙට්‍ටු අයෙකු නම් ගැටලුවක් මතු නොවේ. කෙසේ වෙතත් මාරාවේශයෙන් සිටිනා අයෙකු හා පොර බැදීමද නුවණට හුරු නැත. ක්ෂනයෙන් දහසක් දේ මගේ මනසේ පිරී ගියේය. 

නැත ... කලයුතු හොදම දේ ඔහු පනින්න පැමිනේ නම් හදිසි දම්වැල ඇද දුම්රිය නැවැත්වීමයි. එවිටම වාගේ කතා නායකයා උන් මැදිරියේ සිට අයෙකු එන හඩ ඇසින. නිසැකවම මේ ඔහු විය යුතුය. ඔහු එන්නේ පනින්න විය යුතුය. මම හදිසි දම්වැල දෙසට අත දිගුකොට පෙර සූදානමින් උන්නෙමි. පුදුමයෙකි... ඔහු මා පසුකර ගියේය. ඇතැම්විට දොර‍ටුවේ මා සිටිනා බව දැක මා මගහැර වෙනත් දොර‍ටුවකට ඔහු යනවා විය යුතුය. මම ඔහුට යන්නට දී ඔහුට නොදැනෙන සේ ඔහු පසු පසින් ලුහුබැදීමි. ඔහු තවත් දුම්රිය දොර‍ටුවක් පසු කලේය. තවත් එකක් පසු කලේය. නමුත් පනින පාටක් තබා, දොර‍ටුවක් අසල නවතින පාටක් වත් නැත. තවත් දොර‍ටුවක් පසුකල හේ වෙනත් මැදිරියකට ඇතුලු විය.

"කොහෙද පැටියො ගියේ ??? මම මේ බලන්න යන්න හැදුවෙ.... " ඉදිරියෙන් වූ ආසනයකින් දගකාර ගැහැණු කට හඩක් නික්මින. කතා නායකයා එම ආසනය  අසල නැවතී එහි වාඩිවූවේය.

"මෙතන ටොයිලට් එකේ වතුර නෑ අනේ... මම එහා පෙට්ටියෙ එකට ගියා..." කතානායකයා තම වම් අත, යාබද අසුනේ වූ යුවතියගේ කරවටා දමා ගනිමින් සෙමෙන් මිමිනුවේය.

රියදුරා දුම්රිය, දුම්රිය වේදිකාවක නැවැත්වුවහොත් විනා, කතා නායකයා නම් දුම්රියෙන් පිටට අඩියක් හෝ නොතබන බව සක්සුදක් සේ පැහැදුලි වූයෙන්, මම ඔවුන් දෙදෙනා පසුකර ගියෙමි.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


Saturday, August 10, 2013

සුභ උපන් දිනක් වේවා !!



//කැත්තෙ, උදැල්ලෙ වැඩ හුරු නැති ඉලන්දාරියෙක් හිතුමතේට කොටපු මුල්ම හේන තමයි "නවදැලි හේන". වල් කොටල, සුද්ද බුද්ද කරල ගත්තට මොකද, ලත් තැනම ලොප් වෙයිද, කියල කෝඩුකාර හේන් කාරයට හීනියට වගේ දුකකුත් තියෙනව.//

මීට හරියටම අවුරුද්දකට කලින් "නවදැලිහේන" මේ සයිබර් අවකාශයේ පහල උනේ ඔන්න ඔහොම..... 

අද තමා "නවදැලිහේන", තමන්ගෙ පලවෙනි උපන්දිනේ සමරන්නෙ. පලවෙනි උපන්දිනේ සමරන අද දවස වෙනකොට හේනෙ පෝස්ට් පනහක් පලවෙලා. දඩුවැට පැනලා හේනෙ පැල පදියං වෙච්චි ගාන එකසිය නවයක්. 

සිංහල බ්ලොග් අවකාශෙට මම කඩන් පාත් උනේ කොහොමද කියලා මටවත් හරියටම මතකයක් නෑ. කොහොම හරි ඒ මීට අවුරුදු එකහමාරකට දෙකකට විතර කලින්. අවුරුද්දක් විතර කිසිම පිලිවෙලක් නැතුව එහෙන් මෙහෙන් අහුවෙන බ්ලොග් පෝස්ට් කියව කියවා අයාලේ ගියපු මට, බ්ලොග් එකක් කරන්න ඕන කියලා අදහස ආවෙත් අහම්බෙන්මයි. කොහොමටත්, මොනවා හරි ලියලා, කාට හරි කියවන්න දීලා, ලැබෙන ප්‍රතිචාර වලින් අහිංසක සතුටක් හම්බ කරගන්න සිරිතක් පුංචි කාලෙ ඉදලම මට තිබුනා. "නවදැලිහේන" කියන්නෙත් පුංචි කාලෙ ඒ විදිහට තියපු පියවර වලම තවත් එක දිගුවක්. 

