Saturday, June 8, 2013

වැසිකිලි කතාවක්



දරු පවුල් ජීවත් කරන්න මහ මුහුද ගරන්න යන ධීවරයන්ට අයහපත් උනාට, කට්ට ඇතුලට වැදිච්ච කිරි ඉබ්බෙක් වගේ සරම අස්සට ගුලිවෙලා දවසෙම නිදා ගන්න පුලුවන් නිසා, මේ දවස්වල දිවයිනේ කාළගුණ තත්වය නම් මට බොහෝම යහපත්. ඔය විදිහට ගුලිවෙලා ඉන්න අතරෙ තමයි කලින් වැඩකරපු සයිට් එකේ වෙච්ච මේ සිද්දිය, මගේරැම් එකට ලෝඩ් උනේ. හැබැයි මේක වැසිකිලි කතාවක්. මල මුත්‍රා ගැන කියවෙන "කක්කා" කතාවක්.

මේ කතාවට වගේම, මීට කලිනුත් ගොඩක් පෝස්ට් වලට වස්තුබීජ සපයපු මගේ කලින් සයිට් එක තිබුනෙ, අනුරාධපුරේ නුවර වැව් ඉස්මත්තෙ. වැව් ඉස්මත්තෙ තිබුන නිසායි, අනුරාධපුරේ පසේ තියෙන සරු බවයි නිසා, සයිට් එකේ වතුර බැහැලයන ගතිය බොහොම දුර්වලයි. මාස ගානක් එක දිගට පායල වහින එක වට වැස්සෙන්, මුලු සයිට් එකම මඩ ගොහුරක් වෙන්නෙ ඒක නිසා වෙන්න ඕන. වතුර බැහැලා යන්නෙ නෑ වගේම තමා වතුර උනන්නෙ නැති කමත්. වැව පේන මානෙ උනත්, හරිහමන් උල්පතක් හම්බ නූනොත්, අනිත් පැත්ත මතුවෙනකම් හෑරුවත්, අනුරාධපුර පොළවෙන් වතුර කළයක් ගොඩ ගන්නවා බොරු.

මේ දවස්වල වහින වැස්සට පිරිලා ඉතිරිලා යන්නෙ, ඇළ,දොළ,ගංගා,ළිං, පොකුණු විතරක්ම නෙවේ. ගොඩක් තැන්වල ගෘහස්ත මළ අපවහන පද්දතියත් තමන්ගෙ පිටාර මට්ටම කරා ලගාවෙලයි තියෙන්නෙ. මෙච්චර කාලෙකට කිසිම අගයක් නැතිව හිටපු වැසිකිලි වල, තමන්ගෙ අගය කියල දෙන්න පටන් ගන්නෙ වැහි කාලෙට. උතුරන්න ඔන්න මෙන්න තියෙන වැසිකිලිවලක් පාවිච්චි කරන එකා වැටෙන අලි අමාරුව දන්නෙ, වැසිකිලි කටට හතර පස් පාරක් වතුර ගගහා දගලන තවත් වගේම එකෙක් හරි, ගලක පහරපු බළල් තඩියෙක් හරි විතරයි.

ඔය ගැටලුවම මගෙ කලින් සයිට් එකේ නේවාසිකාගාරයටත් කඩන් පාත් උනා. පස්වල වතුර බහින්නෙ නැතිකමයි, වැසිකිලි වල බෙදා හදා ගත්ත සාමාජිකයො ප්‍රමාණයේ වැඩි කමයි නිසා සාමාන්‍ය ගෙදරකට වඩා සයිට් එකේදි තත්වෙ ටිකක් දරුණු උනා. වෙනදට වැසිකිලියට ගිහින් හැරෙන තැපෑලෙන් එන උන් පවා, ඔය ප්‍රශ්නෙ නිසා, දිහට හරහට වතුර ගගහා හිටියා මිසක් වරුවකින් මෙහා ආවෙ නෑ. හැම එකාගෙන්ම වැදෙන අතිරේක වතුර පාරවල් ටිකෙන් තත්වෙ තව තවත් උත්සන්න උනා. වාසනාවකට වගේ සයිට් එක කෙලවරක තිබුනු අබලන් වැසිකිලිය නොතිබෙන, අපි කට්ටියට සරණ වෙන්න හිටියෙ නුවර වැව් ඉස්මත්ත විතරයි.

