Saturday, September 1, 2012

බනානා කික්







ඉලක්කම්, ගණිත කර්ම වලට පස්සෙ මම වැඩිපුරම ආදරය කරේ සාහිත්‍යට. ඊට පස්සෙ  ක්‍රීඩාවටවෘතීය මට්ටමේ  ක්‍රීඩකයකු වෙන පෙර නිමිති මගෙ හතර මායිමක නොතිබුනාට මම අන්ක එකේ  ක්‍රීඩාලෝලියෙක්. ලන්කාවෙ ඉන්න සාතිශීය බහුතරයක් වගේ මමත්  ක්‍රිකට් වලට පන බැද ගත්තු ගමන්මයි. 96 ලෝක කුසලාන තරගාවලියත් එක්ක ඇගට ඇතුලු වෙච්ච  ක්‍රිකට් උණ, නිට්ටාවට සුව නොවෙන තරමට ඔඩු දුවලා නිසා, අපේ උන් ඇග පුරාම අසූචි නාගෙන පිට පිට පරාද උනත්, මැච් එකක් තියෙනවනම් එදාට ඉතින් ටීවි එක ලගම තමයික්‍රිකට් විතරක් නෙවේ, වෙන ඕනම  ක්‍රීඩාවකට එහෙමයි.

ඉස්කෝලෙ යන කාලෙ එකපාරක් ස්පෝට්මීට් තේරීම් තරගයක මීටර100 දුවපු එකයි, කැම්පස් ගිය අලුත මාස දෙක තුනක් එල්ලෙ ගහපු එකයි ඇරෙන්න කවදාවත් මම  ක්‍රීඩාවකට යොමු උනේ  නැත්තෙ මගේ කුසළතා ගැන මටම තේරිලා තිබුන නිසා වෙන්න ඕන. ඒත් ලෙඩක් දුකක් නැති, වෙන ඕනම කොල්ලෙක් වගේ  නිවාඩු පාඩුවට ගමේ සෙට් එකත් එක්ක ඇතිවෙනකන්  ක්‍රිකට් නම් ගැහුවා. අදටත් අපේ උන් මන් බැට් කරන්න එනකොට අම්බානෙකට බයයි.

"උබ වැරදිලාවත්  ක්‍රිකට් නම් ගහන්න යන්න එපා....... මිනිස්සු  ක්‍රිකට් බලන එක නවත්තාවි. යකෝ මූ හශාන්ටත් වඩා ලෑලි පප්පෙක්නෙ........" පොඩි කාලෙදිම, ගෙවල් ලග ඉන්න අයියා කෙනෙක් මගෙ ටැලන්ට් එකෙන් අමන්දානන්දයට පත් වෙලා දීපු නියත විවරණය නිසා, මම වැරදිලාවත් ඉස්කෝලෙ  ක්‍රිකට්   පැට්‍රිස් තියෙන පැත්ත පලාතකවත් ගියේ නෑ. පරදින්න යන ටෙස් මැච් එකක් බේර ගන්නවා ඇරෙන්න, මගේ පිතිහරඹයෙන් වෙන ඵළ  ප්‍රයෝජනයක් නැති වග මම සහසුද්දෙන්ම දැනන් හිටියා.

පූර්විකාවෙ  ක්‍රිකට්  ගැන මහ විස්තරයක් තිබුනට අද කියන්න යන කතාවට නම්  ක්‍රිකට්  සම්බන්ධ නෑ.

මේ සිද්දිය උනේ 2002 අවුරුද්දේ. විසි එක්වෙනි සියවසේ මහා පාපන්දු සැණකෙළියට මුලු ලෝකෙම සූදානම් වෙලා තිබුනෙ ඊට අවුරුදු කීපයකට උඩ ඉදන්. ඒපාර ලෝක කුසලාණ තරගාවලියට සත්කාරකත්වය දුන්නෙ ආසියාව නිසා, අපේ රටෙන් ටීම් එකක් ගියේ නැතත් ලන්කාවටත් ෆුට්බෝල් මේනියාව සන්ක්‍රමණය වෙලා තිබුනා.