ගොඩක් දෙනෙක් වගේම මමත් "නවදැලිහේන"ට ‍තෝරගත්තෙ බොහොම ජනප්‍රිය තේමාවක්. ඒ තමා "ජීවන අත්දැකීම්". ඒවායිනුත් මතකයේ ‍රැදුනු, කියෙව්වම යමක් ඉතිරිවෙන අත්දැකීම්. ජීවිතයට කොච්චර පාඩම් කියල දුන්නත්, බාහිර කෙනෙක්ට ඒක කියෙව්වම "පුස්ස බින්දා වගේ" හැගීමක් නොඑන අත්දැකීම්. 

ඉරිදා දිවයින පත්තරේ, "මීවිත" ටැබ්ලොයිඩයේ පලවෙච්ච "තානායම්පල්ලාගේ සටහන" තමයි මම දැකපු විශිෂ්ඨතම ජීවන අත්දැකීම් එකතුව. සරල සිද්දියක් උනත් රසවත් කරලා, කෙටි කතාවක වගේ නොහිතන අවසානයක් කරා ඇදගෙන යෑමේ අපූරු හැකියාවක් "තානායම් පල්ලාගෙ සටහන්"වල තිබුනා. මම "නවදැලිහේන"ට කොපි කරෙත් ඒ ආකෘතියම තමයි. සමහර ජීවන අත්දැකීම්, විදපු මට "අපූරු" උනාට, කියවන ඕගොල්ලන්ට එහෙම නොවෙන්න පුලුවන්. ඒක නිසා මූලික හරය මරන්නෙ නැතුව, පොඩි පොඩි ආලවට්ටන් කෑලි එකතු කරන එක ගොඩක් පෝස්ට් වලදි මම කරා. නිකම්ම හුණුයි, පුවකුයි එක්ක බුලත් විටක් කනවට වඩා කරදමුංගු, කරාබු නැටි, වසා වාසි, පොල් කෑලි එක්ක සාර විටත් කනකොට දැනෙන රසේ වෙනස අහසට පොලව වගේ. මට ඕන උනේ අන්න ඒ රසේ වෙනස ඕගොල්ලන්ට ඉස්මතුකරලා දෙන්න.

නවදැලිහේන කරගෙන යද්දි එකම විදිහෙ පෝස්ට් එක දිගට වැටෙන එක නවත්තන්න මම පොඩි පොඩි වෙනස්කම් කරා. "පාරදිගේ" ටැග් එක යටතෙ තියෙන පෝස්ට් ටික ලිව්වෙ ඒ අරමුණින්. ඒ වගේම සමහර වෙලාවට මූලික භාෂා විලාශයෙන් අපගමනය වෙලා පැරණි සිංහල රටාවට යොමු උනා. ඒ වගේ තැන්වලදි සමහර විට මම අසාර්ථක වෙන්නත් ඇති. මොකද සා/පෙළ දක්වා සිංහල හැදෑරීම හැරෙන්න වෙනත් කිසිම සාහිත්‍යමය සුදුසුකමක් මට නැති නිසා. මොනවා උනත් ඒවගේ "ටෙස්ටින්" වලින් නවදැලිහේන තවත් රසවත් වෙන්න ඇති කියලා මට හිතෙනවා.

දැන් තියෙන්නෙ "භුක්තානුමෝදනාව"..... නවදැලිහේන මේ විදිහට අවුරුද්දක් ඇදගෙන ආවෙ කියවන ඕගොල්ලොන්ගෙන් හම්බවෙච්ච ගට නිසා. හිතේ හයිය තිබුනත්, කියවන්න ඕගොල්ලො හිටියෙ නැත්තම් "නවදැලිහේන" පුරං වෙලා ගොඩක් කල්.

නවදැලිහේනෙ මුලින්ම කමෙන්ට් එකක් දැම්මෙ මගේ හිටපු රූමා, නිසංස. මුල්ම කමෙන්ට් එක වැටෙද්දි මට දැනුන සතුට, පොඩි එකෙක්ට මොන්ටිසූරියෙදි පි‍ටුව පිරෙන්න ටීචගෙන් "හරියක්" හම්බ උනම දැනෙන සතුටට දෙවැනි නෑ. ඊට පස්සෙ බ්ලොග් අවකාශෙදි මම හම්බකරගත්ත මිනිස්සු ටික, පුලු පුලුවන් විදිහට පෝස්ට් වලට කමෙන්ට් දාලා ගියා. මේ ඉන්නෙ මේ වෙද්දි කමෙන්ට් දාපු සහෘද්දයො;