සයිට් එක මුහුණ දීපු හදිසි ආපදා තත්වය තේරුම් ගත්ත අපේ ලොක්කා, වහාම ක්‍රියාත්මක වෙන පරිදි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරලා, මේ වගේ හදිසි අවස්ථාවක සංයමයෙන් කටයුතු කිරීමත්, පරිසරය පවිත්‍ර තබා ගැනීමත් පිලිබදව මූලික උපදෙස් මාලාවකුත් නිකුත් කරලා, නව වැසිකිලි වලක් කපන්න මුල්ගල තිබ්බා. අලුතෙන්ම සයිට් එකට ගෙනාපු "කොමැට්සූ 200" එක්ස්කැවේටර් එකට පිං සිද්ද වෙන්න වැසිකිලිවල කපන්න ගියේ පැය බාගයයි.

පළමු අදියර යටතේ "වල කැපීම" ඉවර වෙච්ච ගමන්ම දෙවැනි අදියර පටන් ගත්තා. තමා නව වලට කොන්ක්‍රීට් වැස්මක් ලබාදීම සහ පැරණි අපවහන පද්දතිය නව වලට සම්බන්ද කිරීම. දෙවැනි අදියර බාර දුන්නෙ සයිට් එකේ ඉන්න, සම්බන්දව බොහෝම අත්දැකීම් ඇති, පරිණත සුපවයිසර් කෙනෙක් වෙච්ච චතුරංගට. මුලින් ඥරු ඥෞරු ගගා හිටියට, ලොක්කගෙන් කෙලින්ම ආපු ඕඩර් එකක් නිසා, මුවින් නොබැනම චතුරංග වැඩේ ඇදගෙන ගියා. සයිට් එකේ ඉන්න අනිත් උනුත් පැත්ත පලාතෙවත් නොගියෙ, වටේ පිටේ ඉන්න උන්ගෙ වැඩට ඇගිලි ගැහීමෙ කැත පුරුද්ද මුලින්ම දුරු කරපු උන් වගේ.
වලේ වැඩේ පටන් අරගෙන දවස් දෙකකට විතර පස්සෙ චතුරංග මාව හොයාගෙන ආවා.

"වලට කොන්ක්‍රීට් එක නම් දාලා ඉවරයි. මම ලෙවල් කරලා බටයත් ප්ලේස් කරා. ඇවිල්ලා ලෙවල් එක චෙක් කරනවද ??"

"අපෝ ඕන නෑ. චතුරංග හරියට ලෙවල් කරානෙ. එහෙනම් එච්චරයි. මගේ මිනිස්සු මට ශුවර්.." ඈතින් පතිත වූ පන්දුව, නිදැල්ලේ ඇදීයන්න මම ඉඩ ඇරියා.

"හ්ම්ම්.. එහෙනම් මම පරණ බටේ කපලා අලුත් එකට සෙට් කරන්නම්" අවසාන අනුමැතිය බලාපොරොත්තුවෙන් වගේ චතුරංග මගෙන් ඇහුවා. ඔලුව දෙපැත්තට පද්දලා මමත් වැඩේට තල්ලුව දුන්නා.

"තවත් එකක්... පරණ වල කට ගාවට එනකම්ම පිරිලා. පරණ බටේ කපද්දි ජරාව එහෙම එන්න පුලුවන්. වැඩේ කරන්න නම් නිවුටන් කැමතියි. හැබැයි පොරට බෝතලයක් අරන් දෙන්න වෙයි. අනික වැඩේට කලින් පොඩි ෂෝට් එකකුත් දාගන්නද ඇහුවා.."

"... අවුලක් නෑ. පෙටි කෑෂ් එකෙන් අරං දෙන්න. කමක් නෑ වැඩේ කෙරෙන්නත් එපැයි." රාජකාරී වේලාව තුල මත්පැන් පානය, ඊට අනුබල දීම වැරැද්දක් උනත්, පරාල ඇණේ ගහන්න ඕන තැනට "ටිංටස්" ඇණ හරියන්නෙ නෑ කියලත් මම දැනන් හිටියා.

**               **               **               **               **               **

චතුරංග පිට වෙලා ගිහින් පැයකට දෙකකට පස්සෙ ආයෙමත් පොර, මං ඉන්න තැනට දුවගෙන ආවා.

