Saturday, December 15, 2012

සුදු-ඇදුම



සුද්දගෙ ආගමනයත් එක්ක මුලු සයිට් එකම ඒකාලෝක වෙලා ගියේ වොට් දාහෙ හැලජන් එකක් පත්තුකරා වගේ. ඇත්තටම ඒකා හරි සිරියාවන්ත සුද්දෙක්. ඔරිජිනල් ජාතකේ "ස්වීඩන්" උනාට, ඒකා බින්න බැහැල හිටියෙ තායිලන්තෙන්. අවුරුදු විසි පහක විතර කාලයක් තායිලන්තෙ, සිංගප්පූරුව, ඉන්දියාව, පකිස්තානෙ වගේ ආසියාතික රටවල කරක් ගහපු නිසා අපේ බුවාල හැරෙනකොටම පොරට කියන්න පුලුවන්, හැරෙන්නෙ තණකොල ගාලට කියල. මුල් කොන්ත්‍රාත්කාර ස්වීඩන් කොම්පැණියෙන් අපිව අධීක්ෂණය කරන්න මිනිහව එවන්න ඇත්තෙ ඒක නිසාම වෙන්න ඕන.

හඩි හයක් විතර උස ඒකා අඩි හතර හමාරක් විතර පළලයි. මූණ පුරා වැවුන තඹ පාටරැවුල නිසා, ඈනුමක් ඇරියොත් ඇරෙන්න චුට්ටන් කට පොඩ්ඩ හරියටම පේන්නෙ නෑ. කිලෝ දෙසීයක් විතර බර ඇති කියල ඇහේ සෝදිසියට මට හිතුනට, සයිට් එකේ කෲ කැබ් එක එලවන ලක්ෂ්මන් නම් කිව්වෙ ඊටත් වැඩි ඇති කියලා.  

"හපෝ.. මේක නැග්ගම දුණු කොළත් ඇද ගහනවා. දැනටමත් වාහනේ එලයින්මන්ට් ගිහිල්ලද කොහේ.." දෙවනි දවසෙ සුද්දව අරන් යන්න කිව්වම ලන්ෂ්මන් කන්කෙදිරි ගාන්න ගත්තෙ ඒක නිසා වෙන්න ඕන. ඇත්තටම සුද්ද නගිනකොට වාහනේ චැසියත් එක්කම පාත් වෙනවා මමත් හොදටම දැක්කා.

"මාත සුද්දෙක් උනාට උඹ බය වෙන්න එපා. ඌට ඕන විස්තර ටික දීපන් " සුද්දව සයිට් එකට එක්කගෙන ආපු මුල් දවසෙ අපේ බොසා සුද්දව පෙන්නල මට කිව්ව. බොසා මොනවා කිව්වත්, ඒකගෙ සරීර ප්‍රමාණෙ දැක්කම මම සලිත වෙලා ගියා. දෙපැත්තට කරල කොන්ඩ කරල් දෙකකුත් බැන්දා නම්, "ගෝල්" දෙශේ "ජිම් පප්පා"ගෙයි, අපේ සුද්දගෙයි ලොකු වෙනසක් එකපාරටම පේන්නෙ නෑ කියල මට හිතුනෙ සුද්දව දැකපු මුල්ම දවසෙ.

උදේ පාන්දරම සයිට් එකට එන සුද්දා අපි කා එක්කවත් වැඩිය බජනෙට යන්නෙ නෑ. සැරින් සැරේ සයිට් එකට බැහැලා පොඩි රවුමක් දාල එන එක ඇරෙන්න, උදේ ඉදන් හවස් වෙනකම්ම මොකද්දෝ ලොකු විස්තරයක් ටයිප් කරන එක තමයි පොරගෙ රාජකාරිය වෙලා තිබුනෙ. කොටින්ම දවල්කෑමටවත්, මල-මුත්‍රා පහ කරන්නවත් පොර නෙවේ වාඩිවෙලා ඉන්න කැරකෙන පුටුවෙන් නැගිට්ටෙ. සරීර ප්‍රමාණෙට හරියන්න දැවැන්ත ආමාශයක් තියෙන්න ඕන නිසා නොකා-නොබී ඉන්න එක තෙරුම් ගන්න පුලුවන් උනත්, මේකා සුලු-දිය පහකරන්නෙ නැතුව ඉන්න රහස හොයාගන්නකම් මට නින්ද ගියේ නෑ. සයිට් එකේ කීපදෙනෙක්ගෙන්ම හොයල බැලුවම තමා දැනගත්තෙ, මේක අපි හැමෝගෙම ඇස් වහල සැරින් සැරේ සයිට් එක අයිනෙ තියෙන පදුරක් අස්සට බඩ ගානව කියල.

දවසක් දෙකක් තුනක් යනකොට, සුද්දගෙ පොඩි අමුත්තක් අපි හැමෝටම මීටර් වෙන්න ගත්තා. වෙනකොට අඛණ්ඩව තෙවැනි දිනයටත් එකම ඇදුම ඒ කියන්නෙ ලා නිල් පාට කමීසෙයි, තද නිල් පාට කලිසමයි තමා පොර ඇදන් ආවෙ.