ආගිය කතා ලියන හසිත , විකුම්  , Miyuruworld ලියන මියුරු , බුද්ධි  , නෙලුම් විල ලියන බින්දි , ඩ්‍රැකීගෙ අඩවිය ලියන ඩ්‍රැකී , කූඹිච්චී , AUDiOnline ලියන අසංක , චන්දනගෙ සටහන් ලියන චන්දන , මධු භාශිනී , ඡායාව ලියන ධම්මික , රතු රජරට , මාතලන් , නදුන් , උමා (දසුන්) , සහන්  , පහන්යාය ලියන සයුරි , දේශකයා , ආත්තම්මගෙ පෙට්ටගම ලියන ලොකු ජෝන් , කුරුන්ද ලියන සෙන්නා , සමකය වටේ ලියන නලීන් , වසන්තයට ආරාධනාවක් ලියන සජිත් , අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිතාන , නොහික්මුනු ඇස , දෙයියන්ගෙ රටේ ලියන ගම්ලත් , චමී4යූ , ක්සැන්ඩර්ගෙ කොලම ලියන ක්සැන්ඩර් , හිත හොද , බූරු බබා , ලිහිණි , දමිත් ශ්‍රියන්ත , දමිත් තරංග , සිහින සටහන් ලියන ඉමල්ක , සැමරුම් ලියන අයිලාෂ් , සමනළ ගීතය ලියන සමනළී , ප්‍රහාරය ලියන සුමිත් නිරිඇල්ල , සෑම් , රුවන් රොශාන් , නිර්මලා මධුෂානි , දුකා , අසංක ජයතිලක , sanjaya සිතුවිලි , හිරු නැති හෝරාව ලියන හිරු , සුරංගි අක්කා , තහනම් අඩවිය ලියන රජා , ගිම්හානි , පොඩි කුමාරිහාමි , ගාමිණී විජිතය ලියන ගාමිණී අයියා , කම්මල , ලියන්නා ලියන වෙනී , ඩූඩ් , පිස්සගෙ පලාමල්ල , මී ගොඩයා , චාන්දිගේ සිතුවිලි උයන ලියන චාන්දි , ප්‍රතිවාදියා , uwiniran , එදිනෙදා ජීවිතය ලියන නිහඩ සහන් , වර්ණ ලියන සිහින මදාරා , සිරාගෙ කාමරේ ලියන සිරා , වර්ණ ලියන දිනේශ් , සුමේධ , සමීර , එදිරි , හැලපකඩේ , මයියා , වී පොකුරෙ වීයා , රගහල ලියන තිසර , මනෝජ් , රාජ්ගෙ නවාතැන ලියන රාජ් , මාරයගෙ හෝරාව ලියන මාරයා , දමිත් ගුනවර්දන , මගේ සරම , විචාරක , Kenji@japan , සරත් ලංකාප්‍රිය , නාඩියා නාඩිරත්ත , කෝරලේ වලව්වෙ කෝරලේ මහත්තයා , මට හිතෙන හැටි ලියන itnshantha , අසරණයා , ඒ.කේ.එම් අඩවිය ලියන AKM , යසිත්ගෙ සිතුවිලි ලියන YASITH (dot) NET , රුවන් අයියා , sanjeewa mendis , යටලියන්නා හෙවත් underwriter , ලා දම් අහස ලියන රෙහානි , ඩුබායි වට්ටක්කා ලියන වරුණ , වැව් ඉස්මත්ත , මහේෂ් නිශාන්ත , ඉවාන් පවුලූෂා , නුවර කුමාරි ලියන උපේක්ෂා , නිල් මානෙල් , අරූගෙ අඩවිය , දුලාගෙ අඩවිය ලියන දුලා

මේ අතරට "ඇනෝ" ඇවිත් කමෙන්ට් දාපු පිරිසවත් මතක් කරන්න ඕන......

බ්ලොග් එකේ දකුණු පැත්තෙන් තියෙන "හේනට එකතු වූවෝ" යටතෙ මේ වෙද්දි 109 දෙනෙක් ඉන්නවා. නම් විදිහට ගත්තොත් ඒ අය මෙහෙමයි(පෝස්ට් එක දික්වෙන නිසා මුලදි කිව්ව නම් ටික මේකෙදි අඩු කරා);