මීට කලින් නම වත් අහලවත් තිබුනෙ නැති රොනාල්ඩෝ, රොබටෝ කාලෝස්, කාක වගේ පොරවල් ටිකක්,  මෙච්චර කාලෙකට අපේ ලෝකෙ වීරයො වෙලා හිටපු සනාල, මුරලිලා එලවලා දාල ඒතැන් වලට රින්ග ගත්තා. වෙනදා හවසට හවසට ටෙනිස් බෝලෙන් ක්‍රිකට් ගහපු අපේ උනුත් කොහෙන්ද මන්දා හමගියපු ෆුට්බෝලයක් හොයාගෙන ඇවිල්ලා තිබුනා. හමගියපු බෝලෙකින් නෙවෙයි පුහුපොල් ගෙඩියකින් උනත් ෆුට් බෝල් ගහන තරමට අපේ ෆුට් බෝල් උණ අහස උසට නැගලයි තිබුනේ.

ක්‍රිකට් මැච් එකක් තිබුනොත් ඊට පස්සෙ දවස් ගානක් යනකන්ම මැච් එක ගැන කියවන එක, ඉස්කෝලෙ ඕෆ් පීරීඩ් වල අපි කරන දෙයක්. හැමතැනකදිම වගේ මෙතනත් ක්‍රිකට් වෙනුවට ෆුට් බෝල් ආදේශ වෙලා තිබුනා. 

"කොහොමද මචන් රොබටෝ කාලොස්ගෙ කික් එක....." ඒදවස් වල හැමෝගෙම ඇස් යොමුවෙලා තිබුනෙ රොබටෝ කාලොස්ගෙ "බනානා කික් එක" දිහාවට. වෘත චාපයක් වගේ ඇදිලා යන්න රොබටෝ කාලොස් ගහන කික් එකට වෙන ටීම්වල උන් වගේම අපිත් කොරවෙලා හිටියේ.

"ඕක හරියට ගහන්න නම් කකුල නියම ඈන්ගල් එකට ගේන්න ඕන. කික් කරන කොට ස්පින් වෙන්න එතකොට. අනික ඕක මහලොකු වැඩක් නෙවේ. හොද බූට් දෙකක් තියෙනවනම් ඕන එකෙක්ට පුලුවන්. අපේ ඉදුනිල් අයියත් ගහනවා ....... " පන්තියෙ කොට බිත්තියට හේත්තුවෙලා සමන් කියන කතාවට අපි හැමෝම "හ්ම්ම්" නොකියා අහගෙන හිටියා . සමන් අපේ ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එකේ හිටපු නිසා කවුරුවත් උගෙ කතාවෙ ගුණ අගුණ හොයන්න ගියේ නෑ. ඉදුනිල් අය්යා තමයි ටවුන් එකේ තිබුන හැම ඉස්කෝලෙකම ෆුට්බෝල් කෝච්කම කරේ. සමන් කියපු විදිහට මිනිහා ජාතික පුහුණු සන්චිතයටත් තේරුන නියම වැඩ කාරයෙක්.

"උබලත් කැමතිනම් බදාදා  පැට්‍රිස් වරෙල්ලා.... මන් ඉදුනිල් අයියට කියන්නම් " සමන්ගෙ ආරධනාව මම ඉස්මුදුනින් පිලිගත්තෙ  කවදා හරි දවසක රොබටෝ කාලොස් වගේ බනානා කික් ගහන පොරක් වෙනවා කියල හිතින් හිතාගෙන.

වැහි කාලෙට මෙරු මතුවෙන්න වගේ, අපි තුන් හතර දෙනාට අමතරව තව සෙට් දෙක තුනක්ම බදදා අලුතින් පැට්රිස්න් ඇවිල්ලා හිටියෙ අපට වගේම උන්ටත් අවාරෙ හැදුන ෆුට්බෝල් උණ නිසා බව මට හොදටම තෙරුනා.

"හ්ම්ම්..... පිට්ටනිය වටේ රවුම් දෙකක් දුවල වරෙල්ලා....." ඉදුනිල් අයියා නවක අපි පිලිගත්තෙ එහෙම. රවුම් දෙකක් කිව්වට එකක් දුවනකොටම මගෙ හොද පණ ගියා.