"මාර කේස් එකනෙ. බටේ කපලා, අලුත් එකට සෙට් කරලා බැලුවම ගලියෙ ඉදන් යන්න බට කෑල්ලක් දිග මදී..." චතුරංග මං දිහා බැලුවෙ, උතුරන වැසිකිලියක පහරපු එකෙක් වගේ අන්ද-මන්ද වෙලා.

"ඇයි බන්.. දිග මැනලා නෙවෙද බටේ ගෙනාවෙ ?? "

"දිග මැන්නා. මට පේන්නෙ අඩුවෙන්ද කොහේ ගෙනැල්ලා තියෙන්නෙ.." සයිට් එකට බඩු ගේන රසිකගෙ පැත්තට, චතුරංග හෙමීන් සැරේ බෝලෙ පාස් කරා.

"දැන් කරන්න දෙයක් නෑ එහෙනම්. හෙට උදේම ගෙනැල්ලා හයි කරමු.." වෙනකොට සැදෑ අදුර ගලා ගෙන ආපු නිසයි, ගොම්මන් වෙලාවට හාඩ්වෙයාර් වහලා නිසයි, අභිනව වැසිකිලි වල විවෘත කිරීමේ මහෝත්සවය තවත් රෑකින් කල්ගියා.

"ඔව්.. මම ටොයිලට් වල දොරවල් වහලා හරහට ලී පටිත් ගහලා තියෙන්නෙ, අපේ එකෙක් වැරදිලාවත් ගියොත් කියලා... මෙච්චර දවසක් හිටපු එකේ ඔය ටිකත් ඉන්න බැරියැ.. " වැසිකිලි සම්බන්ද කාරනා වලදි කොච්චර ඉවසගෙන හිටියත්, අන්තිම මොහොත බොහොම තීරණාත්මකයි කියලා මම වගේම චතුරංගත් දැනන් ඉන්න ඇති. ඒත් වෙන කරන්නම දෙයක් නැති නිසා අපි වැඩේ හෙටට තල්ලු කරා.

**               **               **               **               **               **

පහුවෙනිදා උදේ සයිට් එකට එනකොට අපේ උන් සෙට් එකම අලුතෙන් හදපු ගලිය ලගට වට වෙලා. සමහර උන් සැරින් සැරේ කාර කාර කෙලත් ගහනවා. අස්සෙ චතුරංග මහ සද්දෙට කාටදෝ කෑ ගහනවා.

"යකෝ මුන්ට ටිකක් ඉවසන්න බෑ ?? දොරට ගහපු පටිත් ගලවගෙන ගිහින් රීලා තියෙන්නෙ. නේ..ද්දකින් විතරක්......"

වටෙන් පිටෙන් ලැබිච්ච සාක්ෂි අනුව වෙලා තියෙන්නෙ මේකයි. උදෑසන ඇතිවෙන වැසිකිලි බර දරා ගන්න බැරිවෙච්ච එක්තරා පුරුෂයෙක් අඩක් නිම කරපු නව වැසිකිලි පද්දතිය භාවිතා කරලා තියෙනවා. වැසිකිලියෙ ඉදන් වල ට යන බටේ ගලිය ගාවින් ඉවර නිසා, පුරුෂයා නිදහස් කරපු "බර" බටේ දිගේ ගලිය ගාවටම ගිහින්, එතැනින් එහාට යන එන මං නැති නිසා, ගලිය ඇතුලෙම නතර වෙලා. අපේ උන් උදේපාන්දරමරැස් කකා බලන්නෙත්, සමහර උන් බල බලා කෙල ගහන්නෙත්, අන්න එහෙම ගලියෙ නතර වෙච්ච "බර" දිහා බලලා.

දොරවල් කඩාගෙන ඇතුලට පැනලා, වැසිකිලිය පාවිච්චි කරපු එකාට බනින ගමන් චතුරංග මගේ ගාවට ආවා.

"මොනවා උනත් එක දෙයක් හරි..."

"මොකද්ද??"

"මගේ ලෙවල් එක. බටේ ගානට ලෙවල් එකට හයි කරලා තියෙනවා. පේනවනෙ අරූ රීපු ටික වෙන කොහෙවත් නොගිහින්, බටේ දිගේම ඇවිත්, ගලියට වැටිලා තියෙන හැටි... " ජයග්‍රාහී විදිහට චතුරංග කිව්වා.

'ඒකනේ මම කිව්වේ. මගේ මිනිස්සු මට ශුවර්' කියල කියන්න හිතුනත් මම මුකුත් කිව්වේ නෑ.



