Saturday, September 15, 2012

ක්ලච් එක දීපන්.....





"ඇයි දරුවෝ කොල්ලෙක් උනාම ලයිසන් එකක් තියෙන්න එපැයි. නැත්තන් හදිස්සියකට වාහනයක් එහෙට මෙහෙට කරගන්න  ඩ්‍රයිවර්ල හොය හොය ඉන්න ඕනනේ....." අපේ අම්මා, වාහන ලයිසන් එක ගන්න කියලා කරදර කරන්නේ මට අවුරුදු දහඅට ලබන්නත් කලින් ඉදන්. පොඩි කාලෙ මට අරන් දීපු පුටාර් එක ඇරෙන්න, ඔය කිව්වට හදිස්සියකට එහෙට මෙහෙට කරන්න වෙන කිසිම වාහනයක් අපේ ගෙදර තිබ්බෙ නැති නිසා ලයිසන් ගන්න වැඩේ දවසින් දවස කල් ගියා. අනික සල්ලි දීල හාඩ්වෙයාර් එකකින් සිමෙන්ති මිටියක් ගන්නවා වගේ "සුරුස්" ගාල ලයිසන් ගන්න පුලුවන් නම් මාත් ඔච්චර තෙපර බබා ඉන්නෙ නෑ.

අමතක වෙලා ගියපු ලයිසන් වැඩේ ආයේ පණ ගහල ලියලන්න ගත්තෙ, කැම්පස් එකෙන් හම්බ වෙච්ච  මාසදෙකක විතර ලොකු නිවාඩුවක් නිසා. සාමාන්යෙන් අපේ කැම්පස් එකේ ඔය වගේ ලොකු නිවාඩුවක් හන්බ  වෙන්නෙ එක්කෝ වලියකට, නැත්තම් ස්ට්‍රයික් එකකට. හේතුවනම් හරියටම මතක නැති උනාට නිවාඩුව හම්බ උනේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්නකොට කියල නම් මතකයි.  කැම්පස් එකේදි වැඩ හිර වෙලා හුස්මක්  කටක් ගන්න  බැරුව ඉන්න කොට "නිවාඩුවක්" කොයි වෙලේ හම්බ වෙයිද කියල බල බලා හිටියට, නිවාඩු හම්බ වෙලා දවස් දෙක තුනකින්ම ආයේ කම්මැලි හිතෙනවා. නිවාඩු කාලේ ලයිසන් ගන්න වැඩේට අතගහන්න හිතුවෙ, එක දිගට ෆිල්ම් බලන එකයි, පොරවගෙන බුදිය ගන්න එකයි තිත්ත උනයින් පස්සේ.

ටවුමෙ ලර්නස් දෙක, තුනක් තිබුනට "සපුමලී" ලර්නස් එකට තමා යන තරමක් උන් ගියේ. අතපය හතර නැති උනත්, ඇස්-කන්-නාස වැඩ කරේ නැතත් "සපුමලී" ලර්නස් එකට ගියපු කිසිම එකෙක්, ලයිසන් ටෙම්පරි කොලේ නැතුව නම් එළියට ආවේ නෑ. ඔය හිනදා තමා, යන්තම් දැලි රුවුල වත් නැති කොල්ලො කුරුට්ටන්ගෙ ඉදන්, අවුරුදු 55 පනින්න ඔන්න මෙන්න ඉන්න අන්කල්ලා දක්වා හැම එකාගෙම පළමු තේරීම බවට, "සපුමලී" ලර්නස් පත් උනේ.