"ඔහොම නම් බෑ පුතෝ....... ෆුට් බෝල් ගහන්න හොදට ෆිට්නස් තියෙන්න ඕන......." ඉනට අත්දෙක ගහගෙන, තුන් මුනින් දාඩියා නාගෙන, කකුල් අද්දවා අද්දවා යන මන් දිහා බලලා ඉදුනිල් අයියා කිව්වම, මගේ ෆුට්බෝල් අනාගතේ ගැන පොඩි බයකුත් ආවා.

කොහොමහරි මුල්දවසෙ  පැට්‍රිස්  ඉවර වෙලා යූසී එකේ පිට්ටනියෙන් අපි එලියට ආවෙ, වර්ල්ඩ් කප් එක දිනපු  බ්‍රසීල් ටීම් එක වගේ.
දෙවෙනි දවසෙ  පැට්‍රිස්  යනකොට තව කොල්ලො පස් හය දෙනෙක් අලුතින් ඇවිල්ලා හිටියා.

"මෙච්චර ගොඩකට  පැට්‍රිස්  කරන්න බෑනේ. අද පැට්‍රිස් මැච් එකක් ගහමුහොදට සෙල්ලන් කරන න් දිගටම එන්න පුලුවන්. ආයෙ අලුතින් ගන්නෙත් නෑ" එකා දෙන්නා වැඩි වෙවී ගිහින් මුලු ඉස්කෝලෙම ඉන්න කොල්ලො ටික  පැට්‍රිස්  එන්න කලින් ඉදුනිල් අයියා නවකයොන්ට තිතක් තිබ්බා.

අලුත් උනුයි, පරණ සෙට් එකයි කලවන් කරල හදපු ටීම් දෙකෙන් මම වැටුනෙ සමන් ලීඩ් කරපු ටීම් එකට.

"මචන් උබ ඩිෆෙන්ස් එකේ ඉදපන්" පොර කිව්වම මට ටිකක් විතර අවුල් ගියා. ගෝල් ගහල වැඩ පෙන්නන්න නම් ඩිෆෙන්ස් එකේ ඉදලා බෑ. මොකද ඩිෆෙන්ස් එකේ ඉන්න එකෙක් ගෝල් එකක් ගහනවා කියන්නෙ, අනුරාධපුරේට අගෝස්තුවෙ වහිනවා වගේ මේ  භද්‍ර කල්පෙදි වෙන්නෙ නැති වැඩක් නිසා.

මැච් එක පටන් අරන් පැය බාගයක් ගියත් එකම පාරක් වත් මන් ඉන්න පැත්තට බෝලෙ ආවෙ නෑ. ඔහොම වේලි වේලි ඉන්න කොට තමයි එහා පැත්තෙ එකෙක් ගහපු පාරක් අපේ එකෙක්ගෙ කකුලෙ වැදිලා, වැරදිලා මගෙ පැත්තට ආවෙ. කවුරුත් නොහොතපු පැත්තකට බොලේ ගිය නිසා මන් කිට්ටුව කවුරුවත්ම හිටියෙ නෑ. දෙපාරක් හිතපු නැති මන් බොලෙත් තල්ලු කරන් ඉස්සරහට දිව්වා.

"මචන් මෙහෙට පාස් කරපන්.... මෙහෙට පාස් කරපන්" මට ඉස්සරහින් ආපු සමන් මොර දෙන්න ගත්තෙ බෝලෙත් අරන් අඩි දහයක් වත් ඉස්සරහට යන්න කලින්. "යකෝ ඌට බෝලෙ දෙන්නෙ මොකටද? මෙච්චර වෙලා සෙල්ලන් කරා මට එක පාරක් වත් එව්වයැ" මම මටම කියාගෙන ඉසරහටම දිව්වා.

කොහොම හරි කගවේනා වගේ ඉස්සරහට  ගියපු මම, අනික් පැත්තෙ එකෙක්ගෙ කකුල් මාට්ටුවකට ඇදගෙන වැටෙනෙකොට ගෝල් එකට අඩි තිහක් වත් තිබුනේ නෑ. වලලුකර හරියෙ පොඩ්ඩක් රිදෙන එක ඇරුනම වෙන ලොකු අමාරුවක් මට දැනුනෙ නෑ. ඒත් පැනල්ටියක් ගන්න හිතාගෙන මම දණිහ බදාගෙන කෙදිරි ගෑවා.
පැත්තක වාඩිවෙලා අපේ මැච් එක බලන් හිටපු ඉදුනිල් අයියා විසිල් එක ගහලා මැච් එක නවත්තලා මන් ගාවට ආව.