.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.



34 comments:

  1. මරු දවසේ මේක දාලා තියෙන්නේ.. අපේ ලිඳට පූසෙක් වැටිලා... නහය තියාගෙන ඉන්න බැරැව ගෙවල් අතෑරලා යන්න වෙලා තියෙන්නේ.... මොකද බේතකට හොයා ගන්න කෙනෙක් නෑ ලිඳ ඉහින්න මේ වැස්සේ..... දැන් නම් අරෑ දියවෙලා ඇති.. අපි ලිඳ පාවිච්චි කරන්නේ නැති හින්දා හොඳයි....

    මං මේ කල්පනා කළේ පෝස්ට් දාද්දි වැරදිලා ෂෙඩියුල් ටයිම් එකක්වත් සෙට් වෙනවාද දන්නේ නෑ නේ අලුත් පෝස්ට් එකක් දැම්මම පරණ පෝස්ට් එක ඩෑෂ්බෝඩ් එකේ පෙන්නන්නේ... තාමත් ඔය ලෙඩේට හේතුව හොයා ගන්න බැරි උනාද...

    ReplyDelete
    Replies
    1. ලිං ඉහින පොරක් හොයා ගත්තත්, මේ දවස්වල ලිං ඉහින්න ගියාම පණ යයි.

      සමහර ලෙඩ තියෙනවනෙ ලෙඩා මැරෙනකම්ම හොයා ගන්න බැරි. මේකත් ඒ වගේ එකක්ද කොහේ.. :D

      Delete
    2. මචන්,

      අලුත් බ්ලොග් එකක් හදලා මේක ඒකට අප්ලෝඩ කළොත් මොකද ? මෙහෙම අප්ඩේට් නොවී තියනවට වැඩිය ඒක හොඳ විකල්පයක් වෙයි කියලා මට හිතෙනවා..

      සින්ඩි වල අප්ඩේට් කරගන්න එකයි, ෆලෝවර්ලා ටික හැලෙන එකයි තමා එකම ගැටලුව. හිට්නම් ඉතින් කන්ඩයෑ.. විතැන් වෙනවා කියලා පෝස්ට් එකක් දාලා ආයෙ සින්ඩි වලට හිමීට ඇප්ලයි කළානම් ටික කලක් යද්දි වැඩේ යථා තත්ත්වෙට් පත්වෙයි.

      Delete
    3. හ්ම්ම්ම්... පෝස්ට් 50ක් ලියනකම් ඉන්නෙ. ඊට පස්සෙ මාරු කරනවා.....

      Delete
  2. මචන් උඹ හොඳ කෙලවිලක් කෙළවන් තියෙනවා බ්ලොග් එකට...උඹේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැහැ..පෝස්ට් වලට ලින්ක් එන්නේ නැහැ..ආවත් එන්නේ වැරදි ලින්ක් එකක්...මම දැන් ආවේ මෙන්න මේක බලන්න ..


    ආසන ප්‍රශ්නය
    at නවදැලිහේන - 4 minutes ago
    එක්සමයැක "වේලුපිල්ලේ" නම් මනුෂ්‍ය ඝාතනයෙහි දක්ශ වූත්, චන්ඩ වූත්, ලෙයෙහි කරුණා මෛත්‍රී සිදී ගියා වූත්, දු‍ටු දු‍ටුවන් නෙත් බියෙන් අලවාලූත්, රාක්ෂයෙක් බදු භයංකර මනුෂ්‍යයෙක්, තිස් වසරකුත් තවත් මද කාලයක්, සිරිලංකාද්වීපයෙහි උත්තර හා පූර්ව හා දෙදිශාවන්හි, තමුන්ගේ මහානුසම්පන්න බල පරාක්‍රමය පතුරුවාගෙන කල්ගත කරන්නේ, අවශේෂ ජ


    ඒත් ආවම එහෙම පෝස්ට් එකක් නැහැලු ..( ලැට් එහෙකටනේ ඇවිත් තියෙන්නේ )


    මචන් රීඩර් එකට නම් ඇවිත් තියෙනවා මුළු පෝස්ට් එකම ..

    ආසන ප්‍රශ්නය

    ReplyDelete
    Replies
    1. //ඒත් ආවම එහෙම පෝස්ට් එකක් නැහැලු ..( ලැට් එහෙකටනේ ඇවිත් තියෙන්නේ )//
      ලැට් එහෙකට නෙවේ. ලැට් වලකට :D

      මොකක් හරි අවුලක්. සෙන්නා කිව්ව දේත් කරා. ඒක තමා හොදම විසදුම මට පේන්නෙ.....