නම "සපුමලී" උනාට බෙහෙතකටවත් "වළලු අතක්" ලර්නස් එක හතර මායිමක තිබුනේ නෑ. ලර්නස් එක කරේ වයසක අන්කල් කෙනෙකුයි, එයාගෙ පුත්තු දෙන්නයි. ලොකු එකා "ලොකූ". පොඩි එකා "පොඩී". උන් දෙන්නා හරියට අර මහා හුළගකට අහුවෙලා දෙපැත්තට විසිවෙලා ගියපු ගිරා පෝතකයෝ දෙන්නා වගේ. තාපසයා ලග හැදුන බොහොම මිහිරි වචන කතා කරන ධාර්මික ගිරවගෙ චරිතෙට පණ පෙව්වෙ, පොඩී. හොදටම මළ පැන්නොත් ඇරෙන්න පොඩී, මිනිහෙක්ට බැන්නෙ බොහොම කලාතුරකින්. කෙල්ලෙක්ට නම් බනිනවා දැකලම නෑ. අපරාදෙ කියන්න බෑ ලොකූට නම්, ලිo බේද, තැන-නොතැන ඔය මුකුත් අදාල නෑ. පොර කෑගහන්න ගත්තම, බූරු - සුනඛ - ගව මහේෂාදීන් ඔක්කොම ටික වාහනේ ඇතුලේ. වෙලාවට බැනුම් අහන එකාට කොහොම උනත්, වාහනේ ඇතුලෙ ඉන්න උන්ට නම් ෆුල් ආතල්.

චරිත දෙක හරියටම දැන අදුරගෙන හිටියෙ නැති නිසා මo මුල්ම දවසෙ ගිහිල්ලා නැග්ගේ ලොකූගෙ වාහනේට.

"හ්ම්ම්...... ඔය අලුතෙන් ආපු කෙනා එනවා......" ටවුන් එක පැනපු ගමන්, වාහනේ අයින් කරල නවත්තල, ලොකූ කිව්වෙ, ඉස්සරහ කණ්නාඩියෙන් මo දිහා බලාගෙන.

"මේක තමා ස්ටීරින් වීල් එක, අර ක්ලච් එක, බ්රේක් එක........... මතක තියාගන්නවා ජියර් හයක් තියෙනවා. කීයක්ද????? "

"හයක්"

"හරියට හරි. හයයි......ඉස්සරහට පහයි. පස්සට එකයි........." දෙකේ පන්තියටවත් නොකියපු බූරුවෙක්ට වගේ ලොකූ මට පැහැදිලි කරල දුන්නා.

"මම කියන විදිහට යo. ක්ලච් එක යටටම පාගලා, ජියර් එක ෆස්ට් එකට දානවා. දැන් හෙමීට ක්ලච් එක බුරුල් කරනවා........ හ්ම්ම් දැන් සෙකන්ඩ් එකට.......... තර්ඩ් එකට........ හරී දැන් හෙමින් යමු.." මූළික සිද්ධන්ත මට මීටර් උනා කියලා තේරුනාට පස්සෙ තමයි ලොකූ වාහනේ ඉස්සරහට අරන් යන්න දුන්නේ.

උපන් තේකට රෝද හතරක් මහ පාරෙ අරන් ගිහිල්ලා නැති මo, ස්ටීරින් වීල් එකක් බදාගෙන ඉපදිච්ච එකෙක් වගේ යස අපූරුවට වාහනේ නම් අරන් ගියා. සුනාමියට පස්සේ අලුතෙන් හදපු පාළමක් හම්බ උනේ ඔහොම යනකොට. විදෙශ ආධාර වලින් හදපු නිසාද මoදා පාරට වඩා ලේන් දෙකක් විතර පාළම පළලයි.

"අපි හෙමින් යන නිසා වාහනේ ගමු වම් පැත්තට...... දාන්න වමට සිග්නල්. ගන්න වාහනේ අයිනට....." මමත් ලොකූ කිව්ව විදිහටම වාහනේ වම් පැත්තෙ තීරුවට අරගෙන, පාළම ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකන්ම කිසි අවුලක් නැතුව අයිනෙන්ම ගියා.

"දැන් ආයෙ ගමු මැද්දට.... දාන්න දකුණට සිග්නල්. කණ්නාඩියෙන් බලලා, ගන්න වාහනේ...." සයිට් කණ්නාඩියෙන් පිටිපස්ස බැලුවම, බස් එකක් එනවා වගේ දැක්කට ඒක තිබුනේ ටිකක් පිටිපස්සට වෙන්න. ඒකනිසා මමත් ලොකූ කිව්ව විදිහටම වාහනේ පාරෙ මැදට ගත්තා.