"ඕක සුද්දගෙ යුනිෆෝම් එක වෙන්න ඇති " සයිට් එකේ දහසකුත් ප්‍රශ්න පැත්තකට දාල "සුදු-ඇදුමෙ උභතෝකෝටිකය" විසදන්න හැම එකාම හරි හරියට මහන්සි උනා.

" නෑ.. නෑ.. ඕක සුද්දගෙ කෑල්ලගෙන් හම්බ වෙච්ච එකක් වෙන්න ඇති. ඒකයි පොර ඒකට ඔච්චර කැමැත්තෙන් ඇත්තෙ " චීත්ත කෑලි වෙනුවෙන් ඕනම කුණක් කන්න ගට තියෙන උන් ඉන්නෙ අපේ රටේ විතරක්ම නෙවේ නිසා කතාවෙත් ඇත්තක් නැති වෙන්න බෑ කියල මට හිතුනා.

" ඔය එකක්වත් නෙවේ ඇත්ත. ඔය සුද්දා බාරයක් ඔප්පු කරනවා.." හොඩවැල අරුනම ඝණ දෙයියන්ගෙ අනික් ඔක්කොම විදිහටම අඩු නැතුව පිහිටල තිබුනට කෲ කැබ් එකේ ලක්ෂ්මන්ගෙ කතාව එකපාරටම පිලිගන්න අපි ඉක්මන් උනේ නෑ.

" ඒත් සුද්දෙක්නෙ බන්. උන් ඕව විස්වාශ කරන් නෑනෙ "

" ඒකා අවුරුදු ගානක් තායිලන්තෙනෙ ඉදල තියෙන්නෙ. එහේ ඕව හරියට පිලිගන්නවා " ලක්ෂ්මන්ගෙ තර්ක එහෙම ලේසියෙන් බිදෙන ඒව නෙවේ.

අනිතිමේදි අපි හැමෝම ඒකමතිකව, "සුද්දා බාරයක් ඔප්පු කරනවා" කියන කතාව පිලිගත්තා.

සුද්දගෙ ඇදුමගැන සයිට් එකේ නොදන්න එකෙක් නැති වෙන තැනට ආවෙ හිතාගන්නත් බැරි තරම් වේගෙන්. ඔය අතරෙ සයිට් එකේ කැන්ටිම කරන කීර්ති පතුරුවපු අලුකුත්තේරු කතාවක් නිසා සයිට් එකේ වැඩ කරන පොරක් තකහනියක්ම මාව හොයාගෙන ආවා.

"මේ.. සුද්දගෙ ඇදුම් හෝදල දෙන කෙනෙක්ට රුපියල් පන්දාහක් දෙනවා කියන්නෙ ඇත්තද?? බැරිද මට චාන්ස් එක අරගෙන දෙන්න?? " පොර මගෙන් ඇහුවෙ කවුරුත් නැති වෙලාවක් බලල, ඇහෙන නෑහෙන ගානට.

"හෑ.. කවුද ඕව කියන්නෙ. එහෙම එකක් නෑ.." දන්න කියන භාෂා ප්‍රයෝග දාල පොර ඕක සුද්දගෙන් එහෙම ඇහුවොත් වෙන්නෙ වස නවනින්ගිරාවක් නිසා මම ඒක එහෙම්ම ශේප් කරා.

රුපියල් පන්දාහෙ කතාවට පස්සෙ දවසක සයිට් එකේ මං වැඩ කර කර ඉන්න තැනට සුද්දා ආවා. දන්න කඩු කෑලි අරෙහෙට මෙහෙට කරකවලා, මදි පාඩුවට හස්ත මුද්රාවත් එකතු කරල එතන වෙන වැඩේ සුද්දට පැහැදිලි කරල දීගෙන යද්දි වටේ වැඩ කරන උන් එකා දෙන්න අපි ඉන්න තැනට එකතු උනා.

"මහත්තය ඕකගෙන් අහන්න බලන්න ඔය ඇදුම විතරමද තියෙන්නෙ කියල" පන්දාහට ඇදුම් හෝදන්න හිටි පොර මගෙන් ඇහුවෙ, ඩෝබි ජොබ් එක නැති වෙච්ච දුකට වෙන්න ඕන.. සයිට් එකේ හැම එකාටම ගෙවල් දොරවල් වල ප්‍රශ්න, දරුවන්ගෙ ප්‍රශ්න,පඩි ප්‍රශ්න ඔය ඔක්කොමටම වඩා ඉස්සරහට ඇවිල්ල තිබුනෙ සුද්දගෙ ඇදුමෙ ප්‍රශ්නෙ බව මට තේරුනා. අනික මේ වෙලේ වැඩ කරන මිනිස්සුන්ගෙ පිටින් දාල , මේකට හරි උත්තරයක් සුද්දගෙන්ම ගන්න පුලුවන් නිසා මමත් ප්‍රශ්නෙ සුද්දට යොමු කරා.