කවින්ද ගයාශාන් , චමිත් කන්ඩම්බි , Desertfrog , සොමියාගේ අඩවිය ලියන සොමියා , අනන්තය , ශ්‍රිරාන් අයියා , මලිත් , මාතලන් , මනසින් දිවියට ලියන Gayani Wedage , කතන්දර , මලී සකුන්තලා , Buru , සමීගෙ පුංචි ලෝකය ලියන සමී , දේශයේ ශක්තිය ලියන දේශ් , සමනළ ගීතය , හස‍රැල් , හර්ෂණ රනසිංහ , priyan Weniwel , දිනේෂා , මදාරා , මාධව ජයරත්න , මහගෙදර මහ වෙදනා , පිණි පලස ලියන හරී , ප්‍රදී , හසිත මදුශන්ක , වාසල සටහන් ලියන චමීදේවා , නාදුනන්නියකගේ අකුරු ගෙත්තම ලියන නන්දු , සොදුරු සිත , අමිල ගුනතිලක , නයන ශ්‍රීනාත් , සිත් අහස ප්‍රාර්ථනා , තරියා අබේ , චාන්දනී , මනුර තමෙල් , චතුර ජේකෝන් , දිදුල ඩි සිල්වා , BLOG ගඩොල් , තරු අරුණ තරු , සමීර නඩුගල , අමිල , Angel Siththaravi , තාරක කල්හාර , මනෝජ් ෆනෑන්ඩු , නදී කේශා , සිසිර අමරසිංහ , රූ සිරිනි , කලිකාල , චාමි ගුරුගේ , Lokkaiya Loku , තිලංග නිහාල් මංජුල , mercy , යසිත්ගෙ සිතුවිලි , ගමේ හිතවතා , සමීර ලක්මාල් බන්ඩාර , ඉන්දික ජයලාල් , රූ සිරිනි ලියන රූ

ඒවගේම හේන කියවන නිහඩ පිරිසකුත් ඉන්න බව මම දන්නවා. පෙනෙන නොපෙනෙන ඕගොල්ලො දෙගොල්ලන්ටම නවදැලිහේනට ගට දීපු එකට මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා.

නවදැලිහේනට පොඩි ආන්තරාවක් වෙලා තිබුනා කියලා මේකත් එක්ක දිගටම එල්ලිලා හිටපු අය දන්නවා. හේනෙ පෝස්ට් අප්ඩේඩ් නොවී තියෙද්දි පෝස්ට් වලට පබ්ලිසිටිය දීපු සෙන්නා, හිරු, අටං,චන්දන වගේම ලෙඩේ හොය හොය ඒකට විසදුම් දෙන්න මහන්සි වෙච්ච ඩූඩ්, සෙන්නා, චන්දනටත් මම ස්තූති වෙන්න ඕන. ඒ වගේම අන්තිමේදි බ්ලොග් එකේ ලෙඩේ තක්කෙටම අල්ලගෙන නිට්ටාවටම සනීපවෙන්න බෙහෙත් දීපු සයිබරයේ ජීවකයා "නිහඩ සහන්" ටත් ස්තූතිවන්ත වෙනවා.


බ්ලොග් එකක් පුරා අවුරුද්දක් ලියන එක ලේසි නෑ. අනික කතරගම දෙයියන්ට වෙච්ච බාරයක් වගේ හැම සතියෙම එක පෝස්ට් එකක් ලියන එක ටිකක් විතර අමාරු වැඩක්. ඒ අපහසුතාව මැද්දෙන් ගෙවිච්ච අවුරුද්ද දිහා බැලුවම දැනෙන්නෙ පුදුමාකාර තෘප්තියක්. ඒ වගේම දැන් බ්ලොග් එකට "නවදැලිහේන" කියල කියන්නත් බෑ. මොකද "නවදැලිහේන" කියන්නෙ නැවුම් හේනකට නිසා. 

අවුරුද්දක් පුරාවට එක දිගට ගෙඩි , මල් ඵල දරාපු නිසා, දැන් "නවදැලිහේනෙ" සරු පස, ටික ටික නිසරු වේගන එනවා. අනික් අතට ඇට්ටිකුනා වෙච්ච ගෙඩි, මල් "නවදැලිහේනෙ"න් දෙන්නත් හේන්කාරයාට අදහසක් නෑ. ඒක නිසා ඉස්සරහට ගෙඩි එන සීග්‍රතාවය ටිකක් අඩුවෙන්න පුලුවන්.


අන්තිමට කියන්න තියෙන්නෙ, "‍රැදී සිටියාට ස්තූතී".................


පසු සටහන: "භුක්තානුමෝදනාවේදී" අමතක වීම් සිදුවෙලා තියෙන්න පුලුවන්. ඒ වගේ දෙයක් වෙලා නම් සමාවෙන්න ඕන.


Monday, July 29, 2013

නිවහන බලා....

වල් වැදුනු පොල් කට්ටිය අස්සෙන් බූටෑව පීරගෙන, අපි තුන්දෙනා මූද පැත්තට ඇදෙන කොට හවස හයට, හය හමාරට විතර ඇති. ඉස්සරහින්ම ගියේ "ලකියා". ඉස්කෝලෙ ගමනට සමුදීලා සෑහෙන කාලයක් උනත්, ලකියාගෙයි මගෙයි අතිජාත මිත්‍රත්වය තාමත් එහෙම්මයි. මම යෝජනාව ගෙනාපු ගමන් බැහැයි නොකියා මේ ගමන සෙට් කරන්නත් ඒ මිත්‍රත්වය ගොඩක් දුරට බලපාන්න ඇති. 