වාහනේ ගන්නවත් එක්කම, කණ්නාඩියෙන් බලද්දි ඈත වගේ දැකපු බස් එක මහ සද්දෙට හෝන් එකත් ගහගෙන අපේ වාහනේ ගෑවී නොගෑවී ගියා. එක්කම, පැණි බේරෙන ටොකු පාරක් මගේ ඔලුව උඩට පාත් උනේ ඉස්කෝලෙ පහ-හය වසර වලින් පස්සෙ.

"යකෝ... තෝ අපිව මරන්නද හදන්නේ?????? කණ්නාඩියෙන් බලන්න කිව්වා ඇහුනෙ නැද්ද???? නැත්තන් ඇස් පේන්නෙ නැද්ද??? මී හරකා........... " තව මොනවද මොනවද කිව්වත්, ටොකු පාරයි ලොකූගෙ කටේ සද්දෙයි නිසා, තක්බීර් වෙලා හිටපු මට ඒ මුකුත් හරියට ඇහුනේ නෑ.

*               *               *              *               *               *                *

ලොකූගෙ වාහනේ මගඇරලා, පොඩීගෙ වාහනේට සෙට් වෙන්න මo පුරුදු උනේ, පළවෙනි දවසෙම කාපු ටොකු පාර නිසා. පොඩීගෙ වාහනේට සෙට් වෙන එක ලේසි නෑ. ඒකට, එන්න කියලා තියෙන වෙලාවට පැයකට කලින් වත් ඇවිල්ල වාහනේට නැගලා ඉන්න ඕනේ.

එදත් වෙනදා වගේම ගෙදරින් එළියට බැස්සේ පොඩීගෙ වාහනේට රිoග ගන්න කියලා හිතාගෙන. ඒත් ගෙදරින් දොට්ට බහින කොටම හූනෝ සෙට් එකක් තරගෙට "චික්-චික්" ගෑවා. ඊට පස්සෙ මුලින්ම මුලිච්චි උනේ ගමේ ඉන්න සිරියාවන්තම කාන්තාව. බස් හෝල්ට් එකට මීටර සීයක් තියෙද්දි බස් එක මිස් උනා. ඔක්කොම ජරමර ටික ඉවරවෙලා ලර්නස් එකට යනකොට ඉතුරු වෙලා තිබුනේ ලොකූගෙ බරකරත්තෙ විතරයි.

ටික දවසක් ලර්නස් ආපු නිසා වාහනේ අරන් යන එක ලොකු අවුලක් උනේ නම් නෑ. ඒත් ඉස්කෝලෙ ඇරෙන වෙලාවක් නිසා පාරෙ වාහන ටිකක් වැඩිපුර තිබුනා. මගෙම වෙලාවටද මoදා වාහනේ නවත්තන තරමට පාරේ ට්රැෆික් එක වැඩි වෙනකොට අපේ වාහනේ තිබුනෙ පොඩි කදු ගැටයක. වාහනේ නවත්තන් ඉන්න කොට, බ්රේක් එක ලෑල්ලටම පාගගෙන හිටියට ,ඉස්සරහ වාහනේ ටිකක් ඉස්සරහට යන්න ගත්තම තමා දත කට පූට්ටු වෙන්න ගන්නේ. මොකද එතකොට අන්තිම දශමෙට "ක්ලච් බැලන්ස්" ඕනෙ වෙනවනේ.

"බ්රේක් එක බුරුල් කරලා, ටික ටික ක්ලච් එක දෙන්න...." මo  වැටිලා ඉන්න අමාරුව තේරිච්ච ලොකූ හෙමින් සැරේ කිව්වා.