"උඹලට පිස්සුද?? මේ මගේ යුනිෆෝම් එක.මට මේ විදිහෙ ඇදුම් හතක් තියෙනවා.. හතක්.." මල පැනපු සුද්දා මගේ ඇගට කඩන් පැන්නෙ, අතෙ ඇගිලි වලින් හතකුත් පෙන්නගෙන. සුද්දගෙ උත්තරේ වටේ ඉන්න උන්ට කිව්වත් කවුරුවත් ඒක පිලිගත්ත පාටක් පෙනුනෙ නෑ.

"මහත්තය අහන්න බලන්න, හැම එකකම දකුණු කලිසන් සාක්කුව ඉරිලද කියලා.. " සුද්දා වෙනුවට මම එතනින් මාරු වෙලා ගියේ, කාට බොරු කරත් අපේ අයියලට නම් බොරු කරන්න බෑ කියල පස්සෙ වෙලාවක සුද්දට කියලා දෙනවා කියලා හිතාගෙන.
    

.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.



15 comments:

  1. උඹ සුද්දගේ රූපේ මැවෙන්නම ලියල තියනවා. ඌ ළඟ ගඳ නැද්ද බං.. සමහර එව්වෝ ලඟින් ගියත් හඩු ගඳයි.

    උඹ ඔය කලිසන් කතාව අහන්න යන්න එපා ඕකගෙන්. ජිම් පප්පා වගේ නම් උඹව උස්සල විසි කරයි හොයා ගන්න බැරි වෙන්න. :)

    කොහෙද මචං ඔය සයිට් එක කරන්නේ..

    ReplyDelete
    Replies
    1. විශේෂ ගදක් නම් එන්නෙ නෑ. පට්ට සැර සෙන්ට් එකක් ගහනවා. සයිට් එක තියෙන්නෙ අ`පුර නුවර වැව ඉස්මත්තෙ. අ`පුර එනවනම් කියපන් :ඩී

      Delete
  2. අපහාස කරනවා කියලා ඔය තරම් අපහාස කරන්න හොඳද අප්පා සුද්දට උනත්...හි හි හී

    ReplyDelete
  3. පවු නේද මේ තරම් අපහාස කරන ඒක...අනේ පවූ...................
    දිගටම ලියන්න කියවන්න එනවා හැමදාම

    ReplyDelete
  4. ළිහිණි : එහෙමත් අපහාස කරනවද ඒ වගේ සිරියාවන්ත සුද්දෙකුට :පී
    උමා : ඌ පවු පින් පිලිගන්න ජාතියෙ එකෙක් නෙවේ. තැන්කූ මේවා කියවනවට :ඩී

    ReplyDelete
  5. :D මොනාවා කියන්නද මන්දා :P

    ReplyDelete
  6. හෙහ්.. සුද්දා තාම දන්නෑ ලංකාවෙ අයියලගෙ හැටි.. උඹට ඕක ඌට කියන්න තිබුනෙ.. ඌ අනිවා තක්බීර් වෙනවා.. මුන්නම් තායිලන්තෙ ගොබ්බයො වගේ ලේසියෙන් තම්බන්න බැරි ජාතියක් කියලා පොඩි ගෞරවයක් එහෙම කොනකට එකතු කරගනියි..

    අර සුද්දා මොනවද ලියනවා කිව්වා නේද.. බලපන් බ්ලොගක්වත් ලියනවද කියලා..

    ReplyDelete
  7. සුද්දට වඩා අපේ උං දස්සයෝ ඕව හොයන්න.. පව් බං ඒකා හෙන දුප්පත් සුද්දෙක් වෙන්ට ඇති.. අර කවියේ තියෙනවා..

    ReplyDelete
  8. සචිත් : අනේ මංදා :පී
    සෙන්නා : කියන්න නම් තිබුනා. චන්දන කිව්ව වගේ අල්ලලා විසික් කරොත් එහෙම :O . නෑ නෑ බ්ලොග් නම් නෙවේ. උගේ සයිස්ම, හෙන-තඩි report එකක්. අනිවා අපිට කෙලලා ඇති :ඩී.
    දේශකයා : නෑ බන්. ඌ තමා උගේ consultancy company එකේ අයිතිකාරයා. දුප්පත් නෑ. ඒකා හෙන කුණෙක්

    ReplyDelete
  9. සුද්දට අපේ අයියලත් එක්ක හැරෙන්න බැහැ :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... ඔය වගේ නූල් සූත්තර දාලා නම් අපෙන් ගැලැවෙන්න බෑ තමා. :ඩී

      Delete
  10. sudda u apu ratata ma duwanna ahanna tibbe....

    ReplyDelete
    Replies
    1. උබනම් කියයි. ඕව අහන්න ගිහින් නිකන් කූරියා ගහන්න වෙන්නෙ

      Delete
  11. අයියයියෝ සුද්දා.පව් අප්පා

    ReplyDelete
    Replies
    1. වැරදිලාවත් ඌ සිංහල දැනගෙන හිටියනම් එතැනම භූගත වෙනවා :D

      Delete