ලකියා, ලකියට පිටිපස්සෙන් කැමරාව එල්ල ගත්ත මම. ඊටත් පිටිපස්සෙන් සාංඝික දානයකට කරඩුව වඩම්මනවා වගේ බොහෝම පරිස්සමෙන් ප්ලාස්ටික් බාල්දියක් එල්ල ගත්ත හර්ෂණ.

පොල් කට්ටියට සමාන්තරව අනික් පැත්තෙන් තිබුනෙ, ගාලු පාරෙ ඉදන් මූදට වැටිච්ච තාර පාර. පොල් කට්ටිය පහුකරලා තාර පාරට වැ‍ටුන ගමන් ලකියා කතාව පටන් ගත්තා.

"පොලීසියට අහු උනොත් නම් පු‍තෝ ඉවරයි...."

"ඇයි බන්... අපිට මුන් දුන්නෙ ප්‍රනාන්දු අන්කල්නෙ. පොරගෙන් ගත්තා කිව්වම ඉවරනෙ..."  

"යකෝ... උන්ට ලයිසන් තියෙනවා. ඒත් මුන්ව එහෙ මෙහෙ අරගෙන යන්න ලයිසන් නෑ. අහුඋනොතින් එකෙකුට පන්දාහයි. බලපන් එතකොට ඔක්කොම කීයක්ද කියලා..." ලකියගෙ කතාවට, ඈත අවරගිරෙන් මතුවීගෙන එන ඉරබ‍ටු තරුව, කීප ගුණයක් වැඩි වෙලා මට පෙනුනා. බාල්දියේ ඔක්කොම දහයයි. එකට පන්දාහ ගානෙ, දහයට පනස් දාහයි. අපි තුන්දෙනාගෙන් මම ඇර අනිත් උන් දෙන්නා තාමත් මව් පියන්ගෙන් පෝෂණය වෙන උන්. ඒක නිසා දඩයක් වැදුනොත් මුලු බරම එන්නේ මගේ කරට. 

"එහෙනම් ඉක්මනට යමන්... මුන් ටික අතෑරලා එන්න..." 

තාර පාර දිගේ මූදට කිට්‍ටු වෙද්දි, මම හැමදාම ආදරය කරන කරිජ්ජ හුලග පෙර මගට ඇවිත් අපිව පිලිගත්තා. මේ දවස්වල වාරකන් නිසා මූද ටිකක් සැරයි. වෙනදට බිංතඹුර වලින් වැහිච්ච වැල්ල, ගොඩ ඉමට එනකම්ම ‍රැල්ලට හේදිලා ගිහින්. කකුලෙ තිබුන බාටා ක‍ටු දෙක රෑන පදුරක් අස්සෙ ගහපු මම, ඩෙනිම දනිහ ගාවට එනකම් නවාගෙන වැල්ලට බැස්සා. ඊට පස්සෙ තමා "නිදහස් කිරීමේ මහා මෙහෙයුම" පටන් ගත්තෙ.



හර්ෂණ උස්සගෙන ආපු බේසමේ හිටියෙ දින තුනක් වයස කැස්බෑ පැටවු......

දගලන දැගලිල්ලට බේසම නොපෙරලුනා විතරයි

ලකියගෙ ඇදුරුම් කම නිසාම, ප්‍රනාන්දු අන්කල් බැහැයි නොකියා කැස්බෑ පැටවු ටික අපිට දුන්නෙ නහයෙන් අඩ අඩා. වාරකන් කාලෙ නිසා මේ කාලෙට කැස්බො බිත්තර දාන්න ගොඩට එනවා හොරයිලු. ඒක නිසා කැස්බෑ පැටවු බොහොම හිගලු.

පොටෝ ගහ ගහ ඉන්න, මාව අතාරිනවකො මිනිහෝ....

ක‍ටුවක් තිබුනට කැස්බෑවට, ඉබ්බට වගේ ක‍ටුව ඇතුලට රිංගන්න බෑ. අනික ඉබ්බගෙ වගේ හෙමින් ගමනකුත් උන්ට නෑ. අත පය හතර උනත් ගොඩක් ලොකුයි. බේසමෙන් එලියට අරන් වැල්ලේ තිබ්බ ගමන් උන් මූද පැත්තට දුවන්න ගත්තා. ටෙස්ටින් පාරකටත් එක්ක මම, එක පැටියෙක්ව ගොඩ පැත්තට හරවලා වැල්ලෙ තියලා බැලුවා, ඌ ගොඩට යයිද කියල. මොන,,, එක තැනම U ට'ර්න් එකක් ගහපු ඌ, වෙඩිල්ල වගේ දුවන්න ගත්තෙ සුපුරුදු මූද පැත්තටමයි.



පේළියෙන් පේළිය කියන්න ඕන නෑ නෙ... පල්ලෙහා තියෙන පින්තූර කීපය, කතාවෙ ඉතුරු ටික මටත් වඩා ලස්සනට කියල දෙයි....





