Sunday, June 30, 2013

කෝච්චි කතා



කොළඹ කොටුවෙන් පටන් ගන්න දුම්රිය ඡාලය, දිස්ත්‍රික්ක කීපයක් ඇරෙන්න ලංකාවෙ අනික් හැම ප්‍රදේශයකටම වගේ විහිදිච්ච එකක්. ඒක නිසා කෝච්චියක ගියපු නැති මනුස්සයෙක් හොයන එක නොමල ගෙයකින් අබ අහුරක් හොයනවටත් වඩා අමාරු වෙන්න පුලුවන්. මටත් පහුගිය දවසක කෝච්චියක යන්න ලැබුනා, බොහෝම කාලයක් පෙරුම් පුරලා, පෙරුම් පුරලා සෙට් කරගත්ත චාන්ස් එකක ප්‍රතිපලයක් විදිහට.

මොකක්??? කෝච්චියක යන්න ඔච්චර පෙරුම් පුරන්න ඕනද??

ඇත්තටම නෑ. කෝච්චියෙ සද්දෙ ඇහෙන නෑහෙන මානෙ ඉන්න මට කෝච්චියෙ යන්න අමුතුවෙන් පෙරුම් පුරන්න දෙයක් නෑ. ඒත් කෝච්චියෙ ඉස්සරහ කැබින් එකේ යන්න නම් පෙරුම් පුරන්න ඕන. ඒක, පෙරුම් පිරුවත් ලේසියකට හම්බ වෙන්නෙ නැති චාන්ස් එකක්.

කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙච්ච අපේ මාමා නිසා තමයි චාන්ස් එකත් පෑදුනේ. කැම්පස් කාලෙ රූමලා සෙට් එකත් එක්ක බදුලු ගිය ගියගමනට පස්සෙ, පහුගිය දවසක "සාගරිකා"ගෙ කැබින් එකේ ගියපු ගමන් තමයි මගෙ කෝච්චි අත්දැකීම් වල උඩින්ම තියෙන්නෙ. උදේ හවස යන එක රේල් පාර උනත්, හැමදාම දකින වටපිටාව උනත්, වෙනදට නැති අමුතු වෙනසක් කැබින් එකේ යද්දි හිතට දැනුනා.

කෝච්චියෙ ඉස්සරහ කැබින් එකේ යන්න පුලුවන් ඩ්‍රයිවර්ටයි, එයාගෙ සහයකයාටයි විතරයි. සමහර වෙලාවට රේල්ලුවෙම වැඩකරන කට්ටියත් දාගෙන යන වෙලාවල් තියෙනවා. ඒත් ඒක නීතියෙන් තහනම් දෙයක්. කොටින්ම ඩ්‍රයිවර්ගෙ වැඩ තහනම් වෙන්න තරම් බරපතල කාරණාවක්. ඒක නිසා වගේ අවදානමක් අරගෙන මාව කැබින් එකට නග්ග ගත්ත අපේ මාමට මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕන. පොර නැත්තම් මට අද මේ ලිපිය ලියන්න වෙන්නෙ නෑ.

"සාගරිකා" කියන්නෙ මාතර-කොළඹ දුවන සීඝ්‍රගාමී දුම්රියක්. පෙට්ටි 12ක් විතර තියෙන ඒක, "පවර්සෙට්" දෙකක එකතුවක්. "පවර්සෙට්" එකක් කියන්නෙ, සම්පූර්ණ දුම්රියම තනි ඒකකයක් විදිහට තියෙන ඒවට. මුල් කාලෙ තිබුන දුම්රිය එංජින්, ඕනම පෙට්ටි සෙට් එකකට හයි කරලා දුවන්න පුලුවන් උනාට "පවර්සෙට්"වල එහෙම බෑ.

"සාගරිකා"ගෙ "පවර්සෙට්" දෙක S11 වර්ගයේ ඒවා. S09, S10, S11, S12 විදිහට අලුතෙන් එන "පවර්සෙට්" වර්ග කෙරෙනවා. ඒක ලංකාවෙ රේල්ලුවෙන් කරන දෙයක් මිසක් ලෝකයේ සම්මත වර්ගීකරණයක් නෙවේ. S11 "පවර්සෙට්" ඉංදියන් ඒවා. S10, චීන. ඔය විදිහට එක එක කාණ්ඩෙ වෙනස් වෙනවා.

S11 "පවර්සෙට්" එංජින්වල ලොකුවට අවුලක් නැති උනාට ඒකෙ නිමාව නම් අන්තිමයි කියලා තමා මාමා කිව්වෙ. ෆයිබර් ග්ලාස් වලින් හදපු ඉස්සරහ බොඩිය නිසා ගොඩක් ඩ්‍රයිවර්ලා මේ "පවර්සෙට්" එකට අකමැතිලු. මොකද දුම්රිය අනතුරකදි දුම්රිය රියදුරාට හානි වෙන්න පුලුවන් කියන සැකය නිසා. අනික එංජිම ක්‍රියාකරවන උපක්‍රමයත් බොහොම අපහසු, යල්පැනගිය ක්‍රමයක්ලු.