      Delete
    2. ආසන්න ප්‍රශ්නය කියන පෝස්ට් එක කෝ මචන්...? තව ඉස්සරහට දාන්න ඉන්න එකක්ද ...? මොනවා උනත් ඒක නියමයි තිලිණ..මම රීඩරෙන් ටිකක් බැලුවා..නියමෙට තියෙනවා...

      Delete
    3. නෑ.. ඒක කලින් (මාර්තු මාසෙ) ලියපු එකක්. මෙන්න ලින්ක් එක;

      http://nawadalihena.blogspot.com/2013/03/blog-post.html

      Delete
  3. රූන් ගාල ඔතනින් බැහැල පරන බස්ෑන්ඩ්ෙක පිටිපස්සෙ එකට මිසින් වෙනඩෙපැයි බොස් රු 10යි . වීල් එකට 50යි..

    ReplyDelete
    Replies
    1. හරියන්නෙ නෑ බන්. සයිට් එක තිබුනෙ හරියටම බස්ටෑන්ඩ් එක කෙලින් වැවෙන් එහා පැත්තෙ. පීනලා තමයි රෙන්න යන්න වෙන්නෙ... :D

      Delete
    2. ඇයි බන් සාගරේ වාගෙ වැවක් තියාන බට ලෙවල් කොරන්නෙ.. ඔය කීවෙ පුල්ලෙයාර් කෝවිල දිහා වෙන්ටැ.ඕව හදන් නතුව කටුකම්බි දෙපටක් පාත් කොරල බෝඩ් කෑල්ලක් ගහකො වැව දිහාට .ආයෙ පුරේ අපිට වැව තරම් ගෙදරවත් සුවර් නෑනෙ බන්. හික්

      Delete
    3. හික් හික්... සයිට් එක පටන් ගත්ත කාලෙ වැසිකිලි හදන්න කලින් වැඩට ආපු උන් ගිහිල්ලා තියෙන්නෙ වැවට. ගමේ මිනිස්සු වැව් පිටියෙ බැදපු හරක් වැව් පිටිය වටේ ගිහින් උන්ගෙ කඹේ දිගටම ගූ ගාගෙන එනවලු. ගමේ උන්ගෙන් ආපු කේස් බොහොම අමාරුවෙන් ශේප් කරන් තියෙන්නෙ.

      Delete
    4. ඒකනෙ බන් මේ හරක් එක්ක බෑ කියන්නෙ.ඒකට අර යුඪ මුක්ත කලාපෙ වාගෙ කෑල්ලක් වෙන් කොර්ල ඩුන්නම හරිනෙ.හරක් අහවල් එකක් කොරන්න යනවද අකුල් අස්සෙ.. පුරේ අපෙ මානවහිමිකම් කඩවෙලා එහෙනම් සැරටම මචන්.

      Delete
    5. හික්ස්... වැල්ල අද්දර උන්ට වැල්ලයි, වැව් අද්දර උන්ට වැව් පිටියයි තමයි හරියන්නෙ. අපි ස්වභාව ධර්මය එක්ක ජීවත්වෙන මිනිස්සුනෙ... :D

      Delete
  4. වැසිකිලි වලේ වතුර බහින්නැති එක ජාතික ප්‍රශ්ණයක් තමා. ඔහොම වෙච්ච ගමන් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා හැමෝවම දැනුවත් කරන්න ඕනා..

    වැසිකිලි වලක කතාවක් උනත් උඹ ගද ඇරලා ලුණු ඇබුල් දාලා ලියලා තියනවා..

    ---------------

    නිකමට ටෙස්ට් පෝස්ට් එකක් දාලා බලහන්.. සමහර විට අප්ඩේට් වෙයි. එහෙම නැත්නම් ඩූඩ් එදා තව ක්‍රමයක් කිව්වා නේද ? ඒක ට්‍රයි කරලා බැලුවෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. //වැසිකිලි වලක කතාවක් උනත් උඹ ගද ඇරලා ලුණු ඇබුල් දාලා ලියලා තියනවා..//
      ලුණු ඇබුල් දාලා කිව්වම, කටට කෙලත් ඉනුවා.... :D

      තැන්කූ මචෝ. වැඩේ හරි වගේ.... :D

      Delete
  5. අපි උඹේ බ්ලොග බලන්න ලෑස්ති වුනේ උදේට කන ගමන්. පළව්වෙනි පරිච්ඡේදය කියෙව්වාම වැඩේ කල් දාලෑතකල් මගේබ්ලොග් පෝස්ට් එකේ කමෙන්ට්ස් කියෙව්වා.