හෝම්.. ස්වීට් හෝම්....



ප.ලි : කැස්බෑවො බිත්තර දාන්න එන්නෙ ලෝකෙ සීමිත වෙරළ තීරයන් කීපයකට. ලංකාවෙ දකුණු වෙරළ තීරයත් (ඉදුරුව සිට කොස්ගොඩ දක්වා) ඒ වගේ වාසනාවන්ත වෙරළ තීරයක්. ඉතින් බෙන්තර ගග පැනලා දකුණේ සිරි නරබන්න එනවා නම් මේ අපූරු සම්පත බලලා, අත් විදලා යන්නත් අමතක කරන්න එපා. මේ වගේ ෆාම් එකකදි ඕන වෙලාවක විවිධ වර්ගයේ කැස්බෑවො බලන්න පුලුවන්. හැබැයි මේ වගේ කැස්බෑවෝ මූදට දාන්න නම් හැම කාලෙදිම බෑ. ජනවාරි. පෙබරවාරි වගේ මාස වලදි තමා ඒ වගේ අත් දැකීමක් ගන්න පුලුවන් වෙන්නෙ. 

Monday, July 22, 2013

හස්තය



මේ සිද්දිය, මීට අවුරුදු පහකට විතර උඩදි සිද්ද වෙච්ච එකක්. සතිඅන්ත "මවුබිම" පත්තරේ එක්ක නොමිලේ හම්බවෙන ටැබ්ලොයිඩ අතිරේකයේ තිබුනු සම්මුඛ සාකච්චාවක් කියවද්දි තමා, මේ සිද්දිය ගැන වැලලිච්ච මතකය දූවිලි ගසලා දාල උඩට ආවෙ. සම්මුඛ සාකච්චාවට මාතෘකාව වෙලා තිබුනෙ, නිරෝෂා විරාජිනී මහත්මිය ඉදිරියෙදි පවත්වන්න යන "නිරෝෂා ලයිව් ඉන් කොන්සට්" කියන ඇගේම ඒක පුද්ගල ගී ප්‍රසංගය. දැන් කියන්න යන කතාවෙ ප්‍රධාන වස්තු බීජයත් ඇයම තමයි.

මට මතක හැටියට ඒ, අපි කැම්පස් ගිහින් දෙවැනි අවුරුද්ද. මායි "‍රැටියයි" කැම්පස් කැන්ටිමේ රුපියල් දෙකේ ප්ලේන්ටියක් රසවිදින ගමන්, මොකද්දෝ බරපතල සාකච්චාවක නිරත වෙලා හිටියෙ. එකපාරටම බෝල්ට් ඇණ දාල පොලවට හයි කරලා තිබුන ෆයිබර්-ග්ලාස් පු‍ටුවෙන් බිමට පැනපු ‍රැටියා, වර්ථමාන උසස් අධ්‍යාපන ඇමතිතුමා වගේ මහ හයියෙන් තප්පුලන්න පටන් ගත්තා.

"අඩෝ අර බලපන්... අන්න අරුං අර ෂෝ එක මේ පාරත් කරනවා..." ‍රැටියගෙ දකුණු අතේ දබ‍රැගිල්ල දිවෙච්ච පැත්තට මගේ ඇස් දෙක හැරවුනේ නිකම්ම. දිරච්ච වැට ඉනි වගේ තැනින් තැන හිටගෙන ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යාවෝ තුන් හතර දෙනෙක් පහුකරගෙන ගිහින් මගේ ඇස් දෙක නතර උනේ, කැන්ටිමේ බිත්තිය අයිනෙ හේත්තු කරලා තිබුන දැන්වීම් පුවරුව ලග. "හච් කපල් පැකේජ් විශේෂ දීමනාව. සිම් දෙකම 200යි - අමතන්න.. නිරෝෂ් 078........", "විශ්ව විද්‍යාලය ආසන්නයේම, ගැහැණු ලමුන් සදහා බෝඩිම් කාමරයක්" , " ... දින ගොඩ කැන්ටිමේදී මාගේ උපැස් යුවල නැතිවිය. හමුවූ කෙනෙක් දන්වන්න" වගේ විවිධාකාර පෝස්ටර් කීපයක් අතරෙන්, ‍රැටියා මට පෙන්නන්න දගලපු පෝස්ටරේ මම අදුර ගත්තා.
"සරසවි ගී සිසිල. ... දා සුමනදාස මැද මිදුලේදී. සංවිධානය වා.වි.ශි.සං."