ඩ්‍රයිවර් කෙනෙක් කෝච්චියක් බාර ගනිද්දි එයාට ලියකියවිලි වගයක් හම්බ වෙනවා. එක් එක් ස්ථානයන්ට දුම්රිය ලගා වෙන්න ඕන වේලාව, මොන මොන ස්ථානවලද දුම්රිය නවත්තන්නෙ කියන එක ඒකෙ තියෙනවා. ඒත් කෝච්චිය නවත්තන ඕන ස්ටේෂම අදුර ගන්න ඕන ඩ්‍රයිවර්ගෙ අත්දැකීමෙන්. මොකද රේල් පාර දිගට "අහවල් ස්ටේෂම ඉදිරියෙන්" කියලා බෝඩ් ගහලා නැති නිසා. ඒක නිසා අලුත් ඩ්‍රයිවර් කෙනෙක් හරි, මාරු වීමක් ලැබිච්ච කෙනෙක් හරි ආවම, පලාත හුරුවෙනකම් පාරක් දෙපාරක් පුරුදු කෙනෙක් එක්ක යන්න ඕන.

කවදාවත් ඇදලා නැති, අදිනවා දැකලත් නැති "හදිසි දම්වැල" ගැනත් මම මාමගෙන් ඇහුවා. එයා කිව්වෙ, "හදිසි දම්වැල" ඇද්දහම දුම්රිය රියදුරාගෙ බලපෑමක් නැතුව ස්වයංක්‍රීයවම තිරිංග යෙදෙනවා කියලා. හැබැයි ඩ්‍රයිවර්ට දම්වැල ඇද්දෙ කොතනින්ද කියලා බලා ගන්න නම් පුලුවන්.

මුල් කාලෙ කෝච්චියට සිග්නල් දෙන එක පාලනය උනේ එක් එක් දුම්රිය ස්ථාන වලින් උනත් දැන් එහෙම නෑ. කොළඹ තියෙන ප්‍රධාන පාලක ධ්‍යස්ථානයෙන් තමා දැන් අදාල සිග්නල් දෙන්නෙ. රේල් පාරට සමාන්තරව ඇදපු "ප්‍රකාශ තන්තු කේබලයක්" (optical fibre) හරහා තමයි, ඊට අවශ්‍ය කරන තොරතුරු සම්ප්‍රේෂණය වීම සිදු වෙන්නෙ.

මේ දවස්වල වැඩිපුරම කතා බහ වෙන මාතෘකාවක් තමයි, "අනාරක්ශිත දුම්රිය හරස් මාර්ග". ලංකාවෙ තවමත් සෑහෙන පමනට දුම්රිය ආරක්ශිත ගේට්ටු නෑ. මේ ගේට්ටු වර්ග දෙකක් තියෙනවා. එකක් ස්වයංක්‍රීයව වැසෙන ගේට්ටු. අනික මිනිසෙක් විසින් ක්‍රියාකරවන ගේට්ටු. මේකෙන් දෙවැනි වර්ගයේ ගේට්ටු ක්‍රියාත්මක වෙන්නෙ, ලගම තියෙන දුම්රිය ස්ථානයෙන් ලැබෙන දුර ඇමතුමට අනුව. ඒක නිසා මේ ක්‍රමයෙදි අනතුරු වීමේ හැකියාව වැඩියි. හැබැයි ස්වයංක්‍රී ක්‍රිමයෙදි එහෙම නෑ. කෝච්චියට "කොළ" සිග්නල් එක හම්බ වෙන්නෙ, ගේට්ටුව වැහිලා නම් විතරයි.

බොහොම ප්‍රසිද්ධ, යල් පැනපු විහිලුවක් තමා, "කෝච්චියෙ හුලං ගියා" කියන එක. අපි එහෙම කියන්නෙ, වෙන වාහන වලට වගේ කොච්චියට හුලං ගහපු ටයර් නැති නිසා. ඒත් කෝච්චි රෝද වලටත් ටයර් තියෙනවා. ඒවා වාහන වල වගේ රබර් ටයර් නෙවේ. මිශ්‍ර ලෝහ වලින් හදපු ටයර්. කාලෙන් කාලෙට මේ ටයර් ගෙවුනම, කෝච්චි රෝද වලට අලුත් ලෝහ ටයර් හයි කරනවා කියලා තමයි මාමා කිව්වෙ.


මේ ලිපියෙ තියෙන දේවල් ගොඩක් අය මීටත් හොදින් දන්නවා ඇති. අමතර කරුණු කමෙන්ට් එකක් විදිහට දාන්න පුලුවන් නම් ඒක මේ ලිපියට හොද උනපූරණයක් වෙයි.


සැ.යු : මෙහි සදහන් ඇතැම් තාක්ෂණික කරුණුවල යම් යම් අඩු පාඩු තිබිය ගැක.


.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


4 comments:

  1. මෙන්න මේකේ තියෙනවා තවත් නියම තොරතුරු කෝච්චි ගැන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මචන් ලින්ක් එකට.....

      Delete
  2. කෝච්චියක් නවත්වන්න කොච්චර දුරක ඉඳන් බ්‍රේක් කරන්න ඕනද ? නවත්වන්න පුළුවන් කෙටිම දුර මොකක්ද ? මාමාගෙන් අහලා කියපන්කො..

    ටේස්ට් පෝස්ට් එකකින් ලින්ක් එක දැම්මනම් හොඳයි. මේකත් අප්ඩේට් වෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය දේවල් කෝච්චියේ වර්ගය, වේගය මත රදා පවතිනවා. ....

      Delete