"කොහෙද බූරුවො..... මී ගවයෙක් වගේ පිට්ටනිය වටේ දුවන්නෙ....... ඔය බෝලෙ තියෙන්නෙ පාස් කරන්න. තොට තනියෙන් වැඩ පෙන්නන්න නෙවේ......." තවත් මොන මොනවද කිව්වත් එකක් වත් මෙතන ලියන්න හොද වචන නෙවේ.

මමත් කෙදිරි ගාන එක නවත්තලා ආපහු නැගිටලා හිටපු තැනටම ගිහිල්ලා ආයෙත් සෙල්ලම් කරන්න ගත්තා. ඊට පස්සෙ තුන් හතර පාරක් බෝලෙ ආවත් ඒක ටක් ගාල පාස් කරල මම ශේප් උනා. එක අතකින් ඩිෆෙන්ඩ් එකේ ඉන්න එකත් හොදයි, වැඩිය දුවන්න පනින්න ඕනෙත් නෑනෙ. මම හිත හදා ගත්තා.

මැච් එක ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි තමයි, එහා පැත්තෙ ගෝල් කීපර් ෆුල් වෙර දාල කික් එකක් ගැහුවෙ. මැච් එකක අන්තිම හරියෙදි වෙලාව යවා ගන්න ඔය විදිහට බෝලෙ ගුවන් ගත කරන එක සාමාන්‍ය සිරිතක්.

පොල්ගස් බාගයක් විතර උඩ ගියපු ෆුට්බෝලෙ  කෙලින්ම ආවෙ මන් ඉන්න තැනට. වෙලේ මට කරන්න තිබුනෙ බෝලෙ කන්ට්‍රෝල් කරල අපේ ගෝල් කීපර්ට පාස් කරනඑක නිසා, බෝලෙ කන්ට්‍රෝල් කරන්න කියල හිතාගෙන කාලතුවක්කු උන්ඩයක් වගේ මන් දිහාවට එන බෝලෙට හෙඩ් එකක් ගැහුවා. සාමන්‍යන් හෙඩ් එක ගහන්නෙ නලලෙන්. ඒඋනාට පොඩ්ඩක් ටයිමින් මිස් උන නිසා බෝලෙ වැදුනෙ නලලට පොඩ්ඩක් පහලින්. රොබටෝ කාලොස්ගෙ බනානා කික් එක කාපු ෆුට් බෝලෙ වගේ මමත් වෘත්ත චාපයක විසිවෙලා ගිහිල්ලා වැටුනා.

හුලන් පුරවපු බෝලයක් එච්චර රිදෙයි කියලා මට වෙනකන්ම හිතිලා තිබුනේ නෑ. මූන පුරවල වැදිච්ච ෆුට්බෝල් පාරත් එක්කම, ඉස්මුදුනෙන් ඇතුලුවෙච්ච මොකද්දෝ එකක් යටිපතුලෙන්  භූගත උනා. උතුර කොහෙද? දකුණ කොහෙද? කියල හොයාගන්න පුලුවන් තත්වෙට එනකොට මම හිටියෙ පිට්ටනියෙ උඩුබැලි අතට. පැට්‍රිස් කරකර හිටපු අනිත් උන් ටික අහසින් වැටුන පිටසක්වළ ජීවියෙක් බලන්න වගේ රවුමට ඉදන් මන් දිහා බලන් හිටියෙ කින්ඩියට හිනා වෙන ගමන්.

2002 ෆුට් බෝල් වර්ල්ඩ් කප් එක නිසා අන්තිමේදි මට ඉතුරු උනේ මූන පුරවලා වැදිච්ච බෝල පාරක් විතරයි. ඒ බෝල පාරෙ රස තාමත් මතක නිසාද මන්දා අදටත් ෆුට් බෝලයක් දකිද්දි මගෙ ඇග සීතල වෙලා යනවා.

ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්

4 comments:

  1. බනානා කික් එකේ ෆොටෝ එකකුත් දැම්මා නම් තමා ගති :D

    ReplyDelete
  2. මදැයි කොළා...

    ReplyDelete