    කොහොම හරි කමක් නෑ බටේ ලෙවල්නේ.

    මාත් ඔය වගේ ගූ ව්‍යාපෘති කරලා තියෙනවා. Code name: OPERATION SHITPIT

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ අපි නම් දැන් දිගටම කරන්නෙ "ගූ ව්‍යාපෘති" :D :D

      Delete
  6. ස්ටෝරියට ගානට ලුණු ඇඹුල් වැටිලා තියෙනවා මලේ. අපේ දෙපාර්තමේන්තුවෙ සංචාරක බංගලාවලත් නිතරම ගූ බට හිරවෙනවා. අපේ පලපුරුදු බංගලා කීපර්ලා එතකොට කොමෝඩ් එක අස්සට අත දාලා හිරවෙලා තියෙනා ඒවා ඇදලා ගන්නවා. හුඟක්වෙලාවට තියෙන්නේ ගෑණුන්ගෙ පැණි අමුඩ.

    ReplyDelete
    Replies
    1. හික්ස් .... ඔය තියෙන්නෙ වැසිකිලි කතා ගමකට.. මොකද කියන්නෙ ගාමිණී අය්යා, පටන් ගන්න අලුත් වැසිකිලි කතා බ්ලොග් එකක්... :D

      Delete
    2. ඔය පැණි අමුඩ කතන්දරය සදාතනික ප්‍රශ්නයක් නේද

      Delete
    3. දන්නෝ දනිති :D :D

      Delete
  7. හපොයි වෑඩෙ රීල නෙ

    ReplyDelete
    Replies
    1. බටේ ලෙවල් නිසා බේරුනා......

      Delete
  8. ජීවිතේ යතාර්ථය පෙන්වන එක්තරා කතාවක්. වෙන ඉතින් මොනා කියන්ටද? :D:D

    ReplyDelete
    Replies
    1. පහන් දැල්ලක් අරමුණු කරගෙන ජීවිතේ යථාර්තය අවබෝධ කරගත්තු තෙරණියක් බුද්ධ කාලේ හිටියලු. පොඩි කුමාරිහාමිත් වැසිකිලි වලක් අරමුණු කරගෙන ඒ දේම කරපු එක සං‍තෝසයි. :D

      Delete
  9. අඩෝ මම චතුරංග.සුමේදයගෙ මැෂිමෙන් ලොග් උනේ.මොකද්ද අප්පලා මගේ චරිතෙට මේ කරල තියෙන්නෙ.අවුරුදු ගාණක් තිස්සෙ ඉගෙන ගත්තු දැනුම භාවිතාකරල හා හා පුරා කියල මගේ තනි ඒකාධිපති බලය පාවිච්චි කොරල කරපු වැඩේ.ගූ තමයි.ඒ උනාට මම කරපු වැඩේ සාර්තකයිනෙ ලොක්කා.අද බලපන්.....යස අගේට මෙකේ ඉන්න උන් ඔක්කොම රෙන්නෙ මගෙ වලට නොවැ.

    ReplyDelete
    Replies
    1. අනේ මට සමාවෙයන් චතුරංගයෝ..... :P

      Delete
  10. wadak naa kiyala maru post eka

    ReplyDelete
    Replies
    1. තැන්කූ ලොක්කා.....

      Delete
  11. අර වැඩේ කල එකාට බනින්නත් බැනෙ.. ඔය තත්වෙට ආවම ඉතිං හොඳ නරක පෙනෙන්නෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..... නැකැත් බල බල ඉන්න පුලුවනෑ.....

      Delete
  12. වැසිකිලි කතාවෙ ලින්ක් එක ක්ලික් කලාම මගේ ඩෑෂ්බෝර්ඩ් එකටමයි එන්නේ බං.මම ගූගල් සර්ච් කරලයි ලිපිය හොයාගත්තෙ...

    ReplyDelete
  13. හොරෙන් ** ගියත් ලෙවල් එක හරි 🤣

    ReplyDelete