"සරසවි ගී සිසිල" කියන්නෙ, ප්‍රමාණ සමීක්ෂකයෝ එහෙමත් නැත්තම් හුරුපුරුදු ව්‍යවහාරික නමින් කිව්වොත් QSල, වාර්ශිකව සංවිධානය කරන ක්ලැසිකල් මියුසිකල් ෂෝ එකට. "ගී සිසිල" තමයි මම දන්න තරමින් අපේ කැම්පස් එකේ වාර්ශිකව අඛංඩව පවත්වගෙන ආපු එකම සංගීත ප්‍රසංගය. කලාවට සම්භන්ද කිසිම පීඨයක් නොතිබුන නිසා, ඔය වගේ කලා කටයුතු අපේ කැම්පස්  එකේ සෙට් වෙන්නෙ බොහෝම කලාතුරකින්. ඒක නිසා "ගී සිසිලට" කැම්පස් එකේ තිබුන තැන බොහොම ඉහලයි. අනික "ගී සිසිල" සංවිධානය උනෙත් එහෙම ආවට ගියාවට නෙවේ. දිවයිනේ ඉන්න සුපිරි ගායක ගායිකාවන්ට විතරයි "ගී සිසිල"ට ගොඩ වෙන්න ආරාධනා ලැබුනෙ. කථනය, සංගීතය සැපයීම වගේ අවශේෂ දේවල්  උනත් සිද්ධ උනේ වෘත්තීය විශිෂ්ඨයන් අතින්.

"මචං ටිකට් එකක් ගන්න ඕන.." ‍රැටියා මගේ කනට කෙදිරුවා.

"යකෝ... තව කොච්චර කල් තියේද?? අනික තව ටික දවසකින් කැන්ටිමේ ඉන්න හම්බ වෙන්නෙ නෑ, ටිකට් එකක් නොගෙන..." ඔය වගේ "ෂෝ" එකක් තියෙන කාලෙට කැන්ටිමට යනවා කියන්නෙ, රෙදි ගන්න මුස්ලිම් කඩයකට යනවා වගේ වැඩක්. 

"කෙහම්මල... වෙන ඒවා වගේ නෙවේ බන් මේක. බලපන් මේ පාර එන ආටිස්ල ටික විතරක්, වික්ටර් රත්නායක.. අමරසිරි පීරිස්.. ටී.එම්... කසුන් කල්හාර.. දැනටමත් ටිකට් ඉවර වෙලාද දන්නෑ..." 

"අපෝ ඔය සෙට් එකේ සිංදු ඕන තරම් මගේ ලැපේ ඇති. "පෙන්" එකක් අරන් වරෙන් මම දෙන්නම්..." මගේ කතාවට ‍රැටියට නහුතෙට නැග්ගා.

"අනේ පලයන් බන් යන්න... උඹට ඕනෙ නම් මම දෙන්නම්. මම උඹ වගේ "මල්" සිංදුයි, "ඝන්ඨාර" සිංදුයි අහන එකෙක් නෙවේ..." ‍රැටියා කිව්ව කතාව ගොඩක් දුරට ඇත්ත. පොර ලාංකීය සුභාවිත ගීතයට පණ ඇරල ආදරය කරපු පොරක්. ටකරං වලට තඩිබෑමේ සංගීත කලාවෙන් ඔබ්බට ගිහින්, අධ්‍යාත්මයට අමතන සංගීත කලාවක් ගැන විශ්වාස කරපු පොරක්.

කොහොම හරි පොර පහුවෙනිදම කොහෙන්දෝ මංදා ටිකට් දෙකක් උස්සගෙන ආවා. වෙස් තට්‍ටුව බදින්න ඉන්න නැට්‍ටුවා සති ගානක් මස් මාලු නොකා පේ වෙනවා වගේ,  ‍රැටියත් ප්‍රසංගෙට සති කීපයක් තියලා ටිකට් එහෙම අරගෙන, වින්දනීය හැන්දෑවට සෙට් වෙනවා.

සති ගානක් ගිහින් ‍රැටියා පෙරුම් පුර පුර උන්නු දවස ආවා. වෙනදට එකක් නෑර ලෙක්චර්ස් යන ‍රැටියා, එදා හවස තිබුන ලෙක්චර් එකටත් නොගිහින්, නාල කරලා ෂෝ එක බලන්න සෙට් වෙලා. හවස් වෙද්දි මායි ‍රැටියයි, පොර අරගෙන ඇවිත් තිබුන ටිකට් දෙකත් අරගෙන ෂෝ එක බලන්න කැම්පස් එකට ගියා. පැය බාගයක් විතර පෝලිමේ කට්ට කාල, ටිකට් චෙක් කරන්න හිටපු සංවිධායක මංඩලේ හුරුබුහුටි නංගි කෙනෙකුට පැණි හිනාවකුත් දාගෙන ප්‍රසංග බිමට රිංග ගත්ත අපි දෙන්නා, ස්ටේග් එක හොදට පේන තැනකින් තහඩු පු‍ටු දෙකක් අල්ල ගත්තා.