බ්රේක් එක බුරුල් කරනවත් එක්කම, වාහනේ හෙමීට හෙමීට පස්සට යන්න ගත්තා. වාහනේ "L" අකුර ගහල තියෙන නිසයි, ටික ටික පස්සට එන නිසයි, පිටිපස්සෙ වාහනේ ඉන්න එකා හෝන් එක නන්ස්ටොප් ගහනවා.

"බ්රේක් එක බුරුල් කරලා, ක්ලච් එක දෙන්න.. එක්කම ටිකක් රේස් කරන්න....  " ලොකූ කියන ටික කරන්න නම් කතරගම දෙයියන්ට වගේ බහුපාද පහල වෙන්න ඕනේ.මොකක් බුරුල් කරනව්වද, මොකක් තද කරනවද කියල හිත හිතා ඉන්න කොට වාහනේ තව ටිකක් පස්සට යන්න ගත්තා.

"ක්ලච් එක දෙනවා මිනිහෝ...... " ලොකූ කිව්වෙ ජයග්රාහී දෙවැනි ටොකු පාරත් පිරිනමන ගමන්.

ජීවිතේ පළවෙනි පාරට "ගත්තෙ නැති දෙයක් වෙනුවෙන් " ටොකු පාරක් කෑවෙ එදා. ටොකු පාරෙ සැරටද කොහේ එන්ජිමෙන් අමුතු සද්දෙකුත් දාගෙනම වහනේ ඉස්සරහට පැන්නා.

"ඔහොම තමා මල්ලි මටත් ක්ලච් බැලන්ස් තාම බෑ..." ඩ්‍රයිවින් සීට් එකෙන් බැහැල ඇවිල්ලා, වෑන් එකේ පිටිපස්සට නගිනකොට, පිටිපස්සෙ හිටපු අයියා කෙනෙක් මට කිව්වා. ලයනල් අයියව මුලින්ම අදුන ගත්තේ එදා.

මතු සම්භන්ධයි...................

උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.

12 comments:

  1. මාත් ක්ලච් බැලන්ස් කරන්න ගිහින් බැනුම් අහපුවා මතක් උනා :D

    ReplyDelete
    Replies
    1. "ක්ලච්" එක නිසා බැනුම් නොඅහා, ගුටි නොකා ලයිසන් ගත්ත එකෙක් හොයන එක, "අබ ටිකක් ඉල්ලා ගන්න , නොමළ ගෙයක් හොයනවා වගේ වැඩක්" .... :ඩී

      Delete
  2. සපුමලී ගැන නම් කවර කතාද? :D
    මම හොඳටම ගුටි කෑවේ ගාල්ලේ වට රවුම් පදින්න ගිහින්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් "වටරවුම් , කහඉරි , බස් හෝල්ට්" ලoවෙනකොට ලොකූගෙ අත, ඩ්‍රයිවින් කරන එකාගෙ කණ ගාව තමයි තියෙන්නේ....... :ඩී

      Delete
  3. බුදු මහත්තයෝ මම නම් ගත්තේ නෑ ඒක :D

    ReplyDelete
    Replies
    1. ගත්තෙ නෑ කියල බේරෙන්න බෑ. මම ටොකු කෑවෙත් නොගත්ත එකකට :ඩී

      Delete
  4. හැහ් හැහ් මං නං තරංගා එකේ වෑන් එක ලස්සනට තව එහෙක ඇතිල්ලිලුවා. ඉස්සරහා හිටපු ට්‍රැ‍ෆික් ඩබල කට ඇරගෙන බලාගෙන හිටිය සීන් එක.
    මම දරේ
    www.barhandiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. අෆොයි :ඩී... ට්‍රැ‍ෆික් ඩබලගෙත් අතුල්ලගෙන ගියානම් තමා මරු :ඩී.

      Delete
  5. I still cant stop laughing... your writing skill is superb.

    ReplyDelete
  6. uba ambalangoda ekek vage.(nadeeka)

    ReplyDelete
    Replies
    1. ඔව් බන් උඹ හරි..... :D :D

      Delete