සාම්ප්‍රධායික පිත්තල පහන දැල්වීම, අමුත්තන් පිලිගැනීම, ස්තූති කතා, ගුණ කතාවලට පස්සෙ, වේදිකාව පැත්තෙන් හෙමීට ගලාගෙන ආපු වයලීන් හඩක් එක්ක ප්‍රසංගය පටන් ගත්තා. මුල්ම ගායකයා අමරසිරි පීරිස් මහත්තයා. අපරාදෙ කියන්න බෑ, වෙන මියුසිකල් ෂෝ වල තියෙන හූ හඩ, විසිල් පාරවල් මේකෙදි කොහෙන් ගියාද නෑ. කට්ටියම මීයට පිම්බා වගේ. ස්ටේජ් එකෙන් එන සද්දෙ නැත්තම්, ඉදික‍ටුවක් බිම වැ‍ටුනත් ඇහෙන ගානයි.

අමරසිරි පීරිස්ට පස්සෙ වික්ටර් රත්නායක. ඊට පස්සෙ ටී.එම්. ජයරත්න. ඔය විදිහට ප්‍රසංගය කිසිම ආන්තරාවක් නැතිව ජයටම නැගලා යනවා. මට එහා පැත්තෙ හිටපු ‍රැටියගෙනුත් කිසිම හා හූවක් නෑ. සංගීත රසයෙන් මත් වෙලා, උන්නු පු‍ටුවෙම නින්ද ගිහිල්ලාවත්ද කියල මුලින් සැක හිතුනත්, නින්ද ගියානම් පලාතටම ඇහෙන්න, මහ සද්දෙන් කොට ඉරන්න පටන් ගන්න බව දන්න නිසා මගේ හිතේ උපන්න සැකය එහෙම්ම පහවෙලා ගියා. අල්ලපු පු‍ටුවෙ ඉන්න ‍රැටිය හෙන සිරාවට සිංදු අහනවා. ගංජා ගහපු ගැටයෙක් වගේ ‍රැටියගෙ ඇස් දෙක බාගෙට පියවෙලා. හිටපු ගමන් අත මූන ඉස්සරහට ගෙනැල්ලා, අමරදේව මාස්ටර් වගේ එහෙටයි මෙහෙටයි කරකවනවා. ‍රැටියගෙ මේ විකාරෙ බලං ඉන්න බැරි තැන මම පොරට වැලමිටෙන් හීනියට ඇන්නා.

"කරදර කරන්න එපා බන්... මේ සිංදු අහන්න ඕන බොක්කෙන්ම. දැහැනට සම වැදිලා... උඹත් එහෙම ට්‍රයි කරපන්. මාර ෆීලින් එකක් එන්නෙ..." වෙනදට වඩා පොරගෙ කටහඩ ලයාන්විත වෙලාද කියලත් මට හිතුනා. 

ඔය අතරෙදි තමයි ප්‍රසංගයේ එකම ගායිකාව වෙච්ච නිරෝෂා විරාජිනී මහත්මිය වේදිකාවට ගොඩ උනේ. අත් නැති හැට්ටයක් ඇදලා දිස්නෙ ගහන සාරියක් ඊට උඩින් පොරවාගෙන, කොන්ඩෙ කඩා දාගෙන හිටි එතුමියව දැක්කම බාගෙට නිදාගෙන හිටපු කීපදෙනෙක්, නින්ද බල්ලට දාල, හරි බරි ගැහිල පු‍ටුවල වාඩි වෙනවා මම දැක්කා.

"ඒ මචං.." මුලින්ම මම හිතුවෙ ඒක මගේ හිතේ මැවිච්ච සද්දයක් කියලා. ඒත් එහෙම නෑ. සද්දෙ ආවෙ අල්ලපු පු‍ටුවෙ හිටපු ‍රැටියගෙන්. 

"ඒ මචං.." ‍රැටියා ආයෙත් මගේ කනට කෙදිරුවා. මේකට රෙ*න බරක් වත් හැදිලද මේක අස්සෙ. මට එහෙම හිතුනා. කොහොමත් මම කලින් කතා කරපු වෙලෙත් මුගෙ මූණෙ එහෙම ලුක් එකකුත් තිබුනා වගෙ මට යන්තම් මතකයි.

"මොකෝ බන්?? "

"අඩෝ බලපන්කො අරයයිගෙ ගාතෙ...." අත් නැති හැට්ටයෙන් නිරාවරණය වෙච්ච, විරාජිණී මහත්මියගෙ අත පෙන්නන ගමන් ‍රැටියා මගේ කනට කෙදිරුවා.

මෙච්චර වෙලා ‍රැටියා කිව්ව විදිහට "දැහැනක්" බැදගෙන, ඒකට සමවැදිලා උන්නු මම, ඒකත් කඩාගෙන තහඩු පු‍ටුවට ඇදගෙන වැ‍ටුනා.


ප.ලි: උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.